කෘමිනාශක රසායන ද්‍රව්‍ය වෙනුවට පිරිත් සහ නැකත්

කෑගල්ලේ - සුනිල් කුමාර ගම්ලත්

සියලු සත්ත්වයෝ ආහාරයෙන් යෑපෙන්නාහ" යනු බුදු වදනකි. යෑපීමට අත්‍යාවශ්‍ය වූ ආහාර නිපදවීමට අපේ මුතුන් මිත්තන් කොතරම් දක්‍ෂයන් වූයේ දැයි කිවහොත් අපේ රට එකල හැඳින්වූයේ පෙරදිග ධාන්‍යාගාරය යන නමිනි. අපේ කෘෂිකර්මය අපටම උරුම වූ එකක්‌ මිස බටහිර ජාතීන් විසින් අපට උගැන්වූ එකක්‌ නොවීය. වසර 1660 දී පමණ මෙරට විසූ රොබට්‌ නොක්‌ස්‌ එදා සියෑසින් දුටු අපේ ගොවිතැන් ක්‍රම ගැන ඔහු ලියන ලද "එදා හෙළ දිව" නම් ග්‍රන්ථයේ මනාව විස්‌තර කර තිබේ. පිටු ගණනාවක්‌ ලියෑවී ඇති අපේ වී ගොවිතැන හා වෙනත් වගාවන් පිළිබඳ බොහෝ කරුණු ඇතත් එහි කෘමිනාශක භාවිතය ගැන කියා නැත.

කෙටි කාලයක්‌ තුළ අපගේ ආහාර නිපදවීමට යොදාගත් කෘමිනාශක හා රසායනික පොහොර නිසා අද ජනතාව පත්වී ඇත්තේ ඒවා දිරවාගත නොහැකි තත්ත්වයකටය. වකුගඩු රෝගය, ජල විෂ වීම, මී උණ වැනි පෙර නොතිබූ බරපතළ ව්‍යාධීන්ගෙන් රජරට ජනතාව විඳින පීඩාව ගැන නිතර අසන්නට ලැබේ. අපේ සාම්ප්‍රදායික ගොවිතැන තුළ මෙවැනි ගැටුම් මතු වූයේ නැත.

ගොවිතැනේ අත්‍යවශ්‍ය වූ අංගයක්‌ වන වල්පැළ නෙළුම වෙනුවට වල්පැළ මර්දනය කරන රසායන ද්‍රව්‍ය භාවිත කිරීම ඇරඹිණ. මෙහිදී තණකොල ඇතුළු වල්පැළ දිරාගිය අතර පස බුරුල් විය. එහෙත් ඒ සමගම පසේ හියුමස්‌ හෙවත් කාබනික පොහොර කොටස ද විනාශ වී ගියේය. ඒ අනුව වල් පැළෑටි මර්දනයට බෙහෙත් ඉසීමෙන් සිදුවූයේ පොහොර පස අහිමි වීමයි. ඉන් අනතුරුව රසායනික පොහොර අවශ්‍ය විය. දිගින් දිගටම කෘමිනාශක, රසායනික පොහොර භාවිතය නිසා ගොවිතැනට කළ යුතු වියදම් ද ඉහළ ගියේය. මනුෂ්‍ය ජීවිතවලට තර්ජනාත්මකව පාරිසරික ගැටලු මතුවිය. මේ අතර අදෘෂ්‍යමානව සිදුවූ තවත් පාරිසරික විනාශයක්‌ වූයේ කෘමිනාශක භාවිතය නිසා විශාල ලෙස සත්ව ඝාතනය සිදු වීමයි. අපේ ආහාරය උදෙසා අනෙකුත් සතුන් විනාශ කළ ද කර්මවිපාක නීතිය අනුව එහි විපාක විඳීම සඳහා පරිසරය අපිට විරුද්ධ වනසේ සකස්‌ වීමද හේතුඵල ධර්මයට එකඟය. තවදුරටත් අපි පරිසරය විනාශ කරන්නේ නම් වැඩි වැඩියෙන් අප කරා පාරිසරික ගැටලු මතුවනු ඇත. එබැවින් කෘමිනාශක වෙනුවට විකල්පයන් කරා යා යුතු වෙමු.

