පාරුවටත් බයිසිකලයටත් පෙම් කළ
අයිරාංගනී සේරසිංහ නම් සුපිරි නිළිය
අයිරාංගනී සේරසිංහගේ ජීවිත කතාව කලඑළිදකී

"ඔබ දකින්නට කැමැතිම නැති රූපවාහිනි වැඩසටහන් මොනවාද? කියා යම් කිසි කෙනෙකු මගෙන් ඇසුවොත් මා එක්‌වරම කියන්නේ....

"රූපවාහිනි නාට්‍ය (ටෙලි නාට්‍ය) සහ රූපවාහිනි චැනල්වල පෙන්වන විකට වැඩසටහන්" කියාය.

එහෙත් එක්‌තරා කාලයක, එක්‌තරා ටෙලි නාට්‍යයක්‌ පෙන්වන, සතියේ දිනය එනතුරු මම පෙර මග බලා සිටියෙමි.

ඒ "ටෙලිය" කුමක්‌ද?

"ඒ දූ දරුවෝය."

"දූ දරුවෝ" ටෙලියට මා වශීවී සිටියේ වෙනත් කිසිම, කිසි හේතුවක්‌ නිසා නොව, අයිරාංගනී සේරසිංහ නම් සුපිරි නිළියගේ ස්‌වභාවික රඟපෑම් නිසාම පමණි. එහි කතාව පිළිබඳව හෝ අනෙක්‌ නළු නිළියන්ගේ රඟපෑම් ගැන හෝ මට උනන්දුවක්‌ නොවීය. මට උනන්දුවක්‌ තිබුණේ, අයිරාංගනී සේරසිංහ කියන මගේ ප්‍රියතම නිළියගේ වැඩ කටයුතු, එනම් ඇය කතාකරන හැටි, යන එන හැටි, වාඩිවෙන හැටි කන බොන හැටි, කෙටියෙන්ම කියතොත් ඇයගේ රඟපෑමේ චූටිම චූටි අවස්‌ථා පවා නිරීක්‌ෂණය කිරීමට පමණි.

වර්තමානයේ ඇය වියපත් නිළියක බවට පත්වී සිටියද ඇයගේ ළමා කාලය දඟකාරකම්වලින් පිරුණු එකක්‌ විය. ඇය සමග එකම එක්‌ දිනයක පමණක්‌ කතා කර ඇති මා ඒ කරුණු දැන ගත්තේ ඇය පිළිබඳ මේ දිනවලදී ඉංගී්‍රසි පුවත්පත්වලින් ඉතා විසිතුරු ලෙස පළවෙන විශේෂාංග ලිපිවලිනි.

Irangani as told to Kumar de Silva නමින් ඇයගේ ජීවිත කතාව පිළිබඳව ලියෑවුණු ඉංගී්‍රසි පොතක්‌ පසුගියදා අති උත්කර්ෂවත් උළෙලකදී පාඨකයන් අතට පත්විය. එම ඉංගී්‍රසි පොතේ නම සිංහලෙන් කියනවා නම්...

"අයිරාංගනී කුමාර ද සිල්වාට කී පරිදි...." යනුවෙන් පරිවර්තනය කළ හැකිය. එම පොත සමරනායක ප්‍රකාශනයකි.

මේ පොත පිළිබඳව මේ දිනවල ඉංගී්‍රසි පුවත්පත්වල පළවෙන රසවත් තොරතුරුවලින් ඇයගේ ලස්‌සන ළමා කාලය පිළිබඳව දැනගත හැකි වේ.

කොළඹ ශාන්ත බ්‍රිජට්‌ කන්‍යාරාමයේ හොස්‌ටල් එකේ (බෝඩිමේ) නැවතී ඉගෙනුම ලැබූ අයිරාංගනී, පාසල් නිවාඩු කාලයේදී රුවන්වැල්ලේ පිහිටි ඇයගේ නිවෙස වූ මීදෙණිය වලව්වට ගිය විගස ගුරුගොඩ ඔයේ පාරු පදිමින් විනෝද වූ හැටි, හොස්‌ටල් එකේ සිටියදී මහ රෑ නැගිට කෙල්ලන් වටකර ගෙන අතට අසුවෙන සෑම දෙයක්‌ම ගිල දැමූ හැටි අයිරාංගනී කුමාර ද සිල්වාට කියා ඇත්තේ ඉතා රසවත් අතීතයක්‌ පාඨකයන් හමුවේ තබමිනි.

