සාහිත්‍ය කලා නැණ පහන නිවිණි !

මහාචාර්ය සුචරිත ගම්ලත් සූරීහු සිය තුඟූ සාහිත්‍ය කලා විචාර මෙහෙවර නිමවා දැයෙන් සමුගෙන ගොස්‌ සිටිති. මහාචාර්ය ගම්ලත්හු භාෂා, ශාස්‌ත්‍ර, සමය, දර්ශනය, න්‍යාය යනාදියෙහි වෙසරදව, තමන් ජීවත්වූ යුගය බැබලවූ මහා ප්‍රාඥයකු සේ සහෘද ජන ගෞරවයටද වියත් සබා බුහුමනටද පාත්‍රවී සිටියහ. ඒ ශාස්‌ත්‍ර ගෞරවයද ජන බුහුමනද මතු මතුව බිහිවන යුගවලදී වුවද නොසිඳී, නොබිඳී පවතිනු නිසැකය. ඔවුන්ගේ විශිෂ්ට සාහිත්‍ය සම්ප්‍රදාණයන් මෙන්ම ඉන් විහිදුවන ප්‍රඥලෝකයද ඒ සා ප්‍රබලය.

මහාචාර්ය ගම්ලත්හු පේරාදෙණි සරසවියට පිවිසීමේ වරම් ලබන්නාහු එහි කුසුම් සමයෙහිය. එකල පේරාදෙණි සරසවි පරිශ්‍රයෙහි හැම අතම අසිරිමත් නැණ පහන් දැල්වුණු සමයකි. සරසවිය සිය අසාමාන්‍ය පාණ්‌ඩිත්‍යයෙන් විකසිත කළ සුධීමතුන්ගේ පාරාදීසයක්‌ බඳු විය. ඔවුන්ගේ සෙවණ ලද ගම්ලතුන්ට ශාස්‌ත්‍ර අධ්‍යයනයේ පරතෙරට යම්හ යනුවෙන් තිර අදිටනක්‌ ඇතිවීමද ස්‌වභාවිකය. එබඳු සුවිශිෂ්ට පඩිවරයකු අරභයා කරනු ලබන සටහනක බැරෑරුම් බව මම ඉඳුරා දනිමි. එහෙත් දසක තුනකටත් වැඩි කලක්‌ මුළුල්ලේ අප අතරවූ අඛණ්‌ඩ සබඳතාවන් තුළින් යුත් මගේ ධාරණාවන් මෙසේ පෙළ ගැස්‌වීම වරදකැයි නොහැඟේ. එසේ වුවද ඔවුන්ගේ සාහිත්‍ය කලා විචාර ජීවිතය පිළිබඳ මගේ දැනුමද ඉතා සීමිත බැව් කිව යතුය.

මා මුල්වරට ගම්ලතුන් හඳුනා ගත්තේ 1970 දී පමණ විය යුතුය. පේරාදෙණිය සරසවි සිසු මානවික මානවිකාවන්ට දේශන මාලාවක්‌ පැවැත්වීම සඳහා ඇරයුම් ලද ඔවුන් විසින් මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මනමේ හා සිංහබාහු පාදක කර ගනිමින් කලා විචාරය පිළිබඳ කළ පළමු දේශනයම අප කාගේත් අපූර්ව ආශ්වාදනයට නිමිති විය. මනමේ කුමරිය හා සුප්පා දේවිය පිළිබඳ ඔවුන් දැක්‌වූ අදහස්‌ අතිශය නැවුම් වූවා පමණක්‌ නොව සම්මත දෘෂ්ටිවාදයන් උඩු යටිකුරු කිරීමක්‌ද විය. සරච්චන්ද්‍රයන් මනමේ රංග ගත කරන්නේ "පෙර ඇදුරු පෑ පිළිවෙළ නොකඩමින" යනුවෙන් කියමින් වුවද මනමේ නාට්‍යයේදී එය සම්පූර්ණයෙන්ම කඩා බිඳ ස්‌ත්‍රිය පිළිබඳවූ ගර්හාත්මක ආකල්පය දුරු කර තිබෙන බවද ඔහු කීවේය. එවේලෙහි සරච්චන්ද්‍රයෝද විස්‌මිතව මන්දහාසයෙන් යුතුව වූහයි මට මතකය.

