සෙනහසේ නවාතැනයි මේ ඔබේ.....

ආයාසයෙන් බලා හිඳිමු. හිස බූ ගෑ පුංචි පැටව් දුවති, පනිති, සෙල්ලම් කරති. සැබැවින්ම ඒ දැකුම අති රමණීයයි. එහෙත් නෙතින් විඳින ඒ සුන්දරත්වය සිත තුළ අවුළුවන්නේ මහා ගින්දරකි. ඒ පැටව් සියලුම දෙනා පිළිකා මාරයාට ගොදුරක්‌ වී හමාරය.

මරණයත් අතේ තියාගෙන සෙල්ලම් කරන ඔවුන් දෙස බලා සිටින අපට ජීවිතයේ අරුත කුමක්‌දැයි යන්න හොඳින්ම පසක්‌ වේ. එමෙන්ම තවත් දෙයක්‌ මේ දැකුම තුළ ගැබ්ව ඇත. එය නම් මොන තරම් ලෝකය දියුණු වුවද පිළිකා මාරයා ඉදිරියේ ලෝකයා තවමත් පරාජිත බවය. ලොව පුරා පිළිකා රෝගයට ගොදුරු වූවන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින මෙවන් යුගයක, මේ මාරාන්තික රෝගයට පිළියම් සෙවීමට වෛද්‍යවරුන් නොනිමි අරගලයක යෙදී සිටියද, පිළිකා මාරයා තවමත් නවීන විද්‍යාවට ඉදිරියෙනි. පිළිකාවට අභියෝග නැත. එහෙත් සමාජය ඉදිරියේ අභියෝග කප්පරකි. ඒ දිනෙන් දින උග්‍ර වන පිළිකාවට මුහුණ දෙන්නේ කෙසේද යන්න ගැනය.

පිළිකාවට පිළියම් සෙවීමට වෛද්‍යවරු වෙහෙසෙනවා සේම, උතුම් මිනිස්‌සු පිළිකා රෝහල්වල පවතින අඩුපාඩුකම් සොයා බලා එයට පිළියම් කිරීම මෙන්ම පිළිකා රෝගීන්ගේ සුවදුක්‌ විමසා බැලීමට ද පසුබට නොවෙති. එවැනි උත්තම මිනිසුන් පිරිසක්‌ එකට එක්‌කාසු වී මහරගම පිළිකා රෝහලට පරිත්‍යාග කළ පුණ්‍ය භූමියක්‌ තුළ දැන් අපි හිඳිමු. පුංචි පැටව් සෙල්ලම් කරන්නේ ඒ භූමියේ ඇති ළමා උද්‍යානය තුළය. එනම් CCC පදනම විසින් මහරගම ජාතික පිළිකා රෝහල් භූමියේම ඉදිකරන ලද CCC සංක්‍රමණික නිවාස තුළය. 'CCC හවුස්‌' කෙටි යෙදුමෙහි ඉංග්‍රීසි අරුත Correct Copossion Commitment නිවැරදි කැපවීම සහ දයාව එහි සිංහල අරුත වේ.

