බී. ටී. අයි. මදුරුවන්ට බයද?

2013 වසරේ ජනවාරි මාසයේදී පමණක්‌ ශ්‍රී ලංකාවේ හමුවූ ඩෙංගු රෝගීන් ගණන 4816 කි. 2012 වසර තුළදී ඩෙංගු රෝගීන් 41,983 දෙනකු හමුවී ඇත. අතීතයේදී මැලේරියා රෝගය වසංගතයක්‌ ලෙස පැතිර ගියාට වඩා ශීඝ්‍ර ලෙසින් ඩෙංගු රෝගය රටපුරා පැතිර යන්නට පටන්ගෙන තිබේ. ඩෙංගු රෝගයෙහි ඇති බියජනක බව නම් ඒ සඳහා නිශ්චිත ඖෂධයක්‌ තවම නොමැතිකමය. එනිසා ඩෙංගු රෝගය වැළඳුණු අයකු ජීවිතයත් මරණයත් අතර දොaලනය වේ. එපමණක්‌ ද නොව ඩෙංගු රෝගියකුගේ පවුලේ සාමාජිකයන් ද එම කාලසීමාව ගත කරන්නේ දෙලොවක්‌ අතරය. ඉතිං මේ තරම් වූ මාරාන්තික රෝගයක්‌ පාලනය කරන්නට රජයත් මහජනතාවත් නොගන්නා උත්සාහයක්‌ නැත. මදුරුවන් බෝවන තැන් විනාශ කරති. මදුරුවන් බෝවිය හැකි පරිසරයක ජීවත්වන ජනතාවට දැඩි අවවාද කරති. එවැනි පරිසර පවිත්‍ර නොකළහොත් දඩ ගසති. නමුත් තවමත් ඩෙංගු මදුරුවා සම්පූර්ණයෙන් මර්දනය කිරීමට නොහැකි වී ඇත.

බී. ටී. අයි. බැක්‌ටීරියාව ද මදුරු මර්දනය සඳහා යොදා ගැනීමට රජයේ අවධානය යොමු වුව ද ඒ සම්බන්ධව වගකිව යුත්තන් නිද්‍රා සහගත පිළිවෙතක්‌ අනුගමනය කරන බව පෙනේ. ඒ සම්බන්ධව එම නිලධාරින් පවසන්නේ බී. ටී. අයි. බැක්‌ටීරියාව භාවිතය මිල අධික සහ මදුරු මර්දනය සඳහා යෙදීමේදී ප්‍රායෝගික ගැටලු මතුවන බවය.

බී. ටී. අයි. බැක්‌ටීරියාව පිළිබඳ සහ මහජන සෞඛ්‍ය පරීක්‍ෂාව පිළිබඳ ඩිප්ලෝමාධාරියකු වන ඉෂාන්ත ද සිල්වා මහතා පවසන්නේ වෙනත් කථාවකි.

බී. ටී. අයි. බැක්‌ටීරියාව තමයි මදුරු මර්දනයට දැනට ලෝකයේ පිළිගත් සාර්ථකම ප්‍රතිකාරය. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරින් විසින් ඒ අනුමැතිය දෙන්නේ නැහැ. ඊට හේතුව තමයි ඔවුන් පසුපස තියෙන අදිසි හස්‌තයන්. සෞඛ්‍ය ඇමති මෛත්‍රිපාල සිරිසේන මහතා පවා පිළිගෙන තිබෙනවා මදුරු මර්දනයට ඇති හොඳම විසඳුම බී. ටී. අයි. බැක්‌ටීරියාව කියා. ඒ සඳහා හොඳම නිදසුන තමයි දෙහිවල ගල්කිස්‌ස ප්‍රදේශයේ පැවැති ඩෙංගු මදුරු මර්දනය කිරීමේ වැඩපිළිවෙළ. එම ප්‍රදේශවෙල පැවැති මදුරු වසංගතය නිසා ඩෙංගු රෝගීන් විශාල පිරිසක්‌ හමුවුණා. එහිදී බී. ටී. අයි. බැක්‌ටීරියාව භාවිත කළා. ඉන් සාර්ථක ප්‍රතිපල ලැබුණා. ඒ බවට සහතික පවා නිකුත් කර තිබෙනවා.

