ශ්‍රී ලංකාවේ ජාතික ගීය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්‌

මැදගංඔය අනෝමදස්‌සී හිමි

ලංකාව තුළ දිගින් දිගටම ජාතික ගීය පිළිබඳ විවිධ සංවාද පවතී. පවතින දේශපාලනික පසුබිම අනුව එම තත්ත්වයන් තවදුරටත් තීව්‍ර කෙරේ. විචාරශීලීව, විදග්ධ මට්‌ටමින්, විචක්‌ෂණශීලීව අවධානය යොමුකරනවා වෙනුවට, ගැටලුව තව තවත් උග්‍ර කරවන අයුරින් බොහෝදෙනා මැදිහත් වන ස්‌වභාවයක්‌ පෙන්නුම් කෙරේ. නමුත් නව ජවයකින් නව ගමනක්‌ ආරම්භකොට ඇති ශ්‍රී ලාංකීය අප හට නිදහසේ, සැනසිල්ලේ එම මාවතේ ගමන් කිරීමට නම් පවතින ගැටලු අපි විසින් ම විසඳා ගත යුතු වෙමු. බාහිර පුද්ගලයන්ට, සංවිධානවලට මෙම රටේ අභ්‍යන්තර ගැටලුවලට අත පෙවීමට අවස්‌ථා නොතැබිය යුතුය. නොදිය යුතුය. ගෙදර ගිනි පිටතට නොදිය යුතුය. එමෙන්ම පිටත ගිනි ගෙදරට නොගත යුතුය. එබැවින් ජාතික ගීය ගායනය සම්බන්ධයෙන් චිරාත් කාලයක්‌ තිස්‌සේ පවතින අර්බුදය පිළිබඳව කිසියම් අධ්‍යයනයක්‌ සිදු කොට වඩා යහපත් මෙන්ම සාධාරණ නිගමනයකට එළඹීමට උත්සාහ කෙරේ.

ජාතික ගීයේ ඉතිහාසය

කිසියම් රටක ජාතික ගීය යනු, එම රටේ සියලු පුරවැසියන් තුළ දේශාභිමානය වඩවන, නිදහස්‌ - නිවහල් භාවය තීව්‍ර කරවන, ජන මනස දේශප්‍රේමයෙන් ඔද වඩවන, දේශානුරාගී ගීතය යි. ජාතික ගීය නමැති සංකල්පය තුළ කිසිදු ආකාරයක අසමානතාවක්‌ පිළිබිඹු නොවිය යුතු ය. කිසියම් රටක බහුවාර්ගික, බහුආගමික, බහුසංස්‌කෘතික පසුබිමක්‌ පවතී නම් එහි සියලුම ජන කොටස්‌වලට තමන්ගේ රටේ ජාතික ගීතය සමඟ හෘදයාංගමව සහසම්බන්ධ විය හැකි විය යුතු ය. ජාතික ගීය ගායනා කරන විට, ඇසෙන විට එය තමන්ගේ ම ජාතික ගීය යන හැඟීම හදවතට කා වැදිය යුතු ය. යම් පුරවැසියෙකු තුළ මොනම තත්ත්වයක්‌ තුළ හෝ එසේ නොවන්නේ නම් එවැනි ගීයක්‌, සාකල්‍යාර්ථයෙන් ම ජාතික ගීයක්‌ වනුයේ කෙසේ ද? යන ගැටලුව පැන නඟී. එබැවින් කිසියම් රටක ජාතික ගීය තුළින් මූර්තිමත් වන්නේ සමස්‌ත ජාතියේ හැඟීම යි.

"ජාතික ගීය" යන්න සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන්නේ Anthem යන වචනය යි. මෙම වචනය ග්‍රීක භාෂාවේ Antiphôna යන වචනයෙන් භින්න වූ පදයකි. කිසියම් රටක ජනතාව වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය වූ ගීතය ජාතික ගීය යි. එම අදහසින් ගත් කල ජාතික ගීය යනු එහි ජාතික සංකේතය යි. Anthem යන සංකල්පය මුල දී භාවිතා කළේ කිසියම් ආගමික සන්දර්භයක පිහිටා බව පෙනේ. Anglican පල්ලියේ සංගීතය හා සම්බන්ධ පදයක්‌ ලෙස ද දැක්‌විය හැක.මේ අනුව Anthem යන්නෙන් ඉහත අර්ථ දෙකම නිරූපණය කොට ඇති බව නිගමනය කළ හැකි ය. එමෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් ජාතික ගීය සඳහා වචන කිහිපයක්‌ම භාවිතා කෙරේ. එනම් National anthem" National hymn" National song යනු එම වචන යි.

