සිරිල් වික්‍රමගේ සමග පුංචි කතාබහක්‌



අපි නළු නිළියන් දැක ඇත්තෙමු. එහෙත් ඒ අය අතුරින් මතකයේ රැඳෙන්නේ නළු නිළියන් අතළොස්‌සක්‌ පමණි. ඒ ද ඔවුන් ලස්‌සන නිසා නොවේ. ඔවුන්ගේ රඟපෑම් නිසාය. ගාමිණී ෙµdන්සේකා මතක හිටින්නේ ඔහු දහ දොළොස්‌ දෙනෙකුට පහර දී ජයග්‍රහණය කොට අත පිසදාගෙන හැඩකාර ගමනින්ම යන නිසාම නොවේ. හුළවාලිහිදී ධාරාට මෙන්ම නිධානයේදී විලී මහත්තයා ලෙසද, පරසතු මල්හි බොනී මහත්තයා ලෙසද ඔහු රඟපෑ එකිනෙකට වෙනස්‌ ගණයේ රඟපෑම් නිසාය.

සිරිල් වික්‍රමගේ අපට මතක හිටින්නේද ඒ ආකාරයෙනි. හේ රංගනයේදී එම චරිතය විනා සිරිල් වික්‍රමගේ නොවීය. ජීවිතයේ ඉතා දිගු කාලයක්‌ රඟපෑම සඳහාම ගෙවූ සිරිල් වික්‍රමගේ දැන් අසූ එක්‌ වියෑති මිනිසෙකි. එහෙත් හේ කිසිදු රෝගාබාධයකින් තොරව සෞඛ්‍ය සම්පන්න ලෙස ජීවත්වෙයි.

මේ සෞඛ්‍ය සම්පන්න භාවයේ රහසක්‌ ඇත්දැයි ඇසූ කල ඔහු කිසිම රහසක්‌ නැතැයි කීවේ සිනහසෙමිනි.

බොහෝ දෙනෙකුට මතක ඇත්තේ ඔහු කන්දේ ගෙදර හෝ මැණික්‌ නදිය ගලා බසී වැනි ටෙලිනාට්‍යවල කළ රඟපෑම්ය. එහෙත් සිරිල් වික්‍රමගේ ඊට වඩා විශාල නළුවෙකි.

"මම උගත්තේ කුරුණෑගල කොහිලගෙදර කියන කුඩා ගමක. ඒක නියම ගමක්‌. පොඩි පොඩි ගෙවල් තිබුණෙ. ගමේ ඔක්‌කොම වගේ ගොවියෝ.

අපේ ගම තිබුණෙ කුරුණෑගල නගරයෙන් බොහෝ ඈත. කොහිල ගෙදර අපේ ගමට තිබුණ පාර වැටිල තිබුණෙ වෙල්යායක්‌ මැද්දෙන්. මම ඒ වෙල් යායට හරිම ආස කළා. අදටත් ගම ගැන මතකයේ තිබෙන ප්‍රධාන දේ ඒ වෙල්යාය.

කලාව ගැන යම් හැඟීමක්‌ වික්‍රමගේ තුළ ඇතිවී නම් ඒ ඔහුගේ තාත්තා නිසාය.

අපේ තාත්තා ගොවියෙක්‌ වගේම නාට්‍යකාරයෙක්‌. ඒ කාලෙ තිබුණෙ ටීටර්. තාත්තා ටීටර් කළා. මං හිතන්නෙ කලාව ගැන හැඟීමක්‌ මා තුළ ඇතවුණේ තාත්තගෙ ටීටර් නැටිල්ල හින්දයි. හැබැයි නළුවෙක්‌ වෙන්න නම් කිසිම අදහසක්‌ මා ළඟ තිබුණේ නෑ. මට ඕනෑ වුණේ සංගීතකාරයෙක්‌ වෙන්න.

මේ අතරෙ මට ගුරු පත්වීමක්‌ ලැබුණා. පුහුණුවට යන්න වුණේ පේරාදෙණියට. පේරාදෙණිය පොල්ගහමුල එම්. සී. ජී. කියල සංගීත පංතියක්‌ තිබුණෙ. ඒකට බැඳිල වයලින් ගහන්න පුරුදු වුණා. මට ඕනකම තිබුණෙ සංගීතකාරයෙක්‌ වෙන්න. සංගීත අංශයෙන් දියුණු වෙන්න නම් කොළඹට ආ යුතුයි කියල මතයක්‌ තිබුණා. ඉතිං මං කොළඹට ආවා.

