රජ තුන්කට්‌ටුව



ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ වාර්ෂික ක්‍රිකට්‌ නිලවරණය යනු පුරෝහිතයන්ගේ දක්‍ෂතාව මත රජුන් ඔටුනු පළඳින මංගල්‍යයක්‌ ලෙස හැඳින්විය හැකිය. කෙසේ වෙතත් තවත් සතියක ඇවෑමෙන් (අප්‍රේල් 16 දා) පැවැත්වෙන මෙවර ක්‍රිකට්‌ නිලවරණයේ ප්‍රධාන අසුන්වලට සුදුස්‌සන් දැනටමත් තීරණය වී හමාරය. එය නිලවරණයක්‌ද නැතහොත් අතුරු කමිටුවක්‌ද යන්න මාතෘකාවට බඳුන් විය යුත්තේ අනාගත ක්‍රිකට්‌ ක්‍රීඩාවට එයින් සිදුවන සුබ අසුබ ගැන නිරීක්‍ෂණය කිරීමේදීය.

ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට අතුරු කමිටු තහනම් කිරීම තුළින් නිලවරණය යන නාමයට පමණක්‌ වලංගුව ක්‍රිකට්‌ නිලවරණය පැවැත්වීමට මෙරට ක්‍රීඩාවට වගකිවයුතු පාර්ශ්ව පෙළඹී තිබේ. ඉකුත් වසරේ පැවැති ක්‍රිකට්‌ නිලවරණයද මෙවර ක්‍රිකට්‌ නිලවරණයට සමානය. උපාලි ධර්මදාස සහ තිලංග සුමතිපාල ඉකුත් නිලවරණයේදීද සටනට පිවිසුණි. එහිදී තිලංග සුමතිපාලට නිතරගයෙන්ම එළියට විසිවීමට සිදුවෙද්දී උපාලි ධර්මදාස නිතරගයෙන් ක්‍රිකට්‌ මහ පුටුවේ අසුන් ගත්හ.

ක්‍රීඩා ඇමැතිවරයා විසින් ක්‍රිකට්‌ නිලවරණයේ ආයු කාලය වසර දෙකක්‌ දක්‌වා දීර්ඝ කිරීමත් සමග මෙරට ක්‍රිකට්‌ මහ පුටුව වටා නිරතුරුව කරකැවෙන උපාලි, ජයන්ත සහ තිලංග යළිත් ක්‍රිකට්‌ මහ පුටුවට ඉව ඇල්ලීය. එහෙත් තිලංග සුමතිපාල මෙවරද නිතරගයෙන් එළියට විසිවූ අතර උපාලි ධර්මදාසට එම ආනිශංසයම සිදුවිය. ජයන්ත ධර්මදාසගේ මුක්‌කුවක්‌ ලෙස ප්‍රකට බදුරලිය ක්‍රීඩා සමාජයේ සුමිත් පෙරේරාද මෙවර ඡන්ද සටනට පිවිසියේ යටි අරමුණක්‌ සහිතවය. අවසානයේ මෙවර නිලවරණයේ සභාපති තනතුර සඳහා තරග වැදුණු තිදෙනාම නිතරගයෙන් ඉවතට විසි විය. එබැවින් කාගේ වුවමනාවක්‌ හෝ යළි මුදුන් පත්විය. යළිත් ජයන්ත ධර්මදාසට ක්‍රිකට්‌ මහ පුටුවට ආරාධනා ලැබිණි. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ විධායක කමිටුවේ ඒකමතික තීරණයත් සමගිනි.

ක්‍රිකට්‌ නිලවරණයකදී තිලංගට ජයග්‍රහණය වෙනුවෙන් තරගයක්‌ නැති බව ඔහු පවසයි. ඒ ඔහු වටා සිටින ක්‍රීඩා සමාජවල 'ෂුවර්' කියා ගත හැකි කතිර මල්ල ගැන සුමතිපාල මහතා හොඳින් දන්නා බැවිනි. ජයන්ත ධර්මදාස මහතාද 'ෂුවර්' කියා ගතහැකි කතිර ප්‍රමාණයක්‌ සොයාගෙන තිබේ. මේ 'ෂුවර්' කතිර තරගය හේතුවෙන් ක්‍රිකට්‌ මහ පුටුවට වෙනත් අයෙකුට නිලවරණයකින් පැමිණීමේ අවස්‌ථාව ඇහැරී ඇත. එසේ පැමිණිය හැක්‌කේ අතුරු කමිටුවකින් හෝ මෙවර නිලවරණය පවත්වන ආකාරයකටය.

කවුරු ක්‍රිකට්‌ මහ පුටුවේ සිටියද දැන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට මුදලින් සරු අස්‌වැන්නක්‌ ලැබේ. රට වෙනුවෙන් අව්වේ කරවෙමින් ලෝක ක්‍රිකට්‌ පිටියේ ශ්‍රී ලංකා නාමය ඉහළින් වපුරන ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට සරු අස්‌වැන්නක්‌ ලැබීම කිසිවකුට ප්‍රශ්නයක්‌ නොවනු ඇත. ප්‍රශ්නය ඇත්තේ ක්‍රිකට්‌ ආයතනය මිලියන ගණනක්‌ බැංකුවලට ණය වී තිබීම සහ එයින් ගොඩ ඒමට ස්‌ථිර උපාය මාර්ගයක්‌ මෙම පත්වන බලධාරීන්ට තිබේද යන්නය.

