කුඩුම්බිගල තහනම් කළ ඇත්තෝ දකිත්වා..!

එකල මා 'කුඩුම්බිගල' යන නම පමණකි අසා තිබුනේ. ඒ කුඩුම්බිගල කවර තැනකදැයි මා හට පළමුවෙන් පහදා දුන්නේ සැබෑලෙසින්ම භික්‍ෂු ප්‍රතිපදාවේ යෙදෙන එක්‌ ආරණ්‍යවාසි භික්‍ෂුවක්‌ විසිනි.

'පුතේ, කුඩුම්බිගල කියන්නේ මේ රටේ මම දැකපු සුන්දරම ආරණ්‍ය සේනාසනය'

ඒ වචන කිහිපය මේ මොහොතේද මා මනසෙහි තැන්පත්ව තිබේ.

කුඩුම්බිගල වන සෙනසුන පිළිබඳව මා උනන්දුව අවදිවූයේ එසේය. ඉනික්‌බිති සිංහරාජ වනාන්තරයේ පිහිටි අංග සම්පූර්ණ එක්‌තරා ආරණ්‍ය සේනාසනයක ලොකු ස්‌වාමීන්වහන්සේ කුඩුම්බිගල වැඩවිසීමෙන් ලද අත්දැකීම් පිළිබඳව සිය සහෝදර ස්‌වාමීන්වහන්සේලාට පවසනු මට වරක්‌ අහම්බයකින් ඇසිණි.

'අපි කුඩුම්බිගලදි බිව්වේ ගල්වලේ වතුර ටික. ඒකත් වතුරට කෝටුව දාලා කිඹුලා ඉන්නවද කියලා බලලයි භාජනේ වතුරට ඔබන්නේ. ඉන්න හිටින්න හරිහැටි කුටියක්‌ නැහැ. කොයි වෙලාවේ ඇඟට කඩාවැටෙයිද කියන්න බැරි කුටිවලයි අපි හිටියේ. ඒත් ඔබවහන්සෙලාට එහෙම ගැටලු මෙතැන නැහැ. සුවසේ පිළිවෙත් පුරාගන්නයි තිබෙන්නේ' කියා එදා උන්වහන්සේ වෙනත් කරුණක්‌ අරබයා පැවසුවද එමගින් කුඩුම්බිගල යනු මේ දිවයිනේ දුෂ්කරම ආරණ්‍යය සේනාසනය යෑයි මම එදා සිතුවෙමි.

කුඩුම්බිල නොගොසින් කුඩුම්බිල දැකීමට මට හැකිවිය. ඒ තාඹුගල ආනන්දසිරි ස්‌වාමීන්වහන්සේ හෙවත් මෑත යුගයට කුඩුම්බිගල ස්‌ථාපිත කළ යතිවරයානන් වහන්සේ විසින් ලියන ලද 'විසිපස්‌ වසරක වන දිවි තොරතුරු' නැමැති ග්‍රන්ථයෙනි. කාවන්තිස්‌ස රජ සමයේදී රජු සහ යෝධයන් විසින් මෙම ස්‌ථානය සතරදෙසින් වඩින මහා සංඝයා වෙනුවෙන් ඉදිකිරීම. මේ අරහන්ත භූමිය සියවස්‌ ගණනක්‌ වල්වැදී පැවත පසුව යළි රටට දායද වීම. එනම් මීගමුව පෙදෙසේ කතෝලිකයකු වූ ඉමානිස්‌ පසු කලෙක ජීවිතයේ අනිත්‍ය ස්‌වභාවය දැක බෞද්ධයකු බවට පත්ව 'මෛත්‍රී උපාසක' ලෙසින්, සියවස්‌ ගණනක්‌ නටඹුන් ලෙසින් පමණක්‌ පැවැති කුඩුම්බිගලට යළි ජීවය දෙන්නට ගත් උත්සහය. එහි ප්‍රතිඵලයක්‌ ලෙසින් 1952 සිට තාඹුගල ආනන්දසිරි ස්‌වාමීන්වහන්සේ විසින් මෙම ස්‌ථානය සංඝයා වෙනුවෙන් දායාද කිරීම.... අලියා, දිවියා සහ වලහා නිතර ගැවසෙන බිමේ බවුන් වැඩූ හැටි, ආදිය අපූරුවට සඳහන් ඒ පොත එදා මම එක හුස්‌මට කියවද්දී කුඩුම්බිගල යනු මොන තරම් සුන්දර සහ ඓතිහාසික ස්‌ථානයක්‌ද යන්න මට අපූරුවට වැටහුණි.