කෙසේ හෝ ඔවුන් විසින් කලාව පිළිබඳ දැක්‌වූ අදහස්‌, වග වාසගම් හා නානා කෘතිවලින් කළ උපුටා දැක්‌වීම් අතිශයින් රමණීයද විචිත්‍ර ද විය. මාක්‌ස්‌, එංගල්ස්‌ මෙන්ම ලෙනින් හා ට්‍රොස්‌කි පිළිබඳව මනා ගැළපීම් සහිත ඒ විචාර මාර්ගය පිළිබඳ දැඩි විශ්වාසයක්‌ද ඔහු තුළ විය. ඒ සියලු මතවාද බොහෝවිට රසවාද හා සෞන්දර්යවාද සමගද මුසු වූ අයුරු මට මතකය. සැබැවින්ම ඔවුන්ට වුවමනා වූයේ සාහිත්‍ය විචාර න්‍යාය සමතික්‍රමණය කිරීම බව පසුව අපට වැටහිණි. මාක්‌ස්‌වාදී ද්‍රDෂ්ටි කෝණයෙන් කලා විචාරය කිරීම සඳහා ගම්ලතුන් විසින් කරන ලද කැපවීම හා හැදැරීම්ද බොහෝ විය.

මහාචාර්ය ගම්ලතුන් සාහිත්‍ය දොරටුවෙන් ඇතුල්වී දේශපාලනයට පිවිසීම එදා විශ්වවිද්‍යාල සමාජයෙහිද විවේචනයට ලක්‌ විය. එහෙත් ඔවුන් මැඬලීමට කිසිවකුට නොහැකි විය. ගම්ලතුන්ගේ ලේඛනයෙහිද දේශනයෙහිද සාරය හා පදනම වූයේ "මානව වර්ගයා අප්‍රිය අමනාප ජීවන තතුවලින් මිදීමට දරන අප්‍රමිත ප්‍රයත්නයේ තීව්‍රත්වය, ප්‍රමෝදය හා වේදනාව ප්‍රකාශ කරන කලාවක්‌ යන්නය. ඔහු ඒ ඔස්‌සේ සාහිත්‍ය මතු නොව නාට්‍යය, සිනමාව, ගීතය හා ටෙලිනාට්‍යයද සංගීතයද විචාරයට ලක්‌ කළේය. ඒ සඳහා කලාව සම්බන්ධයෙන් වූ සම්භාව්‍ය මාක්‌ස්‌වාදී ලේඛන හැදැරූ ගම්ලත් සිය සගයකු වූ කීර්ති බාලසූරිය සමග මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ කල්පනා ලෝකය නමැති කෘතියට එරෙහිව සිය පළමු කැරැල්ල ගැසූ අයුරු මට සිහිපත් වේ.

මෙහිදී අපට ආඩම්බර විය හැකි සුවිශේෂ දෙයක්‌ද වේ. එම කෘතියට හේතු වන්නේ 1985 දී පමණ සරච්චන්ද්‍රයන් විසින් දිවයින ඉරිදා සංග්‍රහයට ලියන ලද ලිපියකි. මගේ කල්පනාව නිවැරදිනම් ඒ කාලය වනවිට මහාචාර්ය ගම්ලත් කම්කරු මාවත සමග බැඳී සිටි යුගය විය. මහාචාර්ය ගම්ලත් සහභාගිවන සාහිත්‍ය සංවාද එවක ඉතා ජනප්‍රිය මෙන්ම ආකර්ෂණීයද විය. අසූව හා අනූව දසකවල ගම්ලතුන් සමඟ එළිපිටම විවාදයට පැමිණි මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාසයන්ද මගේ සිහියට නැගෙයි. එමගින් උද්ගතවූ සාහිත්‍ය ප්‍රබෝධය ඉමහත්ය.

