කූරගල
ගල්ලෙන් තපෝවන ආරණ්‍ය සේනාසනය
ඓතිහාසික පසුබිම


දයානන්ද බිනරගම



සබරගමු පළාතේ රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ බළන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ තන්ජන්තැන්න ග්‍රාමසේවා වසමට අයත් කූරගල හා පිටුවන්ගල කටාරම් සහිත බ්‍රාහ්මී අක්‌ෂර යුත් ගල් ලෙන් ආරණ්‍ය සේනාසනයකි. එම ලෙන් සතර දිගින් වැඩි භික්‍ෂූන් වහන්සේලාට පරුමක ප්‍රභූවරු විසින් පූජා කරන ලද්දකි. කඩවත හා මැද කෝරළයේ උග්ගල් කල්තොට හා තන්ජන්තැන්න යන ගම්වල සිතියමට අනුව පිහිටි අංක 05 දරන භූ ලක්‌ෂණ සිතියටම අනුව පිඹුරේ අංක 03 දරන ඇතුල් සටහනේ ලොට්‌ අංක 100 හා 810 දරන අවසාන ගම් පිඹුරේ ලොට්‌ අංක 182, 184, 352, 353, 362, 364 සහ 366 දරන අක්‌කර 52 රූඩ් 2 පර්චස්‌ 19 ක්‌ වූ භූමි ප්‍රමාණයකට හිමිකමක්‌ හා උරුමයක්‌ ඇති අතීත බෞද්ධ කේන්ද්‍රස්‌ථානයකි. මෙම "කූරගල ගල් ලෙන් තපෝවන ආරණ්‍ය සේනාසනය" අනුරාධපුර යුගයේ සිට ම පැවති බෞද්ධ ජූජනීය ස්‌ථානයක්‌ බව පුරාවිද්‍යාඥයන් අවිවාදයෙන් තොරව පිළිගන්නා අතර මෙම ස්‌ථානයට පැමිණෙන ඕනෑ ම හූදී ජනයෙකුට ඒ බව පසුබිමින් තහවුරු වන බව අමුතුවෙන් කිව යුතු නැත.

"කුරගල ගල් ලෙන් තපෝවන ආරණ්‍ය සේනාසනය" ශ්‍රී ලංකාවේ පැරණිතම සෙනසුන් ලෙන්වලට අයත් මිහින්තලය වෙස්‌සගිරිය, රිටිගල, දිඹුලාගල, සිතුල්පහුව, බුද්ධංගල ආරණ්‍ය සේනාසනය හා සම අවධිවල දී සංවර්ධනය වූ බෞද්ධ සංස්‌කෘතික උරුමයේ සුවිශේෂී වූත් ප්‍රෙෘඪ වූත්, අනභිබවනීය වූත්, දේශීය අනන්‍යතාවයේ ප්‍රධාන කේන්ද්‍රස්‌ථානයක්‌ වන අතර ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු පූජා භූමියකි. මෙහි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව කිසිදු ඉදිකිරීමක්‌ හෝ කැණීමක්‌ සිදු කළ නොහැකි භූමියකි. එමෙන්ම රක්‌ෂිත වන කලාපයට අයත් ප්‍රදේශයක්‌ද වේ. එමෙන්ම ක්‍රි. පූ. 28,000 - 6500 අතර කාලයේ බෙල්ලන්බැදිපෑලැස්‌ස හා උඩුපියනිගල්ගේ මෙන්ම බුදුගලට නුදුරු අතීත බළන්ගොඩ මානවයා සරිසැරූ හා ඔවුන්ගේ නිවහනක්‌ වූ ගල් ලෙන් සංකීර්ණයකි.

