සිරුරු ගණන් කිරීමට ශ්‍රී ලංකාවට පැමිණි ජර්මානු පිල්ලිය

* අවි ආයුධ අලෙවියට සම්බන්ධ එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ඡන්දය දීමෙන් ශ්‍රී ලංකාව වැලකේ

* උතුර සංවර්ධනය කළේ කොටි යෑයි ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශ්‍රීධරන් කියයි

* ඊළාම් රූපවාහිනියේ නිවේදිකා කර්නි ඇතුළු කොටි 19 ක්‌ ඩුබායි සිට පිටුවහල් කිරීමට තීරණය වේ

* සංස්‌කෘතික කටයුතුවලට සම්බන්ධ කොළඹ ජර්මානු ගෝතේ ආයතනය සහ බ්‍රිටිෂ් කවුන්සිලය මෙරට ජාතික ආරක්‍ෂාවට මැදිහත් වේ

* ජනාධිපතිට එරෙහිව පැවරූ නඩුව ඇමරිකානු අභියාචනාධිකරණය ප්‍රතික්‍ෂේප කරයි

* ලබන වසරේදී යුද අපරාධ සම්බන්ධ ජාත්‍යන්තර නීතිවේදීන් තිදෙනකු ගෙන්වා සමුළුවක්‌ පැවැත්වීමට කලම්බු ස්‌කොප් ක්‍රියා කරනවා - ප්‍රාන්සස්‌ හැරිසන්


"ඕනෑම වාර්ගික ජන සමූහයකට රුසියාවේ වාසය කිරීමට අවශ්‍ය නම් ඔවුන් රුසියානු භාෂාව කතා කළ යුතුයි. රුසියානු නීතිරීතිවලට ගරු කළ යුතුයි. ඔවුන්ට ෂාරියා නීති අවශ්‍ය නම් එම නීති බලපවත්වන ප්‍රදේශයට යා යුතුයි. අපි සුළු වාර්ගික ජනතාවට විශේෂ වරප්‍රසාද නොදෙන්නෙමු. එසේම ඔවුන්ගේ අරමුණු උදෙසා අපේ නීතිරීති වෙනස්‌ නොකරන්නෙමු." - රුසියානු ජනාධිපති වැලඩ්මීර් පුටින් පාර්ලිමේන්තුව අමතමින්

We will not grant them special privileges
or try to change our laws to fit their desires
- Russian president Putin

ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාව ජය ලබා සති දෙකක්‌ ගතවීමටවත් පෙර කොළඹ ජර්මානු හා බ්‍රිතාන්‍ය තානාපති කාර්යාල තවත් මෙහෙයුමක්‌ දියත් කර තිබිණි. ඒ සර්බියාවට අයත් කොසවෝ ප්‍රාන්තය රටක්‌ බවට පත් කිරීමට සහාය වූ ජර්මන් වාර්තාකාරියක්‌ වූ කැරොලින් එම්කේ මෙරටට ගෙන්වා ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කිරීමයි.

පසුගිය දිනෙක ඇය කොළඹ පාක්‌ වීදියේ පිහිටි පාක්‌ස්‌ට්‍රීට්‌ මිව්ස්‌ නමැති අවහන්හලේදී (Park street mews) යුද අපරාධ චෝදනා සහ වගකීම යන මැයෙන් ඒකපාර්ශ්වික දේශනයක්‌ කිරීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය. ඇගේ මෙම දේශනය ප්‍රකාශයට පත් කර තිබුණේ ඇය සමග දිවා භෝජනයක්‌ ගැනීමට පැමිණෙන ලෙසත් ඒ සඳහා ප්‍රවේශ පත්‍රයක මිල රු. 4250 ක්‌ බවත්ය. කැරොලිනා එක්‌මේ ටයිම් සඟරාවේ මාධ්‍යවේදිනියක්‌ බවට ද ඉන් ප්‍රකාශයට පත්කර තිබිණි. ගත් කතුවරියක ලෙස හැඳින් වුවත් යුද තොරතුරු වාර්තාකාරියක්‌ වූ කැරොලින් එම්කේට මෙරටට ඇරයුම් කරනු ලැබුවේ ජර්මානු තානාපති කාර්යාලයට සම්බන්ධ ගෝතේ ආයතනයයි. සංස්‌කෘතික කටයුතුවලට සම්බන්ධ මේ ආයතනය ශ්‍රී ලංකාවට එරෙහිව බටහිර ප්‍රජාව විසින් එල්ල කළ යුද අපරාධ චෝදනා ගැන කරුණු දැන්වීමට කැරොලින් එම්කේ කැඳවූයේ කුමකට ද?