ක්‍රීඩකයන්ගේ පදයට පාද චලනය කරන ක්‍රිකට්‌ බලධාරීන් පුටුවලට පැමිණීමෙන් මෙරට ක්‍රිකට්‌ යනු පිටරට එවුන්ගේ ගැත්තන් කොටසක්‌ වනු ඇත. ඉන්දියානු ප්‍රිමියර් ලීග් ක්‍රිකට්‌ තරගාවලිය පැවැත්වෙන කාලවකවානුවකදී ජාතික වශයෙන් වෙනත් තරගාවලියකට ශ්‍රී ලංකා කණ්‌ඩායමට සහභාගි කරවීමට කොන්දක්‌ ඇති පාලනයක්‌ මෙරට ක්‍රිකට්‌ පරිපාලනයේ බිහි විය යුතුය. පාසලේ ලණු පැදුරේ ක්‍රිකට්‌ කෙළින ළමුන්ගේ දුප්පත්කම බලන ක්‍රිකට්‌ පරිපාලනයක්‌ මෙරට බිහිවිය යුතුය. හිතුමතේට තමන්ට දොල පිදේනි දෙන ඇතැම් ක්‍රීඩා සමාජ පමණක්‌ නොව සමස්‌තයටම සලකන ක්‍රිකට්‌ පරිපාලනයක්‌ බිහිවිය යුතුය.

මෙරට බිහිවූ බොහෝ ක්‍රිකට්‌ සභාපතිවරුන්ට රජවරුන්ට මෙන් පුරෝහිතයන් සිටිති. මේ පුරෝහිතයන්ගේ හිතුමතේට අනුව ක්‍රිකට්‌ සභාපති නර්තනයේ යෙදීමෙන් ක්‍රිකට්‌ ගිනි තැනින් තැන ඇවිලෙන්නට පටන් ගැනේ. වැඩක්‌ නැතත් 'ජැන්ඩි පහට' ඇඳගෙන ක්‍රිකට්‌ ආයතනයෙන් වැටුප් ගන්නා ඇතැම් පුරෝහිතයන් සමස්‌ත ක්‍රිකට්‌වලටම පිළලයකි. මෙම ක්‍රිකට්‌ ආයතනයේ ඇතැමුන් බලා සිටින්නේ තමන්ගේ දොල පිදේනිය සංසිඳවා ගැනීමට හැකි සභාපතිවරයකු ක්‍රිකට්‌ ආයතනයට පැමිණනෙන තුරුය. කොන්ත්‍රාත් පදනම මත සේවය කරන ඇතැමුන් සිය සේවා දිගු කර ගැනීම සඳහා තම ක්‍රිකට්‌ සභාපතිවරයාට නොයෙකුත් 'ගොට්‌ටන්' බවට පත්වේ. මේ සියල්ල ක්‍රිකට්‌ ආයතනයේ සභාපති පුටුවේ කරකැවෙන සියලු සභාපතිවරුන්ටම පොදුමය.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ විධායක කමිටුවටද සුපුරුදු ක්‍රිකට්‌ සභාපතිවරුන් මිස වෙනත් නමක්‌ යෝජනා ස්‌ථිර කිරීමට අමතක වී තිබේ. එබැවින් ජයන්ත ධර්මදාස ක්‍රිකට්‌ සභාපති වන විට නිශාන්ත රණතුංග සුපුරුදු පරිදි ලේකම් අසුනේ අසුන් ගනියි. නිශාන්ත රණතුංග මෑත කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වෙනුවෙන් දැනෙන දෙයක්‌ කිරීමට ඉදිරිපත් වූ බැවින් ඔහුගේ තනතුර රැකගැනීම සඳහා ඔහු දක්‍ෂතා පෙන්වා තිබේ. ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන්ගේ රට සවාරි සඳහා ක්‍රිකට්‌ ආයතනයෙන් ලබාදෙන මුදල් කප්පාදු කිරීම සහ අයි.පී.එල්. සමයේ ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට වැටුප් රහිත කිරීම වැනි දේවල් කිරීම මගින් නිශාන්ත රණතුංගට ලකුණු කිහිපයක්‌ම ලැබිණි.

ක්‍රිකට්‌ පරිපාලනය යහපාලනයක්‌ වන විට ක්‍රිකට්‌ වලින්ද නම්බුව තබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වගබලා ගත යුතුය. පාසල් ක්‍රිකට්‌ ක්‍රීඩාවේ ශ්‍රී ලංකාවේ තරම් ව්‍යාප්තව නැති ක්‍රිකට්‌ ලොවේ බාලයන් ලෙස සැලෙකන බංග්ලාදේශයට පරාජය නොවන ශ්‍රී ලංකා කණ්‌ඩායමක්‌ නිර්මාණය කිරීමද පරිපාලනයේම කොටසකි.

ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමස්‌ත ශ්‍රී ලංකා ක්‍රීඩාව වෙනුවෙන් අපක්‌ෂපාතී තීන්දු තීරණ ගැනීමට මැලිකමක්‌ නොදක්‌වන ක්‍රීඩා ඇමැතිවරයෙකි. ශ්‍රී ලංකා ක්‍රීඩාවේ මුදුන් මල්කඩ බවට පත්ව තිබෙන ක්‍රිකට්‌ ක්‍රීඩාවේ 'පිල්ලි ගැසීම්' වළක්‌වා එය පවත්වාගෙන යා හැකි ක්‍රිකට්‌ නිලධාරීන් පත්කිරීම පිළිබඳව ඔහු වෙහෙසෙනු ඇත. මෙවර නිලවරණයද එවැන්නක්‌ යන්න අපි බලා සිටිමු.

අසේල විතාන

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.