සවුදියේ ශ්‍රී ලාංකික තරුණයා
මියයැමේ චෝදනාව තානාපති කාර්යාලයට


නාන්තන්ඩිය - රෙක්‌ස්‌ හැරිසන්

සවුදි අරාබියේ දමාම් නගරයේදී ශ්‍රී ලාංකික තරුණයකු මියගියේ රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වරදින් බවට චෝදනා එල්ල වී තිබේ.

මියගියේ නාත්තන්ඩිය මුට්‌ටිබැඳිවිල පදිංචිව සිටි 25 හැවිරිදි අලහකෝන් මුදියන්සේලාගේ රංජිත් කුමාර නමැති විවාහකයෙකි.

ඔහුගේ විදෙස්‌ ගමන් බලපත්‍රය ඇතුළු ලියවිලි අහිමි වී තැන තැන රැකියා කරමින් සිටියදී පොලිසියෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් කඳවුරකට යවා තිබිණි. තවත් ශ්‍රී ලාංකිකයන් මෙහි නැවතී සිට ඇත. රංජිත් මෙම කඳවුරේදී අසනීප වී ඇති අතර ඒ පිළිබඳව ඥතීන් කළ දැනුම් දීමකට අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය මගින් රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම්දී ඇත්තේ ඔහුට ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය කටයුතු කරන ලෙසයි.

එහෙත් කාර්යාලය සතු වාහන දෙකම අබලන් වීම නිසා සුබසාධක නිලධාරියාට එහි යැමට හැකිවී නැත. අප්‍රෙAල් 3 වැනිදා නිවසට කතා කළ රංජිත් 6 වැනිදා වනවිට මියගිය බව ඥතීන්ට දැන ගැනීමට ලැබිණි.

රංජිත්ගේ බිරිඳ ඩබ්ලිව්. නෙල්කා නිසංසලා මෙසේ කීවාය. "අපි එයාව 2010 මැයි 12 වැනිදා මරදානේ ඒජන්සියකට රුපියල් 135,000 ක්‌ ගෙවලා යෑව්වේ. රුපියල් 35000 ක්‌ පඩි ගෙවනවා කිව්වා. 22000 යි ලැබුණේ. අවුරුදු දෙකට රංජිත් ගිය වේල්ඩින් වැඩ පළේ අයිතිකාරයෝ දෙන්නෙක්‌ මාරු වෙලා තියෙනවා. දෙවැනියා අපේ රටේ කීප දෙනෙකුගේම පාස්‌පොට්‌ අරගෙන පැනලා ගිහින්. මෙයාලා වීසා නැතුව තැන තැන මාස 8 ක්‌ 10 ක්‌ විතර වැඩ කරමින් ඉද්දී මාම්වලදී පොලිසියට අසු වෙලා තියෙනවා. එයාව බේරලා දෙන්න කියලා අපි ඒජන්සියටත්, විදේශ රැකියා කාර්යාලයටත් කිව්වා. 2012.11.23 දා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයට පැමිණිල්ලක්‌ කළා. ඒ ජීවත්ව ඉද්දි. මළ සිරුරවත් තාම ගෙන්න ගන්න බෑ.

රංජිත්ට දරුවන් නැත. විවාහ වී වසරකින් විදේශ ගතවිය. ඔහුගේ පියා ආර්. ඇම්. සැම්සන්ය. රංජිත්ට සොහොයුරන් දෙදෙනකු හා සොහොයුරියක සිටිති. ඔහුගේ මව ටී. ඇම්. පත්මාවතී මෙසේ කීවාය.

අපි ඒජන්සියට ගියා. දවස්‌ දෙකකින් ගෙන්වනවා කිව්වා. විදේශ රැකියා කාර්යාංශයත් අපේ කරදර දුක ගැන බලන්නේ එයාලගේ කෑම පැය සහ අනිත් කටයුතු බලලා ඉවර වෙලයි. මැරෙන්න කලිනුත් ගෙනත් දෙන්න කිව්වා. මළ සිරුර ගෙනත් දෙන්න කියලා දැන් සති දෙකක ඉඳන් කියනවා. තාමත් නැහැ. මළ සිරුර ගේන්න රියාල් 6000 ක්‌ යෑව්වා කියා අපට කිව්වා.

පුතාට මැරෙන්න තරම් අමාරුවක්‌ තිබුණා කියා 3 වැනිදා කතා කරන කොට කිව්වේ නෑ. ඒජන්සියට කිව්වා රිසානාට සිදුවූ දේ මගේ පුතාට වෙන්න දෙන්න එපා කියලා. මමත් මැද පෙරදිග ඉඳලා තියෙනවා. අපිට ඒජන්සිය කිව්වා ගෙනත් දෙන්න රුපියල් 32,000 ක්‌ බඳින්න කියලා. ඒක ගෙවන්න නිවාඩු දවස්‌ දෙකක්‌ නිසා බැරි වුණා. ඒ අතර තමයි නරක ආරංචිය ලබුණේ.

වැද්දුම්කරුවකු ලෙස කළ සේවය අහිමිවීමෙන් පසු රංජිත් සෞදියේ විවිධ රැකියාවලින් උපයාගත් මුදලින් රුපියල් 80000 ක්‌ එක්‌තරා පුද්ගලයකුට ගෙවා තිබිණි. ඔහු සෞදියේ සිටින කුලියාපිටිය ප්‍රදේශයේ අයෙකි. රංජිත්ට වීසා හා විදේශ ගමන් බලපත ලබාදෙන බව කීවත් රංජිත් පොලිසියට අසුවීමත් සමග ඔහු අතුරුදන්ව ඇත.

දැනට සිදුවිය යුත්තේ නොපමාව පරීක්‌ෂණ අවසන් කර රංජිත්ගේ දේහය මෙරටට ගෙන ඒමයි. එහෙත් මෙතෙක්‌ ඊට දින නියම වී නැත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.