ලග්නය මීනද ඔබ ගැනයි මේ

හිඹුටානේ පියතිලක ද අල්විස්‌

රාශි චක්‍රයේ අවසාන රාශිය මීන රාශියයි. මසුන් දෙදෙනකුගේ රූපයෙන් සංකේතවත් කර ඇති මීන රාශිය ස්‌ත්‍රී රාශියක්‌ මෙන්ම ආපෝ රාශියක්‌ද වෙයි. මීන යනු මාලුවායි. මීන රාශියට අයත් තරුපෙළ මසුන් දෙදෙනකුගේ ආකාරයෙන් දිස්‌වෙන බැවින් එය මේ නමින් හඳුන්වනු ලබයි.

මීන රාශියට අධිපතිවන්නේ ගුරු හෙවත් බ්‍රහස්‌පති ග්‍රහයායි. මීන ලග්නයෙන් උපන් අය ප්‍රසන්න පෙනුමකින් යුක්‌තවෙයි. පළල් උරහිස්‌වලින් යුතුවෙයි. සමහර විට ලොකු ඇස්‌ දෙකක්‌ ඇතිවිය හැකියි. මෙම ලග්නයෙන් උපන් කාන්තාවෝද රූමත් වෙති. සාමාන්‍යයෙන් ඔවුන්ට රැලි සහිත දිගු කොණ්‌ඩයක්‌ හිමිය. අත් පා දිගය. දිගැටි නෙත් යුවලක්‌ ඔවුන්ට ඇත. මීන ලග්නයෙන් උපන් අය ජලයට දක්‌වන්නේ විශේෂ ලැදියාවකි. ඔවුහු ඉක්‌මනට කෝපවෙති. එහෙත් ඒ බවක්‌ පිටතට නොපෙන්වති. මෙම ලග්නයෙන් උපන්නවුන් කරුණාව, දයාව, අනුකම්පාව ආදී උසස්‌ මිනිස්‌ ගුණධර්මවලින් පිරිපුන්, සාධාරණ, යුක්‌තිය අගය කරන්නවුන් ලෙස සැලකේ. නිදහස ප්‍රියකරන සාමය අගය කරන වගකීම්වලින් තොර නිදහස්‌ ජීවිතයක්‌ අගය කිරීම මෙම ලග්නය හිමියන්ගේ සුවිශේෂ ගුණාංගයකි. සැඟවුණු හා සඟවන අදහස්‌ වලින් යුක්‌තය. එක එල්ලේ එකවර තම අදහස්‌ ප්‍රකාශ කිරීමට මැලිකමක්‌ දක්‌වන මීන ලග්න හිමියෝ වරින්වර සිය හැඟීම් වෙනස්‌ කරයි. විනෝදයත් නිදහසත් අගය කරන ඔවුන් සෞන්දර්යයට ප්‍රියතාවයක්‌ දක්‌වයි. ජලජ රාශියක්‌ නිසාම වැනෙන ප්‍රතිපත්තීන්ගෙන් යුක්‌තය. හැමවිටම හැඟීම්වලට වහල් වීමේ ගතිය වැඩි නිසාත් වරින්වර දුකට හා සැපතට ලක්‌වන චරිත වෙති. බොහෝවිට තමන් ඇසුරු කරන සමාජ වටපිටාව අනුව තම ජීවන ගමන හැඩගස්‌සවා ගනී.

සමාවදීම මීන ලග්න හිමියන්ගේ තවත් විශේෂ ලක්‍ෂණයකි. සතුරෙකුට වුවත් ෙද්‍රdaහිකම් කිරීමට නොපෙළඹේ. කරුණාව, දයාව ඔවුන් තුළ නිතර රැඳී පවතින නිසා සතෙකු වුණත් දුක්‌වෙනවා දකින්න ඔවුන් කැමැති නොවේ. බොහෝවිට උන්ට පිහිට වෙමින් කටයුතු කරයි. හැදෙන ගහක්‌, වැලක්‌ පවා කැපීමට මැලිවෙයි. ඔවුන්ගේ යහපත් ගතිගුණ අන්අයට හැඟවීමට උත්සාහ නොකරයි. එය තමාගේම සතුට පිණිස භුක්‌ති විඳී. අසරණ අය, දුගී අය, ආබාධිත අය කෙරෙහි දැඩි දයාවක්‌, කරුණාවක්‌ දක්‌වනවා පමණක්‌ නොව අසල්වාසීන්, හිත මිත්‍රාදීන් කෙරෙහිද සුහද තාවයෙන් කටයුතු කිරීමට වෙහෙස දරයි. කිසිම අයෙකුගේ සිත් රිදවීමට අකමැතිය. මීන ලග්නයෙන් උපන් අය කපටි, දුෂ්ට. අපරාධකාරයෝ, දූෂිතයෝ නොවෙති. සාමකාමී සදාචාරගති පැවැතුම් ඇත්තෝ වෙති.

