සංස්‌කරණය : නාරද නිශ්ශංක

ගාමිණී සහ සිහින පුරය



මීට වසර තිහකට පමණ පෙර සිටම රඟපෑමේ නියුතුව සිටින පිරිපුන් මෙන්ම, ප්‍රවීණ රංගන ශිල්පියකු වන ගාමිණී හෙට්‌ටිආරච්චි ප්‍රධාන චරිතයක්‌ රඟපාන "සිහින පුරය" නම් ටෙලි නාට්‍යය පසුගියදා එහි පන්සිය වැනි (500 වැනි) කොටස නිම කළේය.

සතියේ දිනවල රාත්‍රී 7.30 ට ගෙදර සිටියොත් මා "සිහින පුරය" නොවරදවාම නරඹන අතර, යම් කිසි දිනෙක ගාමිණී හෙට්‌ටිආරච්චි එහි රඟපෑවේ නැත්නම් එදින "සිහින පුරය" නිකම් පාළු පුරයක්‌" වන්නේය. "ඕ සැලරි" යන කියමන එහිදී ගාමිණී රඟපාන "මොහාන්" නම් චරිතයෙන් කියෑවෙන අතර එය දැන් තරුණ පිරිස්‌ අතර ජනප්‍රිය කියමනක්‌ වී තිබේ. මොහාන්ගේ චරිතයෙන් ගාමිණී ලවා කියෑවෙන දෙබස්‌ අතර හරබර ඒවා මෙන්ම විනෝදජනක දෙබස්‌ ද අපට ඇසේ.

රජයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන අතරතුර රඟපෑමට අවස්‌ථාව සොයා ගැනීම පිළිබඳව ගාමිණී හෙට්‌ටිආරච්චිගෙන් විමසීමේදී ඔහු කීවේ "ඕනෑම දෙයකට කැමැත්තක්‌ තිබෙනවා නම් එය සපුරාගැනීමට මාර්ගයක්‌ තිබේ" යෑයි කියාය.

ගාමිණීගේ බිරිය වන දර්ශනී ද කලාවට සම්බන්ධ අතර ඇය මිලාගිරියේ ශාන්ත පාවුළු බාලිකා විදුහලේ නාට්‍ය කලා ගුරුවරිය වේ. එපමණක්‌ නොව ගාමිණීගේ තරුණ දියණිය ද දැන් නැගී එන නිළියකි. ඇය ප්‍රතිභාය. ප්‍රතිභාගේ සොයුරා වන, ගාමිණීගේ පුත් ශක්‌ති ද වීඩියෝ පට නිෂ්පාදකවරයෙකි.

කොළඹ නාලන්දා විදුහලේ උගෙනුම ලැබූ ගාමිණී සෝමලතා සුබසිංහ, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ධම්ම ජාගොඩ ඇතුළු ප්‍රවීණ නාට්‍යකරුවන්ගේ නාට්‍ය රැසක්‌ රඟපා ඇති අතර, සුනිමල් ලෙස "යශෝරාවය" ටෙලි නාට්‍යයේත් මයිකල් ලෙස "දඩබිම" ටෙලි නාට්‍යයේත් රඟපෑ චරිත ප්‍රේක්‍ෂක මතකයේ තවමත් රැඳී ඇත.

ගාමිණී ගැන ලියනවා නම් ඉතා දිගු ලිපියක්‌ ලියන්නට පුළුවන. එහෙත් මේ ඊට අවස්‌ථාව නොවේ.

"සිහින පුරයෙන්" ලීවීමට පටන්ගත් මෙම සටහන සිහින පුරයෙන්ම අවසන් කළ යුතු යෑයි සිතේ. "සිහිsන පුරය" ඇත්ත වශයෙන්ම නව මගක්‌ ගත්a ටෙලි නිපැයුමකි. එහි සියලුම නළු නිළියන්ගේ (නම් වශයෙන් කීමට දන්නේ කිහිප දෙනකුගේ පමණක්‌ නිසා, එක නමක්‌වත් ලියන්නේ නැත) ඉතා විශිෂ්ට රඟපෑමක යෙදෙන බව ද කිව යුතුය. දෙබස්‌ ද ඉතා තාත්විකය. එහෙත් සමහර දිනවලට මුළු සිහින පුරයේම ගන්නට දෙයක්‌ නැත. එය කාගේ, කොතැනක වරදක්‌ සිදුවන්නේ දැයි නොදනිමි. ඒ නිසා සමහර දිනවලදී "සිහින පුරය" අපේ වේලාව නිරපරාදේ කා දමන, කිසිම කමකට නැති "පැය බාගයක්‌" වන්නේය. නව මගක්‌ ගත් සිහින පුරය පෙර තිබු තත්ත්වයටම පත්වේවා යනු අපේ පැතුමයි.

- එම්. පී.

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.