ආදරයේ  උල්පත වූ අම්මා

රක්‌ත වර්ණ රුධිර දහරාවෝ ශ්වේත වර්ණ ක්‌ෂීර දහරාවක්‌ බවට පත් වුණේ අප කෙරෙහි උනුන්ගේ හදවත් තුළ ඇති වුණා වූ සෙනෙහස හේතු කොට ගෙනමය. මේ මුළු විශ්වයම නිර්මාණය වී ඇත්තේද ඇගේ කිරිවල බල මහිමයෙන්මය. ඒ කිරි රසවත්ය. ඒ කිරි නැවුම්ය. එමතුද නොව ඒ කිරිවලින් වහනය වන්නේ ද නැවුම් වූ සුවඳක්‌මය. ඉදින්, කවර හෝ තැනැත්තෙකු ඒ කිරි සුවඳට පරිභව කිරීමට සැරසෙන්නේ නම්.........? නිසැකවම පැවසිය හැක. කුමක්‌ද ඒ ..........? ඒ අනෙකක්‌ නොව ඒ කිරි සුවඳට පරිභව කළ පුතු නිරයේමය උපදින්නෙ........ " යන්නයි.


"වෙහෙරක්‌ වගේ පින් දුන් කෙනෙක්‌
දෙවොලක්‌ වගේ දුක්‌ ඇසූ කෙනෙක්‌
කුඹුරක්‌ වගේ බත් දුන් කෙනෙක්‌
වේ නම් ලොවේ........
නුඹයි අපෙ අම්මේ............."

කරුණාරත්න දිවුල්ගනේ නම්වන හෘද සංවේදී කලාකරුවාණන් විසින් අපූර්ව ලෙස ගයනු ලබන ඒ ගීයේ මිහිරියාව ඔබ මඳකට මුත් අත් විඳ තිබෙනවා ඇතැයි සිතමි. සැබැවින්ම, ඒ ගීය කොතරම් නම් හෘද සංවේදී වූ එකක්‌ද......? ඒ ගීතයේ ඇත්තාවූ මධුර මනෝහර හඬට ඔබ මොහොතකට මුත් සවන් යොමු කර බලන්න. සත්තකින්ම, ඒ ගීතය අප සවනත වැකෙද්දී අපේ අම්මලා පිළිබඳව අපූර්ව වූ සිත්තම් පෙළක්‌ අප දෙනෙත් ඉදිරිපිට මැවී මැවී පෙනෙනවා නොවේද? ඉදින් එසේනම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ඒ ගීතය වනාහී මවු ගුණයේ අසිරිය අපූර්ව ලෙස චිත්‍රණය කළ එකක්‌මැයි කීම කෙලෙසක නම් අතිශයෝක්‌තියක්‌ වේවිද......?

අම්මා යනු කවුරුන්ද...? සැබැවින්ම අම්මා යනු ආදරයේ උල්පතම නොවේද? ආදරයේ උල්පත වූ අම්මා යෑයි සඳහන් කරමින් ගීපද රචකයෝ ගීත ලියා ඇත්තේ යම් අර්ථයක්‌ සහ අරමුණක්‌ද පෙරදැරි කරගෙනමය. දසමසක්‌ අපිව කුස තුළ හොවාගෙන අම්මාවරු මොනතරම් නම් දුක්‌ වේදනා කන්දරාවක්‌ උසුලන්නට ඇත්ද? අම්මාවරු ඒ සා විසල් දුක්‌ වේදනා කන්දරාවක්‌ ඉසිලුවේ අපි වෙනුවෙන්මය. කොපමණ වේදනාකාරී වුවද කොපමණ කටුක වුවද ඒ සියලු වේදනාකාරී සහ කටුක අත්දැකීම් ගැන ඇබින්දකුදු මුවින් නොබැන ඉවසා වදාරාගෙන සිටියේද අපි වෙනුවෙන් නොවේද. අප ඇගේ කුස තුළ වැඩෙද්දී තරහා සහගත සිතුවිල්ලක්‌ සිතට පැන නැගුණහොත් එය ඉතා ආයාසයෙන් යට පත් කර ගැනීමට ඕ කටයුතු කළාය. ඇත්තෙන්ම ඇය එම වකවානුව තුළදී පය උස්‌සා හයියෙන් අඩියක්‌වත් නොතැබුවාය. එමතුද නොව දළදා මාලිගාවට ගොස්‌ මල් පහන් පූජාකොට ඉනුත් නොනැවතී පන්සලේ බෝ මැඬටද ගොස්‌ පිහිටාශිර්වාදය ලබා ගන්නට ඇත්තේ හෙට දින මෙලොව එළිය දකින්නට පෙරුම් පුරන්නාවු අපි ගැන සුබ සිහින දකිමින්ම විය නොහැකිද?