මීන ලග්න හිමියන් කුමන ආකාරයේ රැකියාවක යෙදුනත් එය ඉතා ඕනෑකමින් වගකීමකින් යුතුව ඉටු කිරීමට දක්‍ෂ වෙති. බොහෝවිට චිත්‍ර, සංගීතය, රඟපෑම හා සෞන්දර්ය කලාවට වඩාත් ප්‍රිය කරයි. ඔවුන් කලා ක්‍ෂේත්‍ර, අධ්‍යාපන ආයතන, සෞඛ්‍ය සේවා, බැංකු කටයුතු ආදී නිතර ජනතාව සමඟ ගැටෙමින් කරන රැකියාවලින් වැඩි ප්‍රයෝජනයක්‌ ලබයි. සුරතල් සතුන් ඇතිකිරීම, මල් වැවීම හා වගා ව්‍යාපාරවලට වැඩි කැමැත්තක්‌ දක්‌වයි. නිතරම ශරීරය පවිත්‍රව තබා ගැනීමට උනන්දු වෙන අතර ජලාශ්‍රිත දේටද වඩා ප්‍රිය කරයි. යම් දෙයක්‌ කරනු දැකීමෙන්ම එය ඉගෙන ගැනීමේ දක්‍ෂතාවය ඇත. මෙහෙකරුවන්ගෙන්, නෑදැයන්ගෙන් හා විරුද්ධ ලිංගිකයන්ගෙන් ගරු බුහුමන් ලැබීමටද වාසනාව ඇත. යහපත් භාර්යාවක්‌ හෝ පුරුෂයෙක්‌ ලැබීමට මීන ලග්න හිමියන් වාසනාව ලබති. ගෘහ ජීවිතයද ඉතා සාමකාමී අයුරින් ගෙවේ.

මීන ලග්න හිමියන්ට විවාහය සඳහා වඩාත්ම ගැලපෙනුයේ මීන, කටක, වෘශ්චික ලග්න හිමි අයයි. එම අය හා විවාහ වුවහොත් විවාහ ජීවිතය වඩාත්ම සාර්ථකවේ. මීන ලග්න හිමියාගේ ලග්නයේ හෙවත් පළමුවැන්නේ ලග්නාධිපතිවූ ගුරු ග්‍රහයා පිහිටිය හොත් ඉතා වාසනාවන්ත යෝගයක්‌ වූ "ගුරු හංස යෝගය උදාවෙයි. මෙවැන්නෝ සියලු සැප සම්පත් වලින් යුත්තෝ වෙති. බුද්ධිමත් මෙන්ම ඥනාන්විත වේ. ඉගෙනීමෙන් උසස්‌ තත්ත්වයකට පත් රටේ, ලෝකයේ කීර්තිමත් අයෙකු වෙයි. මීන ලග්නයෙන් පස්‌වැන්න කටක රාශියයි. කටක රාශිය ගුරු ග්‍රහයාට උච්ච රාශිය වේ. එමෙන්ම ත්‍රිකෝණස්‌ථානයයි. මේ නිසා එබඳු පිහිටීම් ඇති අය ආදරය කරුණාව, දයාව ආදී යහපත් ගුණධර්ම වලින් යුතු අය වෙති. තම ආගමට, දහමට සිත ඇදී යයි. ගුරුවර, දෙමාපිය වැඩිහිටි අයට ගරු කරයි.

එහෙත් ලග්නයේ හෝ හතේ රාහු, ශනි යෝගය ඔවුන්ට අවාසනාව ගෙන එයි. එමෙන්ම මීන ලග්නයෙන් උපන් අයට අටේ කුජ, ශනි යෝගයද එතරම් යහපත් නොවේ. මීන ලග්න හිමියන්ට යෝග්‍ය රැකියාවනුයේ නීතිඥ වෘත්තිය, පරිපාලන සේවය, ගුරු වෘත්තිය හා සෞන්දර්ය අංශයේ වෘත්තීන් ආදිය වේ. මිනිස්‌ ගුණධර්මයන්ගෙන් පිරිපුන් අය නිසා වෛද්‍ය වෘත්තියටද සුදුස්‌සෝ වෙති.

මීන ලග්නයෙන් උපන් අයට විශේෂයෙන් ජලයෙන් ඇතිවෙන රෝග බලපායි. සෙම් රෝග, පෙනහළු රෝග, උදරාබාධ ආදිය පහසුවෙන් වැලඳිය හැකිය. මෙම ලග්න හිමියන්ට මාරක ග්‍රහයන් වන්නේ සිකුරු, රවි හා ශනි ය. මෙම ග්‍රහයන්ගේ දශා, අතුරු දශා කාලවලදී මීන ලග්න ලග්න හිමියන්, මෝටර් රථ වාහන වලින් ගංගා, ළිං, වැව්, මුහුදු වැනි ස්‌ථානවලදී ප්‍රවේශම් වීම වැදගත්ය.

මීන ලග්න හිමියන්ට ඉතාම සුබ දිනය බ්‍රහස්‌පතින්දාය. අඟහරුවාදා, සඳුදා, බදාදා ද ශුභ දිනයන් වන අතර සිකුරාදා සහ සෙනසුරාදා අශුභ ඵල උදාකරන දිනයන්වේ. රතු, කහ සහ රඹ වර්ණ ශුභදායක වන අතර නිල් සහ සුදු අසුබ වර්ණයන් වේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.