දියණියගේ අස්‌වීම් සහතිකය නොදුන්නැයි
විදුහල්පතිට පහරදීලා


පන්විල - ඡේ. තල්වත්ත

පාතදුම්බර දොරගමුව මහ විදුහලේ විදුහල්පති ඩබ්. ජී. කරුණාරත්න මහතාට එම විදුහලේ සිසුවකුගේ පියකු විසින් මහමගදී පහරදීමේ සිද්ධිය පිළිබඳව වත්තේගම පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

විදුහල්පතිවරයා පසුගිය දිනක විදුහලේ සුළු සේවකයකු සමග වාර විභාග ප්‍රශ්න පත්‍ර ගෙන ඒමට සිය යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී යතුරුපැදිය නතර කළ පුද්ගලයකු විදුහල්පතිවරයාට පහරදී තිබේ.

අතින් පයින් පහර කෑමට ලක්‌වූ විදුහල්පතිවරයාට බරපතළ තුවාල සිදුවීම නිසා ඔහු සමග සිටි සේවකයා විසින් විදුහල්පතිවරයා වත්තේගම රෝහලට ගෙන ගොස්‌ ඇතුළත් කර තිබේ.

මේ අතර විදුහල්පතිවරයාට පහර දුන් බවට සැක කරන පුද්ගලයාද විදුහල්පතිවරයා විසින් යතුරුපැදිය හප්පා තුවාල සිදුකර ඇති බවට වත්තේගම පොලිසියට පැමිණිල්ලක්‌ කර රෝහලෙන් ප්‍රතිකාරද ලබාගෙන ඇති බවද පොලිසිය පවසයි.

මෙම විදුහලේ ඉගෙනුම ලබන දැරියක්‌ මෙම විදුහලෙන් අස්‌කර ගෙන නගරයේ පාසලකට ඇතුළත් කිරීමට දැරියගේ පියාවන සැකකරු දැරූ උත්සහයට විදුහල්පතිවරයා විසින් බාධා කර ඇතැයි සිතා මෙම පහරදීම සිදුකර ඇති බවට කරුණු අනාවරණයවී ඇති බවට මේ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වූ පාතදුම්බර කොට්‌ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂ ජානක මුතුකුමාරණ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන ලෙස වත්තේගම කලාප අධ්‍යාපන කාර්යාලයෙන් මහනුවර සහකාර පොලිස්‌ අධිකාරිවරයා වෙතද පැමිණිල්ලක්‌ කර ඇතැයි අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා පැවසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.