පිළිකා රෝගීන් සඳහා මෙරටදී බටහිර වෛද්‍ය ක්‍රමය හෙවත් ඇලෝපති ක්‍රමයට ප්‍රතිකාර ලබාදෙනු ලබන්නේ මහරගම පිහිටි ජාතික පිළිකා රෝහල තුළ පමණි. මහරගම පිළිකා රෝහල පවත්වාගෙන යැම සඳහා රජය අති විශාල ධනස්‌කන්ධයක්‌ වැය කරන බව සැබෑය. එහෙත් පිළිකා රෝගීන්ගේ වර්ධනයත් සමග පිළිකා රෝහලේ පහසුකම්වල වර්ධනයක්‌ සිදුවන්නේ නැත. දැනට රෝගීන් අටසිය පනහකට පමණ නේවාසිකව ප්‍රතිකාර ලබාදීමට පහසුකම් ඇතිමුත්, අවුරුද්ද මුළුල්ලේම පිළිකා රෝහල 'හවුස්‌ ෆුල්ය. එමෙන්ම මහරගම පිළිකා රෝහල මගින් පිළිකා රෝගීන් හයසිය පනහකට ආසන්න ප්‍රමාණයකට දෛනිකව බාහිර ප්‍රතිකාර ද ලබාදෙන්නේය. ගැටලුව එතැනය. බාහිර ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන බොහෝ රෝගීන් ඈත පළාත්වල දුප්පත් මිනිසුන්ය. ඔවුන්ට දහස්‌ ගණන් මුදල් ගෙවා මහරගම පිළිකා රෝහල අවට කුලී කාමරවල නවාතැන් ගැනීමට ආර්ථික ශක්‌තියක්‌ නැත. කෙනකු පිළිකාවකින් පීඩා විඳිනවා යනු ඔහු මනසින් මෙන්ම ආර්ථිකමය අතින්ද බින්දුවට වැටී හමාරය. දුප්පත් පවුලක සාමාජිකයකුට පිළිකාවක්‌ වැළඳෙනවා යනු ඒ පවුලේ ඉදිරි ගමන එතැනම 'ලොප්' වීමකි. මන්ද, පිළිකාව යනු රෝගියාව පමණක්‌ නොව තම පවුලේ සාමාජිකයන්වද හීන් කරන සැබෑම පිළිලයකි. එහෙත් ඒ අසරණ මිනිසුන්වත් තලා පෙළාගෙන කන කළු කඩ කුලී කාමර ව්‍යාපාරයක්‌ පිළිකා රෝහල අවට නිර්මාණය වී ඇත. පිළිකා රෝගියකුට මානසික සුවය අත්‍යවශ්‍යයි. එහෙත් මේ රෝහල අවට ඇති කාමරවල නවාතැන් ගත් විට රෝගියාගේ මානසික සුවය කෙසේ වෙතත් සාමාන්‍ය මිනිසකුගේ මනසත් කම්මලක්‌ බවට පත් වන්නේය. ඒ තරමටම ඒ කාමරවල පහසුකම් අවමය. එක්‌ ඇඳක්‌ පමණක්‌ ඇති ඒ කාමරවලට නාන කාමර ආගන්තුකය. ඉඳහිට හෝ සුළං රැල්ලක්‌ නොඑන ඒ කාමර තනිකරම පෝරණු සේය. එහෙත් කාමරවලට අය කරනු ලබන මුදල නම් සුළු පටු නැත. මාසයකට රුපියල් හාරදහසකි. කාමරයක්‌ කුලියට ගන්නේ නම් මාස තුනක අත්තිකාරම් මුදලක්‌ ද ගෙවිය යුතුය. පෙනේද මුන් පිළිකාවත් විකුණාගෙන කන හැටිෘ

මුදල් ලැබෙන්න, ලැබෙන්න මුදලට ඇති ගිජුකම තව තවත් වැඩි වේ. මිනිසාගේ ස්‌වභාවය එයයි. පිළිකා රෝහල අවට 'කළු කඩ' කුලී කාමර වෙළෙන්දන් සේම, ඇතැම් ජනප්‍රිය ක්‍රිකට්‌ ක්‍රීඩකයන් පිළිකා රෝහලට නව වාට්‌ටු සංකීර්ණයක්‌ ලබාදීමට හෝප් ව්‍යාපෘතිය යෑයි ලස්‌සන නමකින් කරළියේ වීථි නැටුම් නැටුවද හෝප් වාට්‌ටු සංකීර්ණය ඉදිකිරීමට පෙර හෝප් ව්‍යාපෘතිය හෝස්‌ ගා දැවී අළු වී ගොසිනි. දැන් හෝප් නැත. හෝප් මුදල් ටිකට වුණු දෙයක්‌ද නැත. ඒ කතාව මේ කතාවට අදාළ නැති වුවද පිළිකා රෝහල ගැන මතක්‌ කරන විට හෝස්‌ ගා සිතට නැගෙන්නේ හෝප් ව්‍යාපෘතියයි. දැන් අපි හෝප් අමතක කර නැවත මහරගම පිළිකා රෝහලේ අඩුපාඩුකම්වලට අවධානය යොමු කරමු.

