අවුරුදු එනවා!

සිංහල බෞද්ධයන්ගේ හා දෙමළ හින්දූන්ගේ අති විශිෂ්ට සංස්‌කෘතික උළෙලක්‌ සේ සැලකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදාවීමට ඇත්තේ තව සතියක්‌ වැනි කාලයකි. හරියටම කිවහොත් ලබන 13 හා 14 යන දිනවල ය. මේ සංස්‌කෘතික උළෙල සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලෙස හැඳින්වීම පිළිබඳව ද සමහරුන්ගේ විවේචනයක්‌ තිබේ. සිංහල හා හින්දු ලෙස අවුරුද්ද හැඳින්වුවද එය සිංහල බෞද්ධයන්ගේ උළෙලක්‌ ලෙස පිළිගනු ලැබේ. සිංහල කිතුනුවෝ එය මුල්තන්හි ලා නොසලකති. දෙමළ කිතුනුවන් ද එසේම ය. එසේ නම් මෙම උළෙල බෞද්ධ) හින්දු අලුත් අවුරුද්ද ලෙස හැඳින්විය යුතු නොවේදැයි ඒ පිරිස්‌ අසති.

ලෝකයේ වෙනත් රටවලත් දැන් දැන් ශ්‍රී ලංකාවේත් ජාති, ආගම්, කුල කිසිදු භේදයකින් තොරව සිහි කෙරෙන අලුත් අවුරුද්ද ජනවාරි පළමු වැනිදා යෑයි කියන පිරිසක්‌ ද සිටිති.

ඒ කතාවේද ඇත්තක්‌ තිබේ. ජනවාරි පළමුවැනිදාට අලුත් අවුරුදු සුබපැතුම් හුවමාරු කර ගන්නා බව ද අපි දනිමු. වසරේ සමාරම්භක දිනය ලෙස ජනවාරි පළමුවැනිදා පිළිබඳ පොදු සම්මුතියක්‌ ඇත. එහෙත් අපගේ අදහස වන්නේ එය ජාතික උළෙලක්‌ බවත් ජාතික සංස්‌කෘතික උළෙලක්‌ ලෙස තවම වර්ධනය වී නැති බවත් ය.

තතු මෙසේ හෙයින් සිංහල බෞද්ධ හා දෙමළ හින්දූන් විසින් පවත්වනු ලබන මෙම සංස්‌කෘතික උළෙල අතිශය වැදගත් හා උතුම් අභිලාෂයන් මූර්තිමත් කෙරෙන උළෙලක්‌ ලෙස අපි අභිමානයෙන් සලකමු. එසේම සිංහල කිතුනුවන්ට හා දමිළ කිතුනුවන්ට ද එයට සහභාගි වීමට කිසිදු බාධාවක්‌ ඇතැයි ද අපි නො සිතමු. එසේම මේ වන විටත් සිංහල අලුත් අවුරුද්දට එක්‌වන කිතුනු මෙන්ම මුස්‌ලිම් ජන කොටස්‌ ද සිටිති.

බෞද්ධ හා හින්දූන් මෙම අලුත් අවුරුද්ද සමරන්නේ ඔවුන්ගේ ජීවන අර්ථ ක්‍රමය වූ කෘෂිකර්මය කේන්ද්‍ර කර ගනිමින් සූර්යයා හා ස්‌වභාව ධර්මයට පිදෙන පූජාවක්‌, උපහාරයක්‌ ලෙසිනි. විද්‍යාව හා තාක්‍ෂණය අතින් දිළිඳුව සිටි මානව ශිෂ්ටාචාරයේ මුල් යුගවල මිනිසා සොබාදහමට මෙන්ම තමන්ට නොපෙනෙන බලවේගවලට ද බියමුසු ගෞරවයක්‌ දැක්‌වී ය. හිරු දෙවියන් ලෙස සූර්යයාට පූජා කළ ඔවුහු සඳ දෙවියන් ලෙස සඳට ද පූජා කළහ. හිරු-සඳුගේ බල මහිමය දැක්‌වෙන ජනශ්‍රැති, ජන කවි අදත් අප අතර තිබේ.