"ගමට කලින් හිරු මුලුතැන් ගෙට වඩිනා
ඒ හිරු එළියෙන් නැණමල් පොඩි පිපුණා
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා......."

ගමට හිරු උදාවන්නේ බොහෝ වේලාවක්‌ ගතවීමෙන් ඉනික්‌බිතිය. එහෙත් ඒ හිරු මඬලට පෙරාතුව අම්මා නමැති හිරු මඬල අවදි වී මුළු නිවහනම ආලෝකවත් කරන්නීය. කුස්‌සියේ කටයුතුවලින්ම සිය දෛනික රාජකාරී අරඹන ඕ ස්‌වාමියා හා දරුවන් නිදියහන මතට වී සොඳුරු සිහින දකිමින් සිටියදීම ඔවුන් වෙනුවෙන් අහර පිසින්නට සැරසෙන්නීය. නිවසේ ආර්ථික කටයුතුවලට උරදෙමින් "කඩයප්පන්" තනන්නට සැරසෙන්නීය. කඩයප්පන් තනා ලැබෙන සොච්චම් මුදල වුවමනා කළමනාකරණය කොට නිවසේ අඩු ලුහුඬුකම් පිරිමසාලන්නට ඕ සමත් වන්නීය. ඉනුත් නොනවතින ඕ දූවාදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහාද අරමුදල් යොදවන්නීය. අම්මාගේ දැතේ සවියෙන් නැණ මල් පොඩි පිපෙන්නේ එලෙසිනි. ඉදින් එහෙව් අම්මාවරුන්ගේ දෙපා අපි උදේ හවස නමැද වැන්දද එහි ඇති වරදක්‌ නැතැයි කවුරු කවුරුත් එක හඬින්ම පවසනු නොඅනුමානය.

අතීතයේදී අම්මලා අපි වෙනුවෙන් දුක්‌ වේදනා ඉසිලුවේ යම් සේද වර්තමානය තුළදීද දරුවන් වෙනුවෙන් අම්මලා විඳින්නාවූ දුක්‌වේදනා කන්දරාව මෙතෙකැයි කියා කෙලෙසක නම් පමණ කරන්නද? කර බෙල්ල දිගු වන විට ඇතැම් දරුවෝ අම්මලා කියන දේවල් තඹ සතයකට මායිම් නොකර කටයුතු කළද අපේ අම්මලා නම් කවරදාකවත් දරුවන් කෙරෙහි අහිතකින් කටයුතු කරන්නේ නැත. ඔවුන් සෑම මොහොතකදීම දරුවන්ට යහපත පතති. ඔවුනගේ මතු දියුණුව පතති. දරුවෝ වෙනුවෙන්ම නැහුණු ආදරණීය අම්මාවරුන්ට ඉනික්‌බිති සිදුවන්නේ දරුවන්ගේ දරුවන් වෙනුවෙන්ද නහින්නටය. එහෙත් ඒවා කරදරයෑයි කියා බැහැරලන්නට අම්මාවරු සුදානම්ද, කොහෙත්ම නැත. සියල්ල උපේක්‍ෂාවෙන් විඳ දරා ගන්නා ඔවුහු තම මුණුපුරු මිණිපිරියන්ද රැක බලා ගනිමින් පිනක්‌ දහමක්‌ කිරීම සඳහා මිඩංගු කිරීමට ඇති ජීවිතයේ සැÄ සමයද දරුවන් වෙනුවෙන්ම කැප කරනු ලබන්නේය.