වැඩි මිලට අඩු පහසුකම් කාමරයක්‌ කුලියට ගැනීමට පවා නොහැකි අන්ත දුප්පත් මිනිස්‌සු පිළිකා රෝහලේම ඇඳන් යට, කොරිඩෝවේ හෝ ඉඩ ඇති තැනක ඉටි කොළයක්‌ එළා එතැන නවාතැන්පළ කරගෙන දින ගණනක්‌ ප්‍රතිකාර ලබාගැනීමට පුරුදුව සිටිති. එවැනි. රෝගීන් නිසා පිළිකා රෝහල තුළ දැඩි තදබදයක්‌ ඇති වෙමින් තිබේ. එහෙයින් වෛද්‍යවරුන්ට සහ හෙද හෙදියන්ට ඔවුන්ගේ රාජකාරිය පවා නිසියාකාරව ඉටුකිරීමට ද නොහැකි වී තිබේ. එපමණක්‌ ද නොවේ පිළිකා රෝගීන් යනු උණක්‌ සෙම්ප්‍රතිශ්‍යාවක්‌ වැළඳුන ද මාරාන්තික වන තරමට සිරුරේ ප්‍රතිශක්‌තිකරණය හීන වූ රෝගීන් පිරිසකි. එහෙයින් බල්ලෝ බළල්ලු ළගින සිමෙන්ති පොළවක්‌ මත ලැගුම් ගැනීමට සිදුවීම ඔවුන්ගේ මරණය තව තවත් ළඟාවීමක්‌ නොවන්නේද?

මෙම නේවාසික ගැටලුව ලංකාවේ මහරගම ජාතික පිළිකා රෝහලට පමණක්‌ සීමා වූවක්‌ නොවේ. ලෝකයේ බොහෝ රටවල පිළිකාවට ප්‍රතිකාර කරන රෝහල්වල මෙම ගැටලුව මතු වෙමින් තිබේ. දියුණු රටවල මෙම නේවාසික ගැටලුවට විසඳුම් දී ඇත්තේ බාහිර රෝගීන්ට ප්‍රතිකාර ලබාගැනීමට පහසු වන අයුරින් පිළිකා රෝහල් අවට සංක්‍රමණික නිවාස ඉදිකර තිබීමෙනි. එවිට දුර පළාත්වලින් පැමිණෙන රෝගීන්ට සුරක්‍ෂිතව නිදහසේ ප්‍රතිකාර ලබාගනිමින් දින ගණනක්‌ හෝ මාස ගණනක්‌ ඒ සංක්‍රමණික නිවාස තුළ නවාතැන් ගැනීමට හැකිය.

මෙරට මහරගම පිළිකා රෝහල අවට ද එවැනි සංක්‍රමණික නිවාස කිහිපයක්‌ම ඇත. එහෙත් එම නිවාසවල ද පවතින්නේ දැඩි තදබදයකි. එයට කදිම පිළියමක්‌ ලෙස 2008 වසරේදී CCC පදනම මගින් මහඟු සද්කාරයක්‌ සිදු කිරීමට මුල පිරුවේය. එනම් බාහිර ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන පිළිකා රෝගීන්ට නොමිලේ නවාතැන් පහසුකම් ලබාදීමට පිළිකා රෝහල් භූමියේම සංක්‍රමණික නිවාසයක්‌ ඉදිකිරීමය.

