වෙලාවකට මේක මහා කට්ටක්...
මාධනී මල්වත්ත

ශ්‍රී ලංකාවේ රංගන ශිල්පියකුට රංගනය පිළිබඳ පෙර පාසලක්‌, පාසලත් පමණක්‌ නොව උසස්‌ අධ්‍යාපන ආයතනයත් වන්නේ වේදිකාවය. එතැනදී විවිධ අත්දැකීම් හා වේදිකාවේ ප්‍රවීණයන්ගේ නිර්මාණවලට දායකවීමෙන් ලබන ප්‍රගුණ කිරීම් හා හුවාදැක්‌වීම් අනුව රංගනය පිළිබඳ ආචාර්ය උපාධිය එකී ශිල්පීන්ට හිමිවන්නේ එක්‌කෝ රාජ්‍ය නාට්‍ය උළෙලේදීය. නැත්නම් ඒ හා සම වන්නාවූ වෙනත් නාට්‍ය උළෙලකදීය. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මනමේ, සිංහබාහු නාට්‍ය මෙන්ම ප්‍රවීණ නාට්‍යවේදීන්ගේ නිර්මාණ අතරට වැටෙන කැලණි පාළම, දික්‌තල කාලගෝල, සුභ සහ යස, මධුර ජවනිකා ආදී වශයෙන් වූ බොහොමයක රඟපෑමෙන් දැක්‌වූ කුසලතා අනුව වසර තුනක්‌ එක දිගට ඇයට රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම රංගන ශිල්පිනිය ලෙස සම්මාන හිමි විය. වේදිකා රංගන ක්‍ෂේත්‍රයේ මේ දිනවල අතිශය ජනප්‍රිය ශිල්පිනිය ද වන ඇය මාධනී මල්වත්ත නම් වන්නීය.

තෙවරක්‌ එක දිගට හොඳම නිළිය වුණා නේද?

ඔව්. රාජ්‍ය නාට්‍ය උළෙලේදී මෙවර හොඳම නිළිය වුණේ තුන්වැනි වරටයි. ඊට පෙර තුන් වරක්‌ හොඳම නිළියට හා හොඳම සහාය නිළිය ලෙස නිර්දේශ වුණා.

ඇයි... රඟපාන අනිත් අය හොඳ නැද්ද? (සිනාසෙමින්) හොඳයි. මට වඩා ගොඩාක්‌ දක්‍ෂ, ප්‍රවීණයන් ඉන්නවා. මට මේ හැම අවස්‌ථාවකදීම හොඳට රඟපාන්න පුළුවන් විවිධත්වයක්‌ තියෙන හොඳ චරිත ලැබුණා. හැකියාව වගේම වාසනාවත් එතැනදී බලපානවා.

මෙවර සම්මාන ලැබූ චරිතයේ විශේෂත්වය කුමක්‌ද?.

කේ. බී. හේරත්ගේ "කළු කුමාරි" නාට්‍යයේ "ජනනි" ගේ චරිතය තමයි මම රඟපෑවේ. මේක ස්‌ත්‍රිය මුල්කරගත් නාට්‍යයක්‌. මෙවර හොඳම නාට්‍ය රචනය දෙවැනි ස්‌ථානයට හිමි සම්මානය හිමිකරගත්තෙත් මේ නාට්‍යයයි. හින්දි නිළියක්‌ වීමේ ආශාවෙන් සිහින මවන තරුණියක්‌ විවාහයෙන් පසුව ජීවිතයේ අත්විඳින විපර්යාසයන් මගේ චරිතයෙන් මතු කෙරෙනවා. ගායනය, නර්තනය, රඟපෑම, ගැටුම්, ඇŽම්, සිනාසීම් යන සෑම අතින්ම පිරුණු චරිතයක්‌ නිසා මට රඟපාන්න ලොකු පරාසයක්‌ තිබුණා. මට පෞද්ගලිකවත් රංගන ජීවිතයට ලොකු ආලෝකයක්‌ ගෙන දුන් චරිතයක්‌ ලෙස මෙය හඳුන්වන්න කැමතියි.

රඟපෑම වදයක්‌ වෙලා නැද්ද?

මේක මහා කට්‌ටක්‌ නම් තමයි. රැයක්‌ නැහැ. දවාලක්‌ නැහැ. ගෙදර ඉන්න නැහැ. රට වටේ ඉවරයක්‌ නැහැ. නමුත් වේදිකාවේ නාට්‍යයක්‌ එක්‌ක ගත කරන හෝරා කිහිපය තරම් ජීවිතයේ සුන්දරත්වයක්‌ තවත් නැහැ. හරියට දරුවෙක්‌ වදන්න මවක්‌ විළිරුදාවෙන් මොන තරම් වේදනාවක්‌ වින්දත් දරුවා බිහිවෙලා ඒ පැටියගෙ කටහඬ ඇහුණු ගමන් ලබන ආස්‌වාදය, සතුට කොතරම්ද නාට්‍යයක රඟපෑමත් හරියට ඒ වගෙයි.

ඔය ආස්‌වාදය නිසා ගැහැනු ජීවිතය වරද්ද ගන්නවා නේද?

හරි විදියට දෙයක්‌ කරනවා නම් එහෙම වෙන්නේ නැහැ. මගේ සැමියා කීර්ති කේ. රත්නායක කලා ක්‍ෂේත්‍රයේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති කෙනෙක්‌ හැටියට ඔහුගේ රැකවරණය, මගපෙන්වීම සෑම මොහොතකම මට ලැබෙනවා. කලාවේ ඉන්න කොට ඇති වන ප්‍රශ්න ගැන එයා මට කියනවා. රංගනයේදීත් පෞද්ගලික ජීවිතයේදීත් මාව හසුරවන්නේ මගේ සැමියායි. වැරදි මගකට හැරුණොත් එයා වහාම මාව නිවැරැදි මගට හරවනවා. මගේ ගමනේ සාර්ථකත්වයට හේතුව මගේ සැමියායි.

සැමියාගේ රැකවරණය නොලැබෙන තැනදී කුමක්‌ වේවිද?

කාන්තාව තමන්ට ලැබෙන නිදහස වැරදි හා අසීමිත විදියට භුක්‌ති විඳින්න යැමෙන් තමා විසින් ම ප්‍රශ්න ගොඩක්‌ ඇති කර ගන්නවා. ඒ අනුව තමාට හිමි දේවල් අහිමි කර ගන්නවා. කලාවට සැබෑ ආදරයක්‌ සහ භක්‌තියක්‌ තියෙන කෙනෙක්‌ එහි ගරුත්වය කෙළෙසෙන විදියට වැඩ කරන්නේ නැහැ. එසේ කිරීමෙන් තමාගේ ගරුත්වය ආරක්‍ෂා වෙනවා. සැමියාගේ රැකවරණය නැති තැනදී මම හිතන්නේ කලාවේ ගරුත්වය ගැනයි. කිසිම බාහිර රැකවරණයක්‌ නැතිව වුවත් බොහොම ගෞරවාන්විතව කලාව කරගෙන යන අභීත ගැහැනු කලා ක්‍ෂේත්‍රයේ ඉන්නවා.

තුෂාරී කළුබෝවිල
ඡායා -සමන් අබේසිරිවර්ධන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.