මේ අතර ගම්ලතුන් විසින් සමාජගත කරන ලද මාක්‌ස්‌වාදී විචාරයේදී උපයෝගී කරගත් භාෂාව පිළිබඳවද විවේචන එල්ල විය. කීර්ති බාලසූරිය හා එක්‌ව මහාචාර්ය ගම්ලත් ලියූ කල්පනා ලෝකවාදය සාහිත්‍ය කලා හා මාක්‌ස්‌වාදය පොතේ දෙවන සංස්‌කරණයේදී (1996) ඔහු එයට පිළිතුරක්‌ද ලබා දී ඇත.

"කව් සිළුමිණෙහි යෙදෙන "මුව මී" යන්න උගන්වන විට එහි අර්ථය කුමක්‌දැයි ශිෂ්‍යයෙක්‌ මගෙන් ඇසීය. ඊට සරල වචනයක්‌ නොයොදන්නේ ඇයිද යනු ඔහුගේ ප්‍රශ්නයේ දෙවන කොටස විය. ශ්‍රී සුමංගල ශබ්ද කෝෂය බලන ලෙස මම ඔහුට කීවෙමි. "කෙළ" යෑයි එහි අර්ථය දී තිබුණි. මේ අනුව "කටේ කෙළ" යන සරල වචනය යොදා "මුවමී" යන්නෙහි අරුත දිය හැකිද ?"

මෙයින් තහවුරු වන්නේ ඔවුන් මුවඟ නිබඳ රැව්දුන් සදය උත්ප්‍රාසයම නොවේද? කොහොමටත් කලා විචාරයේදී ඔහු නිර්දය විය. නිරනුකම්ප විය. නිර්භය විය. මේ විලාසය නිසා ඔවුන්ට ශාස්‌ත්‍ර ලොව සතුරෝද වූහ.

මහාචාර්ය ගම්ලත් දිගු කලක්‌ නිරතව සිටි එක්‌ ක්‍ෂේත්‍රයක්‌ ලෙස "පුවත්පත් තීරු ලිපි සැපයීමද සඳහන් කළ යුතුය. නැවැරදි වියරණයෙන් යුතු සිංහල බස ඔහුගේ දැඩි අවධානයට ලක්‌විය. ලේඛන කලාව පිළිබඳ ඔවුන්ගේ ආස්‌ථානය හෙළිකරන අපූර්ව අවස්‌ථා දෙකක්‌ මට සිහිවෙයි. ඒ "දිවයින ඉරිදා" සංග්‍රහයට ඔහු විසින් "සුබස්‌ මිණි ආර" හා සති සිතු මිණ යන හිසින් ලියන ලද තීරු ලිපි මාලාවය. (මේවා දැන් ග්‍රන්ථ ලෙස නිකුත්වී තිබේ.) මේ ලිපි සඳහා සමකාලීන සමාජ ආර්ථික දේශපාලනය මෙන්ම ශාස්‌ත්‍රීය කරුණුද තෝරා ගෙන තිබිණි. මේ ඔහු "සුබස්‌ මිණි ආර" පැහැදිලි කළ අයුරුයි.

"සුබස්‌ යනු යහ බස්‌ය. යහබස්‌ යනු අරුතින් සරු රසයෙන් පිරි නැණ නුවණ ගැබ්වූ වැඩදායක පද, වාක්‍ය, ජෙද, පද්‍ය යන ආදියයි. මිණ නම් මැණික්‌ය. ආර යනු ආකරයයි. එහෙයින් සුබස්‌ මිණි ආර යනු යහ බස්‌ නමැති මැණික්‌ ආකාරයයි."

ඉරිදා දිවයිනට ඒ ලිපි ලිවීම ඔවුන්ගේ දේශපාලන කුලයේ සමහරුන්ගේ දෝෂදර්ශනයට හේතු වූ බවද හේ වරක්‌ අප සමග කීවේය. එහෙත් ඔහු ඒ ලිපි මාලාව අවසන් වන තුරුම ලිව්වේය. වරක්‌ ඔහුට මහාචාර්ය සරච්චන්ද්‍රයන් පිළිබඳ දේශනයක්‌ කිරීම නිසාද දෝෂාභියෝගයක්‌ එල්ල විය.

