සවුදියේ අතරමං වූ ශ්‍රී ලාංකිකයන් බේරා ගන්න
"එතෙර අපි" සංවිධානයෙන් ඇමැති ඩිලාන්ට ලිපියක්‌

සවුදි අරාබියේ රැකියාවකට ගොස්‌ අතරමං වී සිටින 1000 ක්‌ පමණ වන ශ්‍රී ලාංකික පිරිස බේරා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් විදෙස්‌ ගතවන ශ්‍රී ලාංකිකයන් එම තත්ත්වයට පත්වීමට ඇති ඉඩකඩ අවම කිරීම සඳහා විධිමත් රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමකින් කටයුතු කරන ලෙස "එතෙර අපි" සංවිධානය වෙනුවෙන් එහි සභාපති ලක්‍ෂ්මන් නිපුණආරච්චි මහතා විදේශ රැකියා ප්‍රවර්ධන ඇමැති ඩිලාන් පෙරේරා මහතාගෙන් ලිතව ඉල්ලීමක්‌ කර තිබේ.

ඩිලාන් පෙරේරා මහතා වෙත යවා ඇති ලිපියෙහි මෙසේද සඳහන් වේ.

සවුදි අරාබියේ සේවය කරමින් සිට හිටි අඩියේ දොට්‌ට දැමීම නිසා අතරමංවී ඇති ශ්‍රී ලාංකික පිරිස 6000 කට අධික වන අතර එහි කන්දාර් පාලම යට රැඳී සිටින පිරිස 1000 ක්‌ පමණ බවද වාර්තා වේ. එකී ස්‌ථානයේ සිටින පිරිස ඉවත් කිරීමට සවුදි පොලිසිය කටයුතු කිරීම නිසා දැන් ශ්‍රී ලාංකික පිරිස හා සවුදි පොලිසිය අතර ගැටුමක්‌ බවට වර්ධනය වී ඇති බව ඔබතුමාගේ අමාත්‍යාංශය දැනුවත්ව ඇතැයි සිතමු.

සවුදි අරාබියේ සේවය සඳහා ගොස්‌ විවිධ හේතු මත අසරණභාවයට පත්ව සිටින ශ්‍රී ලාංකිකයන් එකී තත්ත්වයෙන් බේරා ගැනීම සඳහා කටයුතු කරන බවට ආණ්‌ඩුවේ පාර්ශවයෙන් විවිධ ප්‍රකාශ නිකුත් වුවද එම ප්‍රකාශ වාතලයට මුසුවූවා මිස ක්‍රියාත්මක තලයට නොගිය බව කනගාටුවෙන් වුවද කිව යුතුය. ජීවත්වීමට මගක්‌ නොමැති වීම නිසා අතරමංව සිටින්නන් නීත්‍යානුකූල නොවන මාර්ගවලින් හෝ රියාල් සොයා ගැනීමේ තත්ත්වයට ඇදවැටී ඇත. මේ ගැටලුවට ශ්‍රී ලංකා ආණ්‌ඩුවේ මැදිහත්වීම ප්‍රකාශ නිකුත් කිරීමට පමණක්‌ සීමාවීම හේතුවෙන් අද වන විට මේ පිරිස රටක්‌ නොමැති මිනිසුන් බවට පත්ව ඇත.

තවදුරටත් මේ ප්‍රශ්නයට විසඳුමක්‌ ලබා නොදීමෙන් ඔබ විසින් "රට විරුවන්" ලෙස නම් කරන ලද ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් කනගාටුදායක ඉරණමකට ඇද වැටෙනු නොඅනුමානය. එක්‌කෝ ඔවුන් එතෙරදී තම ජීවිත අහිමි කරගැනීමට පෙළඹෙනු ඇත. නැතහොත් සිදුවනු ඇත්තේ, මුදල් සෙවීම පිණිස නීත්‍යානුකූල නොවන ක්‍රියා මාර්ගයන්ට එළඹීමෙන් සවුදි නීතිය යටතේ ඔවුනට තම අතපය කප්පවා ගැනීමට හෝ අවසානයේ හිස ගස්‌සවා ගැනීම දක්‌වා අසරණ තත්ත්වයකට ඇද වැටීමය.

එහෙයින් විෂය භාර අමාත්‍යවරයා ලෙස ඔබතුමාගෙන් අප සංවිධානය ඉල්ලා සිටින්නේ, මේ තත්ත්වය බැරෑරුම්ව තේරුම් ගනිමින් නිසි ක්‍රියා මාර්ග ගැනීම සඳහා සක්‍රීයව මැදිහත් වන ලෙසය. තවද විදෙස්‌ ගතවන ශ්‍රී ලාංකිකයින් මේ තත්ත්වයන්ට පත්වීමට ඇති ඉඩකඩ අවම කිරීම සඳහා මෙතැන් සිට හෝ විධිමත් රාජ්‍යතාන්ත්‍රික කටයුතු වෙත යොමුවිය යුතු බව අවධාරණය කරමු.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.