දාගැබ් මහා වැව් බැන්දත් එදා අපි
ඒවා කඩා බිම ලන්නෙත් මෙදා අපි!



මාණික්‌කම්පට්‌ටියේ පුරාවස්‌තු විනාශයක්‌ වෙමින් තිබේ. ඒ විනාශයට එරෙහි නීතිය ක්‍රියාත්මක නොවේ. එය මේ රටේ අනීතික තත්ත්වය ගැන යළිත් එළිදැක්‌වෙනා ප්‍රකාශනයකි. එහෙත් යථාර්ථය නම් මාණික්‌කම්පට්‌ටියේදී සිදුවන්නේත් මේ රටේ ඕනෑම ජනාවාසයක්‌ මැද ශේෂ වන පුරාවස්‌තු සහිත භූමියකට වන දේය. සජීවී උදාහරණ කොතෙකුත් තිබේ. මේ වනවිට කෝට්‌ටේ කොටුපවුරේ ඉතිරි වී ඇති ගල්ටික ආරක්‌ෂා කරගැනීමට නොහැකි තත්ත්වයක්‌ නිර්මාණය වී තිබේ. ඒ පුරාවස්‌තු සංහාරය සිදුවන්නේ මරක්‌කලයන් අතින් හෝ දෙමළුන් අතින් නොවේ. කුරුණෑගලදීත් මේ තත්ත්වය මෙසේය. දඹදෙණියේදීත් එසේය. යාපහුවේදීත්, ගම්පොලදීත් එසේය. මේ අපේ රට ජනාවාසකරණය විමේ සංස්‌කෘතියේ හැටිය. හා

තාත්පස පැහැසර දැකුම් නොවේ. අප අභියස වන්නේ එකිනෙකට යාව ඝනව විහිදී යන අසෝබන ජනාවාස පන්තියකි. නිවෙස්‌ ඉදිරියෙන් වූ අපිළිවෙළ කම්බිවැට හෝ දුර්වර්ණ තාප්ප සහිත මිදුල් නිවාස පන්ති අතර ගිලී යන දුහුවිලි ගැවසීගත් නොමඟක්‌ බඳු පටු මඟ වෙත විවරව තිබේ. හැඩයකින් තොර ගොරහැඩි කොන්ක්‍රීට්‌ කැබැලි සමූහයක්‌ එකට අසුරා තැබුවාක්‌ බඳු ඒ පරිසරයේ දී තදබදය හුස්‌ම හිරකරන්නාක්‌ බඳු හැඟීමක්‌ උපදවයි. මිනිසුන්ගෙන් ඝනකම් වූ මේ පරිසරයේ තවමත් ශේෂ වී ඇතැයි කියනා අසිරිමත් ඉතිහාස සාධක සොයා කරනා මේ ගමන ඵල රහිත මෝඩ විහිළුවක්‌ සේ හැඟේ.

කදුරුවෙල නගරයෙන් හැරී පැමිණි කිලෝමිටර දෙකකට අධික මඟ දෙපස වන්නේ මුස්‌ලිම් ජනපදයකි. තැන තැන නේක විසල් පල්ලි පෙනේ. මුඝල්මානු බැතිමත්හු ගිනි ගත් දහවලෙහිත් දෙවියන් යදිනු රිසිව රොද බැඳගෙන පල්ලියට ඇදෙත්. පසෙක දැවැන්ත බිම්කඩක්‌ මත විහිදීයන මුස්‌ලිම් මධ්‍ය මහා විද්‍යාලය පිහිටයි. කදුරුවෙලින් හැරී කිලෝමීටරයක්‌ යන විට අප දකින්නේ හුදෙකලා වෙමින් නැගීඑන වෙනස්‌ම සංස්‌කෘතික කලාපයකි. මෙහි හමුවන සමහර මිනිස්‌සු සිංහල නොවහරති. වෙසෙසින්ම මුස්‌ලිම් සංස්‌කෘතික පරිසරයක ගිලී, මුස්‌ලිම් පාසලක අකුරු කළා මිස බාහිර ලෝකය ඇසුරු නොකළ මෙහි කාන්තාවෝ සිංහලට ආගන්තුක වෙති.