මා මේ කරුණු දෙකම දැක්‌වූයේ ගම්ලතුන් තුළ වූ අදීනත්වයට හා අභීත විලාසයට නිදසුන් ලෙසය. ඔවුන් ලීවේ සිය සාහිත්‍ය න්‍යායට අදාළව හා හෘදය සාක්‌ෂියටද එකඟවය. ඔහු කෙනෙකුගේ පාමුල ව්‍යාජ කීර්ති ප්‍රශංසා කඳු ගැසීමට නොරිසි විය. එසේම කිසිවිටෙක කිත් පැසසුම් මල්දම් සඳහා සිය ගෙල දිගු කළේද නැත.

සිංහල භාෂාව කෙලෙසීම ඔහුගේ කෝපයට හේතු විය. ඔහු බසෙහි තිතක්‌, කොමාවක්‌ අකුරක්‌ පදයක්‌ ගැනද දැඩි අවධානය යොමු කළේය. වියරණ මියර බිඳි, භාෂා රීතිය දූෂිතව භාවිත කළ අයට ඔහුගෙන් සමාවක්‌ නො ලැබුණි. ඒවා "හඩු බස" යනුවෙන්ද ඔව්හු හැඳින්වූහ. සම්භාව්‍ය සිංහල ග්‍රන්ථ මෙන්ම පන්සිය පනස්‌ ජාතක පොත හා සංදේශ ඇතුළු පද්‍ය ග්‍රන්ථ නොහදාරා සිංහල භාෂාව විදග්ධ ලෙස භාවිත කළ නොහැකි බව ඔහු තිරසරව කීවේය. වත්මන් සමාජ යෙහි විද්වතුන් සේ පෙනී සිටින ඇතැමුන්ට සිංහලවත් ඉංගිරිසිවත් වෙන යම් බසක්‌ හෝ ශාස්‌ත්‍රයක්‌වත් බැරි යෑයි ඔවුන්ගේ චෝදනාවකි. ශාස්‌ත්‍රපති දර්ශනපති යනාදිය පටබැඳ සිටියත් එබඳු අය පුස්‌සෝ නොවෙත්දැයි ඔහු ඇසීය. ශ්‍රී ලංකාවේ දැන් මහත් භාෂා පරිහානියක්‌ සිදුව ඇතැයි ඔහු පසුගිය කාලයේ නිතරම කීවේය. ලීවේය. මේ රටේ ඉංගිරිසි අධ්‍යාපනය අහෝසි කිරීම ගැන ඔහු කම්පා විය. සිංහලය නංවන්නට ඉංගිරිසි නැති කළෝ ජාති ද්‍රෝහියෝ නොවෙත්දැයි ඔහු ඇසීය.

මම දැන් ඔවුන්ගේ තවත් දුලබ සේවයක්‌ පිළිබඳ සඳහන් කරමි. ඒ ඔවුන් විසින් ප්‍රසම්පාදනය කරන ලද සම්භාව්‍ය සාහිත්‍ය ග්‍රන්ථ මාලාවය. මට මුලින්ම සිහිවන්නේ කව්සිළුමිණ නමැති පරම සම්භාව්‍ය ග්‍රන්ථය සංස්‌කරණය කිරීමත් එයට ලියූ විවරණ විමර්ශන ආදියත්ය. එය විවේක බුද්ධියෙන් යුතු ශාස්‌ත්‍රඥයකුගේ අපූර්ව නිෂ්පාදනයකි. මෙයට අමතරව සම්භාව්‍ය ගද්‍ය හා පද්‍ය කෘති කීපයක්‌ම ඔවුන් අතින් සංස්‌කරණය විය. ඒවා සඳහා අර්ථ විවරණ සැපැයිණි. ඒවා සිංහල භාෂා සාහිත්‍යයේ අභිවර්ධනයට සදා දිරි දෙනු ඇත.