මඳකට සිතා බලනු මැන එවන් අම්මාවරු වනාහී ගෙදර බුදුන් යන වදනට සැබෑම අර්ථයක්‌ එක්‌ කරන්නෝ නොවේද? ඔව් එය නම් එසේමය. ඉදින් එසේ නම් ඒ අම්මාවරුන්ට කළ ගුණ සැලකීමට අපේ දරුවෝ පෙළ ගැසිය යුත්තේ කවරාකාරයෙන්ද? සාම කුමාරයාගේ කතාව කවුරු කවුරුත් දන්නවා ඇතැයි මම සිතමි. කුමක්‌ද සාම කුමරාගේ කතාව. එකල්හී දඹදිව සාම නම් කුමාරයෙක්‌ විසුවේය. මේ සාම කුමරාගේ දෙමවුපියන් අන්ධ අයවලුන්ය. මේ සාම කුමරා වූ කලී සතුන්ට කරුණාව දැක්‌වූ කුමාරයෙකි. කුමාරයාගේ යහළුවෝ වූයේද අන් කවුරුන් හෝ නොව වන සිවුපාවුන්මය. දිනක්‌ එනුවර රජු දඩයමේ යන අතරතුරේදී මුව පොව්වෙකුට හී පහරක්‌ එල්ල කළේය. එහෙත් එය සාම කුමාරයාට වැදුණු අතර එකෙණෙහිම ඔහු සිහි මුර්ජා විය. අනේ මගේ දෙමවුපියෝ ඔහුට කියවුණේ එපමණකි. රජු වහ වහා දිවැවිත් කරුණු විචාලීමට කටයුතු කළේය. එවිට සාම කුමරා දුන් පිළිතුරට අනුව ඔහුගේ දෙමාපියන් අන්ධ අයවලුන් බව සහ ඒ අන්ධ දෙමාපියන්ට සැලකීමට සිටින එකම කෙනා සාම කුමාරයා පමණක්‌ම බවත් තේරුම්ගත් රජු ඊතලය ඉවත්කොට ඔහු සුවපත් කිරීම සඳහා කටයුතු සම්පාදනය කළේය. සත්‍ය වශයෙන්ම, මවුපියන්ට සැලකීම වනාහී උතුම් ගුණාංගයක්‌ම බැව් කියන්නට ගෙන හැර පෑ හැකි හොඳම උදාහරණයකි ඉහතින් සඳහන් කළාවු සාම කුමරාගේ කථා වස්‌තුව.

හැරී බලමු මඳකට අපි වර්තමානය දෙසට. සැබැවින්ම බුදුන් ළඟට අපගේ දුක දන්නාවූ අපේ අම්මාවරු කෙරෙහි අපරිමිත දයාබරත්වයක්‌ තම හද තුළ දරාගෙන උනුන්ට උවටැන් කිරීමට පෙළ ගැසෙන්නට සාම කුමාරවරුද අද දවසේ නොසිටිතියි අපි කියන්නේ කෙලෙසකද? මම හො¹කාරයෙන්ම දන්නා එක්‌ කතාවක්‌ මෙහිලා සඳහම් කරමි.

(අදාළ මුලාශ්‍රවලින් නොවිමසා සැබෑ නම් ගම් සඳහන් කිරීම සදාචාරාත්මක නැතැයි හැඟෙන හෙයින් එසේ සිදු නොකරමි.) මේ අම්මා සහ පුතු අතර තිබුණේද පුදුමාකාර බැඳීමකි. ඒ පුතු පවුලේ බාලම පුතුය. වැඩිහිටි දරුවෝ සියලු දෙනාම ආවාහ විවාහ වී නිවසින් පිටමං වූවායින් අනතුරුව වයෝවෘද්ධ අම්මා සහ බාල පුතු පමණක්‌ නිවසේ තනිවිය. මේ පුතුටද පවුල් පන්සල් වී සෙස්‌සන් මෙන් තමන්ගේ පාඩුවේ වැඩක්‌ බලාගෙන සිටීමේ හැකියාව කොතෙක්‌ නම් තිබුණද?

ඔහු ඊට වඩා වෙනස්‌ මගක්‌ අනුගමනය කළේය. හෙතෙම තම මුල් දිවියම මෑණියන් උදෙසා කැප කළේය. කළ රැකියාවට පවා සමු දී නිවෙස වෙත පැමිණෙන්නට ඔහු අදහස්‌ කළේ අන් යමක්‌ නිසා නොව අම්මාව රැක බලා ගැනීම අන් සියල්ලටම වඩා වැදගත් බැව් ඒ පුතු තරයේම ඇදහු හෙයින්ම විය හැකිය.

