ජනතාවට විදුලි සැර වැද්දූ
ආණ්‌ඩුවේ අලුත් අවුරුදු තෑග්ග!

ඇමැතිවරියගේ පොරොන්දුවට කුමක්‌ වෙයිද!

අවුරුදු ඉවරය. සිංහල අවුරුදුවලට පසුව සෑම වසරකම පාහේ එක්‌කෝ ඉන්ධන මිල ඉහළ ගියේය. නැතිනම් විදුලි ගාස්‌තු ඉහළ ගියේය. නොමැති නම් ගෑස්‌ හෝ බස්‌ ගාස්‌තු ඉහළ ගියේය. මේ සිංහල අවුරුද්දට පොදු මහජනතාවට ආණ්‌ඩුව දුන්නේ විදුලි ගාස්‌තු ඉහළ දැමීමේ තෑග්ගය.

මෙවර විදුලි ගාස්‌තු ඉහළ දැමීම නම් රටේ ආර්ථික බිඳවැටීම පෙන්වන කැඩපතකි. ඒ තරමටම රටේ ආර්ථිකය අර්බුදයකට ගොසිනි.

මේ වසරේ පෙබරවාරි මාසයේ 22 වැනි සිකුරාදා වන විට ඉන්ධන මිල ඉහළ දැමීමට රජයට සිදුවිය. ඔක්‌ටේන් 90-95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් තුනකින්ද, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් හතකින්ද, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් තුනකින්ද ඉහළ දැමූ රජය කාර්මික භූමිතෙල් මිල රුපියල් හතරකින් ඉහළ දැම්මේ දැවි තෙල් මිලෙහි වෙනසක්‌ නොකරමිනි. නමුත් හරියටම අප්‍රේල් 01 වැනිදා සිට දැවි තෙල් මිලද ඉහළ දැමුවේ මේ රටේ ජනයා මෝඩයින් ලෙස සලකමිනි.

අප්‍රේල් 01 වැනිදා සිට විදුලි ගාස්‌තු වැඩි කරන බව කියමින් විදුලි ගාස්‌තු වැඩි කිරීමට අදාළව යෝජිත විදුලි ගාස්‌තු ප්‍රකාශයට පත් කළේ අභිනවයෙන් විදුලි ඇමැතිකමට පත් වූ පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය පෙරටු කරගෙනය. තෝරාගත් මාධ්‍යවේදීන්ට පමණක්‌ ආරාධනා කර පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසුව අදාළ ගාස්‌තු වැඩිවන යෝජනාව මහජන උපයෝගිතා කොමිසම හමුවට ඉදිරිපත් කෙරිණි. සති කිහිපයක්‌ තිස්‌සේ විදුලි ගාස්‌තු සම්බන්ධයෙන් වාචික හා ලිඛිත අදහස්‌ ලබාගත් මෙම කොමිසම මුල සිටම කීවේ විදුලි ගාස්‌තු වැඩි කිරීමට අවශ්‍යතාවක්‌ නොමැති බවකි. නමුත් ලංකා විදුලිබල මණ්‌ඩලයට මෙම වසරේ අපේක්‍ෂිත වියදම පියවා ගන්නට නම් විදුලි ගාස්‌තු වැඩිකිරීමේ අවශ්‍යතාවක්‌ මතුව තිබිණි. අවසානයේදී රජයේ ප්‍රතිපත්තියට අනුව අවසන් තීරණය ගත් බව කීමට එම කොමිසමේ සභාපති ආචාර්ය ජයතිස්‌ස ද කොස්‌තාට සිදුවිය.

2013 ජනවාරි 28 වැනිදා කැබිනට්‌ මණ්‌ඩල සංශෝධනය මේ මොහොතේ සිහි නොකරම බැරිය. හේතුව එම කැබිනට්‌ සංශෝධනයෙන් ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති ලෙස සිටි සුසිල් ප්‍රේම්ජයන්තත්, විදුලිබල ඇමැති ලෙස සිටි පාඨලී චම්පික රණවකත් එම ඇමැති ධුරවලින් ඉවත් කොට පවිත්‍රාදේවි වන්නිආරච්චිට විදුලිබල ඇමැතිකමත්, තෙල් ඇමැතිකමට අනුර ප්‍රියදර්ශන යාපාත් පත් කිරීම හා තෙල් මිල හා විදුලි ගාස්‌තු ඉහළ දැමීම එකට බැඳී ඇති බැවිනි.

