උ/මැ සෞඛ්‍ය පරීක්‍ෂකවරු තුන්වැනි දිනටත් වර්ජනයේ

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු

ඉල්ලීම් තුනක්‌ මුල් කර ගනිමින් උතුරු මැද පළාතේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ආරම්භ කොට තිබෙන අඛණ්‌ඩ වැඩ වර්ජනය ඊයේ (18 දා) තුන් වැනි දිනටත් ක්‍රියාත්මක විය.

මෙම වැඩ වර්ජනය හේතුවෙන් අනුරාධපුර හා පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයන්හි බෝවන රෝග විමර්ශනය හා පාලනය කිරීම, ව්‍යාපාරික ස්‌ථාන හා ආපන ශාලාවල භාණ්‌ඩ හා ආහාර පරීක්‍ෂා කිරීම, පාසල් දන්ත සායන හා එන්නත් කිරීම ඇතුළු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හා පළාත් පාලන ආයතනවල සේවයේ නියුතු සියලු මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් විසින් ඉටු කළ යුතු සේවා රැසක්‌ අඩාල වී තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ වෘත්තීය සමිති කටයුතු සඳහා උතුරු මැද පළාත් ආණ්‌ඩුකාරවරයා නිකුත් කර තිබෙන චක්‍රලේඛය ක්‍රියාත්මක කරන ලෙසට උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරියට බල කිරීම, පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සිදුවී ඇති බව කියන මූල්‍ය වංචාව පිළිබඳව වහාම විමර්ශන කටයුතු ආරම්භ කරන ලෙසට බල කිරීම හා හිඟුරක්‌ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අනුයුක්‌තව සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක සෙනරත් බණ්‌ඩාර මහතාගේ ස්‌ථාන මාරුව වහාම අවලංගු කිරීම ඇතුළු ඉල්ලීම් තුනක්‌ මුල්කර ගනිමින් එම මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් එකී වැඩ වර්ජනය ආරම්භ කොට ඇත.

තම ඉල්ලීම්වලට විසඳුම් ලැබෙන තෙක්‌ තම වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්‌ඩව පවත්වාගෙන යන බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවැසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.