නැති එවුන් වනසන
ඇති එවුන් සනසන විදුලි බිල ළඟ එන!


ලංකා විදුලිබල මණ්‌ඩලය විසින් යෝජනා කර ඇති විදුලිබල ගාස්‌තු වැඩිකිරීමේ යෝජනාවට මේ දිනවල කාගේත් අවධානය යොමු වී තිබේ. දුප්පතුන්ගෙන් අයකර පොහොසතුන්ට සහන දෙන විදුලිගාස්‌තු සංශෝධනයක්‌ බවටද මේ සඳහා චෝදනා ඉදිරිපත්ව තිබේ. විදුලි ගාස්‌තු යනු දුප්පත් පොහොසත් සැමදෙනාටත්, ලොකු කුඩා කර්මාන්ත සියල්ලටමත් ඉතා තදින් දැනෙන දෙයකි. කවරක්‌ නමුත් විදුලි නිෂ්පාදන වියදම්වල ඉහළ යැමක්‌ සිදුවන්නේ නම් ඊට අනුරූපව විදුලි ගාස්‌තු ඉහළ නැංවීමක්‌ද අප අපේක්‌ෂා කළ යුතුය. එහෙත් සාමාන්‍යයෙන් බලශක්‌ති සංරක්‌ෂණ අවශ්‍යතා නිසා විදුලිය වැනි භාණ්‌ඩවල මිල ඉහළ නැංවීමේ දී එය සිදු කරනුයේ වැඩියෙන් විදුලිය භාවිතා කරන අයට වැඩි ප්‍රතිශතයක ගාස්‌තු ඉහළ නැංවීමක්‌ සිදුවන පරිදි සහ අඩුවෙන් විදුලිය භාවිතා කරන අයට අඩු ප්‍රතිශතයක ගාස්‌තු ඉහළ නැංවීමක්‌ සිදුවන පරිදිය. එවිට ජනතාවගේ විදුලි පරිභෝජනය අධෛර්යමත් වේ. එහෙත් විදුලිබල මණ්‌ඩලය විසින් සිදුකර ඇති මෙම විදුලි ගාස්‌තු ඉහළ නැංවීමේ යෝජනාව තුළ මේ ගුණාංගය නැති බවටද චෝදනා ඉදිරිපත්ව තිබේ.



මුලින්ම ලංකා විදුලිබල මණ්‌ඩලයට ගාස්‌තු ඉහළ නැංවීම සඳහා හේතු වී ඇති මූල්‍ය අර්බුදය කුමක්‌දැයි හඳුනා ගැනීමද මෙහිදී වැදගත්ය. ලංවිම මූල්‍ය අර්බුදය අලුත් එකක්‌ නොවේ. එය වසර ගණනාවක්‌ තිස්‌සේම ඇදී එමින් වර්ධනය වී ඇති එකකි. මේ අනුව අද දිනයේදී ලංවිම මහජන බැංකුවට රු. කෝටි 4200 ක්‌ද, පුද්ගලික විදුලිබල නිෂ්පාදකයන්ට රු. කෝටි 2100 ක්‌ සහ ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවට රු. කෝටි 1740 ක්‌ද වශයෙන් රු. කෝටි 8040 ක මුදලක්‌ ණය වී සිටියි. මේ අතරම ඛනිජ තෙල් සංස්‌ථාව විසින් මෑතක සිට කෙරවලපිටිය වෙස්‌ට්‌ කෝස්‌ට්‌ විදුලි බලාගාරයට ලබාදෙනු ලැබූ දැවිතෙල් සැපයීම නතර කර ඇත. ඒ නිසා විදුලිබල මණ්‌ඩලයට සිදුව ඇත්තේ කැලණිතිස්‌ස ඩීසල් විදුලි බලාගාරය ක්‍රියාත්මක කිරීමටයි. ඒ සඳහා දිනකට රු. මිලියන 20 ක පමණ අති විශාල පිරිවැයක්‌ දැරීමට මණ්‌ඩලයට සිදුව තිබේ.

