විදුලි බිල නගී!
අපි වළටම බසිමු!


සිංහල අවුරුද්දේ වැඩ ඇල්ලීමෙන් පැය 24 කට හෝ 48 කට පසු ආණ්‌ඩුව විසින් ප්‍රකාශයට පත් කෙරුණ විදුලි ගාස්‌තු නැංවීම වූ කලී නැකතටම දෙන ලද 'ෂොට්‌' එකකි. මේ ෂොට්‌ එකෙන් සාමාන්‍ය මිනිහා දෙකට කැඩී යන්නේය. සියලු දෙයෙහි මිල ඉහළ යමින් පවත්නා මෙකල විදුලි බිල ද නැංවීමෙන් මේ ජීවිතය කොතරම් මූසල ද, කාලකන්නි ද, කලකිරීම් සහගත ද යන්න තවදුරටත් තහවුරු කර ගැනීමට සාමාන්‍ය ජනයාට හැකි වන්නේ ය. මෙය වූ කලී ආණ්‌ඩුව ද ආර්ථික වශයෙන් වැලේ වැල් නැති තත්ත්වයකට පත්ව සිටින අවස්‌ථාවකි. එසේ තිබිය දී 'ආණ්‌ඩුව ගෙදර යනු' ජවිපෙට, ජෙනරල්ට හෝ එජාපයට බලය දෙනු යනුවෙන් පාරට බැස නැටීම එතරම් ප්‍රයෝජනයක්‌ නොවනවා ඇත.

එහෙත් කැමැති අය එසේ නටනවාට ද අපගේ විරුද්ධත්වයක්‌ නැත. රට කොතරම් නරක තත්ත්වයකට පත්ව ඇද්ද යත් අලුත් අවුරුද්දට වැඩිහිටියනට බුලත් දීමට නොහැකි වන තරමට බුලත් මිල ඉහළ ගිය බව එ. ජා. ප. යේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනු අපි රූපවාහිනියෙන් දුටිමු. අපේ රට පැය 24 ම වැඩිහිටියන්ට බුලත් දෙන රටක්‌ බැවිනුත්, අපගේ ප්‍රධාන ආහාරය බුලත් බැවිනුත් බුලත් මිල ඉහළ යැම වැරදිය. ජනතා විමුක්‌ති පෙරමුණ වැනි පක්‍ෂයක තරුණ දේශපාලනඥයන් කතා කරන ආකාරය (කේ. ඩී. ලාල්කාන්ත හැර) ගැන එ. ජා. පයේ මන්ත්‍රීවරුන්ට අධ්‍යයන අවස්‌ථාවක්‌ ලබාදීම එ. ජා. ප. නායකත්වයේ වගකීම විය යුතුය. එසේ නැතිව රටේ මෙතරම් ප්‍රශ්න තිබිය දී බුලත් ප්‍රධාන ආහාරය ලෙස සලකා සහ බුලත් දීම අපේ ප්‍රධාන ක්‍රියාව ලෙස සලකා ප්‍රසිද්ධියේ කතා කරන්නට එම පක්‍ෂයේ තරුණ මන්ත්‍රීවරුන් තවදුරටත් කටයුතු කළොත් ජනයා විපක්‍ෂය ගැන තවදුරටත් කලකිරීම නිසා පිස්‌සු කෙලීමට ආණ්‌ඩුවට ඇති අවස්‌ථාව තවදුරටත් වර්ධනය වනවා ඇත.

මහජන උපයෝගිතා කොමිසම නමැති පතෝල මැස්‌සේ අනුමැතිය පරිදි විදුලි බිල ඉහළ දැමීමෙන් රටේ ගෘහස්‌ථ විදුලි පාරිභෝගිකයන්ට 68% වැඩි බිලකුත් සෙසු විදුලි පාරිභෝගිකයන්ට 26% වැඩි බිලකුත් ගෙවීමට සිදු වන්නේය. ඉන් වදින පහර කෙනකු නිදා සිටින විට මෝල්ගසකින් ඇඳ විට්‌ටමට පහර දීම හා සමාන ක්‍රියාවකි. මෙබඳු ක්‍රියාවකදී නිදා සිටින මිනිසාගේ හිසට දැනෙන කම්පනය ඉතා විශාල ය. ඔහු නොමැරෙන නමුත් පෙර කී කම්පනය නිසා දිගු කාලීන විඳවීමකට පාත්‍ර වන්නේය. මෙතෙක්‌ කලක්‌ විදුලිය වෙනුවෙන් රුපියල් 200 ක්‌ වැය කළ දුගී පාරිභෝගිකයාට නව මිල ක්‍රමය අනුව රුපියල් 327 ක්‌ ගෙවීමට සිදු වන්නේ ය. මේ රටේ වැඩි වශයෙන්ම සිටින්නේ මෙබඳු අඩු විදුලියක්‌ පාවිච්චි කරන පහළ මධ්‍යම පන්තියේ සහ දිළිඳු පන්තියේ අය ය. ඒ මිනිසුන් බොහෝ විට රැයෙහි දල්වන්නේ බල්බ 2 ක්‌ පමණි. සාලයට ආලෝකය ලබා ගන්නේ රූපවාහිනියෙනි. ශ්‍රී ලංකාව වර්ෂාවෙන් කොතරම් ස්‌වයංපෝෂිත වුව ද පාරිසරික උෂ්ණත්වය ඉහළ ගොස්‌ ඇති නිසා පරිසරයේ පවත්නා ජල වාෂ්ප ද උණුසුම් ය. මේ නිසා විදුලි පංකා නැතිව කල් ගත කිරීමට නාගරික පහළ මැද පන්තියේ කුඩා නිවාසවල ජීවත් වන්නන්ට නොහැකිය. විදුලි ඒකක මිල රු. 5 සිට රුපියල් 34 දක්‌වා විවිධ ගණන්වලින් ඉහළ නැග ඇති බැවින් මින්පසු විදුලි පංකා වැනි අමතර උපකරණයන් දෙස බැලීමෙන් පවා වැළකිය යුතුය. ඉන්ධන ගැලපුම් මිල 25% සිට 40% දක්‌වා වැඩි කර තිබේ. මේ රටේ විදුලි පාරිභෝගිකයන් පනස්‌ ලක්‍ෂයකි. 80% කට ඉහත කී මිල වැඩි වීම ඉතා සැරට බලපානවා ඇත.

අප මේවා ලිවීමෙන් කිසිදු ප්‍රයෝජනයක්‌ නැත. අප මෙසේ ලියුවා කියා ආණ්‌ඩුව විදුලි බිල පහත හෙළන්නේ ද නැත. අපේ මේ සටහන ජනතාවගේ පැත්තෙන් කරන යුතුකමක්‌ පමණි. විදුලි බල ඇමැතිතුමියට සැප වේවා!

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.