සම්බාධකවලින් ලංකාවට ඇතිවිය හැකි බලපෑම

ඉදිරි කාලයේදී මේ රටට එරෙහිව ජාත්‍යන්තර සම්බාධක පැනවීමට නොහැකි නිසා ඇමරිකාව හා යුරෝපා සංගමය පැත්තෙන් ඒකපාර්ශ්වික සම්බාධක බලාපොරොත්තු විය යුතු බව අපි කීවෙමු. එමෙන්ම සම්බාධක යෑයි වචනය පාවිච්චි නොවූවද බටහිර බලවතුන් විසින් 1984 ජේ. ආර්. ජයවර්ධන යුගයේ සිටම සම්බාධක ගණයට අයත් වන විවිධ පියවරයන් ලංකාවට එරෙහිව ගෙන ඇති ආකාරයත් අප ඉකුත් සතියේ පැහැදිලි කෙරුවෙමු. ලංකාවට ආයුධ නොවිකිණීම, ආධාර කපා හැරීම හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාවට අවශ්‍ය ණය මුදල් නොදී සිටීම වැනි පියවර දැනටමත් ඔවුන් ලංකාව සම්බන්ධයෙන් විවිධ අවස්‌ථාවලදී ක්‍රියාත්මක කොට ඇත. නමුත් එකල මේවා අවිධිමත් ලෙස විටින් විට ගනු ලැබූ පියවරයන් වූ අතර ඉදිරියේදී එන සම්බාධක ඊට වඩා බෙහෙවින්ම විධිමත් හා දිග්ගැස්‌සුණු ආකාරයට ක්‍රියාත්මක වන ඒවා බවට අපට බලාපොරොත්තු විය හැක.

බටහිර බලවතුන් විසින් මීට කලින් පනවා ඇති සම්බාධක දෙස බලන විට ඊළඟට ඔවුන් මේ රටට එරෙහිව ගත යුතු පියවර වන්නේ වෙළඳ ගනුදෙනු කපා හැරීමයි. මේ වනවිට ලංකාවෙන් ඇමරිකාවට ඇමරිකානු ඩොලර් මිලියන 2000 ක භාණ්‌ඩ අපනයනය කරන අතර අප ඇමරිකාවෙන් ඇ. ඩො. මිලියන 250 ක භාණ්‌ඩ ගෙන්වාගනු ලැබේ. යුරෝපා සංගමයේ රටවල්වලට ලංකාව ඇ. ඩො. මිලියන 3200 ක භාණ්‌ඩ අපනයනය කරන අතර අප ඔවුන්ගෙන් ඇ. ඩො. මිලියන 2000 ක භාණ්‌ඩ ආනයනය කරනු ලැබේ. මේ නිසා බටහිර බලවතුන් මේ රට සමඟ වෙළ¹ම් කිරීම කපා හැරියහොත් එය මේ රටට එරෙහිව ප්‍රබල පහරක්‌ වන බවට කිසිදු සැකයක්‌ නැත. එසේ නමුත් මේ ගැන සලකා බැලිය යුතු වෙනත් කාරණා ගණනාවක්‌ ද ඇත.

අප ඇමරිකාවට ඇ. ඩො. මිලියන 2000 ක භාණ්‌ඩ අපනයනය කළත් මෙම භාණ්‌ඩවලින් හතරෙන් තුන් පංගුවකටත් වඩා ඇඟලුම්ය. ඇඟලුම් නිෂ්පාදනවල භාවිත වන්නේ ආනයනය කරන ලද අමුද්‍රව්‍ය නිසා මේ රටේ නිෂ්පාදනය වන සෑම ඇඟලුමකම වටිනාකමින් 70% ක්‌ම ආපසු පිට රටටම යන බව ගණන් බලා ඇත. ඒ අනුව ඇඟලුම් අපනයනවලින් මේ රටේ ඉතිරි වන්නේ 30% ක්‌ පමණි. එම නිසා ඇමරිකාවට ලංකාවෙන් අපනයනය කෙරෙන ඇ. ඩො. මිලියන 2000 ක්‌ ඇඟලුම් අපනයනයන් නොවන ඉතිරි හතරෙන් පංගුවේ ආනයන අන්තර්ගතය අනුව අපට සැබවින්ම ලැබෙන්නේ ඇ. ඩො. මිලියන 450 - 600 ක්‌ වැනි ගණනකි. එමෙන්ම යුරෝපයට අප ඇ. ඩො. මිලියන 3200 ක භාණ්‌ඩ අපනයනය කළත් ඉන් තුනෙන් දෙකක්‌ම ඇඟලුම් නිසා නැවත වතාවක්‌ මේ රටට ලැබෙන සැබෑ ආදායම වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 633 - 800 ක්‌ වැනි ප්‍රමාණයකි. නියම ගණන ර¹ පවතින්නේ අපි යුරෝපයට යවන ඇඟලුම් නොවන අපනයන තුනෙන් එකේ ආපනයන අන්තර්ගතය මතය.