ත්‍රස්‌තවාදී කලබල හේතුවෙන් පසු කලෙක සංඝයාගෙන් අවම සෙනසුනක්‌ බවට මෙය පත්වීමත්, තවත් 'අපායගාමීන්' පිරිසකගේ බඩ වඩා ගැනීමේ ක්‍රියා හේතුවෙන් මෙම සෙනසුනට නිසි සත්කාරය නොලැබීමත් මතින් ඉකුත් වසර වනවිට 'කුඩුම්බිගල' ලෙසින් පැවතුනේ වසර දහස්‌ ගණනක්‌ පැරණි නටඹුන් සමග ජරාවාස වූ කුටිගෙවල් කිහිපයක්‌ පමණි.

නමුත් අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම ස්‌වාමීන්වහන්සේ අධිපතිත්වය උසුලන ශ්‍රී කළ්‍යාණි යෝගාශ්‍රම සංස්‌ථාවට මෙහි පාලන අයිතිය හිමිවීමත් සමග ඉකුත් වසරේදී මෙම ස්‌ථානයේ අධිපතිත්වය හිමිවූ පැල්වත්තේ බුද්ධවංශ ස්‌වාමීන්වහන්සේ ජරාවාස වූ ස්‌ථානය යළි ප්‍රකෘති තත්ත්වයට පත්කරන්නට ගන්නා වෙහෙස අසා අපිද එයට හැකි පමණින් දායකවුනෙමු.

නමුත් පසුගියදාක දුටු පුවතක්‌ අපව සසල කළේය. ඒ, මෙම සුන්දර කුඩුම්බිගල කොන්ක්‍රිට්‌ පුරවරයක්‌ බවට පත්කර පුරාවස්‌තු සංහාරයක්‌ සිදුවන බවය. සෘජුව හෝ වක්‍රව මෙම චෝදනාව එල්ලවන්නේ කුඩුම්බිගල වත්මන් නායක ස්‌වාමීන්වහන්සේ වන බුද්ධවංශ හිමියන්ටය. උන්වහන්සේට මේ චෝදනාව නගා තිබුණේ පුරවස්‌තුවට පෙම් බඳින මන්ත්‍රී උන්වහන්සේ නමකි. පාර්ලිමේන්තුවේදී තමන්ට ලැබෙන විනාඩි 5 ටද මෙය මාර්තෘකාවක්‌ කිරීමට උන්වහන්සේ කටයුතු කර තිබූ බැවින් තත්ත්වය සුළුපටු නොවීය.

කුඩුම්බිගල යථාර්ථය එය නම්, එය කිසිසේත් බලාසිටිය හැකි තත්ත්වයක්‌ නොවේ. නමුත් නාඋයන වැනි මෙරට උතුම් අරාණ්‍යවාසී භික්‍ෂු සම්ප්‍රදායේ අක්‌මුල් නොනැසී පවතින තැනක පහස ලැබූවෙක්‌ මෙවැනි විනාශකාරී ක්‍රියාවක යෙදෙත්ද? ඒ උභතෝකෝටිකය විසඳාගනු වස්‌ අපි මේ ලිපිය පළවූ දිනට පසුදිනම හෙවත් ඉකුත් සෙනසුරාදාම කුඩිම්බිගල බලා පිටත්ව ගියෙමු.