එසේම සංස්‌කෘතයේ අගනා කෘතිද ඉංග්‍රීසි ග්‍රන්ථද සිංහලට නැගූ ගම්ලත්හු සිංහල පාඨක සමාජයට තවත් මෙහෙවරක්‌ ඉටු කළහ. බුද්ධ චරිතය හා ගීත ගෝවින්දයද, මහභාරතයද මට සිහිවේ මේ සියලු සාහිත්‍ය කලා සේවාවන්හි කූටප්‍රාප්තිය ලෙස ඔවුන්ගේ අවසන් කෘතිය ලෙස සමාජගත වූයේ ඉංග්‍රීසි, සිංහල මහා ශබ්දකෝෂයයි. එය නම් විස්‌මිත ප්‍රාතිභාර්යයක්‌ වැන්න. ඔවුන්ගේ බුද්ධියද අනුපමය ශාස්‌ත්‍රීය දැනුමද එහිලා මොනවට විශද වෙයි.

දැන් මම මේ ලක්‌ දෙරණෙහි අතිශය දුර්ලභව පහළ විය හැකි ජන, ගන මන ශාස්‌ත්‍රාලෝකයෙන් එකෙළි කළ මහා ප්‍රාඥයකුගේ අවසන් හෝරා කීපය පිළිබඳ වචන කීපයක්‌ සඳහන් කරමින් මේ අසම්පූර්ණ සටහන හමාර කළ යුතුය. මහාචාර්ය ගම්ලතුන්ගේ අවසානය අප කිසිවෙක්‌ නොසිතූ නොපැතූ එකක්‌ම විය. අසූවන වියට එළඹෙන තුරුම ඔහුට බරපතළ රෝගාබාධයක්‌ නොවීය. එහෙත් කිසියම් ආබාධයකට කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර ගැනීමට ගිය කල්හි ඔවුන්ගේ ජීවන කුසුම උදුරා ගන්නට පිළිකා මරු සූදානමින් සිටින බවට සංඥ ලැබිණි. අනතුරුව තවත් සුළු කලක්‌ ගෙවී, ප්‍රතිකාර සඳහා යළිත් මහරගම පිළිකා රෝහලට යන්නටද සිදුවිය. එහිදී නම් ඔවුන් තුළද බලවත් සැක පහළ වී ඇත. එහෙත් ජීවිතය පිළිබඳ අපේක්‍ෂා දුරු නොවීය. මහාචාර්ය ගම්ලතුන් රෝගාතුරව සිටින පුවත ඔවුන්ගේ මිතුරන් අතරටද සහෘදයන් අතරටද පැතිර ගියේය. දිගු කලක්‌ ගම්ලතුන්ගේ භෞතික ජීවිත තැවුල් බෙදා ගනිමින් ඔවුන්ට අනුබල අනුග්‍රහ සැපයූ ශාන්තා පද්මපෙරුම දුකින් ඇඳ අසලම වූවාය.

මා රෝහලට ගිය මුල් දිනයේ අප දුටු ඔවුන් දැසට කඳුළු නැගුණි. මා නොහඬා සිටියේ වෑයමෙනි. දින කීපයක්‌ම මම ඒ දුක්‌ දසුන දිටිමි. මහරගමින් පසුව කොළඹට රැගෙන ආ ගම්ලතුන්ගේ තතු එන්ට එන්ටම අව පසට යනු මගේත් සංවේගයට හේතු විය. මගේ මතකයට නැගුණේ අපගේ ගුරුදේව මහාචාර්ය සරච්චන්ද්‍රයන්ද මෙබඳුම විලාසයකින් රෝහල ඇඳෙහි සිටි අයුරුය.

ජීවිතය යනු සරදම් සහිත ගංගාවකැයි මට සිතේ. මහාචාර්ය ගම්ලත්හුද සිය ජීවිත සැඳෑවේ අවසන් විරාමයට ළංවෙමින් සිටින වග මට දැනෙන්ට විය. ඔහුට ජීවිතය ලබා දීමට ගත් සියලු ප්‍රයත්නයන් නිෂ්ඵල විය. ඒ හරියටම 2013 මාර්තු 30 වන දින අලුයම් වේලෙහි දැයක්‌, ශාස්‌ත්‍රාලෝකයෙන් එළි කළ පරපුරවල් කීපයක්‌ ප්‍රඥවෙන් බල ගැන්වූ අසම සම නැණ පහන නිවී ගියේය.