ක්‍රි. පූ 2-1 සියවස්‌ අතර කාලයේ ගල් ලෙන් ආශ්‍රමයක්‌ ලෙස පැවති කූරගල, අනුරාධපුර යුගයේ සිට ම මෑත ඉතිහාසය දක්‌වාම සංවර්ධනය වූ බෞද්ධ පූජනීය පුද බිමකි. මෙයට ආසන්න ගල්ටැම්යාය, බුදුගල, හඳගිරිය, දේවගිරය, කොට්‌ටිමුල්වල, ලෙන්දොර, මහ සුදර්ශන ලෙන, කිරිමකුලුගොල්ල කුරගලට ආසන්න අනෙකුත් පෞරාණික බෞද්ධ කේනද්‍රස්‌ථාන වේ. මේ අනුව කූරගල ලෙන් ආරණ්‍ය සේනාසනය හුදකලාව පිහිටි බෞද්ධ කේන්ද්‍රස්‌ථානයක්‌ නොවේ. පශ්චාත් අනුරාධපුර යුගයේ දී කූරගල ලෙන්වල සිට භාවනානුයෝගී භික්‍ෂූන් වහන්සේලා බුදුගල පධානඝර ආරණ්‍ය සේනාසනයට වැඩම කර විනයකර්ම කටයුතුවල නිරත වූ බවට සාධක සොයාගෙන තිබේ. මේ අනුව අනාදිමත් කාලයක්‌ බෞද්ධ සංස්‌කෘතියේ පුනර්ජීවනය ලද බෞද්ධ වාස්‌තුවිද්‍යාත්මක නිර්මාණ රැසක නටබුන් අදටත් ශේෂව පවතී. මේ ස්‌ථාන වැනසී අන්සතු කර ගැනීමට පෙර ලේඛනගත කර රැක ගැනීමට බෞද්ධයා පෙළ ගැසී සිටිය යුතු අවධියකි මේ.

කූරගලට පිවිසිය හැකි මග

බළන්ගොඩ නගරයේ සිට උග්ගල් කල්තොට දක්‌වා දිවෙන බස්‌ රථ මාර්ගයේ 14 වැනි සැතපුම් කණුව පසුකරත් ම තන්ජන්තැන්න මංගර දේවාලයට ආසන්නව දකුණු දෙසට දිවෙන මාර්ගයේ සැතපුම් එකයි කාලක්‌ (1, 1/4) පමණ ඉදිරියට ගිය පසු කූරගල ගල් තලාවට පිවිසිය හැකිය. මේ යන අතර මගදී කූරගලට ආසන්නව ඉදිකර ඇති නූතන සංඝාවාසයකි. එහි බැතිමතුන්ගේ ගිමන් විඩාව නිමා ගැනීම සඳහා ඉදිකර ඇති ධර්ම මන්දිරයට පිවිසීමට අමතක නොකළ යුතුය. එතැන් සිට ගල් තලයේ නූතනයෝ සකසා ඇති බෞද්ධ පැරැණි පියගැට පෙළ නැග්ම ඔස්‌සේ යාර 100 යක්‌ පමණ ඉදිරියට ගමන් ගැනීමෙන් පසු වළයාකාර හැඩයේ බැස්‌සකි. එහි මධ්‍යයේ තැනි බිමකි. එතැන් සිට වම් පයින් පූර්ව බ්‍රහ්මී අක්‌ෂර සහිත ප්‍රධාන ලෙන් සංකීර්ණයට පිවිසිය හැකිය. මෙයට දකුණු පසින් හිටුවන්ගල ගල් ගුහා (කුහරය) පිහිටා තිබේ. මෙම ස්‌ථානය පොදුවේ කූරගල යනුවෙන් ව්‍යවහාර කරතත් පර්වත ශිඛර දෙකකි. එය කූරගල හා හිටුවන්ගලයි. හපුතලේ අඟලේ සිතියමට අනුව නිරිත ඊසාන දිසානුගතව බෙල්ලන්ගල කඳු කෙරවළේ සිට දියඉන්න කපුගල බඹරගල දක්‌වා සැතපුම් දහයක්‌ පමණ දිගට විහිදෙන්නා වූද, දකුණු ගිනිකොණ දිසානුගතව අඩි 500 - 1500 සමෝච රේඛා අතර දළ බෑවුම්ගත ප්‍රාකාර බැම්මක්‌ සේ විහිදෙන පර්වත තලයේ උසම ශිඛරය ලෙස ද කූරගල සඳහන් කළ හැකිය. කඳු වැටියේ පිළිවෙළින් අනෙකුත් උසම ස්‌ථාන වන්නේ හිටුවන්ගල, කවුඩුමානහෙළ, කළුගල හා බඹරගලයි. මුහුදු මට්‌ටමේ සිට අඩි 1500 වඩා උසට මෙම පර්වත ප්‍රාකාරය උස්‌ වේ. මෙයින් කූරගල පර්වත ශිඛරය ඉහළින් ම දිස්‌වේ. මෙම පර්වත වේදිකා "ග්‍රැනයිට්‌ මිග්මනයිස්‌" හෙවත් "තද කළුගල්" පාෂාණ පද්ධතියකින් උතික්‌ෂිප්ත වූ කඳු කලාපයක්‌ ලෙස හැඳින්විය හැකිය. වයඹ හා උතුර දෙසින් බළන්ගොඩ දක්‌වා කඳු ගැටවලින් උස්‌ වුවද දළ වශයෙන් තැනි බිමකි. "බළන්ගොඩ සානුව" යනුවෙන් එම තැනි බිම හඳුන්වයි.