ඔබ විශ්වාස කරනවද මං කොළඹ ඇවිත් උගන්නන්න ගියේ අඳ ගොළු බිහිරි පාසලට. ඒ අතරෙ විෙද්‍යාදය විශ්වවිද්‍යාලෙ උපාධියටත් ඉගෙන ගත්තා. මේ කාලෙ ශ්‍රී ජයනා වගේ කලා ශිල්පීන් ඇසුරු කරන්නත් ලැබුණා. සෝමසිරි පට්‌ටිය ආරච්චි බැලේ නාට්‍යයක්‌ කළා. ඒකෙ සිංදු ලිව්වෙ ආනන්ද සමරකෝන් මහත්තය. ඒ නිසා ආනන්ද සමරකෝන් එක්‌කත් මං ආශ්‍රයට වැටුණ.

මේ කිසිවක පිළිවෙළක්‌ තිබුණේ නැත. සංගීතය ඉගෙන ගත්තට කොළඹ පැමිණි සිරිල් වික්‍රමගේ සංගීතය වෙනුවට නාට්‍යවලට සම්බන්ධ වෙමින් එකල ඉහළ පෙළේ කලාකරුවන් සමග කතාබහ කරමින් කාලය ගත කළේය.

ඒ අතරතුර විෙද්‍යාදය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු ලෙසද වැඩ කළේය. විෙද්‍යාදය ඔහුට හොඳ අස්‌වනු සහිත තැනක්‌ විය. විෙද්‍යාදයෙන් බිහිවූ නාට්‍යයක සිරිල් වික්‍රමගේ රඟපෑවේය. එය එතරම් ප්‍රසිද්ධ නාට්‍යයක්‌ නොවේ.

නමුත් නාට්‍ය ලෝකයට මැණිකක්‌ පහළ වූයේ සිරිල්, වෙස්‌ලි විදුහල නිපදවූ මේ නාට්‍යයේ රඟපෑමෙනි. ගුණසේන ගලප්පත්ති මේ නාට්‍ය බලන්නට පැමිණ සිටි එක්‌ අයෙකි. සිරිල්ගේ රඟපෑම් තුළ වූ කෞෂල්‍යය දුටු ගුණසේන ගලප්පත්ති තමන් හදන්නට බලාපොරොත්තුවෙන් සිටින නාට්‍යයට ගැළපෙන හාදයා මොහු බැව් තීන්දු කළේය.

ඒ නාට්‍යයේ නම මූදු පුත්තු. සිරිල් වික්‍රමගේගේ ජිවිතයේ කඩඉම මූදු පුත්තු විය. එහි තේගිරිස්‌ගේ චරිතය ඉතා හොඳින් නිරූපණය කළ වික්‍රමගේ නාට්‍ය ලෝකය හමුවේ නොමැකෙන මුද්‍රdවක්‌ තැබීය.

60 දශකයේ මූදු පුත්තු අතිශයින්ම ජනප්‍රිය වූ නාට්‍යයකි. එහි කීර්තියත් සමග සිරිල් වික්‍රමගේද කීර්තියෙන් වැඩී ගියේය.

හෙන්රි ජයසේන, මහාචාර්ය සරච්චන්ද්‍ර, පී. වැලිකල ආදී එකල දැවැන්තයෝ තමන්ගේ නාට්‍යවලට අලුත් එහෙත් පරිපූර්ණ වූ මේ නළුවාට කතා කරන්නට වූහ.

දැන් වික්‍රමගේ, කුවේණි, කදා වළලු, එලොව ගිහින් මෙලොව ආවා, පබාවතී වැනි නාට්‍යවලට නැතුවම බැරි නළුවෙකි. වික්‍රමගේ නැවතී සිටියේ ධම්ම ජාගොඩ සමග බොරැල්ලේ කාමරයකය. මේ නාට්‍ය සමග ඔහු රට පුරා ඇවිද්දේය.

"ජීවිතේ ප්‍රීතිමත්ම කාලයක්‌ ඒක. කෑවා. බිව්වා. සිංදු කිව්වා. නැටුවා. නමුත් මම ගුරු වෘත්තිය අතහැරියේ නෑ. ඒ කාලෙ නළුවෙකුට දැවැන්ත ප්‍රතිරූපයක්‌ තිබුණා. චිත්‍රපට නළුවන් වගේම වේදිකා නළුවෙකුටත් හොඳ නමක්‌ තිබුණා. ටෝනි රණසිංහා පී. ඩබ්. සුරේන්ද්‍ර කිව්වහම හොඳ ප්‍රසිද්ධ නම්. ඒ ගොල්ලො හිටියෙ වේදිකාවෙ.