මේ අවස්‌ථාවට හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය පැමිණීමත් සමගම කොළඹ ජර්මානු බලධාරීහු විශ්මයට පත්විණි.

සර්බියාව විසින් කොසවෝ ඇල්බේනියානුවන්ව සංහාරය කළ බවට ලොව පුරා සාවද්‍ය ප්‍රචාර දියත් කළ ඇය මුලින්ම තම දේශනය පවත්වමින් ශ්‍රී ලංකාවට එල්ලවී ඇති යුද අපරාධ චෝදනා ගැන විමර්ශනය කිරීමට ජාත්‍යන්තර යාන්ත්‍රණයක්‌ අවශ්‍ය බව කියා සිටියාය. ඇගේ මේ ප්‍රකාශයට මහාචාර්ය රජිව් විෙ-සිංහ හා හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය දැඩි ලෙස විරෝධය පෑහ. "ශ්‍රී ලංකාව ස්‌වෛරී රාජ්‍යයක්‌. එල්ලවී ඇති චෝදනා ගැන පරීක්‍ෂා කිරීමට විදේශ රටවලින් පිරිස්‌ ආනයනය කළ යුතු නැහැ. අපට ඒ ගැන පරීක්‍ෂා කළ හැකියි යෑයි බ්‍රිගේඩියර්වරයා අවධාරණයෙන් කියා සිටියේය.

ඊට ප්‍රතිචාරය දැක්‌වූ මේ ජර්මානු වාර්තාකාරිය අතීතය අමතක කළ නොහැකි බවත් අතීතයේ සිදුවූ වැරදි මකා දැමිය යුතු බවත් පළ කළාය. අනතුරුව ඇයට අවශ්‍ය වූයේ යුද්ධයෙන් සිවිල් වැසියන් කොපමණ සංඛ්‍යාවක්‌ මියගියා ද යන්න දැන ගැනීමටයි.

එහෙත් හමුදා බ්‍රිගේඩියර්වරයා ඇයට ප්‍රතිචාරය දක්‌වමින් උතුරේ සංගණනයක්‌ පැවැත්වූයේ ද්‍රවිඩ ගුරුවරුන් බවත් එම සංගණනය අනුව මියගිය සංඛ්‍යාව 7000 ත් 7600 ත් අතර යෑයි පෙන්නුම් කළේය. "එක්‌සත් ජාතීන්ගේ නිලධාරියෙක්‌ මුලින්ම සිවිල් වැසියන් 4000 ක්‌ මියගිය බව පවසා පසුව එය 40000 ක්‌ කළා. ඉන් පසු හිටපු බී.බී.සී. වාර්තාකාරිය වූ ප්‍රාන්සස්‌ හැරිසන් එම සංඛ්‍යාව 147000 ක්‌ යෑයි පවසා පසුව එය ලක්‍ෂයකට අඩු කළා. මෙපමණ විශාල සංඛ්‍යාවක්‌ මියගියා නම් ඒ අයගේ ඥතීහු නැද්ද? ඔවුන් ඒ ගැන පැමිණිලි නොකරන්නේ මන්ද යෑයි බ්‍රිගේඩියර්වරයා ප්‍රශ්න කළෙන් කැරොලින් එම්කේට කටඋත්තර නැති විය.