ජාතික ගීතය පිළිබඳ උනන්දුවක්‌ පළමුවෙන් ම ඇති වූයේ 19 වන සියවසේ දී යුරෝපයේ ය. එහෙත් 19 වන සියවසට පෙරත් ජාතික ගී භාවිතා වූ බවට සාධක විද්‍යමාන වේ. එනම් ලන්දේසි (Dutch) ජාතික ගීය ලොව පැරජිතම ජාතික ගීතය ලෙස සැලකේ. එය රචනා වී ඇත්තේ 1568 - 1572 අතර සිදු වූ ලන්දේසි විප්ලවය සමයේ දී ය. වර්තමාන නෙදර්ලන්තයේ ද අද දක්‌වාම භාවිතා වන්නේ Wilhelmus නමැති එම ජාතික ගීය යි. නමුත් නිල වශයෙන් නෙදර්ලන්ත ජාතික ගීය ප්‍රකාශයට පත් වූයේ 1932 ය.

1745 දී නිර්මාණය කරන ලද මහා බ්‍රිතාන්‍යයේ ජාතික ගීතය ද ලොව පැරණිතම භාවිත ජාතික ගීතයකි. "God save the queen" යන එම ජාතික ගීයේ ඇති සුවිශේෂත්වය වන්නේ ලෝකයේ රටවල් බොහෝ ප්‍රමාණයක මෙම ගීතය ජාතික ගීතය වශයෙන් භාවිතා කිරීම යි. ඊට හේතුව වන්නේ මහා බ්‍රිතාන්‍යය ලෝකයේ රටවල් බොහොමයක්‌ ම යටත් විජිත වශයෙන් ඈඳාගෙන තිබීම යි. එබැවින් යටත් විජිතවල ද ජාතික ගීය එංගලන්ත ජාතික ගීය ම වූයේ ය. 1948 පෙබරවාරි 4 දා ශ්‍රී ලංකාව ඩොමීනියන් නිදහස ලබන තුරුම ජාතික ගීතය වශයෙන් භාවිතා කළේ ද "God save the queen" යන මහා බ්‍රිතාන්‍යයේ ජාතික ගීතය යි. නමුත් 1948 න් පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙනම ම ජාතික ගීයක අවශ්‍යතාව උද්ගත විය.

ශ්‍රී ලංකාව යනු, බහු වාර්ගික, බහු ආගමික, බහු සංස්‌කෘතික රටකි. මේ අනුව සිංහල, දෙමළ, මුස්‌ලිම්, බර්ගර්, මැලේ ආදී ජාතිකත්ව රාශියක්‌ නියෝජනය කරමින් රටේ ජනගහනය නිර්මාණය වී ඇත. ශ්‍රී ලාංකීය ජාතිය නිර්මාණය වන්නේ මෙම ජාතිකත්ව සමූහයම ඒකාබද්ධ වීම තුළිනි. කිසියම් දේශයක ජාතික කොඩිය හා ජාතික ගීය යනු එම දේශයේ අභිමානයේ සංකේත යි. එමගින් සමස්‌ත ජනතාවගේත්, රටේත් ස්‌වෛරීභාවය හා නිදහස මූර්තිමත් කෙරේ. දේශානුරාගය හා ජාත්‍යාලය උද්දීපනය කිරීමට ජාතික කොඩියත්, ජාතික ගීයත් සමත් විය යුතුය. දේශයක්‌ තවත් දේශයක යටත්විජිතයක්‌ව පත්ව සිටින විට නිදහස්‌, නිවහල් ස්‌වභාවයක්‌ කිසිසේත් බලාපොරොත්තු විය නොහැක. ශ්‍රී ලංකාව මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිත භාවයෙන් නිදහස්‌ වූවාට පසු, අපට ම අනන්‍ය වූ, වෙනම ම ජාතික කොඩියක්‌ හා ජාතික ගීයක්‌ පිළිබඳ අදහස සියලු දේශමාමක ජනයාගේ හදවත්වල ගොඩනැගෙන්නට විය. ඒ අනුව 1951 මාර්තු මාසයේ දී සිංහ කොඩිය ජාතික කොඩිය ලෙස පාර්ලිමේන්තු අනුමැතිය මත සම්මත කරගන්නා ලදී.