ඇත්තටම ඒ ඇමතිධුර වෙනස්‌ කළේ මේ ටික කිරීමටද? කොයි කාටත් එහෙම හිතෙන්නේ තෙල් මිලත්, විදුලි බිලත් නහුතෙට වැඩිවීගෙන යන බැවිනි.

තෙල් මිල කෙසේ වෙතත්, විදුලි බිල වැඩි වූ ආකාරයට එරෙහිව මේ වන විටත් විශාල ජනතා විරෝධයක්‌ එල්ල වී ඇත. විෂය පිළිබඳ හසල දැනුමක්‌ තිබූ ඇමැතිවරු වෙනුවට වෙනත් අය දමා මේ ගහන පැලැස්‌තරවල අවසානය ඉතා භයානක බව විදුලිබල මණ්‌ඩලයේ ඉංජිනේරුවරුන්ගේ අදහසකි.

මෙරට විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාව ලක්‍ෂ පනස්‌පහක්‌ පමණකි. මොවුන්ගෙන් ලක්‍ෂ පනහක්‌ම ගෘහස්‌ථ විදුලි පාරිභෝගිකයන්ය. රටේ මුළු විදුලි පාරිභෝගිකයන්ගෙන් සියයට හැත්තෑපහක්‌ම මසකට විදුලි ඒකක 90-100 දක්‌වා වූ විදුලි ප්‍රමාණයක්‌ පාවිච්චි කරන සාමාන්‍ය දිවි ගෙවන අසරණ ජනතාවය. මෙවර ලංකා විදුලිබල මණ්‌ඩලය සකසා මහජන උපයෝගී කොමිසමේ නිර්දේශයට ඉදිරිපත් කර, සංශෝධන සහිතව ප්‍රකාශයට පත් කර ඇති ගාස්‌තු නැංවීමෙන් අප කතා කරන විදුලි ඒකක 90-100 අතර විදුලි පාරිභෝගිකයන්ගේ සිට ඒකක 30-60 භාවිතා කරන දුප්පතුන්ගේ බඩටම ගසා ඇත. අප කතා කරන්නේ ඒ පිළිබඳවය.

ලබන 20 වැනිදා සිට ක්‍රියාත්මක නව ගාස්‌තු අය ක්‍රමය හරහා ලංකා විදුලිබල මණ්‌ඩලය උත්සාහ ගන්නේ ලක්‍ෂ පනහක්‌ පමණ වන විදුලි ඒකක 90 මට්‌ටමෙන් විදුලිය පාවිච්චියට ගන්නා ගෘහස්‌ථ විදුලි පාරිභෝගිකයන්ගෙන් මේ මුදල් ටික අයකර ගැනීමටය. ඉතිරි ලක්‍ෂ පහක්‌ පමණ වන කර්මාන්තකරුවන් හා සුපිරි දිවි ගෙවන අයගේ විදුලි බිල්පත සියයට විස්‌සකට වඩා අඩු ප්‍රතිශතයකින් ඉහළ දමා ගෘහස්‌ත විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්‌තුව සියයට හැටපහකටත් වඩා ඉහළ ප්‍රතිශතයකින් ඉහළ දැමීම කාගේ උපදෙස්‌ මත සිදුවී දැයි ජනතාව කල්පනා කළ යුතුය.

මේ සඳහා එක්‌ උදාහරණයක්‌ පමණක්‌ හුවා දැක්‌වීම ප්‍රමාණවත්ය. ඔබ විදුලි ඒකක 90 ක්‌ පාවිච්චියට ගන්නා නිවසේ ප්‍රධානියා යෑයි සිතමු. එවිට ඔබගේ විදුලි ඒකකයක මිල රුපියල් 8.50 කි. එවිට ඒකක 90 සඳහා රුපියල් 765 ක ගාස්‌තුවක්‌ නියම වේ. එපමණක්‌ද ඊට රුපියල් 90 ක මාසික ස්‌ථාවර ගාස්‌තුවක්‌ද, ඉන්ධන ගැලපුම් ගාස්‌තුව (මාසික විදුලි පරිභෝජන වියදම මත ප්‍රතිශතය ලෙස) සියයට 40 ද එක්‌වූ පසු රුපියල් 306 ද එක්‌ව මාසික විදුලි බිල්පත ලෙස රුපියල් 1161 ක බිලක්‌ ලැබේ. එය කොපමණ විශාල වැඩිවීමක්‌ දැයි ඔබට වැටහෙනු ඇත. මෙහි භයානකම අය ක්‍රමය එන්නේ ඊට පසුවය. යම් හෙයකින් ඔබගේ විදුලි පරිභෝජනය ඒකක 90 සීමාව 91 දක්‌වා වැඩි වූ විට සිදුවන්නේ අති විශාල විනාශයකි.