බ්‍රිතාන්‍යයේ යේල් විශ්වවිද්‍යාලයේදී යුද අපරාධවලට අදාළ තෙස්‌තමේන්තුව නමින් දේශනයක්‌ පැවැත්වූ කැරොලින් එම්කේට මෙරටට ඒමට අවසර දුන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයයි. එහෙත් ඒ බව යුද හමුදා බලධාරීන්ට වාර්තා වූයේ නැත. ඇයව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට යොදාගත් උපක්‍රමය නම් සංස්‌කෘතික, චිත්‍ර හා කලා ශිල්ප ගැන ප්‍රදර්ශන පවත්වන කොළඹ ගෝතේ ආයතනය මගින් ඇරයුම් කිරීමයි. පසුබිමේ සිටියේ බ්‍රිටිස්‌ කවුන්සිලයයි.

හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර්වරයා සමග ඉතා උණුසුම් වාදයකට එළඹි ඇය අවසානයේදී යුද අපරාධ චෝදනා ගැන ජාත්‍යන්තර විමර්ශනයක්‌ කළ යුතු යෑයි කළ ප්‍රකාශයෙන් ජාත්‍යන්තර යන වචනය ඉවත් කරගත්තාය. අවසානයේදී ඇය සහජීවනය විමසුවේය.

ජර්මානු තානාපති කාර්යාල ආරංචි මාර්ගවලට අනුව කැරොලින් එම්කේ හමුදා බ්‍රිගේඩියර්වරයා හමුවේ පසුබසිනු ඇතැයි ජර්මානු තානාපතිවරයා කිසිසේත් බලාපොරොත්තු වූයේ නැත. ඒ නිසාම ඇගේ දේශනයට ජාත්‍යන්තර මාධ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රචාරයක්‌ නොලැබිණි.

මේ ජර්මානු මාධ්‍යවේදිනිය මෙරටට පැමිණියේ සිංහල රජය ද්‍රවිඩයන් සමූල ඝාතනය කරන බවට ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ පැවසීමටය. ලෙබනනය, ඇෆ්ගනිස්‌තානය, ඉරාකය, ඊශ්‍රායලය සහ කොලම්බියාව වැනි රටවල කරක්‌ ගැසූ ඇයව කොළඹ ජර්මානු බලධාරීන් විසින් ගෙන්වූයේ සැලසුම් කළ පරිදි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර යුද අපරාධ විමර්ශනයක්‌ අවශ්‍ය බව කොළඹ සිට ඉල්ලීමටය. එහෙත් නොසිතූ ලෙස ඔවුන්ගේ උපක්‍රමය බිඳවැටින. මෙහිදී නැගෙන බරපතළ ප්‍රශ්නය නම් සංස්‌කෘතික කටයුතුවලට සම්බන්ධ ගොතේ ඉන්සිටිටියුට්‌ (Goethe Institute) ආයතනයට මෙරටට ජාතික ආරක්‍ෂාවට මැදිහත් විය හැකිද යන්නයි. මෙය මුළුමනින්ම මෙරට නීතිරීති උල්ලංඝනය කිරීමක්‌ නොවන්නේද?

මේ අතර ත්‍රිකුණාමලයේ සිට ලන්ඩනයට පැනගිය වෛද්‍ය මනෝහර් කාසිපිල්ලේ ඇතුළු කොටි ක්‍රියාකාරීහු තිදෙනකු ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට රාජ්‍ය නායකයකුට හිමි වරප්‍රසාද හිමිකම නැතැයි දක්‌වමින් පවරා තිබූ නඩුවේ තීන්දුව ඇමරිකානු අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

එම කොටි ක්‍රියාකාරීන් වෙනුවෙන් පෙනී සිටියේ ඇමරිකාවේ හිටපු නියෝජ්‍ය නීතිපතිවරයකු වන බෘස්‌ පෙයින්ය. ඔහු කැනඩාවටත් තමිල්නාඩුවටත් පැමිණ ශ්‍රී ලංකා ජනාධිපතිට හා හමුදාවට එරෙහි සාක්‌කි ඇත්නම් තමා වෙත යොමු කරන්නැයි ඉල්ලා සිටියේය. එහෙත් එම ඉල්ලීම සාර්ථක වූයේ නැත.