පානම පසුකර එහි යන මග අපට හුරුය. එහෙත් මේ හැඟීම නුහුරුය. අල්පේච්චතාවේ උපරිමය හේතුවෙන් හිස්‌ අහස සේ සැහැල්ලු මහනකමක්‌ දැරූ කුඩුම්බිගල වැඩහුන් උන්වහන්සේලා මෙවැනි අපරාධයක්‌ කරත්ද? ඒ සුන්දර වනය එළිපෙහෙළි වී ඒ මතින් තැනින් තැන කොන්ක්‍රිට්‌ ගොඩනැඟිලි ඉදිව ඇති අයුරු මනසේ මැවී පෙනෙයි.

'කුඩුම්බිගල මහා තපෝවනය' ලෙසින් සඳහන් පුවරුව අසලින් දකුණට හැරී මද දුරක්‌ ඉදිරියට යද්දී කුඩුම්බිගල ලකුණ හෙවත් ඒ යෝධයන් වැනි ගල්කඳුපෙළ ඈතින් දිස්‌වන්නට විය. එහි කොන්ක්‍රීට්‌ ඉදිකිරීමක්‌ ඈතට නොපෙනේ.

තවත් විනාඩි කිහිපයකින් අපි කුඩුම්බිගල පුණ්‍ය භූමියට සේන්දුවීමු. රථය නවතා තරමක දුරක්‌ පාගමිනින් යා යුත්තේය. රථගාල අවටද ඒ කියූ කොන්ක්‍රීට්‌ කැළෑ නැත්තේය. එසේනම් ඒ කියන ඒවා තිබිය යුත්තේ කුටි සෙනසුන් පිහිටි පෙදෙසේය. මෙතැන් සිට එතැනට මීටර හත් අටසීයක දුරක්‌ ගල්කුළු මතින් යා යුත්තේය.

අපි ගමන් ඇරඹීමු. අපට ඉදිරියෙන් තරුණ ස්‌වාමීන්වහන්සේ නමක්‌ ඇවිද යති. උන්වහන්සේගේ අතේ විශාල භූමිතෙල් ගැලුමකි. මේ භූමිතෙල් ගැලුම අපට කියන්නේ මේ ආරණ්‍ය සේනාසනයේ දුෂ්කරබවම නොවේදැයි මා සිත මට පැවසුවේය. මන්ත්‍රීඋන්නාන්සේ පවසන ඒ කොන්ක්‍රීට්‌ පුරයට තවම විදුලිය නැති බව අපට ඉන් ස්‌ථීර විය.

අපි ස්‌වාමීන්වහන්සේගෙන් භූමිතෙල් බැරලය ඉල්ලා මාරුවෙන් මාරුවට කරතබාගෙන ගියේ මීළඟ දසුන 'කොන්ක්‍රීට්‌ වේද?' යන දුක්‌මුසු සැකයකිනි.

කුටි සෙනසුන් පවතින සීමාව අරඹමින් සුදර්ශන ලෙන අප ඉදිරියේ දිස්‌වේ. මෑතදී හුණුපිළියම් කිරිම නිසා එය සුදට සුදේ බබලයි. සුන්දරයි....

එය පසුකර, මධ්‍යමණ්‌ඩලය හෙවත් ස්‌වාමීන්වහන්සේලා රැස්‌වන, පොහොයකරන, දානය වළඳන, දේශනා පවත්වන ශාලාව ඇති පෙදෙසට අපි එමින් සිටිමු. අප ගමන්කරනා පාරට මදක්‌ ඉහළට වන්නට අලුතින් බිත්ති බැඳුන කුඩා කුටියක්‌ සහ වැසිකිලියක්‌ වේ. මෙයද මේ පවසන කොන්ක්‍රීට්‌ පුරවරය? කෝ මේ පවසන පුරාවස්‌තු සංහාරය.