ඔහු හැකි උපරිමයෙන්ම තම මවට සැලකුවේය. කිසිදු දෙයකින් අඩුවක්‌ පාඩුවක්‌ සිදුවන්නට ඉඩ නොතැබුවේය. සියල්ල අවසන මීට වසර එක හමාරකට පමණ ඉහතදී ඒ අම්මා මිය පරලොව ගියේය. දැන් අර පුතු තම නිවහනට වී හුදෙකලාවේ කාලය ගත කරයි. සැබැවින්ම ඔහුගේ ජීවිතයේ හොඳම කාලය මේ වන විට ගෙවී ගොස්‌ හමාරය. ඒ අනෙකක්‌ නිසා නොව අම්මාට සැලකීමේ අරමුණින්ම අන් සියලු දේ දෙවැනි තැන්හිලා සැලකීමට ඔහු කටයුතු කළ හෙයිනි. එහෙත්, ඒ පුතුට අහිමි වූ දේවල් ගැන තඹ සතයක තරම් හෝ දුකක්‌ නැත. මවට සැලකීමට ලැබුණු ඉඩහසරම දිවියේ සොඳුරුතම කාල පරිච්ඡේදයකැයි සිතා සතුටු සිතින් කාලය ගත කරන්නේය.

සැබෑ සෙනෙහසකින් යුක්‌තව අම්මාවරු රකින්නා වූ දරුවන් පිළිබඳ කතා එපරිදිය. එහෙත්, එවන් කතා අතර මෙහෙව් කුරිරු දරුවන් ගැනද අසන්නට සිදුව ඇත්තේ කවර අභාග්‍යයක්‌ නිසාදැයි යන්න සැබැවින්ම අපට නම් නොතේරේ. අප පවසන මේ මව නමින් පතිරණලාගේ මේරි මැටිල්ඩාය. ඕ පනස්‌ දෙහැවිරිදි (52) ය. ඕ අන්ධය. ඇයට 2011 වර්ෂයේ නොවැම්බර් මස එක්‌තරා සති අන්තයකදී යක්‌කල තිත්තලපිටිගොඩ ප්‍රදේශයේදී අතරමං වීමට සිදුවූවාය. අහෝ.....ෘ ඒ කවරක්‌ හේතු කොට ගෙනද?..... වත්තල එෙŒරමුල්ලේ සිට අප ඉහතින් සඳහන් කළ ප්‍රදේශයට පැමිණ අතරමංවූ ඇයට ප්‍රදේශවාසීහු කිහිප දෙනෙක්‌ එක්‌ව ආහාර පානාදියෙන්ද සංග්‍රහකොට තිබුණු අතර, ඇයට එබඳු ඉරණමකට මුහුණ පෑමට සිදු වූයේ ඇයි දැයි අපි නැවතත් විමසමූ. ඇයට ඒ ඉරණම අත් කර දුන්නේ අන් කවරෙකු හෝ නොව ඇගේම දියණියයි. පදිංචියට ගෙයක්‌ සොයාගෙන යන බවට මුසාවක්‌ පවසා තම අම්මාව රැගෙන ගොස්‌ මහ මග අතරමං කර පලාගිය එවන් දියණිවරුන්ට සැබැවින්ම අප ඉහතින් සඳහන් කළා වු සාම කුමාරවරු හමුවේ උරුම වන්නේ කවර නම් ස්‌ථානයක්‌ද..... එය ගැඹුරින් විමසා බැලිය යුතු පැනයකි.

ඇත්තෙන්ම, එවැන්නක්‌ කිරීමට තරම් ඒ දියණිය සැහැසි වන්නට ඇත්තේ කිම......? ඒ මව තමන් වෙනුවෙන් හරි හැටි යුතුකම් ඉටු නොකළ නිසාදැයි යන්න අපි නොදනිමු. නොඑසේ නම් ඒ අම්මාගේ අන්ධභාවය දියණියට නොරිස්‌සූ නිසාද යන්නද අපි නොදනිමු. ඒ කවරක්‌ වුවද ඇය සිදු කොට ඇත්තේ මිනිසත්කමට නම් කිසිසේත්ම තරම් නොවැන්නකැයි අපි එක හෙළාම කියමු. අනේ ඇත්තටම ඒ අම්මා මහ මග තනිකර දමා අර කුරිරු දියණිය පසු නොබලාම යන්නට ගිය සැටි. මේ කියෑවෙන්නේ අනෙකක්‌ නොව හෘද සාක්‍ෂියක්‌ නැති මිනිසුන්ගෙන් පිරි සමාජයක ෙ€දවාචකයම නොවේද? හෘද සාක්‌ෂියක්‌ කියා දෙයක්‌ මඳකට හෝ තිබුණා නම් අඩුම තරමින් තමන් කළ වරද ගැන පසුතැවිලි වන්නට හෝ ඕ කටයුතු කරනු නොඅනුමාන බැව් අපේ නම් විශ්වාසයයි.