මේ පසුබිම මැද බෘස්‌ පෙයින් විවිධ තර්ක ඉදිරිපත් කරමින් වධහිංසාවලට ලක්‌වූවන් රැකීමේ පණත යටතේ තම සේවාදායකයන් වූ මනෝහරන් ඇතුළු තිදෙනා ශ්‍රී ලංකා ජනාධිපතිගෙන් වන්දි ඉල්ලන බව පළ කළේය. එහෙත් මෙරික්‌ ගැලැක්‌සි, ජැනිස්‌ බ්‍රවුන් සහ බ්‍රෙට්‌ කාවනාහ් යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල බෘස්‌ පෙයින්ගේ ඉල්ලීම ඉවත දමමින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට වරප්‍රසාද හිමිකම ඇති බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කළ ප්‍රකාශය පිළිගන්නා බව සඳහන් කළේය.

මේ අතර යාපනය මාධ්‍ය සමාජය නමින් අටවාගත් සංවිධානයක කාර්යාලයක්‌ වෙත පැමිණි ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශ්‍රීධරන් ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුවට එරෙහිව බෙරිහන් දුන්නේය. "සිංහල ජාතිය අපිව විනාශ කරනවා. ජාත්‍යන්තර ප්‍රජාව විසින් අපට භාර කරනු ලැබුවේ අපිට වෙඩි තැබූ බෝම්බ ප්‍රහාර එල්ල කළ පිරිසටය. මේ නිසා ජාත්‍යන්තර ප්‍රජාව වහාම මැදිහත් විය යුතු"යෑයි ශ්‍රීධරන් කියා සිටියේය.

මේ ශ්‍රීධරන් යනු යාපනයේ කොටි මිනීමරුවා වූ තීපන්ගේ සමීපතම ඥතියායි.

එසේම යාපනය දක්‌වා දිවෙන A-9 මාර්ගයේ ඇති ගොඩනැඟිලි ශ්‍රී ලංකා රජය විසින් ඉදි නොකළ බවත් කොටි සංවිධානය විසින් ඉදිකළ වීසා බවටත් ශ්‍රීධරන් විසින් සාවද්‍ය ප්‍රකාශයක්‌ ද කර ඇත.

මෙම පසුබිම මැද තමිල්නාඩුවේ සිට ජිනීවා මානව හිමිකම් සමුළුවට පැමිණි නාම් තමිලර් නායක සෙබස්‌තියන් සිමන් ජර්මනිය ඩෙන්මාර්කය, ප්‍රංශය යන රටවලට ද පැමිණ කොටි හිතවාදීන් අමතා ශ්‍රී ලංකාවට එරෙහිව වහසි බස්‌ දෙඩීය. "වන්නි මෙහෙයුම දියත් වී ප්‍රභාකරන් වැනසෙන තුරු ජයලලිතාත් කරුණානිධිත් බලා සිටියා. මට කිව්වා නම් යුද සේනාවත් රැගෙන වන්නියට ගොස්‌ ශ්‍රී ලංකා හමුදාව පරදවා ඊළාම් රාජ්‍යය පිහිටුවනවා"යෑයි සිමන් පවසද්දී ඊළාම්වාදීහු අත්පොළසන් දුන්හ.

සිමන්ගේ මෝඩ කතාවට සවන් දුන් විදෙස්‌ගත කොටි හිතවාදීහු ඔහුට ප්‍රභාකරන්ගේ රුව සහිත සම්මානයක්‌ ද පිළිගැන්වූහ. මේ අතර ජිනීවාහිදී ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාව ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සඳහා වරදකරු කරමින් සකස්‌ නොවීම ගැන කොටින්ගේ දේදුන්න පුවත්පත සැකසූ රෝහිත භාෂණ සහ 1971 හිටපු කැරලිකරුවකු වූ වඩුමේස්‌ත්‍රිගේ රංජිත් හෙවත් සුනන්ද දේශප්‍රිය නමැත්තන් දැඩි ලෙස කම්පාවට පත්වී ඇත. මින් රෝහිත භාෂණ නමැත්තා මෙරටින් ජර්මනියට පැනගොස්‌ ෙ-.ඩී.එස්‌. නමින් ව්‍යාජ සංවිධානයක්‌ අටවාගෙන තමා මාධ්‍යවේදියකු ලෙස ජාත්‍යන්තර ප්‍රජාව වෙත පෙන්නුම් කර සිටී. එහෙත් මෙරට කිසිම පුවත්පතක ඔහු සේවය කර නැත.