මේ නිසා බටහිර බලවතුන් ලංකාව සමඟ වෙළෙ¹ම් කිරීම නැවැත්වුවහොත් ලංකාවට සිදුවන සැබෑ පාඩුව ඇ. ඩො. මිලියන 1100 ත් 1500 ත් අතර ගණනක්‌ වනු ඇත. බටහිර ලෝකයට අපනයනය කිරීම නැවතීමත් සමගම එම භාණ්‌ඩ නිෂ්පාදනය කිරීමට අමුද්‍රව්‍ය වැනි දැ ආනයනය කිරීමට සිදු නොවීමෙන් මේ රටේ ආනයන වියදමද එකවරම අඩුවනු ඇත. ආනයන භාණ්‌ඩ අතර ඉහළින්ම ඇත්තේ ඛනිජ තෙල්ය. යුරෝපයට හා ඇමරිකාවට අපනයනය කරන කර්මාන්ත ශාලා වසා දැමීමත් සමඟම විදුලිය භාවිතය අඩුවන නිසා ඛනිජ තෙල් ආනයනයද අඩුවනු ඇත. විදුලිබල මණ්‌ඩලයේ වාර්ෂික පාඩුවද ඉන් බෙහෙවින්ම අඩුවනු ඇත. සම්බාධකවලින් ආදායම අඩුවන බව ඇත්තක්‌ වුවත් වියදම අඩුවන බවද ඇත්තකි.

ඇඟලුම් කර්මාන්තයෙන් ලංකාවේ ඉතිරි වන්නේ සේවකයන්ගේ පඩිපත පමණි. ඇඟලුම් කර්මාන්තයේ සේවකයන් 350,000 ක්‌ සිටීනම් බටහිරින් සම්බාධක පැනවුවහොත් ආණ්‌ඩුවට එම සේවකයන් වෙනත් රැකියා වලට යොමු කිරීමට සිදුවනු ඇත. ලංකාවේ සම්බාධක හේතුවෙන් මේ රට අතහැර බංග්ලාදේශය වැනි වෙනත් ස්‌ථානවලට යන මේ කර්මාන්ත ශාලා පසුපස එහි සේවකයන්ගෙන් යම් ප්‍රතිශතයකට යැමට හැක.

කර්මාන්ත ක්‍ෂේත්‍රයේ රැකියා අහිමිවන සේවකයන්ගෙන් කොටසක්‌ විදේශ රැකියාවලට යොමුවීම එක්‌ විකල්පයක්‌ වේ. ඒ අතර මේ රටේ දැනටම බරපතළ ශ්‍රම හිඟයක්‌ ඇත. වී ගොවිතැනේදී මෙන්ම ඇඟලුම් ක්‍ෂේත්‍රය සඳහාද ඉන්දියාවෙන් ශ්‍රමිකයන් ගෙන්වීමට ආණ්‌ඩුව ඉඩහැරිය යුතුයෑයි දැනටමත් ඉල්ලීම් ඉදිරිපත් වී ඇත. උඩරට දෙමළ ජනතාව නොසිටින්නට මේ රට ශ්‍රමිකයන් නැති කමින් මීටත් වඩා දරුණු අර්බුදයකට මුහුණපානු ඇත. උඩරට දෙමළ ජනතාව වැඩි වශයෙන් මැද පෙරදිග හෝ වෙනත් විදේශ රැකියා සඳහා නොයන නිසා මේ රටේ ශ්‍රම බලකායට ඔවුන් ඉතිරි වී සිටී. ඉදිරියේදී එක්‌කෝ මේ රටට ඉන්දියාවෙන් ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට සිදුවනු ඇත. එසේ නැත්නම් මේ රටේ ශ්‍රම බලකායෙන් කොටසක්‌ කෘෂිකර්ම ක්‍ෂේත්‍රයට යොමු කිරීමට සිදුවනු ඇත. මේ තත්ත්වය නිසා බටහිර බලවතුන් මේ රටට සම්බාධක පැනවුවත් රැකියා විරහිතභාවය නම් ඔවුන් හිතන තරම් වැඩි වන්නේ නැත.