මහාචාර්ය සුනිල් ආරියරත්නයෝ එදිනම උදේ දුක්‌ සරින් එපුවත මා සවනෙහි තැබූහ. මට එක්‌වරම සිහි වූයේ මහා කවි කාලිදාසයන් සිය කළණමිත් භෝජ රජුන් වියෝවී යෑයි ඇසූ සඳ ඔවුන් මුවගින් ගලා ගිය ශෝකාලාපයයි.

අධ්‍යධාරා නිරාධෘරා
නිරාලම්බා සරස්‌වතී
පණ්‌ඩිතං කණඪිතාඃ සර්වේ
භෝජ රාඡේ දිවංගතෙ

ධාරා නගරයට ආරක්‍ෂාව නැති විය. සරස්‌වතියද අනාරක්‌ෂිත වූවාය. පණ්‌ඩිතයෝ විසිර ගොස්‌ සිටිති. භෝජ රජු දිවංගත විය.

කාලිදාසයන්ට නම් පසුව ඒ ශෝකය ප්‍රහර්ෂයට නඟා යළි උදන් ඇනීමට හැකි විය. ඒ භෝජ රජුන් ජීවත්ව සිටි හෙයිනි. එහෙත් අපට නම් එය සදා සත්‍යයක්‌ම විය. සුචරිත ගම්ලතුන් මියගොස්‌ය. සියලු කලාවන් නන්නත්තාර විය නොහැකිද? සරසවිය ඉතින් කා දෙස බලා සැනසෙන්ටදැයි මට සිතුණි. එහෙත් ඔවුන් විසින් සාහිත්‍ය කලාවට කරන ලද සුවිශිෂ්ට සම්ප්‍රදානයන් දෙස බලා ඒ දුක්‌ නිවනු හැර අන් සරණක්‌ අපට තිබේද?

දැන් මම මහාචාර්ය ගම්ලතුන්ගේ අවසන් කටයුතු සිදුවූ ආකාරයත් එයින් මෙම මහා සංස්‌කෘතික කලා ප්‍රඥයන්ට සිදුවූ විනාශයත්, අවමානයත් ගැනද සඳහනක්‌ කරන්නෙමි. එසේ නොකර තුෂ්ණිම්භූතව සිටියේ නම් එය මහා ද්‍රෝහිකමකි. අපටද පූර්වාචාරීන්ව පසුව කළණ මිතු දමෙන්ද සොබාමත්ව දිගු කලක්‌ පැවැත්වූ ඇසුරටද එබඳු තුෂ්ණීම්භූත විලාසය නොහොබී.

මහාචාර්ය ගම්ලතුන්ගේ භෞතික ජීවිතය තුළද විවිධ හැප්පිලි සිදුවිය. අර්බුද මතු විය. ඒවා පුහුදුන් කාහට වුවද පොදු දේවල්ය. එහෙත් එබඳු ගැටුම් මැදින් හුදෙකලා න්‍යාය පත්‍ර ක්‍රියාවට නගන වසලයෝද සිටිති. ගම්ලතුන්ගේ මරණයෙන් පසු ඒ අප්‍රිය දෙයම සිදු විය. මා දන්නා තරමින් මහාචාර්ය ගම්ලත්හු සාම්ප්‍රදායික අවමඟුල් උළෙලක්‌ නොඉවසූහ. ඔව්හු එබඳු තැන් නිර්දය ලෙස විවේචනය කළත් ලෝක සම්මතය ඉවසූහ. එහෙත් ඔවුන්ට නම් එබඳු අගරුවක්‌ නොකළ යුතුය යන දැඩි ආස්‌ථානයේම වූහ.

ඔවුන්ගේ තිරසර අදහස වූයේ තමන් විප්ලවාදියකු මෙන්ම ලෝක සංස්‌කෘතියේ සියලු මානවී ගුණයන් මිස එහි විච්චූරණ ප්‍රිය නොකරන්නකු බවය. ඒ පිළිබඳව කළ සුපැහැදිලි ඉඟිද විය.