මේ අතර පසුගිය අඟහරුවාදා අවි ආයුධ අලෙවියට සම්බන්ධ එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව, ඉන්දියාව, රුසියාව ඇතුළු රටවල් 23 ක්‌ අත්සන් කිරීමෙන් වැලකී සිටියේය. මෙම ප්‍රඥප්තිය යටතේ කාලතුවක්‌කු, මල්ටි බැරල්, රොකට්‌ යන්ත්‍ර, මිසයිල, ප්‍රහාරක හෙලිකොප්ටර් හා යානා, ප්‍රහාරක අවි සහ යුද නැව් මිලයට ගැනීමේදී නීතිරීති පැනවේ.

ස්‌විට්‌සර්ලන්තය ඇතුළු මානව හිමිකම් සංවිධාන විසින් මෙම ගිවිසුම් අත්සන් කරන ලෙස රටවල් රැසකට දැඩි බලපෑම් එල්ල කර තිබිණි. එම තත්ත්වය මැද රටවල් 154 ක්‌ ඊට එකඟ විය. මෙකී අවි ආයුධ අලෙවියට අදාළ ප්‍රඥප්තිය 2009 ට පෙර සම්මත වූවා නම් කොටි සංවිධානය පරාජය කිරීම උදෙසා ශ්‍රී ලංකාවට අවි මිලයට ගැනීම අතිශයින්ම දුෂ්කර වේ.

මෙම ප්‍රඥප්තිය යටතේ මානව හිමිකම් උල්ලංඝණය කළ බවට හා යුද අපරාධ චෝදනා එල්ල වූ රටවලට අවි ආයුධ අලෙවි කිරීම තහනම් වේ.

මෙවන් වාතාවරණයක්‌ මැද රජයේ බලධාරීන්ට තවමත් මිතුරන් කවුද? සතුරන් කවුද යෑයි හඳුනා ගැනීමට නොහැකිවී තිබේ. එය සනාථ වන්නේ නිව්යෝර්ක්‌හි කොලම්බියා විශ්වවිද්‍යාලය මගින් ශ්‍රී ලංකාවේ තත්ත්වය විමර්ශනය කිරීමට එවූ එහි අධ්‍යක්‍ෂ ඩේවිඩ් පිලිප්ස්‌ නමැත්තා කළ ප්‍රකාශයකිනි.

මෙම කොලම්බියා විශ්වවිද්‍යාලය නෝර්වේ ව්‍යාජ සටන් විරාම ගිවිසුම් අත්සන් කිරීමට සහාය වූ හිටපු ඇමැතිවරයකු සමග සබඳකම් පවත්වයි. එම හිටපු ඇමැතිවරයා වත්මන් රජයට ද සම්බන්ධ වී කොළඹ දිස්‌ත්‍රික්‌කයේ ආසනයකට තරග කළ නමුත් ජනතාව ඔහුව පරාජය කළේය.

ඔහු තම බලය යොදමින් ඩේවිඩ් පිලිප්ස්‌ ඇතුළු මානව හිමිකම් ක්‍රියාකාරීහු කණ්‌ඩායමක්‌ මෙරටට ගෙන්වූහ. ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භවීමට සතියකට පෙර ඩේවිඩ් පිලිප්ස්‌ නමැත්තා නිවේදනයක්‌ ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලවී ඇති යුද අපරාධ චෝදනා ගැන විමර්ශනය කිරීමට ජාත්‍යන්තර යාන්ත්‍රණයක්‌ අවශ්‍ය බව කියා සිටියේය.

මේ අතර වන්නියේ සිට ක්‍රියාත්මකව තිබූ කොටි රූපවාහිනියේ නිවේදිකාවක්‌ වූ කර්නි ඇතුළු කොටි 19 ක්‌ ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කිරීමට තීරණය විය.