මෙහිදී ගොවිතැනට විකල්ප ක්‍රම සොයා අප යා යුත්තේ අපේම අතීතයට බව පෙනී යයි. බෞද්ධ ආකල්ප අනුව ජීවිත හැඩගසා ගත් අපේ මුතුන් මිත්තන් ගොවිතැන උදෙසා සත්ව ඝාතනය කළේ නැත. එසේ නොකළද ඔවුහු ශ්‍රී ලංකාව පෙරදින ධාන්‍යාගාරය බවට පත් කළේය. එකල ගොවිතැනට උවදුරු ඇති කරන කෘමීන්ගෙන් පමණක්‌ නොව අලි ඇතුන්ගෙන්a ඌරන්ගෙන් පවා ඔවුන් අස්‌වනු රැකගන්නට භාවිත කර ඇත්තේ පිරිත සහ නැකත් බව පෙනේ. බුද්ධ භාෂිත ත්‍රිපිටක ගත සූත්‍ර මෙන්ම රහතන් වහන්සේලා විසින් නිර්මිත යෑයි සැලකෙන සෙත් පිරිත් ද මේ සඳහා යොදා ගන්නා ලදී.

බොහෝ පැරැණි ජ්‍යෙdතිෂ පොත් ලියෑවී ඇත්තේ ද ගොවිතැන් සාර්ථක කර ගැනීමට මුල් තැන දෙමිනි. "පුරාණ පළදාවලිය" මුහුර්ථ චිත්තාමනිය හෝ හෝරාභරණය වැනි ග්‍රන්ථවල මෙවැනි නැකැත්a ක්‍රම රාශියක්‌ විස්‌තර කර තිබේ. මේ පිළිබඳව වෙනම පොතක්‌ ලිවිය යුතු නමුදු උදාහරණ කිහිපයක්‌ පමණක්‌ පහත දක්‌වමු.

මේෂ, වෘශ්චික ලග්නවලින් කුඹුරු වැඩ පටන් ගැනීම ඉතාම අශුභය. මේෂයෙන් ගවයන්ට විපත් ද, වෘශ්චිකයෙන් නම් නියඟයෙන් අලාභ හානි වීමද, කුම්භයෙන් නම් සොර සතුරු කරදර ද ඇති වේ. සිකුරාදා ගොවිතැන් ආරම්භ කළ විට සතුන්ගෙන් පාළු සිදුවේ. අල වර්ග සවස්‌ වරුවට හෝ රාත්‍රි කාලයේද මල් සහ එළවළු උදය කාලයේ ද සිටවීම ශුභය. කන්‍යා ලග්නය උදාවන වේලාවක වී වැපුරුවේ නම් තණකොල වැඩෙන බවත් වෘශ්චිකයෙන් නම් පනුවන්ගේ පීඩා ලබන බවත් කියා තිබේ.

කුඹුරට හෝ ගොවිපළට පළමුකොට ඇතුළුවීමටද, සී සෑමට , වී වැපිරීමට, ගොයම් කැපීමට, මෙන්ම ධාන්‍ය වර්ග අටුවේ තැන්පත් කිරීමටද නැකත් විධි දක්‌වා තිබේ. ඇටිකෙහෙල් යුෂ, මී මෝරු සහ වී පස්‌ මිටක්‌ අනා පළමුකොට වපුරා පසුව බිත්තර වී වැපිරීමෙන් ලාහෙන් අමුණක්‌ තරමේ විශාල අස්‌වැන්නක්‌ ලැබිය හැකි බව කියා තිබේ.

බව භෝග විනාශ කරන කෘමි උවදුරු මර්දනයට "කෙම්ක්‍රම" ද දක්‌වා තිබේ. ගොයම් මැස්‌සන් පලවා හැරීමට, හණ මලක්‌ කපාගෙන එය කුඹුරේ සුළං මූණතේ සිටවීමෙන් ගොයම් මැස්‌සන් වඳ වී යයි. රතනසූත්‍රයේ සඳහන් "වනප්ප ගුම්බේ යථා ඵුස්‌සිතත්තේ" යන ගාථාවෙන් බිත්තර වී වලට 108 වරක්‌ පිරිත් කර ඉසීමෙන් අස්‌වැන්න වැඩි වෙන බවත් "වරෝ වරඤ්ª" යන ගාථාවෙන් 108 වරක්‌ වතුර මතුරා ඉසීමෙන් කෘමි උවදුරු දුරු වන බවත් කියා තිබේ.

ඉහත සඳහන් කළේ අපේ ජාතික උරුමයන් වූ පිරිත්, නැකත් හා කෙම් ක්‍රම පිළිබඳ කරුණු ස්‌වල්පයකි. මේවා ජනතාව අතර ප්‍රචලිත කිරීමටත්, ප්‍රායෝගිකව භාවිත කිරීමටත් රජයේ අනුග්‍රහය අවශ්‍ය වේ. රෝග නිවාරණයට නැතහොත් ප්‍රතිකාර කිරීමට වඩා එය බෙහෙවින්ම ලාභදායකය. ජනතාවට හිතකරය. ප්‍රතිඵල ප්‍රත්‍යක්‍ෂය.

උදාවූ අලුත් අවුරුද්දේ ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරය බවට පත් කිරීමට නැවතත් අධිෂ්ඨාන කරමු.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.