වික්‍රමගේ දේශපාලනයටද ඇදී ගිය නළුවෙකි. ඔහු දේශපාලනයට ඇද දැම්මේ කේ. එම්. පී. රාජරත්නය.

මම විෙද්‍යාදයේ ඉගෙන ගන්න කාලෙ ඉතිහාසය ඉගැන්නුවෙ කේ. එම්. පී. රාජරත්න. එයා උගන්වපු ලංකා ඉතිහාසය මගේ සිත වශී කළා. පෘතුගීසි ලන්දේසි ඉංගී්‍රසි යුගවලදී ඔවුන් ලංකාවට කරපු විනාශය ගැන ඔහු අපූරුවට විස්‌තර කළා. ඒ නිසා මම මුලින්ම ගියේ කේ. එම්. පී. රාජරත්න පස්‌සෙ. ශ්‍රී ලංකා එකටත් ගියා. නමුත් මම හැම විටම හිටියේ වමේ.

මූදු පුත්තු වික්‍රමගේගේ ජීවිතය වෙනස්‌ කළා සේම ඔහුගේ ජීවිතය කඩඉමකට ගෙන ආ අනෙක්‌ සාධකය වන්නේ සත් සමුදුරයි.

"ඒක ටිකක්‌ දිග කතාවක්‌. දොස්‌තර ලීනස්‌ දිසානායක චිත්‍රපට කොම්පැනියක්‌ හැදුවා. ඒ ගොල්ලො කතාවක්‌ හදල තිර නාටකයකුත් ලියලයි තිබුණෙ. දැන් මේ ගොල්ලො මේකට නළු නිළියෝ හොයනව. දොස්‌තර ලීනස්‌ දවසක්‌ පබාවතී බලන්න ආවා. ඒ ආවෙ සෝමලතා සුබසිංහයි, ලයනල් ප්‍රනාන්දුයි දෙන්නත් එක්‌ක. මම පබාවතී එකේ හිටියෙ ඔක්‌කාක ර-ජුරුවන්ට. ලීනස්‌ට මාව අල්ලල ගියා.

ඒ ගොල්ලො මාව තෝරගෙන චිත්‍රපට තිර නාටකෙත් මට දුන්න. මේ අතරේ මූදු පුත්තු නාට්‍යයෙන් චිත්‍රපටයක්‌ හදන්න ගුණසේන ගලප්පත්ති අදහස්‌ කරල තිබුණා. ඒකෙ තිරනාටකය ලියන්නෙ මහගම සේකරයි ගලප්පත්තියි මමයි තුන් දෙනා. හැබැයි ටිකෙන් ටික ගලප්පත්ති මගඅරින්න පටන් ගත්තා. අපි ලීනස්‌ දිසානායකට යෝජනා කළා මූදු පුත්තු චිත්‍රපටයකට ගහමු කියල.

සත් සමුදුර ප්‍රවීණයන් රැසකගේ එකතුවක්‌ වුණා. සිරි ගුණසිංහ, වසන්ත ඔබේසේකර ඩී. බී. නිහාල්සිංහ, තිස්‌ස ලියනසූරිය, මහගම සේකර සෝමදාස ඇල්විටිගල වගේ ප්‍රබුද්ධයන් රාශියක්‌ මේකට සම්බන්ධව වුණා.

තව විදියකට කිව්වොත් සත් සමුදුර නව සිංහල සිනමාවකට දොර විවෘත කරල දුන්නා.

එමෙන්ම සිරිල් වික්‍රමගේ නමැති අසාමාන්‍ය නළුවා බිහි වන්නේත් සත් සමුදුර තුළින්. ඉන් පසු ඔහු එක දිගට චිත්‍රපට ගණනාවක රඟපෑවේය.

සිරිල් වික්‍රමගේ ටෙලිනාට්‍යවලට වැටෙන්නේ මේ අතරතුරදීය.

"මට ලැබුණු ටෙලිනාට්‍ය ගැන කනගාටු වෙන්න දෙයක්‌ නැහැ. පළිඟු මැණිකේa, කන්දෙ ගෙදර, මැණික්‌ නදිය ගලා බසී වගේ හොඳ නාට්‍ය මට ලැබුණ. ඒවයෙ රඟපෑම වගේම හොඳ චරිතෙකුත් තිබුණා. හොඳ චරිතයක්‌ තිබේ නම් හොඳට රඟපාන්නත් පුළුවනි. මං මේ ළඟදි රඟපෑව සුජාත පුත්‍රයෝ කියන නාට්‍යයේ. ඒකෙ ආරච්චිල ගමට වැවක්‌ හදනව. ඒව මහ පොළොවෙ චරිත. ඒ වගේ චරිත රඟපාන්න පුළුවන්. ගෙවී ගිය ජීවිතය ආස්‌වාද ජනකදැයි ඇසූ ප්‍රශ්නයට ඔහු පිළිතුරු දුන්නේ ඇසුරු කළ මිනිසුන් නිසා ජීවිතය ආස්‌වාදජනක බවයි.