අපි ඉදිරියටම ගියෙමු. ඒ කඳු මුදුනේ ගල්තලාවේ පසෙකට වන්නට ලී දඬු වලින් තැනුණු තරමක්‌ විශාල විවෘත ගොඩනැඟිල්ලකි. මේ වනාහී මධ්‍ය මණ්‌ඩලයයි. බැලු බැලු අත පෙනෙනුයේ වසර 2000 කට අධික ඉතිහාසයක්‌ දිරාගොස්‌ ඉතිරිවූ ගල්කණුය. චෛත්‍ය වල අවශේෂ කොටස්‌ය. ඒ ගල්තලාවේ මැදට වන්නට ගල මත පොකුණකි. එහි කිඹුලන් දුසිම් භාගයකට වැඩිය සිටියි. මධ්‍ය මණ්‌ඩලයේ පසුපසට වන්නට භාගෙට ඉදිකර නවතාදැමුණු ගොඩනැගිල්ලකි.

නායක ස්‌වාමීන්වහන්සේ මධ්‍ය මණ්‌ඩලයේ වැඩසිටි සේක. අපි පැමිණි කාරණය අප උන්වහන්සේට සැලකර සිටියෙමු.

'ඉතින් මහත්තයලා දැක්‌කද මේ කොහේ හරි පුරවස්‌තු විනාශයක්‌. කොන්ක්‍රිට්‌ පුරවරයක්‌... '
උන්වහන්සේ ඇසූ විට අපි නිරුත්තර වීමු.

ඉහත චෝදනාව නගමින් මේ අරහන්ත භූමියට බලධාරීන් එවා, මින් මතු මෙහි කිසිදු අයුරක ඉදිකිරීම් කටයුත්තක්‌ නොකරන ලෙසට තහනමක්‌ පනවා ඇති බව අපි දැනගත්තේ එවිටය. ඒ නායක ස්‌වාමීන්වහන්සේගෙනි.

'ඔනෙ නම් මේ ආරණ්‍යයේ සෑම තැනම ඇවිදලා බලන්න අපි කරලා තියෙන පුරාවස්‌තු විනාශය මොකක්‌ද කියලා . මහත්තෙයලා දකින දේ ලියන්නකෝ '

ඒ අවසරයෙන් අපි එහි බැලුම්ගලට පහළින් ඇති පෙදෙසේ ඇවිද ගියෙමු.

දුටු දසුන හද පාරවන්නකි. පහළ පිහිටි කුටියේ බිත්තිය මැද මහා පදාසියක්‌ ගැලවී ගොසිනි. මේවායේ භික්‍ෂුවක්‌ වැඩ සිටින්නේ කෙසේද? නවීකරණයක්‌ අවශ්‍යමය. පුරාවස්‌තු සංහාරය ලෙසින් පුරාවිද්‍යා උන්වහන්සේ පවසන්නේ මෙවැනි කුටි ප්‍රතිසංස්‌කරණය කිරීමද? කොතැන හෝ වරදක්‌ සිදුව ඇති හෙයකි. අපි කුඩුම්බිගල සෙනසුනේ ඉහළින්ම පිහිටි කුටිය බලා ගස්‌ ගල් අතරින් 'නැගගත්තෙමු'

එහි දොරක්‌ නැත. බිත්ති හුළඟකට වුව පෙරළෙන පරිද්දෙන් අබලන්ව ඇත. මැටි සහ ගල් මිශ්‍රණය මැදිකර එතරම් පරණ නොවන සිහින් සිමෙන්ති ලේයරයක්‌ දෙපසින් වේ. එහෙත් අප එහි යන විටද එම කුටියෙහි භික්‍ෂුවක්‌ වැඩසිටියේය. ඒ කුටිය තුළ වූයේ නවසීවතකය දැක්‌වෙන රූපසටහනක්‌ පමණි. තුන් සිව්රත්, පාත්‍රයත් පමණක්‌ සිය සන්තකය කරගනිමින් වැඩිය යුතු මග වඩන උතුම් බුදුපුතුන් වහන්සේනමක්‌ මෙහි වැඩ වසන බවට ඇස්‌ පනාපිට සාක්‍ෂියකි. සිව්රක්‌ පමණක්‌ පසෙක වනා තිබූ මේ කුටිය.