මොවුන් බෝට්‌ටුවකින් ඔස්‌ටේ්‍රලියාවට යන අවස්‌ථාවේ මුහුද සැරවීම නිසා ඩුබායි වෙත ගොඩබැස ඇත. මෙකී කොටි කණ්‌ඩායම ඩුබායි සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම වළක්‌වන ලෙස තමිල්නාඩුවේ කොටි හිතවාදියකු වන වයිකෝ විසින් ඉන්දීය අගමැති මන්මෝහන් සිං ගෙන් ඉල්ලා තිබේ.

මේ සතියේදී කිලිනොච්චියේ උදයන් පුවත්පත් කාර්යාලයට පහරදීමේ සිද්ධියක්‌ අනාවරණය විය. ඒ සම්බන්ධව පොලිස්‌ පරීක්‍ෂණ අවසන්වීමටත් පෙර කොටි හිතවාදීන් හා ද්‍රවිඩ මාධ්‍ය ලොව පුරා ප්‍රචාරයක්‌ ගෙන ගියේ එය හමුදා බුද්ධි සේවාවේ ක්‍රියාදාමයක්‌ බවයි. ඒ සමගම ඩොලර් අරමුදල් ලබන රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු තොග පිටින් නිවේදන ජාත්‍යන්තර මාධ්‍යවලට යෑවූහ.

මේ පසුබිම බටතේ කොළඹ සිට ප්‍රකාශයට පත් කරන එක්‌ ද්‍රවිඩ පුවත්පතක්‌ ශ්‍රී ලංකාවේ ඊළාම් රාජ්‍යය ඇති කිරීම සඳහා පුළුල් ප්‍රචාරයක්‌ ගෙන යන බව හෙළි විය. එහි කතුවරයා ජිනීවා මානව හිමිකම් සමුළු ශාලාවේ අසුන්ගෙන සිටියේ කොටි හිතවාදීන් සමගය. මෙය මියගිය කොටින්ට යළි ජීවය දීමේ උත්සාහයකි.

මේ අතර කොටි ත්‍රස්‌තවාදියකු වූ පුලිතේවන්ගේ අතිජාත මිතුරිය වූ හිටපු බී.බී.සී. වාර්තාකාරි ප්‍රැන්සස්‌ හැරිසන් කොළඹදී කැරොලිනා එම්කේ නමැති යුද වාර්තාකාරිය හෙවත් ජර්මන් පිල්ලියට හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරියගේ දැඩි ප්‍රතිචාරවලට මුහුණපෑමට සිදුවීම ගැන කෝපයට පත්වූවාය. "කොළඹදී විදේශ බැංකුවක්‌ විසින් අනුග්‍රහය දක්‌වමින් පැවැත්වූයේ කළා උළෙලක්‌, මේ කලා උළෙලට හමුදා නිල ඇඳුමින් යුත් අයෙක්‌ පැමිණීම ගැන කම්පනයට පත් වුණා. කැරොලිනාට මුහුණපෑමට සිදුවූ තත්ත්වය ගැන ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් අසහනයට පත්වුණා. ඇය සහභාගි වූයේ සිරුරු ගණන් කිරීම (Counting Bodys) නමැති තේමාව යටතේ වූ සාකච්ඡාවටයි.

ලබන වසරේදී කලම්බු ස්‌කෝප් සංවිධානය සම්මන්ත්‍රණයක්‌ පවත්වනවා. ඊට යුද අපරාධ සම්බන්ධ ජාත්‍යන්තර නීතිවේදීන් තිදෙනකු හා මානව හිමිකම් ක්‍රියාකාරීන් ඇතුළත් වෙනවා යෑයි ඇය කියා සිටියාය.

මේ හිටපු බී.බී.සී. වාර්තාකාරියගේ ප්‍රකාශයෙන් සනාථ වන්නේ කලා උළෙලකට මුවාවී කැරොලිනා එම්කේව මෙරටට ගෙන්වූ බව නොවේද?

කීර්ති වර්ණකුලසූරිය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.