ඒ කාලයේ ගැහැනු ළමයින් බයිසිකල් පැදීම වැරදි වැඩක්‌ ලෙස පිළිගැනුණද ඇයත් ඇයගේ සහෝදරිය වන කාමිණීත් සමග එක්‌වි බයිසිකල් පැද්ද හැටිද. තොප්පියක්‌ සහ පුංචි වේල් එකක්‌ දාගෙන පාසල් ගිය හැටිද, තවත් කරුණු රාශියක්‌ද එම පොතේ සඳහන් වේ. එය අති විශාල ග්‍රන්ථයකි.

අයිරාංගනීගේ පළමු විවාහය සිදුවූයේ මහාචාර්ය එස්‌. බී. දිසානායක සමගය. ඉන්පසුව දෙවැනිවරට ඇය විවාහ වූයේ තවත් නළුවකු වූ වින්ස්‌ටන් සේරසිංහ සමගය. අයිරාංගනී මීදෙනිය අයිරාංගනී සේරසිංහ වූයේ එම දෙවැනි විවාහයෙනි.

එංගලන්තයේ ලන්ඩන් නුවරදීද අධ්‍යාපනය ලැබූ අයිරාංගනීට පුතුන් දෙදෙනෙකි. ඒ දෙදෙනා රවි සහ රංජිත් නම් වේ.

පරිසරයට ආදරය කරන අයිරාංගනී විවේක කාලය වැඩිපුර ගත කරන්නේ පරිසරය සුරකින වැඩ කටයුතු වෙනු වෙනි.

කොළඹ 13, බ්ලූමැන්ඩල් පාරේ පිහිටි සීමාසහිත උපාලි පුවත්පත් සමාගම ඉදිරියේ සිට මීගමුව පාර යා කෙරෙන (සුගතදාස ක්‍රීඩාංගණ දෙක මැදින් වැටී ඇති) කෙටි පාරේ ඔබ ගමන් කර තිබේද?

එසේ නම් ඒ මාර්ගය දෙපස ඇති ගස්‌ පෙළ ඔබ දැක ඇත. මීට වසර පහළොවකට විස්‌සකට පමණ පෙර එම පුංචි පැළ සිටවූයේ උපාලි සමූහ ව්‍යාපාරයේ සභාපති දොස්‌තර සීවලි රත්වත්තේ මහතාගේ යෝජනාවකිනි. එදින එම පුංචි පැළ සිටුවීමේ චාම් උත්සවය වර්ණවත් කිරීමට මෙම පරිසර හිතකාමී අයිරාංගනීද පැමිණියාය. මා අයිරාංගනී සමග එකම දවසක්‌ කතා කර ඇති බව කීවේ එදින කතා බස්‌ කළ නිසාය.

ඒ සමයේ ඇයගේ කෙස්‌ කළඹ වර්තමානයේ තරම් සුදු වී තිබුණේ නැත. එහෙන් මෙහෙන් පමණක්‌ සුදු වී තිබිණි. පරිසර හිතකාමී මෙන්ම ස්‌වභාවික රඟපෑමටද දක්‌ෂ අයිරාංගනී ස්‌වභාවධර්මයටද ඇලුම් කළාය. එසේ නැත්නම්, අයිරාංගනීටත් විශේෂයෙන් නිළියක ලෙස, ඇයගේ කෙස්‌ ටිකත් කළු පාට කර ගැනීමට හැකියාව තිබිණි. එහෙත් ඇය එසේ කළේ නැත. සොබා දහමට ඇය ඉඩ දුන්නාය.

මෙරිල් පෙරේරා

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.