කැවුමේ ඉතිහාසය හරිම රසයි

ගුප්ත විද්‍යාකීර්ති, සාමවිනිසුරු, දේශබන්දු
රඹුක්‌කන ජිනදාස එදිරිසිංහ

බක්‌ මාසයේ සූර්යයා සංකේන්ද්‍ර කොට ගෙන උදාවන සිංහල හින්දු අලුත් අවුරුද්දේ එරබුදුමල් කැකුළියෝ හෙමින් හෙමින් ගම්මැද්දේ මල්වර වනවිට තුරු වදුලින් පිරි බැද්ද දෙසින් ඇසෙන කොවුල් ගී මැසි හඬට මුසුව "දොම් තරිකිට දොම් කියනා රබන් සුරල් සද්දේ සිංහල - සිරිතට විරිතට මුල් තැන දෙන කැවුම් උයන්න තෙල් තාච්චියක්‌ හැම ගෙදරකම ලිප තබන්නේ නිවසට මූ දේවිය පැමිණෙන බවට පැරණි ගැමියන්ගේ විශ්වාසයත් මතය. එසේ නොකළහොත් මූදේවිය නොපැමිණේ යෑයිද ඔවුන් සිතූහ.

කැවුමේ රසයට වඩා එහි ඉතිහාසය ඉතා රසවත්ය. මිනිසාගේ උපතේ සිට කෙස්‌කැපීම, කන් විදීම ඉඳුල්aකට ගෑම, අකුරු කියවීම වැඩිවියට පත්වීම, විවාහය යන ජීවිතයේ අමරණීය අවස්‌ථාවලදීද කැවුම ප්‍රමුඛව සිටී, පිරිත් ගෙදර, දාන ගෙදර, ගෙවදීම ආදී අවස්‌ථාවලදී ද කැවුම ඉදිරියෙන් සිටියත්, මළගෙයකදි හෝ දුක්‌ මුසු අවස්‌ථාවලදී කැවුම් සංග්‍රහයට නොගනී.

කැවුම් පිසින්න නොදන්නේ නම් එය කාන්තාවන්ට මහත් අඩුවකි. මහෞෂධයන් අමරාදේවී පිරික්‌සීමට පවා කැවුම් ඉවීම කරවූ බව උමංදා කතුවරයා අගේට පෙන්වා ඇත. ඒ සහල් මනාව පැස මුල් හාලින් බත් ද කඩසාලින් කැඳ ද, සුන් සාලින් කැවුම්ද පිස, අමරා දේවිය කැවුම් සඳහා සුන් සහල් යොදාගත් බව පැවසේ. අමරා දේවිද නොකිපීම කැඳ යහපත් නොවේනම් කැවුම් කෑව මැනවයි ස්‌වාමිනියි අමතා කැවුම් අතට දුන්නාය. කැවුම් මුව තැබූ විගසම ඔහුගේ රස නහර පිනා ගියේය. අමරාදේවී එසේ කැවුම් ඊවේ ඇගේ දක්‍ෂතාවය අනුව බව එයින් අපට මනාව වැටහේ.

උමංදාවේ දැක්‌වෙන කාල ගෝල කථාවේ ද දික්‌තලාවගේ දෙමාපියන් බැලීමට යාම සඳහා කැවුම් උයාගෙන ගිය බව කීමෙන් එදා නෑගම් යැම සඳහා කැවුම්, උයාගෙන ගිය බව එයින් පෙනේ. කුස ජාතකයේ එන කුස රජුගේ මුහුණ කැවුමකට උපමා කරයි. මහ රහතන් වහන්සේ නමකට කැවුම් තිබියදී නොදී තනිවම රහසින් කැවුම් කෑ නිසා මතු ආත්මයේදී කුස රජුගේ මුහුණ කැවුමක්‌ වගේ සිටින සේ උපත ලැබීය. මසුරු සිටානෝ උඩු මහලට ගොස්‌ කාටත් හොරෙන් කැවුම් උයාකෑ නිසා මුගලන් තෙරුන් විසින් මසුරු කම නැති කොට නිවන් මගට යොමු කළ හැටි කැවුම් වගේම රසවත්ව කුඩා ළමුන් අතර ජනප්‍රියව ඇත.