මුසල්මානුවන්ගේ නිවාස වලින් ඝනකම් වූ මාණික්‌කම්පට්‌ටිය හමුවන්නේ මේ මඟෙහි කිලෝමීටර තුනක්‌ පමණ ආ පසුවය. අතීත කාලිංග විලෙහි වැව් තාවුල්ලට මායිම්ව විහිදී යන මාණික්‌කම්පට්‌ටිය දුගී මුස්‌ලිම් ජනාවාසයකින් වැසී ඇත. මෙහි සිරිමත් අතීත සාධක වූයේනම් මේ ජනාවාස පරිසරය තුළ වියෑකී ගොස්‌ හමාරය. කාලිංග විලේ වැව් තාවුල්ල දකිමින් පුරාණ දාගැබක අවශේෂ සොයාගෙන අපි මාණික්‌කම්පට්‌ටිය ගම්මානයේ ගොරහැඩි වීදි අතර ඇවිද යමින් සිටිමු.

ජන වහරෙහි එන පරිදි මාණික්‌කම්පට්‌ටියේ සැඟව ඇති මේ පුරාණ දාගැබ දුටුගැමුණු යුගයට අයත්ය. එහි කර්තෘත්වය දරන්නෝ දුටුගැමුණු මහ රජාණෝය. සිංහලයේ මහා ජාතික සංග්‍රාමය ලෙස සම්භාවිත එළාර - දුටුගැමුණු යුද්ධයේදී සිංහල යුද සේනා දකුණෙහි සිට උතුරට පැමිණි මඟ හමුවන ජයග්‍රාහී සංග්‍රාම භූමියක්‌ ලෙස කදුරුවෙල සැලකේ. ඒ බිමෙහි පුරාණ කාලිංග විල ඉස්‌මත්තේ මෙම දාගැබ කළාහු දුටුගැමුණු රජුගේ සේනාපතිවරුය. ජනවහර ප්‍රකාරව පබ්බත විහාර සම්ප්‍රදායට අයත් මේ පුරාණ දාගැබ එකල දකුණේ බලසෙන් රුහුණේ සිට රජරටට පැමිණි අතීත මඟ දෙපස රේඛාවක්‌ සේ විහිදී ගොස්‌ තිබේ. මේ ජනශ්‍රැතිය අනුව නම් එකල මිනිස්‌සු මහා සංග්‍රාම ප්‍රයාමයන්හිදීත් ආර්ථික සංස්‌කෘතික ප්‍රබෝධයක්‌ උපදවතිs. ඉන් උත්තේජනය වෙති. එය කළමනාකරණය කරගෙන පවත්වාගෙන යති.

මාණික්‌කම්පට්‌ටියේදී අප මේ. දකින්නට යන්නේ. ජනශ්‍රැතියේ එන මේ අතීත කතාවට පදනම් වූ සියක්‌ දාගැබ් අතර ශේෂ වී ඇති එක්‌ දුලබ දාගැබකි. පුරාවිද්‍යා නිලධාරීන් දැනුවත්ව, දශක ගණනාවක්‌ තිස්‌සේ ඔවුන්ගේ නිරීක්‌ෂණයට ලක්‌වු, පුරාවිද්‍යා රක්‌ෂිතයක ඇති පුරාණ දාගැබකි. එම දාගැබ මුස්‌ලිම් ගම්මානයේ ජනාවාස තුළ සැඟව ගොස්‌ ඇති ආකරය දශක ගණනක සිට පුරාවිද්‍යා නිලධාරීහු දැන සිටියහ. පොලොන්නරුවේ ප්‍රාදේශීය පුරාවිද්‍යා ගවේෂණ නිලධාරීවරයා නිරන්තරව මේ දාගැබ පිළිබඳ තොරතුරු වාර්තා කරමින් අනුරාධපුරයේ එවකට සිටි සහකාර පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ තැන දැනුවත් කළ අකාරය පිළිබඳ මතකය අප සතුවත් තිබේ. එවැනි දැනුවත්කමක්‌ සහිත, නිරීක්‌ෂණයක්‌ සහිත ඓතිහාසික ස්‌මාරකයක්‌ විනාශ වන්නට ඉඩක්‌ නොවේ. එහෙත් අප නෙත් මානයේ වන්නේ නොදැකිය යුතු තරමේ කාලකණ්‌නි දැකුමකි.