ඒ තතු දත් ආචාර්ය ධර්මසේන පතිරාජ මහාචාර්ය සුනිල් ආරියරත්න, ධර්මසිරි බණ්‌ඩාරනායක, සුනිල් ෆොන්සේකා, අශෝක හඳගම ගාමිණී වියන්ගොඩ, උදේනි ජයවීර යන ඔවුන්ගේ චිරකාල සුමිතුරෝ ඔවුන්ට චාම් අවමඟුලක්‌ සැලසුම් කළහ. එහෙත් සිදු වූයේ අනෙකකි.

මහාචාර්ය ගම්ලතුන් සමඟ මෑතදී එක්‌ව එතුමන්ගේ භාෂාශාස්‌ත්‍ර දැනුම ඥන සම්භාර්ය අලෙවි කර ලාභ වෙළෙඳමකට සූදානමින් සිටි පිරිසක්‌ ඒ සියලු සැලසුම් නිෂේධ කර තම බලය පාමින් අවමඟුල් උළෙලක්‌ සැකසූහ. එහිදී ඔවුන්ගේ චෞර සමාගමේ නාම පුවරුද වූ බව කෙනෙක්‌ කීහ. ගුණ කථනද නොයෙක්‌ ප්‍රශස්‌තිද මහාචාර්ය ගම්ලතුන්ගේ සීතල සිරුර මතට මුදාහරිමින් ඔව්හු හැකිතරම් ඒ ශ්‍රේෂ්ඨ විද්වතුන්ට අගෞරව කළහ. මහාචාර්ය ගම්ලතුන්ගේ ශාස්‌ත්‍රීය මෙහෙවර දත් එයට සම්මාදම්වූ අයෙක්‌ ඒ සභාවෙහි නොවූහ.

එවේලෙහි සොහොන් බිම අසල ඔවුන්ගේ සමකාලීන විද්වත්හුද චිරාගත මිතුරෝද මේ කිමෙක්‌දැයි දුක්‌මුසුව බලා උන්හ. ඉවසුම් නොමැතිව ගිය ඩබ්ලිව් ජයසිරි ද, උපුල් ශාන්ත සන්නස්‌ගලද මේ විද්වතුන්ගේ මෘත කලේබරයන් බලයෙන් ඔසවාගෙන යන අවිචාරසමයකැයි කීහ. සැබැවින්ම ගම්ලතුන්ගේ ආස්‌ථනයට මෙබඳු අවමනක්‌ කිරීම නම් කිසිසේත් අනුමත කළ නොහැක.

මහාචාර්ය ගම්ලතුන් ජීවමානව සිටි කල නිබඳ පෙම්රස සෙවූ අගනා පබඳක්‌ විය. ඒ ගීත ගෝවින්දයයි. පතිරාජ ප්‍රමුඛ මිතුරු කැළත් ගම්ලතුන්ගේ දුක නිබඳව බෙදා ගත් උදේනි ජයවීරත් ඔවුන්ගේ අවසන් මොහොතේදී ගීතගෝවින්දයේ ගැයුම් විසුරුවා හරින්ට යෝජනා කළැයිද වාර්තා විය. එමතු නොව කලකට පෙර ගම්ලතුන් විසින්ම දිවංගත ධම්ම ජාගොඩගේ සම්මාදම ඇතිව පණ්‌ඩිත් අමරදේවයන් ලවා ගායනාකරවූ ජාත්‍යන්තර ගීතයද එසේ විසුරවාලන්නට යෝජනා වී තිබුණි. එහෙත් ඒ සියල්ල සුළගේ පාකර යෑවූ මේ අලුත් නඩය ගම්ලතුන්ගේ සියලු අපේක්‍ෂාවන් වනසා දමමින් තම සාහිත්‍ය වෙළෙ¹ම සඳහා ඔවුන්ගේ අවසන් මොහොත යොදා ගැනීම අප තුළ ඉමහත් සංවේග දනවයි.

මහාචාර්ය සුචරිත ගම්ලත් ශ්‍රී නාමය චිරාකල් සඡ්ජනන් තුඩ තුඩ රැව්දේවා !

ගාමිණී සුමනසේකර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.