සාමූහික ගිවිසුම සංශෝධනය කරන්න
ජාතික කම්කරු සංගමය ඉල්ලයි

ප්‍රභාත් විතාන

එක්‌සත් ජාතික පක්‍ෂය හා ලංකා කම්කරු කොංග්‍රසයට අනුබද්ධ වෘත්තීය සමිතිවල මූලිකත්වයෙන් වතු කම්කරු වැටුප් වැඩිකිරීම සඳහා අත්සන් තැබූ සාමුහික ගිවිසුම මගින් ලක්‍ෂ සංඛ්‍යාත වතු කම්කරුවන්ට බලවත් අසාධාරණයක්‌ සිදුව ඇති බැවින් එම ගිවිසුම වහාම සංශෝධනය කරන ලෙස ජාතික කම්කරු සංගමය ඉල්ලා සිටී.

පවතින ආර්ථික අපහසුතා සැලකිල්ලට ගෙන වතු කම්කරුවකුගේ දිනක වැටුප අවම වශයෙන් රුපියල් 550 වැඩි කරන ලෙස සිය ජාතික කම්කරු පෙරමුණ ප්‍රමුඛ වතුකරයේ වෘත්තීය සමිති රැසක්‌ දිගින් දිගටම ඉල්ලීම් කළත් නව සාමූහික ගිවිසුම අත්සන් තැබීමේදී ඒ ගැන කිසිදු අවධානයක්‌ යොමු නොකළ බව ජාතික කම්කරු පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පී. දිගම්බරම් මහතා දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය.

වතු හාම්පුතුන් සමග සාමූහික ගිවිසුම ඇති කිරීම සඳහා එක්‌සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ වෘත්තීය සමිති නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. යෝගරාජන්, පළාත් සභා මන්ත්‍රී කේ. වේලායුදන් හා ලංකා කම්කරු කොංග්‍රසය වෙනුවෙන් එහි නායක ඇමැති ආරුමුගන් තොණ්‌ඩමන් යන මහත්වරු දිගින් දිගටම සාකච්ඡා කළ බව හෙතෙම කීය.

සාමූහික ගිවිසුම අත්සන් කිරීමේදී සෑම වසරකම මෙම වෘත්තීය සමිති හාම්පුතුන්ගේ උමනාවන් ඉටුකරමින් කම්කරු අයිතීන් පාවාදෙනවා සේ මෙවරද එය කර තිබෙන බවට ඒ මහතා චෝදනා කරයි.

පවතින ආර්ථික තත්ත්වයට මුහුණ දීමට නම් සියලු දීමනා සහිතව කම්කරුවකගේ දිනක වැටුප රුපියල් 750 ක්‌ විය යුතු බව පවසන පී. දිගම්බරම් මහතා නව ගිවිසුම හරහා වතු කම්කරුවන්ට සිදුව තිබෙන අසාධාරණය සම්බන්ධව ඉදිරි දින කීපය තුළ ඔවුන් සමග සාකච්ඡා කොට දැඩි ක්‍රියාමාර්ග වෙත යොමු වන බව කීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.