නටබුන් දාගැබ උස්‌ ගොඩැල්ලක පිහිටා ඇත. භූමිය වෙත ඇතුළුවන සියලුම මං කම්බි වැටෙන් ආවරණයව තිබේ. ඒ අතරින් ඇතුළුව දාගැබ් ගොඩැල්ල මතට පැමිණි විට පෙනෙනුයේ දාගැබ් ගර්භය තුළට විහිදි යන සේ ඉදිවන නිවාසයන්ය. එක්‌ නිවෙසක අත්තිවාරමත්, කපන ලද ළිඳක ස්‌වරූපයේ වළකුත් ගර්භය තුළට විහිදී ඇත. පසෙකින් ඉදිවු නිවාසයට ඉඩහසර සලසාගෙන ඇත්තේ ගර්භයේ එක්‌ කොටසක්‌ කපා මට්‌ටම් කරගැනීමෙනි.

උපදින්නේ මහා වේදනාවකි. අප ඉදිරියේ වන ඓතිහාසික ස්‌මාරකයේ සලකුණු ඉතා වේගයෙන් අතුරුදන් කෙරෙමින් තිබේ. මේ සියල්ල වන්නේ රට දැනුවත්වය. පුරාවස්‌තු විනාශය වැළැක්‌වීම සඳහා රටේ පොලිස්‌ ඒකකයක්‌ තිබේ. ඒ වෙනුවෙන් පොලිස්‌ කොට්‌ඨාඝ තිබේ. තමන්ගේ ගෙදර වත්තේ ළිං කපපු උනුත් ඇප නැතිව කූඩුවේ ලගින්නට සැලැස්‌වීමේ ඉතිහාසයක්‌ සහිත මේ බලසම්පන්න පොලීසිය මාණික්‌කම්පට්‌ටියේ දාගැබ් ගර්භය කැණ ඒ තුළ වැසිකිළි වළවල් තනනා විට එය නවත්වන්නට ඒ ගමට යන්නේ නැත. අප දකින්නේ රටේ නීතිය ක්‍රියාත්මක කිරිම සඳහා ස්‌වකීය දායකත්වය සැපයීමට නොහැකි වූ නපුංසක පුරාවිද්‍යා නිලධරින් මාණික්‌කම්පට්‌ටියේදී ස්‌වකීය විලිලඡ්ජා නැති නිරුවත දශක ගණනාවක්‌ තිස්‌සේ රටට පෙන්වා ඇති ආකාරයය. උන් හා සමග සන්ධාන ගසාගත් පුරාවස්‌තු ආරක්‌ෂා කිරීමේ පොලිසියේ හිඟන්නන් ස්‌වකීය දුගී පෞරුෂය පෙන්වනා ආකාරයය. ඒ හිඟන කාලකණ්‌නිකම මුස්‌ලිම් ජාතිවාදීන්ගේ නින්දිත පුරාවස්‌තු විනාශයක්‌ ලෙස හඳුන්වා දී රටට කික්‌ එකක්‌ සැපයීම පහසුය. එවිට ඇඟපත මිස මොළයක්‌ නැති ඩස්‌පියන්ට පෙළපාලියෙන් පැමිණ මාණික්‌කම්පට්‌ටියේ පව් කාරයන්ට ගල් ගැසිය හැකිය. මාණික්‌කම්පට්‌ටියේදී සිදුවෙමින් ඇති සිද්ධිය වඩාත් නිරවුල්ව වටහා ගන්නට අප යෝජනා කරන්නේ එබැවිනි.

ඇත්ත වශයෙන්ම සිදුවෙමින් ඇත්තේ සිංහල බෞද්ධ බැතිමතුන් කුපිත කරවන නින්දිත පුරාවස්‌තු විනාශයකි. දැනට අඩුපාඩුව ඇත්තේ නිර්මාණය වී ඇති තත්ත්වය විග්‍රහකර ගැනීමට ඇවැසි බුද්ධිය යටපත් කර මේ ගින්න ඇවිලවීමට සුදුසු වලිගයට ගිනි තබාගත් වඳුරෙකි.