සුප්‍රකට සංගීතඥ ආනන්ද සමරකෝන් මහතා විසින් "නමෝ නමෝ මාතා" නමැති ගීතය රචනා කරන ලදී. එතුමා ගාල්ලේ මහින්ද විද්‍යාලයේ ආචාර්යවරයෙකුව සිටිය දී 1940 දී එම ගීතය රචනා කොට ඇත්තේ සිසුන් තුළ දේශානුරාගයත්, ජාත්‍යාලයත් ඇති කිරීම සඳහා බව සඳහන් වේ. මෙම සන්දර්භය තුළ දී ඉතා වැදගත් සාධකයක්‌ වන්නේ, ඡේ. ආර්. ජයවර්ධන මහතාගේ මැදිහත්වීම යි. එතුමා සමරකෝන් මහතාගේ මෙම ගීතය ජාතික ගීතය වශයෙන් පිළිගැනීම සඳහා අවශ්‍ය කරන නෛතික පසුබිම සකස්‌ කිරීම වෙනුවෙන් මහත් පරිශ්‍රමයක්‌ දරා ඇත. ඒ අනුව 1941 ජුනි 26 දා ලංකා ජාතික සභාවට, නමෝ නමෝ මාතා ගීතය ජාතික ගීය වශයෙන් පිළිගැනීම සඳහා වන මැමෝ පත්‍රය සකස්‌කොට ඉදිරිපත් කොට ඇත. එය ජාතික ගීය පිළිබඳ පුළුල් අධ්‍යයනයක්‌ සිදුකොට, වෙනත් රාජ්‍යන්හි එවක භාවිතා වුණු ජාතික ගී පිළිබඳ තත්ත්ව ද ගෙනහැර දක්‌වමින් ඉදිරිපත් කළ සාරවත් එකක්‌ විය. මෙම මැමෝ පත්‍රය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී යම් පසුගාමී ස්‌වභාවයක්‌ පෙන්නුම් කළ නිසාදෝ මෙය ම නැවතත් 1951 ජුනි 15 දා එවක ස්‌වදේශ කටයුතු හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය වූ ඕ. ඊ. ගුණතිලක මහතා විසින් කැබිනට්‌ අනුමැතිය සඳහා යොමුකොට ඇත. එමෙන්ම ජාතික ගීයේ දෙමළ භාෂා මාධ්‍ය පරිවර්තනය එවක අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වූ කේ. කනගරත්නම් මහතා විසින් ද ඉංග්‍රීසි භාෂා මාධ්‍ය පරිවර්තන දෙකින් එකක්‌ එවක ඉන්දුනීසියාවේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සිදුකළ සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මහතාත්, අනෙක්‌ ඉංග්‍රීසි පරිවර්තනය එවක පුරාවිද්‍යා කොමසාරිස්‌ වූ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් ද සිදුකොට තිබේ. එමෙන්ම ජාතික ගීයේ දෙමළ භාෂා මාධ්‍ය පරිවර්තනය පණ්‌ඩිත් නල්ලතම්බි මහතා විසින් ද සිදුකළ බවට පිළිගැනීමක්‌ තිබේ. 1958 දී නල්ලතම්බි මහතා මියගිය පසු ප්‍රකාශයට පත්කළ එතුමාගේ කාව්‍ය සංග්‍රහයක ජාතික ගීය ද ඇතුළත්ව තිබීමෙන් මෙය පැහැදිලි වේ. එතුමා විසින්ම කළ පරිවර්තන කාව්‍යයක්‌ ලෙස සලකා තිබීමෙන් පැහැදිළි වන්නේ ජාතික ගීය ප්‍රථමයෙන් ම දෙමළ භාෂා මාධ්‍යට පරිවර්තනය කළේ නල්ලතම්බි මහතා බව යි. මෙය තහවුරු කිරීම සඳහා බොහෝ සාධක ඇතත්, ජාතික ගීතය දෙමළ භාෂා මාධ්‍යට පරිවර්තනය කිරීම පිළිබඳ නිළ පිළිගැනීම වන්නේ, කේ. කනගරත්නම් මහතා විසින්ම එය සිදු කළ බව යි.