අදියර දෙකක්‌ යටතේ එම ගොඩනැඟිල්ල ඉදිකිරීමට එම පදනම සැලසුම් කළේය. සද්කාරය ලෙහෙසි පහසු කටයුත්තක්‌ නොවේ. එහෙත් පරිත්‍යාගශීලීන්ගේ උපකාරය ප්‍රබල විය. ෙච්තනාව යහපත් බැවින් දෙවියන්ගේ ද ආශිර්වාදය නොඅඩුව ලැබිණි. සැලසුම සාර්ථකය. ගත වූයේ වසර දෙකකටත් වඩා අඩු කාලයකි. පිළිකා රෝගී දරුවන්ට තම මව්පියන් සමගම නේවාසිකව රැඳී සිටීමට අංගසම්පූර්ණ කාමර විසි හතක්‌ සහ ඇඳන් හැට අටකින් යුත් ගැහැනු පිරිමි වාට්‌ටු සංකීර්ණයක සියලු වැඩ නිම කර 2010 දෙසැම්බර් මස ජනතා අයිතියට පත් කරන ලදී.

එතැනින් නොනැවතුණු CCC පදනම දෙවැනි අදියරේ වැඩකටයුතු ද ආරම්භ කළේය. පළමු අදියරටත් වඩා දෙවැනි අදියරට ආධාර උපකාර ගලා එන්නට විය. CCC පදනමෙහි සභාපති සුරේන් මදනායක මහතා සහ මායා මදනායක මහත්මියගේ නිරන්තර අධීක්‍ෂණය යටතේ කඩිනමින් ගොඩනැඟිල්ල උස්‌ විය. ගොඩනැඟිල්ල සේම එළිමහන ද හැඩ විණි. දරුවන්ගේ මානසික සුවය වර්ධනය කිරීමට ළමා උද්‍යාන, කැරම්, චෙස්‌ සහ දාම් ක්‍රීඩාගාර සේම පුස්‌තකාල, රූපවාහිනි නැරඹුම් මැදිරි ඉදිවිණි. ඒ සමග කිංඩම් හෙල්ප් ශ්‍රී ලංකා පදනමෙහි සභාපති අයිවෝ වැන්කියුලන්බර්ග් මහතා විසින් මෙරට පෞද්ගලික රෝහලක හෝ නොමැති අති සුපිරි ගිලන් ඇඳන් 67 ක්‌ ජර්මනියේ සිට ගෙන්වමින් CCC හවුස්‌ වෙත පරිත්‍යාග කරනු ලැබිණි. එම ඇඳන් හැටහත නැව් ගාස්‌තු ගෙවා මහරගම පිහිටි CCC හවුස්‌ වෙත ප්‍රවාහනය කරදීමේ පුණ්‍ය කටයුත්ත සිදු කර ඇත්තේ කැලණි කේබල් හි ප්‍රධාන විධායක නිලධාරී මහින්ද සරණපාල මහතා විසිනි. පිනට පින එක්‌කාසු වී ඇත්තේ එසේය. පසුගිය මාර්තු මාසයේදී 'CCC හවුස්‌' හි දෙවැනි අදියර ද ජනතා අයිතියට පත් කරන ලදි. දැන් 'CCC හවුස්‌' අංගම්පූර්ණ කාමර තිස්‌ අටකින් සහ ඇඳන් අනූහයකින් සමන්විත වැඩිහිටි ගැහැනු පිරිමි වාට්‌ටු සංකීර්ණයකින්ද පොහොසත්ය.

අපි දැන් ඒ පුණ්‍ය භූමිය පුරා ඇවිද යමු. රෝගීන්ගෙන් පිරුණු නේවාසිකාගාරයක්‌ වුවද ගොඩනැඟිලි පරිශ්‍රය නැවුම් සුවඳින් පිරී ගොස්‌ය. කොළ කැල්ලක්‌වත් නොමැති ඒ බිම සැබැවින්ම සෞඛ්‍යාරක්‍ෂිතය. ආරක්‍ෂක නිලධාරීන් කිහිප දෙනෙක්‌ම රාජකාරියේ යෙදී සිටින ඒ පුණ්‍ය භූමියේදී රෝගීන්ගේ ආරක්‍ෂාව ද සුරක්‌ෂිතය. එමෙන්ම අට දෙනකුගෙන් යුත් හෙද-හෙදි කාර්යමණ්‌ඩලයක්‌ද පැය විසිහතර පුරාම CCC හවුස්‌හි සේවයේ නිරතව සිටිති. ඒ සියලු සේවක සේවිකාවන්ට වැටුප් ගෙවනු ලබන්නේ ද CCC පදනමෙනි.