නවීන ශිෂ්ටාචාරයේ සියල්ල උකහා ගත් ඇතැම් නවීනයන් ඒ සංස්‌කෘතික හරයන්ට අවමන් කිරීමට තරම් නවීනව සිටින බව පෙනේ. එහෙත් ඒ නවීනයන්ගේ නිහීන චර්යාවන් අපගේ ජාතික සංස්‌කෘතික අධ්‍යාත්මය දූෂ්‍ය කර තිබෙන ප්‍රමාණය සුළුපටු නැත. අපි සම්ප්‍රදායට ගරු කරන නවීනයන් වඩාත් අගයමු. එහෙයින් කවර නමකින් හැඳින්වුවත් සිංහල බෞද්ධයන්ට හා දමිළ හින්දූන්ට සිය සංස්‌කෘතික අධ්‍යාත්මයේ සුවඳ නැහැයට, හදවතට දැනෙන උත්කර්ෂණීය මොහොත අලුත් අවුරුද්ද බව අපි කියන්නෙමු.

අලුත් අවුරුද්ද වෙළෙඳ ආධිපත්‍යයට යට වී ඇති බවට නැගෙන මැසිවිලි ද බොහෝය. ඒ විවේචනය අපට ද පිළිගත හැකි ය. එහෙත් වෙළෙඳ සංස්‌කෘතියේ බොල් හර සමඟ ගැටෙමින් වුවද අදටත් අපට හිස කෙළින් තබා ගත හැක්‌කේ මෙම අලුත් අවුරුද්ද නිසා නොවේද? අලුත් අවුරුද්දේ ඉතා වැදගත් අංගයක්‌ වන්නේ ජ්‍යෙdතිෂය මුල් කරගත් නැකැත් වේලාවන් ය. නැකැත් නැතැයි වාද කරන යථාර්ථවාදී වීරයෝ ද වෙති. අපි ඔවුන්ට අභියෝග නොකරමු. එහෙත් අවුරුදු නැකත මුළු ජනතාවම (අවුරුදු සිරිත් කරනු ලබන අයට) සහභාගි වන පොදු නැකතක්‌ වී තිබේ.

හැම වසරකම මධ්‍යම රාත්‍රිය ගෙවී අලුත් වසරක්‌ උදාවන විට නැඟෙන රතිඤ්Æ හඬ අභිබවා මෙම අලුත් අවුරුද්ද ලබන විට මෙන්ම, ලිප ගිනි මොළවන හා වැඩ අල්ලන විට රතිඤ්Æ හඬද වෙඩි හඬද ඇසෙයි. අපගේ අදහස අනුව නම් කවර හෝ දේශයක ජනගහනයෙන් වැඩි පිරිසක්‌ එලෙස එක්‌ව එකට හිඳ පවත්වන චාරිත්‍ර විධියක්‌ වේ නම් ඒ මේ අවුරුදු චාරිත්‍රය පමණි.

අලුත් අවුරුද්ද වෙළෙඳ සැණකෙළියක්‌ සේ හුවා දක්‌වන අයට වඩා පොදු ජනයාත් ගැමි ජනයාත් අවුරුද්දෙහි සිය සංස්‌කෘතික හරයන් සොයා අභිනව ජීවිතයක්‌ ආරම්භ කරන බව අපගේ අදහස ය. නෑදැයන් හමුවීම, වැඩිහිටියන්ට සැලකීම, තෑගි බෝග හුවමාරුව, ජන ක්‍රීඩා, ජන ගායනා වැනි දේවලට සම්බන්ධ වීම ඇතුළු බොහෝ දේවල් අලුත් අවුරුද්ද තුළ වේ.

නවීන සංස්‌කෘතියේ ආක්‍රමණ අපගේ නිවස ඇතුළත මෙන්ම ඉන් පිටත ද තිබේ. එහෙත් අප සිට ගත යුත්තේ සංස්‌කෘතික උරුමය මත බව අපට කියන ප්‍රබලම සන්නිවේදනය මෙම අවුරුද්ද තුළ තිබෙන බව අපි සාඩම්බරව කියන්නෙමු. නොනගතයට පන්සලට ගොස්‌ ලබන ආධ්‍යාත්මික සුවය ව්‍යාජ එකක්‌ද? සිය ගුරු දෙගුරුන් වැඩිහිටියන් වැඳ සමා කරවා ගැනීම වරදක්‌ ද?