ඒ දවස්‌වල තිබුණා ප්‍රෙස්‌ ක්‌ලබ් එක. ඊළඟට සඳැල්ල. මේව බොන තැන්. අපි මේ වගේ තැන්වලදී එකතු වුණා. ගුණසේන ගලප්පත්ති, මහගම සේකර, සුගතපාල ද සිල්වා, දයානන්ද ගුණවර්ධන, ඒ විතරක්‌ නොවෙයි. මහාචාර්ය සරච්චන්ද්‍ර මේ බොන තැන්වලදි එකතු වුණා. අපි බිව්වා. ඒ අතරෙ විශාල දැනුමක්‌ ලබා ගත්තා. කතා කරපු දේවලින් එකිනෙකා පෝෂණය වුණා. නමුත් අද සුගතපාල ද සිල්වා, දයානන්ද ගුණවර්ධනල සරච්චන්ද්‍රල නෑ. විකටයො ටිකක්‌, නම් ඉන්නවා. මේක හරි අඩුවක්‌ විශාල අඩුවක්‌. ඒක අපේ කලාවට සංස්‌කෘතියට තදින්ම බලපානවා.

රංගනය යනු කුමක්‌දැයි අපි මේ රංගධාරියාගෙන් ඇසීමු.

රංගනය කියන්නෙ තවත් කෙනෙකු වෙනුවෙන් පෙනී සිටීම. ඇත්තටම මේක අමාරු වැඩක්‌. තේගිරිස්‌ වෙනුවට සිරිල් වික්‍රමගේ පේනව නම් එතැන රඟපෑමක්‌ නෑ. අපි රඟපාන්නෙ ධීවරයෙකුගෙ චරිතය නම් එතැනදි ප්‍රේක්‌ෂකයාට පේන්න ඕන ධීවරයෙක්‌. අන්න ඒ නිසයි රඟපෑම අමාරු දෙයක්‌ කියන්නෙ. රංගනය ඉගෙන ගන්න පුළුවන් දෙයක්‌ නෙමෙයි. ග්‍රහණය කරගත යුතු දෙයක්‌. අධ්‍යක්‌ෂවරයා නළුවාගෙන් යම් රංගනයක්‌ බලාපොරොත්තු වෙනවා. නමුත් දක්‌ෂ නළුවා ඒ රඟපෑම ප්‍රතිනිර්මාණය කර ගන්නව. දෙබස කියන විදිය, ගමන බිමන, අඩු තරමින් ඔළුව කසන විදිය වුණත් නළුවා විසින් සකසා ගත යුතුයි. දෙබස්‌වලදී වචන උච්චාරණය කරන විදිය ඉතා වැදගත්. දෙන පිළිතුරේ ආකාරයට හඬ උස්‌ පහත් විය යුතුයි. පිටපතේ තිබෙන වාක්‍ය ඒ විදියටම කියන එක නෙමෙයි රංගනය කියන්නෙ. සෝමවීර සේනානායකගේ දෙබස්‌ ඔහු එක්‌ක කතා කරල මට ඕන විදියට මං සකස්‌ කරගෙන තිබෙනවා.

නැවතත් අපි පරණ ප්‍රශ්නයටම ගියෙමු. 81 ක්‌ වියෑති හොඳ සෞඛ්‍ය සම්පන්න වීමට හේතුවá

"මගේ ළඟ ලොකු බලාපොරොත්තු නෑ. දරුවො හතර දෙනාම කසාද බැඳල. උදේට ඇවිදින්න යනව. දවල්ට පොත් කියවනව. එච්චරයි."

ඔබ නළුවෙක්‌. ඔබ ප්‍රිය කරන සෙසු නළුවන් ඉන්නවද?

"ම්.... ම්... ජෝ අබේවික්‍රම මම ආස්‌වාදනය කරන නළුවා ජෝ අබේවික්‍රම. නමුත් කවදාවත් මම ඔහු අනුකරණය කරල නැහැ.

චන්ද්‍රසිරි දොඩන්ගොඩ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.