මොන තත්ත්වය පැවතියත් ඇඟලුම් කර්මාන්තය ඉදිරියේදී මේ රටට කොහොමටත් අහිමි වීමට නියමිත කර්මාන්තයකි. ලංකාවේ නිෂ්පාදන වියදම සෑම වසරක්‌ පාසාම වැඩිවෙයි. එම නිසා මේ කර්මාන්ත ශාලා එහි හිමිකරුවන් විසින් වෙනත් රටවලට ගෙනයනු ඇත. එපමණක්‌ද නොව ඇමරිකාවේත් යුරෝපයේත් ඇති දරුණු ආර්ථික කඩාවැටීම නිසා ඔවුන් ඉදිරියේදී ගෙන්වන ආනයන ප්‍රමාණයද අඩුවනු ඇත. මේ නිසා ලංකාවට පමණක්‌ නොව වෙනත් රටවලටත් ඇමරිකාව හා යුරෝපයට අපනයනය කිරීම මත ර¹ පැවතීමට නොහැකි වනු ඇත.

ඇමරිකාව හා යුරෝපය ලංකාවට සම්බාධක පැනවුවහොත් ඒ නැතිවෙන අපනයන ආදායමෙන් කොටසක්‌ ශ්‍රමිකයන් පිටරට යෑවීමෙන් මේ රටට ලබාගත හැකි වුවත් මේ රටේ විදේශ විනිමය ආදායමෙන් ඩොලර් මිලියන සිය ගණනක්‌ හෝ අඩුවනු ඇත. මේ ආකාරයට විදේශ විනිමය සීමා වීමෙන් විදේශ ණය ගෙවීම් හැකියාවද අඩුවෙයි. නමුත් මෙයින් අපට මේ රටේ සිදුවන නාස්‌තිය පාලනය කිරීමේ අවස්‌ථාවක්‌ ද ලැබේ. අපට ලැබෙන විදේශ විනිමයෙන් අප කරන එක්‌ විකාර රූපි දෙයක්‌ වන්නේ සුඛෝපභෝගී වාහන ගෙන්වා ගැනීමයි. සම්බාධකවලින් මේ නාස්‌තියට තිත තබා ගැනීමට අපට අවස්‌ථාවක්‌ ලැබෙනු ඇත. සුපිරි වාහනවලට අමතරව නොසැලකිල්ල නිසාම මේ රටේ නිෂ්පාදනය කළ හැකි බොහෝ දේවල් පිටරටින් ගෙන්වනු ලැබේ. මේ රටේ නිෂ්පාදනය කළ හැකි ආහාර ද්‍රව්‍ය සියල්ල පිටරටින් ගෙන ඒම නවතා දේශීය නිෂ්පාදනය දිරි ගැන්වීමට අවස්‌ථාවක්‌ මේ සම්බාධකවලින් අපට ලැබෙනු ඇත. මුලින්ම සිදුවන දෙය වන්නේ ඇමරිකාවෙන් ගෙන්වන ඇමරිකානු ඩොලර් මිලියන 250 ක්‌ වටිනා තිරිඟු පිටි එක්‌ වරම නැවතීමයි. එයම අපට ඇමරිකාවෙන් ලැබෙන සැබෑ ආදායමෙන් අඩක්‌ පමණ වෙයි. මේ රටේ ජනතාවගේ අතට මුදල් යෑවීම සඳහා ඉලක්‌කගත ආහාර වර්ග ගෙන්වීම සීමා කිරීම එ.ජා.ප. යේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය යටතේත් සිදුවූ දෙයකි. නමුත් දැන් එවැන්නක්‌ සිදුවන බවක්‌ පෙනෙන්නට නැත. බටහිර සම්බාධකවලින් ඇත්ත වශයෙන්ම සිදුවන්නේ රටේ සිදුවිය යුතු ආර්ථික ප්‍රතිසංස්‌කරණ ගණනාවක්‌ හඳුන්වා දීමට අපට අවස්‌ථාවක්‌ ලැබීමයි.