ගල්කුටියේ මේ බිත්තිය බොහෝ දේ පවසයි. මෙහි සිමෙන්ති ලේයරයට මැදිව ඇති මැටි සහ ගල් මිශ්‍රණය 'පනස්‌ ගණන්වල' ඉදිකිරීම් තාක්‍ෂණය ගැන පවසයි. මේ වටා ඉතාම තුනියට තැවරී ඇති සිමෙන්ති ලේයරය පවසන්නේ වෙනම කථාවකි. ඒ මෙයට වසර කිහිපයකට එපිට මේ කුටි පිළිසකර කිරීම පිණිස ලද මුදලින් කර ඇති 'අපූරු' ප්‍රතිසංස්‌කරණයන් පිළිබඳ සාක්‍ෂියකි. නියෙහි පැටළුණු සැනින් එහි පදාසි පිටින් ගැලවී යයි.

මන්ත්‍රී උන්නාන්සේ පුරාවස්‌තු සංහාරයක්‌ ලෙසින් මොරදෙන්නේ එක්‌දහස්‌ නවසිය පනස්‌ගණන්වල හැදුණු මේ මැටි බිත්ති, ඒ සමග පසුගිය සමයේ හැදුණු වේ හුඹස්‌ සහ ප්‍රතිසංස්‌කරණ කටයුතු වෙනුවෙන් පැවැති දායක සභාව විසින් කළ මේ සිමෙන්ති ලේයර බොරුව ගලවා දමා, මේ කුටිය භික්‍ෂුවකට සප්පාය වන සේ බිත්ති බැඳීමටද? අර සා සරළ දිවියක්‌ ගෙවන භික්‍ෂුවක්‌ වෙනුවෙන් මේ ගල්ලෙන ආවරණය වන සේ බිත්තියක්‌ බැඳීම පුරාවස්‌තු සංහාරයක්‌ වන්නේ කෙසේදැයි අපි ඒ පුරාවිද්‍යා ඇමති උන්වහන්සේගෙන් අසමු. උන්වහන්සේ මැදිහත්ව තහනම් කර ඇත්තේ මෙවැනි අහිංසක බුද්ධපුත්‍රයකුගේ නිවීමේ ගමනට සප්පාය වන කුටියක්‌ ඉදිවීම නොවේද?

භාග්‍යවතුන් වහන්සේ පවසන පරිදි භාවනාවකින් නිසි ප්‍රතිඵල ගැනීමට නම් 'සප්පාය' කරුණු 4කි. ඒ භෝජන සප්පාය, පුද්ගල සප්පාය, ආවාස සප්පාය සහ සෘතු සප්පායයි.

නිවන් මග වඩන උන්වහන්සේලාට අව්වෙන්, වැස්‌සෙන්, පින්නෙන්, මැසි මදුරුවන්ගෙන්, සතා සිව්පාවන්ගෙන් ආරක්‍ෂාවී එමග වැඩීමට නම් 'ආවාස සප්පාය' අත්‍යවශ්‍යමය.

මෙහි කුටි සෑදීම තහනම් කරමින් 'ආවාස සප්පාය' වැලැක්‌වීමට මුල්වූයේ ධර්ම රාජ්‍යයක්‌ කරා යැමට යෑයි බෞද්ධයාගේ ඡන්දය ඉල්ලු ඒ පුරාවිද්‍යා උන්නාන්සේමද? බරපතලම පැනයකි එය.