මේ වසරේ (2013) ඇස්‌තමේන්තු අනුව ලංකා විදුලිබල මණ්‌ඩලයේ සම්පූර්ණ වියදම රු. කෝටි 25600 ක්‌ වනු ඇතැයි ගණනය කර ඇත. මෙම මුදලින් සියයට 75 ක්‌ම එනම් රු. කෝටි 19130 ක්‌ පමණ වැය වන්නේ ඉන්ධන සහ ගල් අඟුරු වෙනුවෙන් බවද මණ්‌ඩලය කියයි. මේ තත්ත්වය මත දැනට පවතින විදුලි මිල ගණන් යටතේ දිගටම විදුලිය සැපයීම සිදු කළහොත් විදුලිබල මණ්‌ඩලයට මේ වසරේ (2013) දී ආදායම් ලෙස ලබාගත හැක්‌කේ රු. කෝටි 17,800 ක මුදලකි. මේ අනුව රු. කෝටි 7800 ක පමණ පාඩුවක්‌ මේ වසරේදී විදුලිබල මණ්‌ඩලයට ජනිත වනු ඇතැයි අපේක්‌ෂා කෙරේ. විදුලිබල මණ්‌ඩලය ගණනය කර ඇති ඉහත ආදායම් සහ වියදම් තත්ත්වයන් අනුව ජනිත වන රු. කෝටි 7800 ක අලාභය පියවා ගැනීම සඳහා පියවර ගත යුතුව ඇති අතරම මහජන බැංකුවට, ඛනිජතෙල් සංස්‌ථාවට සහ පුද්ගලික විදුලිබල සැපයුම්කරුවන් වෙත ඇති ණය මුදල්ද කොටස්‌ වශයෙන් හෝ පියවීමට විදුලි බල මණ්‌ඩලයට සිදුවේ. විදුලි ගාස්‌තු ඉහළ නැංවීමට අපේක්‌ෂා කරන්නේ මේ අරමුණෙන් වන අතර එමගින් මණ්‌ඩලය අපේක්‌ෂා කරන අතිරේක ආදායම රු. කෝටි 4500 කි. තවදුරටත් රු. කෝටි 3300 ක හිඟයක්‌ පවතින බැවින් එම ප්‍රමාණය අභ්‍යන්තර මූල්‍ය විධිවිධාන සහ බැංකු ණය මත තවදුරටත් පවත්වා ගෙන යැමට විදුලිබල මණ්‌ඩලය අපේක්‌ෂා කරයි.

මෙකී ඇස්‌තමේන්තු සම්බන්ධයෙන් ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරය මෙසේ කියයි.

"ලංකා විදුලිබල මණ්‌ඩලය ඉදිරිපත් කර ඇති වියදම් ඇස්‌තමේන්තුව වැරදිය. 2013 වසරේ මුළු වියදම රු. කෝටි 25600 ක්‌ බව සඳහන් කර තිබුණද, මහජන උපයෝගිතා කොමිසම දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ ඉන් රු. කෝටි 2800 ක්‌ම අනවශ්‍ය වියදම් බවයි. ඒ අනුව ලංවිමයෙන් සොරකම් කර, විදුලිය සපයන පුද්ගලික ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුට හොර පාරෙන් ඉන් රු. කෝටි 1500 ක්‌ ලබාදීමට නිලධාරීන් කිහිපදෙනෙක්‌ වෑයම් කර ඇත. අපේ තක්‌සේරුවට අනුව තවත් රු. කෝටි 1500 ක්‌ පමණ නාස්‌තිය හා දූෂණය සඳහා වෙන් කරගෙන ඇත. ඒ පිළිබඳ සවිස්‌තරාත්මක ලේඛනයක්‌ මහජන උපයෝගීතා කොමිසම වෙත භාරදීමට අප ව්‍යාපාරය කටයුතු යොදා ඇත. එම නාස්‌තිය සඳහා වෙන් වූ මුදල් ද ඉවත් කළ පසු ඇත්ත වශයෙන්ම ලංවිම, 2013 මුළු වියදම වන්නේ රු. කෝටි 21,100 ක්‌ පමණි."