දාගැබක්‌ නිර්මාණය වන්නේ බුදුන් වහන්සේ ජීවමාන කරවමිනි. උන්වහන්සේ ජීවමානව වැඩහිඳිනා ගඳකිළිය පිළිබඳ සංකල්පය චිත්‍රනය කරනු ලබන, වසර දෙදහස්‌ දෙසීයක්‌ පමණ අතීතයක්‌ සහිතයෑයි විශ්වාස කරනු ලබන, සිංහලයේ මහා වීරයා වන දුටු ගැමුණු රජ විසින් ඉදිකරන ලද බවට අදහස්‌ කරන පුරාණ දාගැබ ගර්භයක්‌ අන්‍යාගමිකයන් පිරිසක්‌ නිවාස තැනීම සඳහා බිඳ දමනා විට එම සංහාරය සමාජය ඉවසන්නේ නැත. ඒ ක්‍රියාවලිය නිර්වචනය වන්නේ නින්දා සහගත සංස්‌කෘතික ආක්‍රමණයක පිළිකුල් කටයුතු ම්ලේච්ඡත්වය පිළිබඳ වෛරී හැඟීමත් සමගය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හෝ ඔවුන්ගේ පොලීසිය හෝ මේ රටේ නීතියක්‌ වේනම් එය ක්‍රියාත්මක කිරීමට වගකිව යුතු ආයතන මෙවැනි තත්ත්වයන් සබුද්ධිකව විමසා බැලිය යුත්තේ සිදුවන පුරාවස්‌තු හානිය නිසා පමණක්‌ නොව, ඉන් ඔබ්බට ගිය මහා ජාතික ව්‍යසනයක්‌ නිර්මාණය කිරීමට මෙවැනි සිදුවීම් ඕනෑවටත් වඩා ඉඩ හසර සකසන බැවිනි.

මාණික්‌කම්පට්‌ටියේ පුරාවස්‌තු විනාශයක්‌ වෙමින් තිබේ. ඒ විනාශයට එරෙහි නීතිය ක්‍රියාත්මක නොවේ. එය මේ රටේ අනීතික තත්ත්වය ගැන යළිත් එළිදැක්‌වෙනා ප්‍රකාශනයකි. එහෙත් යථාර්ථය නම් මාණික්‌කම්පට්‌ටියේදී සිදුවන්නේත් මේ රටේ ඕනෑම ජනාවාසයක්‌ මැද ශේෂ වන පුරාවස්‌තු සහිත භූමියකට වන දේය. සජීවී උදාහරණ කොතෙකුත් තිබේ. අප අත්දකිනා අතිශය සාහසික උදාහරණය කෝට්‌ටේය. පසුගිය දශක හය තුළ කෝට්‌ටේ ජනාවාස වන්නේ ඉසුරු කෝවිල තබා දළදා මන්දිරයේත් කෝට්‌ටේ රජ මාලිගාවේත් ගඩොලක්‌වත් ඉතිරි නොකරමිනි. මේ වනවිට කෝට්‌ටේ කොටුපවුරේ ඉතිරි වී ඇති ගල්ටික ආරක්‌ෂා කරගැනීමට නොහැකි තත්ත්වයක්‌ නිර්මාණය වී තිබේ. ඒ පුරාවස්‌තු සංහාරය සිදුවන්නේ මරක්‌කලයන් අතින් හෝ දෙමළුන් අතින් නොවේ. කුරුණෑගලදීත් මේ තත්ත්වය මෙසේය. දඹදෙණියේදීත් එසේය. යාපහුවේදීත්, ගම්පොලදීත් එසේය.