මේ අනුව 1952 මාර්තු 12 වෙනිදා සිට ශ්‍රී ලංකාවේ ජාතික ගීය වශයෙන් "නමෝ නමෝ මාතා" ගීතය නිල වශයෙන් ප්‍රකාශයට පත් විය. 1952 මාර්තු 11 වෙනිදා පැවති කැබිනට්‌ මණ්‌ඩලයේ අනුමැතිය අනුව, කනගරත්නම් මහතා සිදුකළ දෙමළ පරිවර්තනයත්, කන්නන්ගර මහතා සිදුකළ ඉංග්‍රීසි පරිවර්තනයත් ජාතික ගීයේ නිල පරිවර්තන ලෙස අනුමැතිය ලබා ගති. එමෙන්ම සංගීත ප්‍රස්‌තාරය ද ජාතික ගීයේ පරිවර්තන සමගම අනුමත විය.

1953 දී ජාතික ගීය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාවේ දී ගායනා කොට තැටිගත කරන ලදී. ඒ සඳහා සීදුව අන්ධ විදුහලේ සිසුන් ගායනයෙන් දායක වී ඇත. ඒ අනුව ජාතික ගීයේ සම්පුර්ණ වාදන කාලය ලෙස මිනිත්තු 2යි තප්පර 19ක්‌ ලෙස සඳහන් වේ. 1955 පෙබරවාරි 4 වෙනිදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාවේ දී දෙමළ භාෂා මාධ්‍යයෙන් තැටි ගත කරන ලදී. එය ගායනා කළේ මීනා හා සංගරී යන දෙදෙනා විසින් බව සඳහන් වේ.එය එදින ගුවන් විදුලිය මගින් විකාශනය කළ බව ද සඳහන් වේ. එම වකවානුවේ ඇති වූ යම් යම් තත්ත්වයන් අනුව ජාතික ගීයේ දෙමළ මාධ්‍ය විකාශනයට කිසියම් විරෝධයක්‌ එල්ල වී ඇත. 1970 දී පාලන බලයේ සිටි සමගි පෙරමුණ රජය මේ සඳහා විශේෂ කොමිසමක්‌ පත්කොට තිබේ. එම කමිටුවේ පරීක්‌ෂණයෙන් පසුව දෙමළ මාධ්‍යයෙන් ජාතික ගීය දිගටම තවදුරටත් ගායනය සහ විකාශනය සිදු කරන ලදී. ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ පාලන සමයේ සන්නිවේදන අමාත්‍යවරයාගේ නියෝගයකට අනුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාවේ දෙමළ නාලිකාවල දෙමළ මාධ්‍යයෙන් ජාතික ගීය විකාශනය නතරකොට ඇත. නමුත් සංගීත නාදය පමණක්‌ වාදනය කොට ඇත. 1994 දී බලයට පත් රජය විසින් එයත් ඉවත් කොට සිංහලෙන් පමණක්‌ ජාතික ගීය විකාශනය කොට ඇත. දෙමළ මාධ්‍යයෙන් ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධයෙන් බොහෝ අවස්‌ථාවල දී ගැටලු පැනනැගී ඇත. ඒ අනුව 1995 සැප්තැම්බර් 22 වෙනි දා බණ්‌ඩාරනායක අනුස්‌මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී ජාතික ගීය දෙමළ මාධ්‍යයෙන් ගායනා කිරීම නිසා ඇති වූ ගැටලුව උදාහරණ වශයෙන් පෙන්වාදිය හැක. එවක සන්නිවේදන අමාත්‍යවරයා මේ සම්බන්ධව පරීක්‌ෂණයක්‌ කිරීමට තීරණය කිරීමෙන්ම එහි ගැඹුර පැහැදිළි වේ.