පවතින සහ යෝජිත විදුලි ගාස්‌තු අනුව විශේෂයෙන් ගෘහස්‌ත විදුලි පාරිභෝගිකයන්ට ඇතිවන බලපෑම අපි සලකා බලමු. (වගුව බලන්න) මුල් ඒකක 30 ට වත්මන් ගාස්‌තු ක්‍රමය අනුව මාසිකව වැය වන මුදල රු. 142.50 කි. නව ගාස්‌තු ක්‍රමය අනුව මාසික වියදම රු. 217.50 ක්‌ දක්‌වා රු. 75 කින් ඉහළ යයි. එය විදුලි වියදම සියයට 52.6 කින් වර්ධනය වීමකි. විදුලි ඒකක ගණන 31 ක්‌ වුවහොත් එම ප්‍රතිශතය සියයට 65.9 දක්‌වා ද ඉහළ යයි. මීළඟට ඒකක 60 ක්‌ භාවිත කරන විදුලි පාරිභෝගිකයකුගේ මාසික විදුලි බිල නව ගාස්‌තු ක්‍රමය යටතේ රු. 371.85 සිට රු. 546.00 දක්‌වා රු. 174.15 කින් ඉහළ යයි. එය මාසික විදුලි බිල සියයට 46.8 කින් වැඩිවීමකි. විදුලි ඒකක ගණන 61 ක්‌ වූ විට මාසික විදුලි බිලේ වර්ධනය සියයට 92.5 ක්‌ දක්‌වා ඉහළ යයි. එසේම ඒකක 90 ක්‌ භාවිත කරන විදුලි පාරිභෝගිකයකුගේ මාසික විදුලි බිල රු. 728.40 සිට රු. 1161 ක්‌ දක්‌වා රු. 432.60 කින් ඉහළ යයි. එය සියයට 59.4 ක වර්ධනයකි. එසේම විදුලි ඒකක 91 දී මාසික විදුලිබිල රු. 982.80 සිට රු. 2226 දක්‌වා රු. 1243.20 කින් දෙගුණයකටත් වැඩි ප්‍රමාණයකින් මාසික විදුලි බිල ඉහළ යයි. එය විදුලි බිල සියයට 126.5 කින් වර්ධනය වීමකි. එසේම විදුලි ඒකක 120 දී මාසික විදුලි වියදම සියයට 54.4 කින් ද විදුලි ඒකක 121 දී මාසික විදුලි බිල සියයට 98 කින්ද ඉහළ යයි. මේ අතර විදුලි ඒකක 1000 ට වැඩියෙන් පරිහරණය කරන්නන්ට විදුලිබිල සියයට 1 කින් අඩු කර තිබීම ද විශේෂත්වයකි.

රටේ මුළු ගෘහස්‌ත විදුලි පාරිභෝගිකයන් ප්‍රමාණය 50,00401 කි. ඉන් විදුලි ඒකක 90 ට අඩුවෙන් භාවිත කරන පවුල් සංඛ්‍යාව 37,29181 කි. මේ අනුව ඒකක 90 ට අඩුවෙන් භාවිත කරන පවුල් ප්‍රමාණය සියයට 75 ක්‌ තරම් ඉහළ ගණනකි. එනම් මුළු විදුලි පාරිභෝගිකයන්ගෙන් අතිමහත් බහුතරය සිටින්නේ ඒකක 90 ට වඩා අඩු කාණ්‌ඩයේය. සමස්‌ත විදුලි ගාස්‌තු ඉහළ නැංවීම සියයට 28 ක මට්‌ටමේ පවතිද්දී පිළිවෙළින් විදුලි ඒකක 30, 60 සහ 90 භාවිත කරන පාරිභෝගික කාණ්‌ඩවල මාසික විදුලි බිල සියයට 52.6 කින් සියයට 46.8 කින් සහ සියයට 59.4 කින් ඉහළ යයි. මේ අනුව පැහැදිලි වන්නේ විදුලිය අඩුවෙන් භාවිත කරන දුප්පත් ජනතාවට මෙම යෝජිත විදුලි ගාස්‌තු සංශෝධනයෙන් සාපේක්‍ෂව වැඩි බරක්‌ පැටවී ඇති බවයි. එසේම මේ ගාස්‌තු සංශෝධනය ඉහළ විදුලිය පාරිභෝගිකයන්ට වාසිදායක එකක්‌ බවද පැහැදිලි වෙයි. විදුලිය සුඛෝපභෝගී ලෙස පරිහරණය කරන්නන්ට සහන දිය යුතු නැති අතර එය බලශක්‌ති සංරක්‍ෂණයට ද අහිතකර පියවරකි.