උන්වහන්සේ මෙලෙස හැසිරෙන්නේ මන්ද? පසුගිය වසර කිහිපයක කාලයේ මේ සෙනසුනේ අභිවෘධිය වෙනුවෙන් සැදැහැවතුන් පූජා කළ මුදල් ගසාකමින් අර තුනී සිමෙන්ති ලෙයර ප්‍රතිසංස්‌කරණය සිදුකළ ඊනියා දායක සභා විසුරුවාහරිමින් වංචනිකයන් පිරිසකගේ හම්බකෙරුවාව නැතිකිරීමට බුද්ධප්‍රිsය නායක ස්‌වාමීන් ගත් පියවර පිළිබඳව උරණ වූ පිරිස්‌ පුරවිද්‍යා මන්ත්‍රී උන්වහන්සේව නොමගහැරියාවත්ද?

උන්වහන්සේ පවසා තිබුනේ පානම ගමේ ගම්වැසියන් විනාශයක්‌ පිළිබඳව උන්වහන්සේව දැනුවත් කළ බවකි. මේ අතර පානම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා (එ.ජා.ප) කුඩුම්බිගල සෙනසුනට අපූරු ලිපියක්‌ යොමුකරයි. එය ලිපියක සීමාව ඉක්‌මවා යන තර්ජනයක්‌ වැන්න. එහි සඳහන්වන්නේ මෙම ඉදිකිරීම් නාගරික සංවර්ධයට අනුකූල නොවන බැවින් අවශ්‍යනම් තමන්ට පැමිණ මේවා කඩාබිඳදැමීමට පවා හැකි බවකි. ඒ සුහුඹුල් දේශපාලකයා සිය තනතුරේ බල සීමාව නොදන්නා බව වෙනම කරුණකි. ප්‍රශ්නය පක්‍ෂ, විපක්‍ෂ දෙපිලම මාර සේනා දෙකක්‌ මෙන් පැමිණ කුඩුම්බිගල වනසන්නට කරන ප්‍රයත්නයයි. මේ සෙනසුනේ බොහෝ තැන් නිරීක්‍ෂණය කර අපි නැවත මධ්‍ය මණ්‌ඩලයට පැමිණියෙමු. ඒ පසුපසට වන්නට ඉදිවෙමින් පැවති ගොඩනැඟිල්ල තහනමින් එකතැන්ව ඇත. ඒ ඉදිවෙමින් පැවතියේ කුමක්‌ද? එහි ඉදිවූයේ දානශාලාවක්‌, ගිණිහල්ගෙයක්‌ සහ ගිලන් භික්‍ෂුවක්‌ වේ නම් නවාතැනකි.

මෙයට තරමක්‌ ඈතින්, මෙයට පෙර ලොකු ස්‌වාමීන්වහන්සේගේ කුටිය තිබූ තැන ඉදිවූ තවත් දෙමහල් ගොඩනැඟිල්ලක්‌ වැඩ අවසන්වීමට ආසන්නයේ තහනමට ලක්‌ව ඇත. ඒ ගොඩනැඟිල්ල කුමක්‌ සඳහාද? භික්‍ෂූන්වහන්සේට පොහොය කර්මය කරන්නට යට තට්‌ටුවත්, පුස්‌තකාලයක්‌ සහ භික්‍ෂූන්වහන්සේලාට රැස්‌ව සාකච්ජා කිරීම සඳහා එහි ඉහළ මාලයත් ඉදිවන්නට විය.

මෙම ගොඩනැඟිලි දෙක හැර මේ ආරණ්‍ය සේනාසනයටම සිමෙන්තියෙන් බැඳුනු අන් කිසිදු ගොඩනැඟිල්ලක්‌ නැත. පුරාවිද්‍යාව ගැන කියමින් අඬන්නට ආසන්න සිටි අයගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නේ මේ ගොඩනැඟිලි දෙකයි. ඔවුන් පවසන්නේ මේ ඉදිකිරීම් මේ භූමියේ පෞරාණික පෙනුමට බාධාවක්‌ බවයි. ඒ ගැන කථාකිරීම පසෙක තබා මෙම ගොඩනැගිලි ඉදිවීමට හේතුව පළමුවෙන් විමසා සිටිමු.