අපි ඉදිරියට ඇවිද ගියෙමු. ඉදිරියෙන් කාමර පෙළකි. ටක්‌... ටක්‌... ටක්‌.... අපි එක්‌ කාමරයක දොරකට තට්‌ටු කළෙමු. ක්‍ෂණයකින් දොර විවර විය. සාය හැට්‌ටයකින් සැරසුණු මැදිවියේ කාන්තාවක්‌ දොර අසලය. ඇයගෙන් මිදුණු අපේ දෙනෙත්, කාමරය තුළ එක්‌ යහනක්‌ අසල නතර විය. දැරියක්‌ සුව නින්දකය. මදුරු දැලකින් වසා ඇති ඇයව අපට හරි හැටි නොපෙනේ. එහෙත් අපට ඇයගේ නින්දට බාධා කිරීමට නොසිතේ.

"දැන් ටිකකට කලින් අපි ඉස්‌පිරිතාලෙන් ආවේ. මහන්සියට දුවට නින්ද ගිහින්" CCC හවුස්‌හි හෙද නිලධාරියෙක්‌ වන සාලිය අපව ඇයට හඳුන්වා දුන් පසු ඇය එසේ කීවාය.

නැවත ඇය කතා කළාය.

"අපි කුරුණෑගල. දුව අසනීප වෙලා දැන් මාස තුනක්‌ විතර වෙනවා. මුලින් දුව කිව්වා කට රිදෙනවා කියලා. අපි දොස්‌තර මහත්වරු කීප දෙනකුටම පෙන්නුවා. ඒ අය දත් අමාරුවට, කනේ අමාරුවට කියලා බෙහෙත් දුන්නා. ඒත් ලෙඩේ අඩු වුණේ නැහැ. අන්තිමේ කුරුණෑගල මහ රෝහලට අරගෙන ගියා. එතැනින් තමයි අපිව මහරගම පිළිකා රෝහලට එව්වේ"

"දුවගේ කටේ ගෙඩියක්‌. තවම බෙහෙත් දෙන්නෙ නැහැ පරීක්‍ෂණ කරනවා. ටික දවසක්‌ බෙහෙත් කරන්න වෙයි CCC හවුස්‌ එකේ නවතින්න කියලා පිළිකා රෝහලේ වෛද්‍යවරු කිව්වා. මෙහෙම තැනක්‌ තියෙන එක අපි වගේ මිනිස්‌සුන්ට ලොකු දෙයක්‌. තැත්නම් අපි මේ දරුවත් තියාගෙන මාස ගණන් කොහේ ඉන්නද? කුරුණෑගල ඉඳල දවස ගානෙ එන්න බැහැනේ. මෙතැන කිසිම කරදරයක්‌ නැහැ. පාඩුවේ ඉන්න පුළුවන්"

දැරිවිය තවමත් නිදිය. අපි ඒ මවට සමු දී දෙවැනි මහලට යැමට පියගැට පෙළ නැග්ගෙමු.

CCC හවුස්‌ වෙත රෝගීන් යොමු කරනු ලබන්නේ මහරගම පිළිකා රෝහලෙන් පමණි. වෙනයම් කිසිදු ක්‍රමයකින් මෙම සංක්‍රමණික නිවාසයේ රෝගියකුට ලැගුම් ගැනීමට නොහැකිය. එමෙන්ම CCC හවුස්‌හි නේවාසිකව සිටින රෝගීන්ට කෑම බීම සපයනු ලබන්නේ ද පිළිකා රෝහලෙනි. ඊට අමතරව අවට ආපනශාලාවලින් කෑම බීම ගෙන්වා ගැනීමට ද, වෙළෙඳසලකට ගොස්‌ කෑම බීම ගෙන ඒමට අවසර ලබාදී ඇත.