සාමාන්‍යයෙන් ඒකක 90 ට වඩා අඩුවෙන් විදුලිය භාවිත කරන දුප්පත් ජනතාව, සිය මාසික ආදායමින් සියයට 12 ත් 15 ත් අතර සැලකිය යුතු මුදලක්‌ වැය කරන්නේ විදුලියටය. එහෙත් ඉහළ ආදායම් ලබන්නන් තම ආදායමට සාපේක්‍ෂව විදුලියට කරන වියදම බොහෝ අඩුය. ඒ අනුව ද අපට පැහැදිලි වන්නේ මේ විදුලි ගාස්‌තු සංශෝධනය අතිමහත් බහුතර දුප්පත් විදුලි පාරිභෝගික ජනතාව මත වැඩියෙන් බර පටවන්නක්‌ බවයි. යෝජිත විදුලි ගාස්‌තු සංශෝධනය යුක්‌ති සහගත නොවන බව හිටපු විදුලිබල ඇමැති චම්පික රණවක මහතා විසින්ම ඉකුත් සති අන්ත පුවත්පතකට ලියන ලද ලිපියක විස්‌තරාත්මකව සඳහන්ය. ඇමැති චම්පික රණවක සඳහන් කරන පරිදි මේ විදුලි ගාස්‌තු වැඩි කිරීමේ යෝජනාව, මුදල් අමාත්‍යාංශයෙන් විදුලිබල අමාත්‍යාංශයට ඉදිරිපත්ව ඇත්තේ ඔහු විදුලිබල ඇමැතිවරයාව සිටියදීය. එම යෝජනාවේ අසාධාරණ බව ඇමැති චම්පික විසින් ලිතව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට දැනුම් දීමට පියවර ගත්තත් ප්‍රතිඵලය වූයේ, හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියට එරෙහි දොaෂාභියෝග ක්‍රියාවලියෙන් පසු චම්පික රණවකට විදුලිබල ඇමැති ධුරයෙන් මාරුවීමක්‌ ලැබී පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය නව විදුලිබල ඇමැතිවරිය ලෙස පත්වීමයි. හිටපු විදුලිබල ඇමැතිට අනුව අයුක්‌ති සහගත එම විදුලි ගාස්‌තු සංශෝධන යෝජනාව පවිත්‍රා ඇමැතිනිය යටතේ යළි කරළියට පැමිණ ඇති සැටියකි. සැබෑ විදුලි නිෂ්පාදන වියදම් ඉහළ යැමට සාපේක්‍ෂව විදුලි ගාස්‌තුවල වැඩිවීමක්‌ අවශ්‍ය බව පිළිගත හැකි නමුත් විදුලි ගාස්‌තු වැඩි කිරීමට විදුලිබල මණ්‌ඩලය සිදු කර ඇති යෝජනාව අනුව විදුලි ගාස්‌තු වැඩි කරන ක්‍රමවේදය සම්බන්ධයෙන් මෙන්ම ගාස්‌තු වැඩි වන ආකාරය සම්බන්ධයෙන් ද ප්‍රශ්නයක්‌ ඇති බව පැහැදිලි වන කරුණකි. මේ ගැන දැනටමත් මහජන උපයෝගිතා කොමිසමට ද බොහෝ විරෝධතා ගොනුවී තිබේ. මේ අනුව විදුලිය අඩුවෙන් භාවිත කරන අතිමහත් බහුතර දුප්පත් ජනයා තමන්ට සාධාරණය ඉටු වනු ඇතැයි අපේක්‍ෂාවෙන් සිටිති.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.