ගැටකපන්නන් පවුල් පිටින් කොළඹ ඇවිත්!

හේමන්ත රන්දුණු

රටේ නමගිය ගැටකපන්නන් සියයකට ආසන්න පිරිසක්‌ උත්සව සමයේ කොළඹ නගරයට පැමිණ සිටින බවට තොරතුරු කොළඹ අපරාධ කොට්‌ඨාසය වෙත ලැබී ඇත.

අලුත් අවුරුදු උත්සව සමයේ කොළඹ නගරයට එන පාරිභෝගික ජනයා සතු මුදල් පසුම්බි සහ වටිනා දේපළ සොරාගැනීම සඳහා මොවුන් පැමිණ සිටින බව වාර්තා වෙයි.

මෙම ගැටකපන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්‌ඨාසය ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී නමගිය ගැටකපන්නන් 07 දෙනෙක්‌ ඇතුළු සැකකටයුතු පුද්ගලයන් 200 දෙනෙක්‌ අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්‌ඨාසය සමත්ව සිටියි.

මෙම නමගිය ගැටකපන්නන් බොරැල්ල, කොම්පඤ්ඤවීදිය, පිටකොටුව, කෙසෙල්වත්ත, හලාවත, පුත්තලම ප්‍රදේශවල සිට පැමිණ සිටින බව ද වාර්තා වෙයි.

හලාවත, පුත්තලම ප්‍රදේශවල සිට පැමිණ සිටින ගැටකපන්නන් පවුල් වශයෙන් සිටින බව පොලිසිය පවසයි. මේ අතර බොහෝ ගැටකපන්නන් ඉතාම වැදගත් පුද්ගලයන් ලෙස වටිනා ඇඳුම් පැළඳුම්වලින් සැරසී සොරකමේ යෙදෙන බව ද පොලිසිය කියා සිටියි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.