මේ සියලු සාධනීය අංගවලින් සමන්විත අලුත් අවුරුද්ද සතුටින් හා ප්‍රීතියෙන් ගෙවීමට සියලු දෙනාටම හරස්‌ වන ආර්ථික හා වෙනත් බාධාවන් තිබෙන බව ද අපි ඉඳුරා දනිමු. එදා වේල සොයාගත නොහැකිව සිටින පිරිස්‌ මෙන්ම සිය කෘෂි නිෂ්පාදනයේ අස්‌වනු අලෙවි කර ගත නොහැකි ගොවියෝද සුසුම් හෙළමින් සිටිති. අලුත් අවුරුද්දට අතමිට සරු නොවීමේ අෙ¹aනාව ඇසෙන වාතාවරණයක්‌ තුළ වුවද ණය තුරුස්‌ වෙමින් හෝ ඒ අවුරුදු සිරිත් පවත්වන අයද සිටිති.

අලුත් අවුරුද්දට ගමන් බිමන් යැම ද දුෂ්කර ය. පොදු වාහන අඩු ය. පෞද්ගලික වාහන තිබුණත් ඒවා ස්‌ථිර නැත. ත්‍රීවීලරයකින් ගමනක්‌ යැමට වුවද ලේසි නැත. ඇතැම් වෙළෙන්දෝ අවුරුද්ද එනතෙක්‌ බලා සිටින්නේ ජනතාව හූරා කෑමට ය. ජනමාධ්‍යවලින් ප්‍රචාරය කෙරෙන උජාරම් භාණ්‌ඩ ගැනීමට පුළුවන් අය කොපමණ සිටිත්ද?

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී වෙළෙඳ සමාජය කොහේ කොහේ නොගොසින් සිටීද? ඔවුන්ගේ ආධිපත්‍යයෙන් යම් පමණකට හෝ ජනතාවට එල්ල වන පීඩනය අවම කිරීමට බැසිල් රාජපක්‍ෂ ඇමැතිතුමා දිවි නැඟුම අවුරුදු පොළ හඳුන්වා දී තිබේ. ජොන්ස්‌ටන් ඇමැතිතුමා සමුපකාර හා සතොස බලගන්වා තිබේ. ඒවා අගය කළ යුතු ය. මධ්‍යම පාන්තික ජනතාවට එබඳු ක්‍රියාවලින් ලැබෙන සහනය ද ඉමහත් ය. අවුරුදු අත්තිකාරම් ලබාගෙන හෝ ණය තුරස්‌ වී හෝ ඒ තැන්වලට යන අයට යාන්තම් හෝ අවුරුදු සතුට විඳගත හැකිය.

අප යෝජනා කරන්නේ අවුරුදු සහන මල්ලක්‌ රජයෙන් ලබාදිය යුතු බව නොව, මේ යථාර්ථයට මුහුණදීමට හැකි ආර්ථික සමාජ ජීවිතයක්‌ ජනතාවට ලබාදිය යුතු බව ය. කට ගොන්නක්‌ බීගෙන අවුරුදු ප්‍රීතිය සොයන අයගෙන් බැට කන පිරිස්‌ ද සිටිති. අවුරුද්ද අයිති කරගන්නා බේබද්දොa ද නගර, ගම වෙනසක්‌ නැතිව සරති. එසේම පොදු ජනතාවගේ මුදල් කාබාසිනියා කරමින් හැමදාම අවුරුදු කන උදවිය ද සිටිති.

තතු මෙසේ හෙයින් අලුත් අවුරුද්ද උදාවූ පමණින්ම ජනතාවගේ සියලු දුක්‌ දොම්නස්‌ පහව ගොස්‌ ඔවුහු සුත මුදිතව අවුරුදු සුව විඳිති යි සිතීම ද මුළාවකි. එසේ වුවද මේ උදාවන අලුත් අවුරුද්ද රටට හා ජනතාවට සුබ යහපත් අලුත් අවුරුද්දක්‌ම වේවා · යි අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.