සිංහල බෞද්ධ සාහිත්‍යයෙහි සද්ධර්මාලංකාරයෙහි එන ශ්‍රද්ධා සුමනාව දේවී දානයක්‌ දීමට වත්කමක්‌ නැති වුවත් කැවුම් පිදීමට ආශාව ඇති වූ නිසා දෙවියන්ට පෙනී ඇයට දිව්‍ය ලෝකයෙන් කැවුම් දී ඇගේ මන දොල පිරවූ බව සාහිත්‍ය රසිකයන් දනී. අතීතයේ සිටම දුගී පැල්පතහි සිට රාජ මාළිගාව දක්‌වා කැවුම රසවත් කළ බව ඉතිහාසය කියයි.

දේව පූජාවන් සඳහා කැවුම් ගන්නා අතර ගණදෙවියන් පිදුමට කැවුම් ගන්නා බව ගණ දෙවි සැහැල්ලේ මෙසේ සඳහන් වේ.

කිරි දී වෙඬරු පස්‌ගෝ රසිනා
උඳු මුං තල මෑ කරලින් සොබනා
මේ නන් කැවුමින් නිති පුද ලබනා
ගණදෙවි නුවණක්‌ දුන පා වඳිනා

මේ කාව්‍යයෙන් අපට පෙන්වා ඇත්තේ පෙර දවස උඳු, මුං, තල ආදියෙන් කැවුම් තැනුණු බවයි.

ථූප වංශයේ සඳහන් වෙනවා දුටුගැමුණු මහා රජතුමා විසින් කරවූ රුවන්මැලි සෑයේ වැඩ කළ සේවකයන්ට සංග්‍රහය සඳහා අතුරු පසට කැවුම් තිබුණු බව. තවද එතුමා සතර වාසල් දොර දුප්පත් අයට අනුභව කිරීම සඳහා මියුරු ආහාර සමග නොයෙක්‌ වර්ගයේ කැවුම් හා මී පැණි, උක්‌පැණි, කසපැන් ඇට, කෙසෙල් පැන්වලින් සෑදූ කැවුම් වර්ග තිබුණු බව, ඉතිහාසගත හෝපිටිගම සෙල්ලිපියේ සඳහන් රාජකීය වට්‌ටෝරුවෙහිද රජගෙදර කැවුම් ගැන සඳහන් වේ.

පූජාවලියේ සඳහන් අනුරුද්aධ කුමරු ළමුන් සමග සෙල්ලම් කරන විට කැවුම්වලට ඔට්‌ටු අල්ලා පැරැදී පසුව නිවසේ තිබූ කැවුම් ඉවරවී තිබුණ නිසා කුමරුගේ මව කුමරු රැවටීමට දාසියකගේ අත හිස්‌ කැවුම් පෙට්‌ටියක්‌ යෑව් බවත් එහෙත් ඔහුගේ පින් බලයට ඒ හිස්‌ව තිබූ පෙට්‌ටිය කැවුමින් පිරීගිය බවත්, ඒ කැවුම්වල රසයෙන් මත්වූ අනුරුද්ධ කුමරු මවගෙන් නිතර නිතර කැවුම් ඉල්ලා කරදර කළ බවත් පූජාවලියේ රසවත් ලෙසින් සඳහන් කර ඇත.

අග්බෝ රජුගේ කුඩා පුතු අනේ මගේ කැවුම් කන අත කපන්ට එපා යෑයි කියමින් කඳුළු වැගුරූ හැටියෙන් එදා රජගෙදර ද කෑම අතර කුඩා ළමුන්ට කැවුම්වලින් ප්‍රමුඛව සළකා ඇති බව පෙනේ.

රාජසිංහ රජු දිනක්‌ ලන්දේසි නාවික පිරිසකට පැණි බේරෙන කැවුම්වලින් සංග්‍රහයක්‌ කළ විට ඔවුන් ඒවා කා රසයෙන් මත්ව මේ ගෙඩි අපේ රටේ නැති බවත් මේවා කඩා ගන්නේ කුමන ගසකින්දැයි විමසූ හැටි ඉතිහාසයෙන් කියෑවේ.