අපි එක්‌ රූපවාහිනි නැරඹුම් මැදිරියකට ගොඩ වීමු. පුංචි දරුවෝ දැහැන්ගතව රූපවාහිනිය දෙස බලා සිටිති. රූපවාහිනි තිරයේ කාටුන් වැඩසටහන් විකාශනය වේ. අපි ඒ සමනළ පැටවුන්ට බාධා නොකර රූපවාහිනි නැරඹුම් මැදිරියෙන් නික්‌ම කැරම් සෙල්ලම් කරන දරුවන් පිරිසක්‌ අසලට ගියෙමු. මව්වරු කිහිප දෙනෙක්‌ම ඒ දරුවන් අසලය. කෙළි දෙළෙන් දරුවෝ කැරම් ගසති. එහෙත් ඒ මව්වරුන්ගේ මුහුණු මැළ වී ගොස්‌ය. ඇතැම් මව්වරු අපි සමග කැමත්තෙන්ම කතා කළහ. තවත් මව්වරු අප සමග කතා කිරීම ප්‍රතික්‌ෂේප කළහ. තම දරුවන් ජීවිතය සමග ඔට්‌ටු වෙමින් සිටියදී තවත් මොන කතාද කිය ඔවුන්ට සිතෙන්නට ඇති. ශෝකී සිත්වලට තවත් කඳුළු පුරවන්නේ නැතිව අපි ඔවුන් අතරින් සමුගෙන තවත් ඉදිරියට ඇවිද ගියෙමු.

CCC හවුස්‌හි ඒ මොහොතේ රෝගී දරු දැරියන් විසි හතකට ආසන්න ප්‍රමාණයක්‌ සිටියද සිනා හඬක්‌ ඇරෙන්නට වේදනාවෙන් කෑමොර දෙන හඬක්‌ නම් අපේ දෙසවනේ නොරැඳුනේය. ජල තටාකයේ නිදහසේ පිහිනා යන මාළු රෑනකි. ඒ අසලම කිචි බිචි ගාන කුරුල්ලන් කිහිප දෙනෙකි. පිහිනා යන මාළු රෑන දෙස බලා සිටින පුංචි පුතෙකි. අපි ඈතට වී මොහොතක්‌ ඒ පුතු දෙස බලා හිඳිමු. ජීවිතය කොතරම් බැට දුන්නද CCC හවුස්‌හි මේ දරුවන් සිටින්නේ සැබෑම සතුටිනි.

වැඩිහිටි ගැහැනු වාට්‌ටු සංකීර්ණය දෙසට අපි පිය නගමු. CCC හවුස්‌ හි සිටින බොහොමයක්‌ රෝගීන් පිළිකා රෝගයේ ආරම්භක අවධියේ පසුවන බැවින් ඔවුන්ට උවටැන් කිරීමට කිසිවෙක්‌ ඇවැසි නැත. ඔවුන්ගේ වැඩ කටයුතු ඔවුන් විසින්ම කරගෙන යැමට හැකිය. ඔවුන්ට අවැසි නිදහස්‌ පරිසරයකි. මානසික සුවයකි. ඒ සියල්ල මෙහි ඕනෑවටත් වැඩියෙන් තිබේ. දැන් අපි කාන්තා වට්‌ටුවට පැමිණ සිටිමු. ඇතැම් කාන්තාවෝ රූපවාහිනි නරඹමින් සිටිති. තවත් අය පොත් පත්තර කියවමින් සිටිති. අපි ඒ මව්වරුන් සමග කතාබහ කළෙමු. බොහෝ දෙනා හද්ද පිටිසර ගම්බද පළාත්වලින් පැමිණි අය වූහ. ඔවුන්ගේ කතා විවිධාකාරය. එහෙත් ඒ කතා මේ ලිපියේ අකුරු කිරීමට අපට නොහැකිය. එසේ යෑයි කියා මේ මුස්‌ලිම් යුවතිය ගැන නම් වචනයක්‌ හෝ කතා නොකර බැරිය.