දැන් මේ සෙනසුනට ඇති 'කෝකටත් තෛලය' වන්නේ මධ්‍ය මණ්‌ඩලයයි. දහවලට රිලව් ඇවිදින් එය බිඳදමන්නට මෙන් දඟලයි. පලතුරු සුවඳක්‌ හෝ වහනය වුවහොත් රාත්‍රියට අලියා විත් එය කඩාදමන්නට හදයි. මෙය විවෘත ශාලාවක්‌ බැවින් ගල්තලාව පිසිමින් පොළොව මතින් දූවිලි අවුස්‌සමින් ඇදී එන සුළඟ එහි ඇතුළටම කඩාවදින්නේ දාන පාත්තර වලට වැලි විසිරුවමිනි. වැසි කාලයට සම්පූර්ණයෙන්ම මෙහි වහල පරාජිතය. භික්‍ෂූන්වහන්සේලා දන් වළඳන්නේත් මෙහිමය. දහම් දෙසන්නෙත් මෙහිමය. ආගන්තුක අයෙක්‌ පැමිණියහොත් ලැගුම්ගන්නේද මෙහිමය. භික්‍ෂූන් වහන්සේලා පොහොය කරන්නේද එහිමය. මේවා සියල්ල එකම තැනක කළ හැකිද?

විටෙක නායක ස්‌වාමීන්වහන්සේ දානය රැගෙන එන පිරිසට ධර්මය දෙසා අවසන් වන විට (උන්වහන්සේ කාලය බලා දේශනා නොකරන්නාහ) දොලහ හෙවත් ඉර අවරට ගොසින්ය. එවැන්නක්‌ සිදුවුවහොත් දානයට වැඩම කළ අනෙක්‌ ස්‌වාමීන්වහන්සේලා විකාල භෝජනයට හසුනොවී පැන් වළඳා නිරාහාරවම කුටි වලට යති. විටෙක දානය ගන්නට සැරසුනද සෙනසුන නැරඹීමට එන පිරිස මේ විවෘත ශාලාව වටා ගැවසෙමින් රැඳී සිටින බැවින් දානය ගැනීම අවහිරයකි. වෙනම දානශාලාවක්‌ තිබුණේ නම් එවැනි දෑ සිදුනොවේ. ගිලන් භික්‍ෂුවකට ඈත කුටියක සිට දනට වැඩීමට අපහසු බැවින් භික්‍ෂු ගිලන්හලක්‌ දානශාලාවේම තිබීම ඉතා වටී. මේ සියල්ලට මෙන්ම මෙතෙක්‌ කල් මෙහි නොතිබුණු ස්‌ථීර ගිණිහල්ගෙයක්‌ තිබීම අගනේය. සිව්රුවලින් ආවරණය කර තිබූ පැරණි කුස්‌සියට නිතර අලියා කඩාවදී. එවිට කැපකරුවන් ඒ පසුපස බිත්ති ලෙස ඇති සිව්රු ඉරාගෙන එලියට පැන පසුපස ඇති ගස දිගේ ශාලාවේ වහලට නැග බේරෙති. මේ අවදානම හැමදාම දරාගත නොහැකි බැවින් කුස්‌සියක්‌ තිබීම ඉතාම වටියි.

අනෙක්‌ ගොඩනැඟිල්ලේ විශේෂම වැදගත්කම වන්නේ පොහොය කිරීමය. පොහොය කරන තැනක උපසම්පදා නොවූ භික්‍ෂුවක්‌ හෝ සිටින්නට අවසර නැත. එය දෙවියන්ද රැස්‌ව බලාසිටින මොහොතක්‌ යෑයි කියයි. නමුත් මේ මධ්‍ය මණ්‌ඩලයේ මසකට දෙවරක්‌ පොහොය කරද්දී උපසම්පදා නොවූ භික්‍ෂූන් නම් කම් නැත, සෙනසුනට පැමිණෙන ගිහි අමුත්තෝද අසල සිටිති. මේවායින් මිදී පොහොය කිරීමට, තමන්ගේ සාකච්ජාවකට තැනක්‌ අවශ්‍යය. ඒ වෙනුවෙන් මේ ස්‌වාමීන්වහන්සේලා වෙනම කැලෑ කැපුවේ නැත. කුටියක්‌ තිබුණු ඉඩක්‌මය එයට වෙන්කරගත්තේ.