නමෝ නමෝ මාතා ජාතික ගීය ප්‍රථම වරට ගායනා කරන ලද්දේ, 1949 නිදහස්‌ උත්සවය වෙනුවෙනි. එහිදී අග්‍රාමාත්‍ය ඩී. එස්‌. සේනානායක මහතාගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව ජාතික ගීය දෙමළ බසින් ද, සරඹ පෙළපාලියෙන් අනතුරුව ජාතික ගීය සිංහල බසින් ද ගායනා කළ බව සඳහන් වේ. මේ බව 1949 පෙබරවාරි 4 වෙනි දා ටොරින්ටන් චතුරශ්‍රයේ ස්‌වාධීන අනුස්‌මරණ ගොඩනැගිල්ලේ ආරම්භය නිමිත්තෙන් පැවති උත්සවයේ වැඩසටහනෙහි පැහැදිලිව දක්‌වා ඇත. අපට ලද තොරතුරු අනුව එම වැඩසටහන් පත්‍රය ලංකා රජයේ මුද්‍රණාලයේ මුද්‍රණය කළ ලියවිල්ලක්‌ බව ස්‌ථිරවම සඳහන් කළ හැක. එමෙන්ම 1950 වසරේ ද නිදහස්‌ උත්සවය වෙනුවෙන් ජාතික ගීය දෙමළ බසින් ගායනා කළ බව 1950 පෙබරවාරි 6 වෙනි දා දිනමිණ පුවත් පත වාර්තා කොට තිබේ. එමෙන්ම 1950 දී අග්‍රාමාත්‍ය ඩී. එස්‌. සේනානායක මහතාගේ යාපනය සංචාරයේ දී ද ජාතික ගීය දෙමළ මාධ්‍යයෙන් ගායනා කොට ඇති බව මූලාශ්‍ර ඇසුරින් නිරීක්‌ෂණය කළ හැක.

ජාතික ගීයට සංශෝධන

ජී. ජී. පොන්නම්බලම් මහතාගේ යෝජනාවකට අනුව ජාතික ගීයේ දහවන පේළිය වශයෙන් සඳහන් වන "නැවත අප අවදි කරන් මාතා" වෙනුවට "නීතින අප පුබුදු කරන් මාතා" යන්න ඇතුළත් කොට සංශෝධනය කරන ලදී. "එක මවකගේ දරු කැළ බැවිනා" යන්න "එක මවකගේ දරු කැළ ලෙසිනා" යන්නෙන් සංශෝධන අපේක්‌ෂා කළත් මුල් රචනය වන "එක මවකගේ දරුකැළ බැවිනා" යන්නම පැවතිය යුතු බවට 1952 ජනවාරි 4 වෙනි දා දින පැවති කැබිනට්‌ මණ්‌ඩලය තීරණය කොට තිබේ.

ජාතික ගීයේ "ගණ" පිළිබඳ ගැටලුවක්‌ පවතින බවත් නමෝ නමෝ මාතා යන්න අපායාක්‌ෂරවලින් ආරම්භ වන බවත් එමගින් රටට හා ජනතාවට මෙන්ම ආණ්‌ඩුවට ද අපලදායක තත්ත්වයක්‌ උද්ගත වන බවත් එවක සිටි දෛවඥයෝ පෙන්වා දුන්හ. එය සැලකිල්ලට භාජනය කරමින් 1962 දී "නමෝ නමෝ මාතා" වෙනස්‌ කොට "ශ්‍රී ලංකා මාතා" යනුවෙන් සංශෝධනය කෙරිණි. ඒ බව එවක සංස්‌කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් 1962 පෙබරවාරි 03 වෙනි දා නිවේදනය කරන ලදී. මේ සමගම තමා විසින් රචිත ජාතික ගීයට සුවිශාල අසාධාරණයක්‌ කළේ යෑයි සිත් වේදනාවට හා කලකිරීමට පත් ආනන්ද සමරකෝන් මහතා නිදිපෙති පානය කොට සියදිවි නසාගත් බව ද සඳහන් කළ යුතුය.

