චන්දිමාල්ට මල් මිටක්‌ !

අපේ රටේ මිනිස්‌සු මිල්ල සොයා ඉතාලි යනවා. හොර පාරෙන් ඔස්‌ටේ්‍රලියා ඩොලර් සොයායන අතර මග පොලිසියට කොටු වෙනවා. මේ රටවල් දෙකටම අපේ හුඟක්‌ දෙනෙක්‌ යන්නේ හොරෙන්. ඒ විදිහට තමන්ගේ රටට එන්න එපා කියා ඒ රටවල් වලින් නියෝග දෙද්දි අපේ අය යනවා. ගිහින් දවස්‌ ගණන් මහ මුහුද මැද කන්න බොන්න නැතිව ඉඳලා සමහරු මියයනවා. එතෙර ගිහින් හරි සල්ලි හොයන්න අපේ මිනිස්‌සු දරන මහන්සිය අන්තිමේදී කෙළවර වෙන්නේ එහෙම. ඒ මිනිස්‌සු අතරින් බොහෝ දෙනෙක්‌ බෝට්‌ටුවට සල්ලි හොයා ගන්නේ, බ්‍රොකර්ට සල්ලි හොයා ගන්නේ ගෙවල් දොරවල් පවා උකස්‌ තියලා. ජීවිතේ කටුක බවින් මිදෙන්නට ඔවුන් නව මගක්‌ හොයන්නේ එහෙම. වද වේදනා, ආත්ම ගරුත්වය පසෙක තබා ඔවුන් ඒ රටවල්වලට හොරෙන් හරි යනවා.

එන්න එපා ආවොත් ගහනවා, මරණවා කියද්දීත් යන කට්‌ටියක්‌ තවත් ඉන්නවා. ඒ අය යන්නේ ඉන්දියාවට. ඉන්දියාවෙත් තමල්නාඩුවේ තමයි ඒ අයට වැඩි පුරම විරෝධය තිබෙන්නේ. ඒ ප්‍රාන්තයට අයි. පී.එල්. ගහන්න ආවොත් ඉලපතින් හෝ ගහනවා කියලා තමයි ඒ ප්‍රාන්තයේ මහ ඇමැතිනි ජයලලිතා ප්‍රකාශ කර තිබුණේ. ඒ තර්ජනයට බයේ චෙන්නායි සුපර් කිංග්ස්‌ කණ්‌ඩායම නියෝජනය කිරීමට සිටි නුවන් සහ අකිල නම් මේ සටහන තබන මොහොත වන විටත් අයි.පී.එල්. ගියේ නැහැ. ගිය අනෙක්‌ කට්‌ටියටත් චෙන්නායි වල තරග නම් තහනම්.

අපේ භික්‌ෂුන් වහන්සේලාට ඉන්දියාව අකැප නොවී තිබියදීත් ඒ රටේදී ඉතා මෑතකදී භික්‌ෂුන් වහන්සේලා දෙනමකට චෙන්නායිහිදී පහර දුන්නා. ශ්‍රී ලංකාවේ එස්‌. එල්. පී. එල්. තරගවලට ඉන්දියාවේ ක්‍රීඩකයන්ට බුලත් දී ආරාධනා කළත් ඔවුන් සහභාගි වුණේ නැහැ. හැම රටකම ක්‍රීඩකයෝ එස්‌. එල්. පී. එල්. සඳහා ලංකාවට එද්දී ඉන්දියාවෙන් ක්‍රීඩකයන් එව්වේ නැහැ. ඒත් අපේ අයට එන්න එපා කියද්දීත් අපේ ක්‍රීඩකයන් යනවා. ඔස්‌ටේ්‍රලියාවේ ඩොලර් හොයාගෙන අපේ මිනිස්‌සු යන්නේ නැති බැරි කමට ඒක වෙනම කතාවක්‌. ඒත් මෙදා ඉන්දියාවේ අයි. පී.එල්.වලට ගිය අපේ ඇතැම් ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය ලබා දෙන වැටුප් වල වාර්ෂික එකතුව රුපියල් කෝටි හය ඉක්‌මවනවා. තරගවලට සහභාගි වීමේදී ඔවුන්ට තවත් මුදල් ලැබෙනවා. එසේ තිබියදී රටත් ජාතියත් පසෙක තබා මේ අය අයි.පී.එල්. වන්දනාවේ ගියේ ඒ මුදල් තණ්‌හාවෙන්. ඒත් ඒ සියලු දෙනාටම ආදර්ශයෙන් උත්තරයක්‌ දෙන්න අපේ තරුණ ක්‍රීඩකයෙකුට හැකි වුණා. ඒ තමයි ශ්‍රී ලංකා උපනායක සහ 20-20 නායක දිනේෂ් චන්දිමාල්. මුදල් යනු තම මව්බිමේ ගෞරවයට, ජාතියේ අභිමානයට පසු පසින් තිබෙන දෙයක්‌ බව ඒ ක්‍රීඩකයා පෙන්වා දුන්නා. රුපියල් කෝටියේ සල්ලිවලට වඩා රට ජාතිය උතුම් බව පෙන්නුම් කළ ඒ තරුණ ක්‍රීඩකයාට සමස්‌ත ශ්‍රී ලාංකිකයන්ගේම ගෞරවය හිමි විය යුතුයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.