මේ ගොඩනැඟිලි දෙක තට්‌ටු දෙකට හැදුනේ මන්දිර වශයෙන් නොවේ. හාත්පස විහිදි කළුගල මතට හිරු රැස්‌ වැදී නගිනා රස්‌නයේ පීඩාව අවම කරගැනීමටය. ඉහළ මාලයකට එවැනි රස්‌නයක්‌ එතරම් බලපාන්නේ නැත.

පිළිවෙත් පුරන භික්‍ෂූන්ගේ මේ අහිංසක උවමනා එපාකම් ගැන මොහොතක්‌වත් නොහිතා කරන්නා වූ ක්‍රියාවන්ගෙන් අවසානයේ සිදුවන්නේ උන්වහන්සේලා වැඩිපුර දවසක්‌ හෝ පීඩාවක්‌ විඳීමය. කර්මය කර්මඵලය නොදන්නා පිරිස්‌ සංඝලාභයක්‌ වලක්‌වා මහා පව් කරගන්නේ මෙසේය.

එදා මේ සෙනසුන් ගොඩනැඟු රජවරු, මැතිවරු ඒ ලෙන් ලිපි, සෙල් ලිsපි වල අකුරින් සඳහන් කළේ 'පැමිණි නොපැමිණි සතරදෙසින් වඩින මහාසංඝරත්නය උදෙසාය' ලෙසිනි.

එසේනම් මේ දහම පවතිනතාක්‌ මේ අරහන්ත භූමි තම ප්‍රතිපදාව උදෙසා රිසිසේ යොදාගැනීමට සැබෑ බුදුපුතුන්ට අයිතියක්‌ ඇත. පුරාවිද්‍යාවක්‌ ලෙසින් ඔවුන් බදාගෙන සිටින මේ 'ඉල්ලම' ඔවුනට මතුවූයේ පිළිවෙත් පිරූ මහා සංඝරත්නය හේතුවෙනි. මේ රටේ සංස්‌කෘතියද, ඉතිහාසයට ගොඩනැගුනේ පිළිවෙත්පුරන සංඝ රත්නයේ අනුහසිනි. එදා මේ සෙනසුන් බිහිකළ රජවරුන් මේවා හැදුවේ අනාගතයේදී වීදුරු පෙට්‌ටිවල බහා සංරක්‍ෂණය කරන්නයෑයි කියා නොවේ. ශාසනය පවතිනතාක්‌ ගුණපුරන භික්‍ෂූන්වේද ඒ වෙනුවෙනි.

ශාසනික පූජාවක කැමැත්ත පුරාවිද්‍යාවක්‌ බිහිවීම නොවේ. පුරාවිද්‍යාව යනු අනිත්‍ය පිළිබඳ සාක්‍ෂි සපයන සුන්බුන් ගොඩකි. පිළිවෙත් පුරන බුද්ධපුත්‍රයානෝ මේ අනිත්‍යයද කමටහනක්‌ කරනිමින් එතෙරවෙති. පිළිවෙතට පයින් ගසන්නෝ පාර්ලිමේන්තුවට යති. ඒ බලයෙන් මත්වී පැමිණ කැලයේ කිලෝමීටර 14 ක්‌ ඇතුළත වැදී තමන්ගේ පාඩුවේ ගුණපුරන සැබෑ බුදුපුතුන්ට හිරිහැර කරති. අනේ මන්ත්‍රී හාමුදුරුවරුනේ, දැන්වත් මහණවෙන්න.

ඉන්ද්‍රජිත් සුබසිංහ
ඡායාරූප - වාසල සේනාරත්න
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.