ඒකක 91 වූ විට, විදුලි ඒකකයක මිල වැඩි වන්නේ රුපියල් 15.00 සිටය. විදුලි ඒකක 91 වූ විට මසක විදුලි බිල රුපියල් 1065 ක්‌ ලෙසට ඊට මාසික ස්‌ථාවර ගාස්‌තුව වන රුපියල් 315 ද, ඉන්ධන ගැලපුම් ගාස්‌තුව (මාසික විදුලි පරිභෝජන වියදම මත ප්‍රතිශතය) වන රුපියල් 546 ද එක්‌ වූ පසු විදුලි බිල්පත රුපියල් 2226 ක්‌ බවට පෙරලේ. මෙය හෙන ගහන තරම් අපරාධයක්‌ නොවේද?

ගෘහස්‌ථ විදුලි පාරිභෝගිකයන් ඒකක 90 ට වඩා අඩුවෙන් විදුලිය භාවිතා කිරීමට නොගන්නා උත්සාහයක්‌ නැත. එහෙම තිබියදීත් ඒකක 91, 92 ආදී ලෙස කඩඉම පැන යැම හරහා නිවෙස්‌වල ආර්ථික ප්‍රශ්න දෙගුණ තෙගුණ වී නොයන්නේද? ඒකක 90 සිට 91 දක්‌වා එක්‌ විදුලි ඒකකයක්‌ වැඩිවීම හරහා ගාස්‌තු වැඩිවීමේ ප්‍රතිශතය සියයට 125 ද ඉක්‌මවා ඇත.

විදුලිය පිළිබඳ අබමල් රේණුවක දැනුමක්‌ නැති ඇමැතිවරුද, නැති බැරිකම නොහඳුනන අධමයින්ද, මිනිස්‌කම නොහඳුනන දේශපාලන අතකොලු ද මේ අය ක්‍රමය පිළිබඳ යළි කල්පනා කළ යුතු නොවේද?

2012 වසරේදී ලංකා විදුලිබල මණ්‌ඩලයේ මෙහෙයුම් අලාභය රුපියල් කෝටි 6120 කි. තෙල් සංස්‌ථාවේ මෙහෙයුම් අලාභය රුපියල් කෝටි 8970 කි. ඒ බව 2012 මහ බැංකු වාර්තාවේ සඳහන්ය.

දේශපාලනඥයන්ගේ වැරදි දේශපාලන මගපෙන්වීම්, රාජ්‍ය නිලධාරීන්ගේ අදුරදර්ශී කළමනාකරණ, වංචා දූෂණ අක්‍රමිකතා හා කොමිස්‌ ජාවාරම් හරහා විනාශ වී ඇති රාජ්‍ය ආයතනවල අලාභය පවා පොදු මහජනතාව මෙලෙස දැරිය යුතුද?

අධි සුඛෝපභෝගී දිවි ගෙවන, අති සුඛෝපභෝගී වාහන භාවිත කරන උදවිය වෙනුවෙන් බඩගින්න ඉවසිය යුත්තේ දුප්පතුන්ද? පෙට්‍රල්, ඩීසල් භාවිතා නොකරන උදවිය, බදු හරහා මේ පව් ගෙවන්නේ ධනවතුන් වෙනුවෙනි.

විදුලි ඒකක 90 ට අඩුවෙන් භාවිතා කර, යාන්තම් රැය පහන් කර ගන්නා ලක්‍ෂ පනස්‌ පහක ජනතාව, ලක්‍ෂ පනහක්‌ වන සුපිරි දිවි ගෙවන අයගේ සොමි ජීවිතය වෙනුවෙන් සියයට 65 කට වැඩි ප්‍රතිශතයකින් වැඩි වූ විදුලි ගාස්‌තු ගෙවන්නට පව් කර ඇත.

එනිසා විදුලි ගාස්‌තු වැඩි කර ඇති නපුරු හා වැරදි ක්‍රමය පිළිබඳ ඉහළ දේශපාලන නායකයෝ යළි සොයා බැලිය යුතුය.