මේ මොහොත වන විට ජනාවාස අතර හුදෙකලා වන පුරාවස්‌තුවලට අත්වන ඉරණම සජීවී කරනා ජීවමාන සාධක මාණික්‌කම්පට්‌ටියට නොගොස්‌ පොලොන්නරුවේ සිංහල බෞද්ධ ගෙමිදුල් වලදීද දැකගත හැකිය. පොලොන්නරුව විසි අටේ කණුව ජලජ හා ධීවර සම්පත් දෙපාර්තමේන්තුවට යාබදව ආරාම සංකීර්ණයක වසර දහස්‌ ගණනක්‌ පැරණි නටබුන් සහිත පුරාවිද්‍යා රක්‌ෂිත ඉඩමක්‌ වේ. පුරාවිද්‍යා රක්‌ෂිතය කම්බි ගසා වෙන් කරන්නේ ගල්කණු සහිත පුරාවස්‌තු යාබද ඉඩම් වල පිහිටන සේය. මේ අතර රක්‌ෂිතය ප්‍රකාශයට පත්කරනා පුවරුව සහිත බිම් කොටසද ඇතුළත් වන සේ මේ රක්‌ෂිත ඉඩමට ඇතුළු විය හැකි සියලුම ප්‍රවේශ අසුරමින් එක්‌තරා පුද්ගලයෙක්‌ සිය ඉඩම් කට්‌ටිය වෙන්කරගෙන තිබේ. ඔහු සිංහල බෞද්ධයෙකි. පොලොන්නරුව කුරුප්පු හන්දියේ ජනාවාසයක්‌ අතර හුදෙකලා වු තවත් ඉපැරණි ආරාම සංකීර්ණයක සලකුණු වියෑකී යමින් ඇත. ආරාම සංකීර්ණය සහිත ගොඩැල්ල තුළ ගිලී යන සේ ඉදිවන නිවෙස්‌වල තාප්ප වලින් ආවරණිත බිම්හි පුරාවිද්‍යා නිලධාරීන්ගේ අවසරය සහිතව ගඩොල් කැපේ. තවත් තැනක ගල් කණු පමණක්‌ ශේෂ වන සේ යන එන මඟක්‌ නැතිව කම්බිවැටවලින් වටවූ පුරා සාධකය. ඕනෑගම ජනාවාසයක්‌ අතර හුදෙකලා වූ සඳකඩ පහණක්‌ හා බෙහෙත් ඔරුවක්‌ සහිත පුරා වස්‌තු ගණනාවක්‌ තිබිණි. දැන් සඳකඩ පහණ හොරකම් කර විකුණා හමාරය. බෙහෙත් ඔරුව ඇදගෙන යැමට කළ උත්සාහය ව්‍යර්ථ වීම නිසා තවමත් ඉතිරිව තිබේ. පොළොන්නරුව රක්‌ෂිතයේ හුදකලා වු ප්‍රීති දාන මණ්‌ඩපය මෙන්ම නයිපෙණ විහාරයද තවමත් පුරාවස්‌තු හොරුන්ගේ අභිලාෂයන් සපුරාලන ගොදුරුබිම්ය. ජනාවාසයකදී මතු නොව ඕනෑම තැනකදී පුරාවස්‌තුවක්‌ හුදෙකලා වනවිට ඊට අත්වන ඉරණම යාපනයේදීත්, මඩකලපුවේදීත්, කදුරුවෙලදීත්, හම්බන්තොටදීත් එකම හැඩයක්‌ ගනී. ඊට වාර්ගික හෝ ආගම් භේදයක්‌ නැත. මේ අපේ රට ජනාවාසකරණය විමේ සංස්‌කෘතියේ හැටිය. ඒ එක්‌ පැත්තකි.