කූරගල අවට පරිසරය

බළන්ගොඩ සීමාන්තයේ පිහිටි කූරගල වන පියස කඳුරට වියළි කලාපීය වෘක්‌ෂලතා කලාපයට අයත් වුවද, තෙත් හා වියළි සංක්‍රාන්තීය කලාපයක අවසාන සීමාවේ පිහිටා ඇත. එබැවින් අවුරුද්දේ වැඩි කාලයක්‌ වියළි දේශගුණයක්‌ පවතින බැවින් තද කර්කශ වියළි බවක්‌ ගතට දැනේ. මෙහි වැඩී ඇති ශාක කඳුරට වියළි කලාපීය ශුෂ්ක දේශගුණයට ඔරොත්තු දෙන තද අරටුව සහිත හොර, කීන, පලු, වීර, බුරුත, නැදුම්, හල්මිල්ල, කැටකෑල්ල වැනි වටිනා වෘක්‌ෂලතා මෙන්ම කටු පඳුරු හා තෘණ තලා වර්ගයට අයත් අඩි දෙකක්‌ පමණ උස්‌ වූ "මානා" පඳුරු බහුලව දක්‌නට ලැබේ. එසේ ම අරළු බුළු, නෙල්ලි, ගම්මාලු කහට, වෑවරණ, ඇත්දෙමට, සුදුහඳුන්, රත්හඳුන්, කිහිරය, බිම් කොහොඹ, රසකිඳ තිත්තකිඳ, අට්‌ටික්‌කා, ඇහැළ, ඔළිඳ වැල්, සියඹලා, ඊ තණ ආදී ඖෂධීය ගස්‌, වැල් හා තෘණ වර්ගයට අයත් ශාක මෙම ප්‍රදේශයේ බහුලව දැක ගත හැකි බැවින් රැකගත යුතු වටිනා වන කලාපයකි.