එදා සිංහලයාගේ කැවුම් කා රසයෙන් මත් වූ පෘතුගීසීන්ට සිංහලයා යස පාඩමක්‌ ඉගැන්වූ හැටි දක්‌වන රසවත් ජනප්‍රවාද කතාවක්‌ මෙසේය. එදා පෘතුගීසීන් සිංහලයන්ගේ බඩු මුට්‌ටු ගෙන යන විට මගදී කොල්ලකෑහ. ඔවුන්ට යස පාඩමක්‌ උගන්වන්නට ඕනෑ යෑයි හිතා දිනක්‌ දෙබර කූඩ දෙකක්‌ මලු දෙකකට දමා කට බැඳ කදක බැඳගෙන කැවුම් කැවුම් කියමින් යනවිට පෘතුගීසීන් පන්නාගෙන ඇවිත් එය උදුරා ගන්නට දිව ආවේය. කුරුවිට රාළ එය බිමදා කැලයට දිව ගියේය. පෘතුගීසීන් ඒ aමළු රැගෙන කට ලිහන විටම කෝපයෙන් හිටි දෙබරුන් ඔවුන්ට පන්න පන්නා අනින්නට විය. දෙබර විස ඉහවහා ගිය ඔවුන්ට කැවුම් රසයට වඩා නීරස වූ බව මෑතදී රස කතාවකට ගෙතී ඇත.

කැවුම් හැදීම ගැන රොබට්‌ නොක්‌ස්‌ගේ කෘතියක මෙසේ සඳහන් වේ. ඒ රසකැවිලි අතර ප්‍රධාන තැනක්‌ ගන්නා කැවුම් සහල් පිටියෙන් හා පැණියෙන් හදාගනු ලැබේ. සහල් පිටි අනා ගුලි ගසා කොළ පොතක තබා ඇඟිල්ලෙන් පැතැලිකොට තෙල් තාච්චියකට දමා පදමට බැඳ ගත් පසු තෙලෙන් එළියට ගනී. මෙසේ ඔහු සඳහන් කළේ අතිරස නමැති කැවුම් වර්ගයයි. එදා මී පැණියෙන් ඉවූ කැවුම් දාන ගෙදරකදී වැළ» මහා කාල තෙරුන්ගේ සුව නොවුණ අසනීපයක්‌ ද සුවපත් වූ බව සඳහන් වේ.

මීපැණි, කිතුල්පැණි, උක්‌පැණි, පොල්පැණි එදා මෙන්ම අදත් කැවුම් රසවත් කර ගැනීමට ගනී. වැඩි වශයෙන් කැවුම් ඉවීමට ගන්නේ පිරිසිදු පොල්තෙල්ය.

ආදිතම යුගයේ සිටම ඉපැරැණි මිනිසා අපේ රටේ බුද්ධ පූජාවට, දේව පූජාවට, යක්‍ෂ භූත ප්‍රේතයන් පිදීමට පමණක්‌ම නොව අවුරුදු සමයේ නිවසේ සිටින කෝඳුරුවාටද කැවුමක්‌ නූලකින් ගැට ගසා නිවසේ පලේ එල්ලීම සිංහල ගැමි සිරිතකි. මෙතරම් ඉතිහාසයක්‌ ඇති ගැමි රස කැවිල්ලක්‌ වන නිවසින් ඈත් වී ඇති බව අපට පෙනේ. කැවුම් අතරින් කොණ්‌ඩ කැවුමට විශේෂ තැනක්‌ හිමි වුවද එය හදාගන්නට නොදන්නා කමින් අපේ ගැමි මේසයෙන් ඉවත්ව ගොස්‌ ඇත. ඊට ප්‍රධාන හේතුව වත්මන් ගෘහනියන්a කැවුමේ කොණ්‌ඩය ගැනීමට නොදන්නා නිසාය. වත්මන් කාලයේ කොණ්‌ඩ කැවුම් අච්චුවක්‌ තනා හැදුවත් නිර්මාණයේ දක්‍ෂතාවක්‌ නොවන නිසා එහි අගය, රසය, හැඩය, අඩුවී ඇත. කැවුම් ශරීරය පෝෂණය කරන ධාතු වර්ගයක රස කැවිල්ලක්‌ ලෙස සැළකිය හැක. ඒ නිසා සිංහලයා මෝඩයා කැවුම් කන්ට යෝධයා යන කියමනෙහි ඇති මෝඩකම් ඉවතලා ඔබේ නිවසේද කැවුම් උයාපු දේවිය ලංකර අලුත් අවුරුද්ද පුරා නිවසේත් රටේත් සාමය පතුරන යෝධයකු වන්න.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.