1978 ව්‍යවස්‌ථාවේ, 7 වන ව්‍යවස්‌ථාවේ "ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය "ශ්‍රී ලංකා මාතා" ගීය වන්නේ ය. ජාතික ගීයේ පද මාලාව සහ සංගීතය තුන්වන උපලේඛනයේ දැක්‌වෙන්නේ ය." යනුවෙන් පැහැදිලිව දක්‌වා ඇත. එය ද දෙමළ හා ඉංග්‍රීසි පරිවර්තන සහිතව දක්‌වා ඇත. දෙමළ පරිවර්තනය අනුව "ශ්‍රී ලංකා තායේ" යනුවෙන් එහි සඳහන් වේ. කේ. කනගරත්නම් මහතාගේ පරිවර්තනයම 1978 ව්‍යවස්‌ථාව තුළ අන්තර්ගත කරන ලදී. මෙහිදී සඳහන් කළ යුතු විශේෂ කරුණක්‌ ඇත.එනම්, ජාතික ගීයේ දෙමළ පරිවර්තනය සිංහල ජාතික ගීයේ පද අනුවම කළ පරිවර්තනයක්‌ බව යි. එසේ නොමැතිව ජාතික ගීයට දෙමළ අනුවාදයක්‌ මෙහි කිසිසේත් සිදු කොට නොමැත. ජාතික ගීය දෙමළ භාෂාවට පරිවර්තනය කිරීමේ දී සමරකෝන් මහතාගේ සිංහල ජාතික ගීයට උපරිම සාධාරණය ඉටු කොට ඇති බව ඕනෑම අයෙකුට වුව ද පැහැදිළි වේ. එමෙන් ම ශ්‍රී ලංකාවේ දෙමළ හා මුස්‌ලිම් සියලු ජනයා මෙම ජාතික ගීය ඉතා ගෞරවයෙන් පිළිගනිති.

ඉන්දියාවේ ජාතික ගීය

"Jana Gana Mana" නමැති ගීතය ඉන්දියාවේ ජාතික ගීය යි. එය රචනා කරන ලද්දේ, නොබෙල් සාහිත්‍ය සම්මානලාභී, මහාකවි රබීන්ද්‍රනාත් තාගෝර් (Rabindranath Thakur) තුමා විසිනි. එමෙන් ම එම ගීතය සංගීතවත් වූයේ ද තාගෝර් තුමා අතිනි. මෙම ගීතය රචනා කොට ඇත්තේ, බෙංගාලී භාෂාවෙනි. බෙංගාලි භාෂාව වූ කලී, සංස්‌කෘත භාෂාවෙන් නිපන් තත්සම භාෂාවකි. අප රටේ බොහෝ දෙනාගේ සාවද්‍ය මතයක්‌ පවතී. එනම්, ඉන්දියාවේ ජාතික ගීය හින්දි භාෂාවෙන් රචනා වූ එකකියි යන්න යි. නමුත් කරුණු නිවැරදිව, බුද්ධිමත්ව විමර්ශනය කරන්නේ නම්, එම වැරදි අදහස සමනය වේ. මෙම ගීතය 1911 දෙසැම්බර් 27 වන දින ඉන්දියානු ජාතික කොංග්‍රසයේ රැස්‌වීමක්‌ වෙනුවෙන් කල්කටාවේ දී මුල්වරට ගායනා කොට ඇත. එහෙත් ඉන්දියාවේ ජාතික ගීය වශයෙන් "Jana Gana Mana" ගීතය නිල වශයෙන් පිළිගන්නා ලද්දේ, 1950 ජනවාරි 24 දින දීය. මෙම ගීතය ඉන්දියාවේ භාෂා කිහිපයකට ම පරිවර්තනය කොට ඇත. එනම්, හින්දි, දේවනාගරී, පංජාබි, මලයාලම්, තෙළිඟු, ගුජරාඕ, උර්දු, දෙමළ, කන්නඩ හා ඉංග්‍රීසි යනු එම භාෂා ය. මෙහි දී සැලකිල්ල යොමු කළ යුතු සුවිශේෂ කාරණය වන්නේ, සමස්‌ත ජනගහනයෙන් 42% කට ආසන්න ජනතාවක්‌ හින්දි භාෂාව මව් භාෂාව වශයෙන් කතා කරන පසුබිමක්‌ තුළ, සමස්‌ත ජනගහනයෙන් 8.11% ක ජන කොටසකගේ භාෂාව වන බෙංගාලි භාෂාවෙන් ජාතික ගීය රචනා කොට තිබීම යි. ඉන්දියාව යනු, වැඩිම භාෂා ප්‍රමාණයක්‌ භාවිතා කරන ලොව ප්‍රධාන ම රාජ්‍යයකි. එම භාෂා අතරින් එක්‌ භාෂාවකට මිලියනයක ජනතාවක්‌ අඩංගු වන ප්‍රධාන භාෂා 29ක්‌ පමණ ඇත. සමස්‌තයක්‌ ලෙස ඉන්දියාවේ භාෂා 215 ක්‌ පමණ හඳුනා ගෙන ඇත. මෙවැනි සංකීර්ණ තත්වයක්‌ තුළ හැමටම පොදු ජාතික ගීය ගායනා කිරීමට බෙංගාලි භාෂාවම තෝරා ගැනීම ඉතා බැරෑරුම් කාර්යයක්‌ වූවාට කිසිදු සැකයක්‌ නැත. මේ තත්ත්වය තුළ ඉන්දියානු ජනතාව, සියලුම ආගමික මතවාද, ජාතිකත්ව වෙනස්‌කම් පසෙක තබා පොදු සම්මතයකට පැමිණීම ඉතා අගය කළ යුත්තකි. පැසසුම් කටයුත්තකි. මෙහි පවතින තවත් වැදගත්කමක්‌ වන්නේ, තාගෝර්තුමා ද බෙංගාලි භාෂාව කතාකරන, බෙංගාලි ජාතිකයෙකු වීම යි.