කූරගල පර්වත ශිඛරයේ සිට අවට නරඹන කල්හි දකුණු දෙසින් මුහුදු සිතිජය ලෙස දිස්‌වන්නේ උඩවලව හා චන්ද්‍රිකා වැව අති විශාල ජල එකතුවයි. ගිනිකොණ දෙසින් බිඳුණුමංකඩ හා හම්බෙගමුව සුවිශාල වැව් දෙක දිස්‌වේ. ඊසාන දෙසින් හපුතලේ කඳු පන්තිය හා කොස්‌ලන්ද සානුව දිස්‌ වේ. හපුතලේ, ඇල්ල, වැල්ලවාය හා කොස්‌ලන්ද, බෙරගල මහා මාර්ගය දිගේ පහන් කණු ආලෝකයෙන් දිස්‌ වන සුන්දර දර්ශනය නැරඹීම සඳහා බොහෝ දෙනා රාත්‍රී කාලයේ කූරගල ගල් තලාවේ නවාතැන් ගැනීම කලක සිට පැවත එන සිරිතකි. වර්ෂා කාලයේ දී දහස්‌ ගණනින් පිරී යන මධ්‍ය වලව මිටියාවතේ පැරැණි වැව් පද්ධතිය දිස්‌ වන්නේ තැන තැන එක්‌ රොක්‌ වූ ජල කඩිති මෙනි. අක්‌කර දෙකක්‌ පමණ වන සේ සිවුරුකඩ කපා ඇති ආකාරයට ක්‍රමානුකූලව කට්‌ටි කර ඇති කල්තොට, කොළොම්මඩ, වැලිපතයාය, පුහුල්යාය, පුබ්බරුපොත, දියඉන්න දක්‌වා දිවෙන වෙල්යාය කූරගල පර්වතයෙ සිට නරඹන කල්හි අතිසුන්දර මනස්‌කාන්ත දර්ශනයක්‌ දිස්‌ වේ. වර්ෂ 1956 පසු සංවර්ධනය වූ "වලවේ ගඟ දකුණු ඇළ සංවර්ධන ව්‍යාපාරය" යටතේ මෑත දී වගා කටයුතු සිදු කරන මෙම කුඹුරුයාය ප්‍රදේශයට බත සපයන පුණ්‍ය භූමියකි.

එදා සිහල රජ දවස නීල යෝධයා විසින් ඉදිකළ නීල බැම්ම අමුණ සහ ඇළ, වලවේ ගඟේ දෙපා බැදි අමුණ සහ ඇළ, කාල්කාන් අමුණ සහ ඇළ, මළකඳුර අමුණ සහ ඇළ, කොමළිගේ අමුණ සහ ඇළ ආදිය ඇතුළු වැව් අමුණුවල තැන තැන ඇති නෂ්ඨාවශේෂයන් කියා පාන්නේ වලවේ ගඟේ අතු ඔයවල් හරස්‌ කොට ඇළවේලී මගින් ජලය ගෙන ගොස්‌ දහස්‌ ගණන් වැව් පුරවා වගා කටයුතු කළ සරුසාර භූමියයි. එදා මෙන්ම අද ද මෙම ප්‍රදේශයේ ජනතාවට බත සපයන්නේ නැවත ප්‍රතිෂ්ඨාපනය කර ඇති එම වැව් අමුණු සහ ඇළ මාර්ග වේ.

මෙම තැනිබිම මැදින් නිහඬ ව ලයාන්විත ව හැඩගැන්වෙමින් ගලා යන වලවේ නදිය සහ එහි අතු ගංගා සියලු සත්ත්වයන්ගේ දිය පිපාසය සිඳුවන ජීවනාලියයි. දියඉනි ඇල්ල, පියන්ගිර ඇල්ල සහ දූවිලි ඇල්ල රසකාමීන්ගේ නිවාඩු නිකේතන බවට පත්ව ඇත. මෙම සුන්දර මනස්‌කාන්ත දර්ශනය ශ්‍රී ලංකාවේ ස්‌වාභාවික පරිසර නිර්මාණයේ අග්‍රගණ්‍ය ඵලයකි. මෙය සංචාරක නිකේතනයකි. සීගිරි පර්වතයේ සිට ජල උද්‍යානය නැරඹීමෙන් ලද හැකි ආස්‌වාදය හා පරිසර සුන්දරත්වය කූරගල සිට වලව නිම්නය නැරඹීමෙන් ලද හැකි බව කිව හැකිය.