නමුත් බී. ටී. අයි. බැක්‌ටීරියාව භාවිත කිරීමේදී මතුවන ප්‍රායෝගික ගැටලුවලට ඇති විසඳුම් මොනවාද?

ප්‍රායෝගික ගැටලු කියා පවසන්නේ මදුරුවන් බෝවිය හැකි ස්‌ථානවලට යෙදීම සම්බන්ධව විය හැකියි. බී. ටී. අයි. බැක්‌ටීරියාව දියර සහ ඝන කැට ලෙස භාවිත කරන්න පුළුවන්. ජලය ඇති තැන්වලට බී. ටී. අයි. දියරය සතියකට වරක්‌ ඉසිය යුතුයි. ඝන කැට ජලය රැඳිය හැකි තැන්වල වතුර නැතත් දමා තැබිය හැකියි. ඒ සඳහා ගැඹුර ප්‍රශ්නයක්‌ නැහැ. ස්‌ථානයේ පරිමාව විතරයි අවශ්‍ය වන්නේ. ඒ අනුව අවශ්‍ය බී. ටී. අයි. බැක්‌ටීරියා ප්‍රමාණය යෙදිය හැකියි. එය දින 30 ක්‌ සක්‍රියව පවතිනවා.

බී. ටී. අයි. බැක්‌aටීරියාවේ විශේෂය වන්නේ එය මදුරු කීටයන්ට එරෙහිව ක්‍රියාකරනවා. ඒ වගේම තමයි ලෝකයේ දැනට ජෛව විද්‍යාත්මක කෘමිනාශකයක්‌ ලෙස ලියාපදිංචිය ලැබී ඇත්තේ බී. ටී. අයි. බැක්‌ටීරියාවට පමණයි.

මදුරු මර්දනය සඳහා භාවිත කරන මැලතියොන් පර්මිත්‍රින් වැනි රසායන ද්‍රව්‍ය විෂ සහිතයි. මෙම රසායන ද්‍රව්‍ය නිසා සමනල්ලු, පරෙවියන් ආදි සතුන් ද මිය යනවා. එනිසා මදුරු කීටයන් විනාශ කිරීමේදී ජෛව විද්‍යාත්මකව සිදුකළ යුතුයි.

මදුරු මර්දනයේදී කීටයන් විනාශ කිරීම අත්‍යවශ්‍යයි.

කීටයන් විනාශ නොකර මදුරුවන් බෝවීම පාලනය කරන්න බැහැ.

ඩෙංගු, බරවා, මැලේරියා, චිකන් ගුන්යා යන රෝගවලට අමතරව මදුරුවන්ගෙන් බෝවන රෝග 16 ක්‌ පමණ තිබෙනවා. එසේම අප රටේ මදුරු වර්ග 150 ක්‌ පමණ සිටිනවා. ඒ නිසා අපි මදුරුවන් මර්දනය කිරීමේදී මීට වඩා බරපතළ ලෙස සිතිය යුතුයි.

වැසිකිළි සහ නාන කාමරවල ඇති ජලයේත් මදුරුවන් බෝවිය හැකියි. මෙය කවුරුත් අවධානය යොමු කරන්නේ නැහැ. එනිසා මදුරු මර්දනයේදී මේ ගැනත් අවධානය යොමු කළ යුතුයි. ඉෂාන්ත ද සිල්වා මහතා බී. ටී. අයි. බැක්‌ටීරියාව භාවිතය ගැන පැවසුවේ එලෙසිනි.

තවමත් දිනපතාම දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන් හමුවේ. ඒ අතර අවාසනාවන්ත මරණ ගැනත් වාර්තා වේ. එබැවින් සෞඛ්‍ය අමාත්‍යාංශයත් නිසි බලධාරිනුත් මදුරු මර්දනය සඳහා වඩා සාර්ථකම ප්‍රතිකාරය යොදාගෙන ඩෙංගු රෝගය පමණක්‌ නොව සෙසු මදුරු රෝගද පාලනයට අවධානය යොමු කළ යුතුය.

උපාලි ද සේරම්
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.