ජාතික ගීය සම්බන්ධව ලෝකයේ වර්තමානය වන විට විවිධ ප්‍රවණතා පවතී. ඒ අතර භාෂා කිහිපයකින් එක්‌ රටක ජාතික ගීය ගායනා කිරීම සිදු කිරීම දැක්‌විය හැක. එමගින් බොහෝ කාලයක්‌ තිස්‌සේ පැවතී. ගැටලු රාශියක්‌ විසඳා ගැනීමට හැකි වී ඇත. භාෂා කිහිපයක්‌ කතා කරන රටවල ජාතික ගීය භාෂා කිහිපයකින්ම ගායනා කෙරේ.

භාෂා කිහිපයකින් ජාතික ගීය ගායනා කරන රටවල්

රට ජාතික ගීය ගායනා කරන භාෂා

බෙල්ර්යම ෆ්ලෙමිෂ්, ප්‍රංශ, ජර්මන්

බුරුන්දි ප්‍රංශ, කිරුන්දි

කැමරුන් ප්‍රංශ, ඉංග්‍රීසි

කැනඩාව ප්‍රංශ, ඉංග්‍රීසි

කොමොරෝස්‌ ප්‍රංශ, ෂිකොමොරෝ

ෆීජී ඉංග්‍රීසි, ෆීජී

පින්ලන්තය µන්නිෂ්, ස්‌වේදිෂ්

කෙන්යාව ඉංග්‍රීසි, කිෂ්වාහිලි

මලාවි චිෙච්වා, ඉංග්‍රීසි

මාෂල් දිවයින ඉංග්‍රීසි, මාෂල්

නයිරු ඉංග්‍රීසි, නයිරු

නවසීලන්තය ඉංග්‍රීසි, මයිරු

පලවූ ඉංග්‍රීසි, පලවූ

සුරිනාම් ඩච්, ස්‌රානන්, තෝංගො

ස්‌විස්‌ටර්ලන්තය ප්‍රංශ, ජර්මන්, ඉතාලි, රෝමන්

සිම්බාබ්වේ ඉංග්‍රීසි, න්දෙබ්ලෙ, ෂෝනා

දකුණු අප්‍රිකාව Xhosa, Zulu,සෙසොතෝ, අප්‍රිකාන්ස්‌, ඉංග්‍රීසි

ඉහත වගුව තුළින් ලෝකයේ විවිධ රටවල භාවිතා වන ජාතික ගීතවල පවතින විවිධ ප්‍රවණතා නිරීක්‌ෂණය කළ හැක. මෙහිදී අප විසින් අවධානය යොමු කළේ රටවල් කිහිපයකට පමණි. නමුත් තවත් බොහෝ රටවල මෙම ප්‍රවණතාව දැකිය හැකිය. එම රටවල භාෂා කිහිපයක්‌ කතා කරන ජනතාව වෙනුවෙන් සාධාරණ ලෙස මෙම ක්‍රමය අනුගමනය කෙරේ. තත්ත්වයන් නිවැරදිව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව සමස්‌ත ජනතාවටම පිළිගත හැකිවන ලෙස සාර්ථකව මෙම ප්‍රවණතා කෙරෙහි එවැනි අභියෝග පවතින වෙනත් රටවලට ද අවධානය යොමු කළ හැක.

නිගමනය