ජනප්‍රවාදවලට අනුව මෙහි පැරැණි නාමය කූරගල නොව "කුහරගලයි" එම නම ව්‍යවහාර කිරීමට හේතු වී ඇත්තේ පිටුවන්ගල පර්වතය මුදුනේ නැගෙනහිර බෑවුමේ ස්‌වභාවිකව පිහිටි ගල් දෙබොක්‌කාවක්‌ කුහරයක්‌ ලෙස තරමක ගැඹුරට පිහිටා තිබීමයි. එය අඩි 15 - 20 පමණ ගැඹුරට මිනිසුන් දෙදෙනකුට පමණ එක වර බැසිය හැකි කුහරයකි. ඝන අන්ධකාරයෙන් යුත් කුහරය දිගේ තරමක්‌ පහළට බැසීමේ දී පර්වත තලයේ නැගෙනහිර මුහුණතට සූර්යාලෝකය වැටීමෙන් විවර වූ පැළුම තුළින් ආලෝකය මතුවේ. සාපේක්‍ෂව බලන කල්හි මෙහි පිහිටීම එතරම් ම විශ්මය ගෙන දෙන්නකත් නොවේ. එහෙත් කූරගල යන නම භාවිතාවීමට මෙය හේතු වී ඇත. කූරගලට තරමක්‌ ආසන්නව නැගෙනහිර දෙසින් පිටුවන්ගල පර්වතය දිස්‌වෙයි. එය කුරගලට වඩා තරමක්‌ උස්‌ වේ. දත්තා විසින් පූජා කළ ලෙනට ඉහළින් පිහිටා තිබේ. මෙය ස්‌වරූපයෙන් ලෙනක්‌ නොව ගුහාවකි. මෙය අචෙලක භික්‍ෂූන්ගේ භාවනා අසපුවකි. මෙය නැරඹීමේදී ප්‍රවේශම් වීම නුවණට හුරුය.

නැගෙනහිර හිටුවන්ගල පර්වතය පා මුල කටාරම් කොටන ලද ලෙන් තුනක්‌ දැකගත හැකිය. ප්‍රථම ලෙන අඩි හැටක්‌ පමණ දිග් වූද, අඩි 40 පමණ උස්‌ වූද, කටාරම් දෙපේළියකින් යුක්‌තව පහළින් පූර්ව බ්‍රහ්මී අක්‌ෂරවලින් යුත් දීර්ඝ සෙල්ලිපියකි. ඊට මඳක්‌ වම් පසින් තවත් කුඩා ප්‍රමාණයේ ලෙනකි. එය ප්‍රථම ලෙනට වඩා කුඩාය. පර්වත ශිඛරයේ ඉහළම කෙළවරේ සෘජුව උස්‌ වූ පර්වත තලයේ අවදානම් අයුරින් සකස්‌ කර ඇති අඩි 8 ඞ 6 ඞ 4 දිග, පළල සහ උස ප්‍රමාණයෙන් අයුත් භාවනා අසපුවකි. එයට ඉහළින් ස්‌වාභාවිකව පිහිටි විශාල ගල් කුලයකින් වහළක්‌ සේ ආවරණය වී අව් වැසි ආදියෙන් ආරක්‍ෂාව සැලසේ. මෙම ස්‌ථානය භාවනානුයෝගී භික්‍ෂූන් වහන්සේලා විදර්ශනා පිරූ ගිරි ගුහා ස්‌ථාන බව විශුද්ධිමාර්ග සන්නසට අනුව පැහැදිලි කර ගත හැකිය. භාවනානුයෝගී තවුස්‌ කැළ වෙනුවෙන් ගිරි ගුහා ඉදි කළ බව බෞද්ධ සාහිත්‍යයේ කොතෙකුත් හමු වේ. මෙම භාවනා අසපුවේ සිට තෙරක්‌ නොපෙනෙන හිස්‌ අවකාශය දෙස බැලීමෙන් විදර්ශනාලාභී භික්‍ෂූන් වහන්සේලාට විශ්වයේ යථා තත්ත්වය අවබෝධවීමෙන් මාර්ගඵල අවබෝධ කර ගැනීමට මෙන් ම සසර මග කෙටි කර ගෙන නිවන් මග පසක්‌ කර ගැනීමට උපකාර වූ පුණ්‍ය භූමියකි මේ. එබැවින් මෙම ලෙන් ආශ්‍රමය අනාගත භික්‍ෂූන් වෙනුවෙන් රැක ගත යුතු භූමියක්‌ බව අවධාරණය කරමි.