අප දැන් කියන්නට යන කතාවද 2011 වර්ෂයේ නොවැම්බර් මස එක්‌තරා සති අන්තයකදී සිදු වූවකි. මහනුවර මීගම්මනවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි බිසෝ මැණිකේ (72) නමැති කාන්තාවකට සිය පියවුරක තුවාලයක්‌ද සහිතව මහනුවර මහරෝහලට ඇතුළත් වීමට සිදු වුණි. ඒ ඇයි........? හේතුව අනෙකක්‌ නොව ඇගේම පුතු පදමට සූර්වී පැමිණ ඇගේ ගෙලෙන් අල්ලා මල් කපන පිහියකින් එක්‌ පියයුරක්‌ කපා බරපතළ ලෙස තුවාල සිදු කිරීම හේතු කොට ගෙනය. එලෙස තුවාල කිරීමට හේතුව වී ඇත්තේ අනෙකක්‌ නොව මව හා පුතු අතර කලක පටන් පැවැති ඉඩම් ආරවුලකි.

බිම් අඟලට, වැට මායිමට අඬදබර කර නොගන්නා මෙන් පුංචි සන්දියේ පටන්ම තම පුතුට ඉගැන්වූ ඒ මවට සියල්ල කෙළවර පුතු අතින්ම ඉඩම් ආරවුලක්‌ හේතු කොට ගෙන මෙබඳු ඉරණමකට මුහුණ පෑමට සිදුවීම කවර නම් අභාග්‍යයක්‌ ද........? සැබැවින්ම, එය කවර ෙ€දයක්‌ද යන්න පැවසීම මට නම් උගහටය. කෙසේ වතුදු අපි විමසන්නේ මෙපමණකි. අම්මා කෙනකු යනු නිකන්ම නිකන් ඇට, මස්‌, ලේ, නහර ගොඩක්‌ නොව මිල කළ නොහැකි මහා ගුණ සමුදායකින් හෙබි මානව දයාවේ අපූර්වතම ප්‍රතිමූර්තියකි. ඉදින්, එහෙව් අම්මා කෙනකුගෙන් පළිගනු තබා පළි ගැනීමට සිතීමත් මොනතරම් නම් පාපයක්‌ ද.....? දසමසක්‌ අපිව කුස තුළ හෙවාගෙන ඉසිලු වූ දුක්‌ වේදනා කන්දරාව වෙනුවෙන් හෝ අම්මාවරු අරභයා අපි ඉවසිය යුතුව තිබෙනවා නොවේද?

රක්‌ත වර්ණ රුධිර දහරාවෝ ශ්වේත වර්ණ ක්‌ෂීර දහරාවක්‌ බවට පත් වුණේ අප කෙරෙහි උනුන්ගේ හදවත් තුළ ඇති වුණා වූ සෙනෙහස හේතු කොට ගෙනමය. මේ මුළු විශ්වයම නිර්මාණය වී ඇත්තේද ඇගේ කිරිවල බල මහිමයෙන්මය. ඒ කිරි රසවත්ය. ඒ කිරි නැවුම්ය. එමතුද නොව ඒ කිරිවලින් වහනය වන්නේ ද නැවුම් වූ සුවඳක්‌මය. ඉදින්, කවර හෝ තැනැත්තෙකු ඒ කිරි සුවඳට පරිභව කිරීමට සැරසෙන්නේ නම්.........? නිසැකවම පැවසිය හැක. කුමක්‌ද ඒ ..........? ඒ අනෙකක්‌ නොව ඒ කිරි සුවඳට පරිභව කළ පුතු නිරයේමය උපදින්නෙ........ " යන්නයි.

අමිල දොළපිහිල්ල

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.