මේ රට ගව්වෙන් ගව්වට දාගැබ් ඉදිකළ ඉතිහාසයක්‌ සහිත රටකි. දාගැබ් අසූහාරදහසක්‌ සහිත වූවායෑයි කියනා රටකි. එහෙව් රටේ දාගැබ් ගර්භය දැදුරු කර ම්ලේච්ඡ විනාශයකට ලක්‌ නොවී පුරාවිද්‍යාඥයන් සොයාගෙන තිබුණේ එකම දාගැබක්‌ පමණි. ඒ දැදිගම කොටවෙහෙරය. මේ දාගැබ් ගර්භ දැදුරු කිරීමේ පාපකර්මය කළ තවමත් කරමින් සිටිනා කාලකණ්‌නි බහුතරය මේ රටේම සිංහල බෞද්ධ යෑයි කියාගන්නා අර්ධ මිනිසුන්ය. පුරාවස්‌තු සංහාරය ජීවිත වෘත්තිය කරගත් කාලකණ්‌නින් මේ මොහොතේත් මේ රටේ වෙති. උන්ගේ නින්දිත ජාවාරම් වලට බලය හා රැකවරණය සපයන දහදුරා දේශපාලකයෝත් වෙති. හමුදා කාරයෝත් වෙති. පොලිස්‌කාරයෝත් වෙති. පුරාවස්‌තු අතුරුදන් කර ගල්කොරිකාරයන්ට ගල් කැඩීමට ලයිෂන් දී ලක්‌ෂ ගණනින් මුදල් උපයනා දහදුරා පුරාවිද්‍යා ගවේෂණ නිලධාරීහුත් වෙති. එපමණක්‌ නොව, පාරාජිකා වූ සමහර චීවරධාරීහුත් මේ නින්දිත සංහාරය හා එක්‌ව සිටිති.

පැවසෙනා ආකාරයට මේ පරිසරය මුස්‌ලිම් ජනාවාසයක්‌ වීමේ ඉතිහාසය අඩුම තරමින් දශක හයකට එපිටට දිවයයි. අඩුම තරමින් දශක තුනක කාලයක්‌ මේ දාගැබේ නටබුන්වල ගැටෙමින් මේ ගෙබිම් පැවතී තිබේ.

දාගැබ් භූමියේ නිවෙස ඉදිකළ තැනැත්තා මේ වනවිට මියගොස්‌ය. ප්‍රදේශවාසීන්ට අනුව ඔහු දුගී අසරණයෙකි. දැන් එහි ජීවත් වෙමින් සිටින්නේ ගොළු බිහිරි මවක්‌ හා පාසල් වියේ පසුවන තරුණ දියණිවරු දෙදෙනෙකි. බඩගෝස්‌තරය හොයාගන්නට නොහැකි මේ මිනිසුන්ට මූලධර්මවාදී අවශ්‍යතා මත මේ ස්‌මාරකය විනාශ කිරීමට අවශ්‍ය නැත. එසේ අවශ්‍ය වූවානම් මේ දාගැබ මේ වනවිට අතුරුදන්ය.

තමන්කඩුව ප්‍රාදේශීය ලේකම්වරයාට අනුව මාණික්‌කම්පට්‌ටියේ ස්‌මාරකය අවට බිම හඳුනාගත් පුරාවිද්‍යා රක්‌ෂිතයකි. එහි පවුල් අටක්‌ ජීවත්වෙමින් සිටිති. ඔවුන් රක්‌ෂිතයෙන් ඉවත් කළ යුතුය. ඒ සඳහා ඔවුන්ට විකල්ප ඉඩම් දිය යුතුය. එහෙත් ප්‍රාදේශීය ලේකම්වරයාට අනුව මේ මිනිසුන්ට ඉඩම් ලබාදී පුරාවිද්‍යා රක්‌ෂිතය නිදහස්‌ කරගන්නා බවට වන ලිත ඉල්ලීමක්‌ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම්වරයා වෙත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කර නැත.

ප්‍රශ්නය ඇත්තේ වෙන තැනකය.තේරුම්ගත යුත්තේ අප ජීවත්වන්නේ රටේ ජාතික කෞතුකාගාරයවත් පුරාවස්‌තු හොරකම් කරනා කාලකණ්‌නින්ගෙන් ආරක්‌ෂා කරගත නොහැකි වූ රටක බවය. මාණික්‌කම්පට්‌ටිය නමැති මුස්‌ලිම් ජනාවාසය පිහිටන්නේ ඒ රටෙහි බවය. එහි සිදුවන්නේත් රටේ ඕනෑම තැනක සිදුවන ආකාරයේ උරුම සංහාරයක්‌ බවය. බුද්ධියෙන් විමසිය යුත්තේ ඊට ලබාදීමට උත්සාහ කරනා ජාතිවාදයේ හැඩතල පිළිබඳවය.

ජානක ලියනාරච්චි

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.