කූරගල් ප්‍රාග් ඓතිහාසිකත්වය

කූරගල ගල් ලෙන් ප්‍රාග් මානව යුගය දක්‌වා අතීතයට දිවෙන ඉතිහාසයක්‌ ඇති ස්‌ථානයකි. හිටපු ජතික කෞතුකාගාර අධ්‍යක්‍ෂවරයෙකු වූ ආචාර්ය පී. ඊ. පී. දැරණියගල සූරීන්ගේ හා හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය එස්‌. යු. දැරණියගල සූරීන්ගේ සුවිශේෂ නිරීක්‍ෂණයට ලක්‌ වූ බෙල්ලන්බැදි පෑලැස්‌ස එළිමහන් සොහොන් බිම කුරගලට නුදුරුව පිහිටා ඇත. බෙල්ලන්බැදිපෑළැස්‌සෙන් සොයා ගත් මානව අවශේෂ හා මෙවලම් අදින් වසර 6500 වඩා වැඩි බව කාල නිර්ණය කර ඇත. දියඉන්නට නුදුරු උඩුපියන් ගල්ගේ, වලව නිම්නයේ රත්කිඳ සහ කුරගල පාමුල ඇති බුදුගල ප්‍රාග් ඉතිහාසය දක්‌වා අතීතයට දිවෙන කූරගලට ආසන්න ස්‌ථාන වේ. රාවණ ඇල්ල ගල්ගේ, හල්දුම්මුල්ල, රංචමඩම සහ ගල්පාය කූරගලට තරමක්‌ දුරින් පිහිටිය ද බළන්ගොඩ මානවයා සැරිසැරූ ස්‌ථාන වේ. උඩුපියන් ගල්ගේ සහ රාවණ ඇල්ල ගල්ගේ තිබී සොයාගත් උපරිම ස්‌ලොස්‌ටෝසීන යුගයට අයත් ශුද්‍ර ගල් ආයුධ සහ වළං කැබළිති පැරැණි තාක්‌ෂණය පිළිබඳ තොරතුරු හෙළි කරයි. උඩුපියන්ගල්ගේ විසූවෝ බෙල්ලන්බැදිපෑලැස්‌සේ සහ රාවණ ඇල්ල ගල්ගේ විසූවනට වඩා නූතනයෝ වූ බවත් උඩුපියන්ගල්ගේ චිත්‍ර ඇඳ තිබීමෙන් දියුණු මානව පිරිසක්‌ බව ආචාර්ය පී. ඊ. පී. දැරණියගල පෙන්වා තිබේ. (බළන්ගොඩ යුගය - සංස්‌කාරක බළන්ගොඩ නන්ද හිමි 1966 පිටු 5 -6) මධ්‍ය - නූතන යුගයට අයත් බළන්ගොඩ මානවයා පිළිබඳ තොරතුරු රැසක්‌ මේ ප්‍රදේශවලින් සොයා ගෙන ඇති බැවින් බළන්ගොඩ සංස්‌කෘතික සමය" හා හෝමෝ සෙපියන්ස්‌ බළන්ගොඩෙන්සිස්‌" යනුවෙන් නම් කිරීමට තරම් මේ මානව අවශේෂ වැදගත් වී තිබේ. මධ්‍යම කඳුකරයේ ගල් ලෙන් බළන්ගොඩ මානවයාගේ නිජබිම් වශයෙන් පැවත තිබේ. විශේෂයෙන් කූරගල ගල්ගෙන් ඇතුළු මේ පර්වත වේදිකාවේ නැගෙනහිර බෑවුමේ ඇති බුදුගල, පබ්බත, සොණගල්ගේ, මනෝපදස්‌සන ලෙන, මනෝරම්‍යලෙන, කිරිමකුළුගොල්ල ලෙන්, දේවගිරි විහාර ලෙන, පියන්ගිරිය ලෙන, ලෙන් දොර ලෙන කළුගල පර්වතයට පහළින් ඇති කුඩා ලෙන් පහළොවක්‌ පමණ ඇති අතර මෙම සියලු ස්‌ථාන බළන්ගොඩ මානවයාගේ සුවිශේෂ ලැගුම් ස්‌ථාන වී ඇති බව පිළිගත යුතු වේ. කූරගල පර්වතය පා මුල ඇති බුදුගල ප්‍රාග් මානයාගේ සුවිශේෂ ස්‌ථානයක්‌ වූ බව ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් බුදුගල ගලේ කොටා ඇති මාළුවා, ත්‍රිශූලය, ස්‌වස්‌තිකය, සිංහ රූපය හා මිනිස්‌ රූප දෙකින් තහවුරු වී තිබේ. වලවේ ගඟ නිම්නයේ රත්කිඳ නම් ස්‌ථානයේ තිබී "ඇලිපාස්‌ මැක්‌සිමූස්‌ සිංහලේයුස්‌" නැමැති අලියෙකුගේ පොසිල දැරණියගල විසින් සොයාගෙන තිබේ. ගල් ලෙන්, ගල් ගුහා, ගං ඉවුරු, ගස්‌ බෙන හා වැලි තලා මෙන්ම රූස්‌ස ගස්‌ යට බළන්ගොඩ මානවයා වාසය කළ ස්‌ථාන වූ බව ආචාර්ය ශිරාන් දැරණියගල පෙන්වා දී තිබේ. මෙයින් පැහැදිලි වන්නේ කූරගල ගල් ලෙන් බළන්ගොඩ මානවයාගේ වාසභූමි වූ බවයි ක්‍රි. පූ. 1,25,000 තරම් ඉපැරැණි ප්‍රාග් ඓතිහාසික යුගයක සිට ක්‍රි. පූ. 6500 දක්‌වා නොනැවතී අඛණ්‌ඩව වර්ධනය වී ඇති බළන්ගොඩ මානවයා පිළිබඳ තොරතුරු තෙත් කලාපයට අයත් සබරගමු පළාත තුළින් බහුලව සොයාගෙන තිබේ. උඩුපියන්ගල්ගේ ඇතුළු කූරගල ගල් ලෙන් බළන්ගොඩ මානවයාගේ සුවිශේෂ ලැගුම් ස්‌ථාන වූ බව මෙයින් තහවුරු වේ.