පන්ජාබ් ඇඳුමකින් හැඩවුණු ඇය රූ සොබාවෙන් අග තැන්පත්ය. ඇයගේ අහිංසක සිනාව අපට කතා කළේය. එහෙත් ඇයට සිංහල භාෂාව හැසිරවිය නොහැකිය. ගැටලුවකි. කෙසේ හෝ ඇය සමග වචනයක්‌ දෙකක්‌ කතා කළ යුතුමය. තවත් මුස්‌ලිම් කාන්තාවක්‌ ඇය කියන දේ සිංහලට පරිවර්තනය කිරීමට ඉදිරිපත් වූවාය.

ඇයගේ ගම කාත්තන්කුඩිය. නම මුදන්මිලාය. වයස අවුරුදු 24 කි. එහෙත් ඇය එක්‌ දරු මවකි. දරුවාට අවුරුදු පහකි. ඇයගේ උගුරේ පිළිකාවට වසර තුනකි. ඇය මහරගම පිළිකා රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණ දැනට මාස තුනක්‌ ගෙවී ගොස්‌ය. ඒ මාස තුනටම තම ඥතීන් පැමිණ ඇත්තේ දැතේ ඇඟිලි ගානටත් අඩුවෙනි. එසේ නම් මුදන්මිලා වැනි සුරූපී අහිංසක කාන්තාවකට කුලී කාමරයක නවාතැන් ගෙන සිටීම සුරක්‌ෂිතද? උන්මත්තක මිනිසුන් ඒ අහිංසකාවියට නිදහසේ ප්‍රතිකාර ලබාගැනීමට ඉඩ ලබා දේද? එහෙයින් මෙවැනි සුරක්‍ෂිත සංක්‍රමණික නිවාස කොතරම් පිළිකා රෝහල වටා ඉදි වුවද වැඩි වන්නේ නැත.

ජීවිතය යදින මිනිසුන්ගෙන් අපට සමුගැනීමට හෝරාව පැමිණ ඇත. එහෙත් අපට කියන්නට තවත් යමක්‌ ඉතිරිව ඇත. CCC හවුස්‌හි පිළිකා රෝගීන් එකසිය අසූ පස්‌ දෙනකුට පමණ නේවාසික පහසුකම් ලබාදීමට පහසුකම් තිබේ. එහෙත් ගැටලුව නිර්මාණය වී ඇත්තේ දැන්ය. තවදුරටත් මෙම සමාජ සද්කාරය ඉදිරියට කරගෙන යැමට නම් දානපතියන්ගේ ආධාර උපකාර නොමසුරුව අවශ්‍ය වේ. එසේ නොවන්නට මෙම උත්තම කටයුත්ත කරගෙන යැමට නොහැකිවනු ඇත.

මොහොතක්‌ සිතන්නá මේ ඔබේ ඥතීන්ය. ඒ ඥතීන් වෙනුවෙන් ඔබට පුංචි හෝ යමක්‌ කරන්නට හැකිය. එන්නá අපි සමග අත්වැල් බැඳගන්න... අපි ඔබගෙන් මහ විශාල උපකාර බලාපොත්තු නොවෙමු. හැකි පමණින් මේ සමාජ සද්කාරය ඉදිරියට කරගෙන යැමට ඔබේ දායකත්වය ලබා දෙන්න... ඔබේ සතුට වෙනුවෙන් නාස්‌ති කරන මහා ධනස්‌කන්ධයෙන් සොච්චම් මුදලක්‌ මේ අහිංසකයන්ව තවත් දවසක්‌ ජීවත් කරවීමට පරිත්‍යාග කරන්න... එයින් ලැබෙන නිරාමිස සතුට ඔබව ආත්ම ගණනක්‌ සතුටින් තබනු නිසැකය.

අපට ඇත්තෙ එක්‌ දිනක්‌ පමණි. ඒ දිනය අර්ථවත් දිනයක්‌ කර ගැනීමට නම් තවකෙකුට පිහිට විය යුතුමය.

තරංග රත්නවීර
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.