වෙළෙඳ සම්බාධක පැමිණවීමෙන් ලංකාව මෙල්ල කරගත නොහැකි වුවහොත් බටහිර රටවල් ඊළඟට කරන්නේ සංචාරක ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට ගමනාගමනයට තහංචි පැනවීමයි. නමුත් මෙයින් ද දිගුකාලීන වශයෙන් ලංකාවේ සංචාරක කර්මාන්තයට හොඳක්‌ම වීමට ඉඩ ඇත. දැනටම ලංකාවේ ඇතැම් හෝටල් විසින් දිනකට රුපියල් 40,000 වැනි විකාර ස්‌වරූපී ගණන් අයකරයි. එවැනි මුදලකින් තායිලන්තයට ගුවනින් ගොස්‌ හොඳ හෝටලයක දින 2-3 ක්‌ නැවතී ආපසු පැමිණිය හැක. ලංකාවේ හෝටල් විසින් අය කරන ගණන් අඩුකිරීමේද අවශ්‍යතාවක්‌ ඇත. සම්බාධකවලින් එයත් සිදුවීමට ඉඩ ඇත. තවද දැනටමත් ලෝකයේ සුඛෝපභෝගී භාණ්‌ඩ සඳහා විශාල වෙළෙඳපොළවල් ඇත්තේ ඇමරිකාවේ හෝ යුරෝපයේ නොව චීනයේ, ජපානයේ, මැදපෙරදිග හා අග්නිදිග ආසියාවේය. නමුත් අපේ සංචාරක ව්‍යාපාරය තවමත් මානසිකව යුරෝපයේ කේන්ද්‍ර ගතවී සිටී. යම්කිසි බලපෑමක්‌ ආවේ නැතිනම් මේ රට අලුත් දේවල් සොයන්නේ නැතිව එකම මාර්ගයේ ගමන් කිරීමට ප්‍රවණතාවයක්‌ ඇත.

බටහිර බලවතුන්ගේ සම්බාධකවලින් සිදුවන තවත් දෙයක්‌ වන්නේ මේ රටින් පිටරට අධ්‍යාපනය ලබා ගැනීම සඳහා සිදුවන විදේශ විනිමය නාස්‌තිය නැතිවීමයි. එයින් මේ රටේ සියලු විෂයන් ඉගැන්වෙන පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිකිරීම කඩිනම් වනු ඇත. සම්බාධක යටතේ සිදුවිය හැකි තවත් දෙයක්‌ වන්නේ ඩොලර් හා යුරෝ වලින් ලංකාව සමඟ ගෙනුදෙනු නැවැත්වීමයි. එවිට ලංකාවට දැන් වැඩි වැඩියෙන් ජාත්‍යන්තර ගනුදෙනු සඳහා භාවිත වෙමින් පවතින චීනයේ යුවාන් නැත්නම් ජපානයේ යෙන්වලින් ගනුදෙනු කිරීමට හැක.

මෑතක සිට චීනයේ යුවාන්ද වැඩි වැඩියෙන් ජාත්‍යන්තර ගනුදෙනු සඳහා භාවිත වීමට පටන්ගෙන ඇත. එය චීනයේ ආර්ථික බලයට සාපේක්‍ෂව නිතැතින්ම සිදුවන්නකි. මේ සියලු කාරණා නිසා බටහිර බලවතුන් ලංකාවට සම්බාධක පැනවූවත්, ඔවුන් බලාපොරොත්තු වන ප්‍රතිඵල ඉන් ලබාගැනීමට නොහැකි වීමට ඉඩ ඇත.

* සී. ඒ. චන්ද්‍රප්‍රේම
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.