අසාද් සාලි කෑම නොගනී
"මාසයක්‌ හෝ රඳවාගෙන ප්‍රශ්න කරනවා"
- පොලිසිය කියයි

හේමන්ත රන්දුණු

අධිකරණයෙන් ලබාගත් පැය හැත්තෑ දෙකක රැඳවුම් නියෝග මත කොළඹ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති සහ සමගි පෙරමුණේ මහලේකම් අසාද් සාලි මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරගෙන යයි.

මෙම කාල සීමාවේදී ප්‍රශ්න කිරීම් අවසන් කිරීමට නොහැකි වුවොත් මාසයක කාලයක්‌ හෝ රැඳවුම් නියෝග ලබාගෙන අසාද් සාලි මහතාගෙන් ප්‍රශ්න කිරීම් කරගෙන යන බව පොලිස්‌ ආරංචි මාර්ග කියා සිටියේය.

මේ අතර මෙම අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් අසාද් සාලි මහතා ඊයේ සිට ආහාර ගැනීම ප්‍රතික්‍ෂේප කර ඇති බව පොලිස්‌ ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිsටියේය.

අසාද් සාලි මහතාට අවශ්‍ය ආහාර පාන සියල්ල ලබා දුන් බවත් ඒ මහතා එම ආහාර ගැනීම ප්‍රතික්‍ෂේප කර ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් කීය.

ඒ මහතා මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ රට තුළ නැවත ත්‍රස්‌තවාදය ඉස්‌මතු වන ආකාරයට ප්‍රකාශ නිකුත් කළැයි කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහාය.

මුස්‌ලිම් තරුණයන් ආයුධ අතට ගතයුතු කාලය එළඹ ඇති බවට වෙබ් අඩවියකට සහ ඉන්දීය සඟරාවකට ප්‍රකාශයක්‌ කළ බවට ඒ මහතාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

අසාද් සාලි මහතා මුස්‌ලිම් සන්නද්ධ කණ්‌ඩායම් සමග සම්බන්ධතා පවත්වන්නේද යන්න පිළිබඳව ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

එහෙත් මෙවැනි ප්‍රකාශ කිසිවක්‌ තමන් නොකළ බවත් මෙම අත්අඩංගුවට ගැනීම ඉතාම අසාධාරණ ආකාරයට සිදු කර ඇති බවත් අසාද් සාලි මහතා පවසයි.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.