රටක ජාතික ගීය යනු, එක්‌ ජාතිකත්වයකට පමණක්‌ උරුම වූ එකක්‌ නොවේ. බහු ජාතිකත්ව සහිත රටක එසේ සිදු වේ නම් එය ජාතික ගීයක්‌ ලෙස කිසිදු අයුරකින් සැලකිය නොහැක. ජාතික ගීයේ අයිතිය, උරුමය එක්‌ ජාතියකට පමණක්‌ සීමා නොවේ. එය සමස්‌ත ජාතියේම ගීය විය යුතුය. ජාතික ගීයේ අයිතිය දේශයට ම විය යුතුය. එබැවින් ජාතික ගීය සමස්‌ත ජාතියේම, සමස්‌ත දේශයේම අභිමානයේ ගීතය විය යුතුය. ශ්‍රී ලංකාව යනු, පසුගිය දශක හතරකට ආසන්න කාලයක්‌ යුධමය අභියෝග වලින් ගහනව පවතී රටකි. සමස්‌ත ලාංකීය ජනතාවගේ විවිධ කැපකිරීම් මත එම මහා ව්‍යසනය නිමා කිරීමට හැකි විය.

ලබා ගත්තා වූ සමස්‌ත ජාතියේම ජයග්‍රහණය තව දුරටත් තහවුරු කොට ආරක්‌ෂා කිරීමට හැකිවන්නේ, සියලු ජනවර්ග වල එකමුතු භාවය තවදුරටත් සුරැකිව තහවුරු කරගතහොත් පමණි. ඒ සඳහා අෙන්‍යාaන්‍ය ගෞරවය, සුහදතාව, මිත්‍රශීලී භාවය හා විශ්වාසය සියලු ජාතීන් අතර වඩා තීව්‍ර ලෙස ගොඩනගා ගැනීම අත්‍යවශ්‍ය වන්නේය. අප රටේ මූලික නීතිය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තුළ අර්ථ කථනය කොට ඇත. රටේ සෑම පුරවැසියෙකුම එම මූලික නීතිය ආරක්‌ෂා කිරීමට නිතැතින්ම බැඳී සිටි යි. ජාතික ගීය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී ද ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ප්‍රතිපාදන වලට යටත්ව කටයුතු කිරීමට අනිවාර්යයෙන්ම සිදු වේ. ලංකාවේ ජාතික ගීය ද්වී භාෂාවෙන් ගායනා කිරීමට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් නියමාකාරයට බලය පවරා ඇත. එය එසේ තිබිය දී ජාතික ගීය සම්බන්ධයෙන් නිවැරදි නොවන ක්‍රමයක්‌ අනුගමනය කිරීම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව උල්ලංඝනය කිරීමක්‌ ලෙස අර්ථ නිරූපණය කළ හැක. එක ජාතිකත්වයක අයිතිවාසිකම් ආරක්‌ෂා කළ යුත්තේ, තවත් ජාතිකත්වයක අයිතිවාසිකම් අහෝසි නොවන අයුරින් ය. එබැවින් කරුණු තවදුරටත් අධ්‍යයනය කොට, සියලු ජාතිකත්වයන්ටම සර්ව සාධාරණය ඉටුවන අයුරින් ජාතික ගීය ගායනය සම්බන්ධයෙන් කටයුතු කිරීමෙන්, මාතෘභූමියට තවතවත් ජයග්‍රහණ අත්පත් කරගත හැක.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.