අපේ රටේ දෛනික විදුලි ඉල්ලුම මෙගා වොට්‌ පැය 2150 කි. (ගිගා වොට්‌ පැය 32-35 අතර ගණනකි.) මෙරට වාර්ෂික විදුලිබල අවශ්‍යතාව ගිගා වොට්‌ පැය 12,000 කි. එයින් මුල් ගිගා වොට්‌ පැය 6000 වෙනුවෙන් විදුලි ඒකකයක නිෂ්පාදන වියදම රුපියල් 7.00 කි. එය සමාන වන්නේ වාර්ෂික ජල විදුලි නිෂ්පාදනයටය. ගෘහස්‌ථ පාරිභෝගිකයන් ලක්‍ෂ පනස්‌ පහකටම වාර්ෂිකව අවශ්‍ය වන්නේ ගිගා වොට්‌ පැය 4161 කි.

වැඩි මිලට විදුලිය මිලදී ගන්නේ ගෘහස්‌ථ විදුලි පාරිභෝගිකයන් වෙනුවෙන් නොව කර්මාන්ත, හෝටල් හා සුපිරි දිවි ගෙවන උදවියගේ විදුලි අවශ්‍යතා පිරිමැසීමටය. ලංකා විදුලිබල මණ්‌ඩලයට පාඩුවක්‌ සිදුවන්නේ නම් සිදුවන්නේ ඒ නිසාය. ලක්‍ෂ පනහක්‌ පමණ වන ඒ පිරිසට අවශ්‍ය ගිගා වොට්‌ පැය 6000 ක විදුලි අවශ්‍යතාව වෙනුවෙන් නිපදවන විදුලි ඒකකයක මිල රුපියල් 30 ක්‌ පමණකි. මේ ගෘහස්‌ථ පාරිභෝගිකයන්ගෙන් අති විශාල ලෙස මුදල් අයකර ගන්නේ ඒ සුපිරි මට්‌ටමින් විදුලිය භාවිතා කරන ලක්‍ෂ පහක පාරිභෝගික පිරිස

රැකීමටය. මෙය ජනතා රජයක්‌ යෑයි කියන උදවිය රකින්නේ පොදු මහජනතාව නොව වෙනත් පිරිසකි. ඇමැති මාරුව, ජනතාවගේ මාරක ග්‍රහ මාරුවක්‌ වී ඇතැයි සමහරු කියති.

ඕනෑ දෙයකට යර්ස්‌ කියන ඇමැතිවරු නිලධාරීහු හා දේශපාලන හෙන්චයියන් මේ වළ කපන්නේ පොදු මහජනතාවටය. ලෝක වෙළෙඳ පොළට ගසා තිබෙන ප්ලග් ගලවන බව කියූ විමල් වීරවංශ වැනි දේශපාලකයන් සිටින ආණ්‌ඩුවකට මීට වඩා යමක්‌ කළ හැකිය. අඩුම තරමින් ලෝක වෙළෙඳ පොළට ගසා තිබෙන ප්ලග් එක කෙසේ වෙතත්, වංචා දූෂණවලට කපා තිබෙන අගල් ටිකවත් වසා දැමීමට මේ ආණ්‌ඩුවට බැරිකමක්‌ නැත. කී දේ, දින කිහිපයකින් අමතක කරන, දෙන පොරොන්දු එසැනින් කඩන මේ අඳබාල දේශපාලනඥයන් නිලධාරීන් වෙනුවට දක්‍ෂ, දේශපාලනඥයන්, ඇමැතිවරුන්, නිලධාරීන් දැන්වත් මේ රාජ්‍ය ආයතන නිවැරැදි මගකට ගැනීමට පෙළ ගැසිය යුතුය.

යර්ස්‌ සර් කියනවාට වඩා අවශ්‍ය වන්නේ නෝ සර් කියන අය ය. එහෙම නෙවෙයි මෙහෙම කරමු කියන අය ය. අලුතින් ගමනක්‌ යා හැක්‌කේ එවිටය. ඇමැතිකම, සභාපතිකම, සාමාන්‍යාධිකාරි තනතුර ගැන පමණක්‌ සිතා කටයුතු කිරීමට වඩා ගමට ගොස්‌ ගොවිතැනක්‌ බතක්‌ කර ජීවත් වීම හොඳය. එය මේ රටට කරන ලොකුම යුතුකම වනු ඇත. පොදු මහජනතාව තලා පෙළා තාවකාලිකව ලබන සැපතට වඩා එය නම්බුකාරය. තෙල් සංස්‌ථාව, විදුලිබල මණ්‌ඩලය ඇතුළු රාජ්‍ය ආයතන භාර උදවිය පමණක්‌ නොව රාජ්‍ය ආයතන විනාශ කරන කොයි කවුරුත් එය කල්පනා කළ යුතුය.

ශිරාන් රණසිංහ
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.