කූරගල මූල ඓතිහාසිකත්වය

ක්‍රි. පූ. 6500 සිට ක්‍රි. පූ. 700 පමණ දක්‌වා වූ කාලය තුළ පරිවර්තී යුගයක ජීවත් වූ මෙම ප්‍රදේශයේ ආදිවාසීන් අර්ධ කෘෂි හා එෙŒර ජීවිතයක්‌ මෙන්ම වන ද්‍රව්‍ය රැස්‌ කරමින් දඩයම් ජීවිතයක්‌ ගත කර ඇත. ඔවුන් "සබරගමුවේ වැද්දෝ" වශයෙන් අර්ථ දැක්‌විය හැකිය. ඔවුන් කුඹල් සක යොදාගෙන වළං තැනීම, ආහාර පිසගැනීම, ඊතල වැනි ප්‍රාථමික යකඩ භාවිතය, සතුන් හිලෑ කර ගෙන වැඩ ගැනීම හා සංචාරක එෙŒර ජීවිතයක්‌ ගත කරමින් ස්‌ථීර පදිංචියට අවතීර්ණය වීම දක්‌වා දිගු පා ගමනක්‌ පසු කර ඇත. සෙලිග්මාන්, සැරසින් සහෝදරයන්, හෙන්රි පාකර් සී. එච්. කොලිනිස්‌ වැනි පර්යේෂකයන් සබරගමුවේ ප්‍රාථමික මිනිසා ලෙස අර්ථ දක්‌වා ඇත්තේ සබරගමුවේ වැද්දන්ය. නිට්‌ටෑවන්, මුක්‌කරුන්, සබරුන් හා පුලින්දයන් වශයෙන් හඳුන්වා ඇත්තේ ද සබරගමු බින්තැන්නේ ආදිවාසීන් ම වේ. ඔවුන් ගතකළ ප්‍රාථමික ජීවිතයේ ස්‌වරූපය පදනම් කරගෙන විවිධ අර්ථකථන යොදා ඇති නමුත් මෙම සියලු දෙනා සබරගමුවේ ප්‍රාථමික මිනිසා හෙවත් වැද්දො ම වෙති. වලවේ ගඟ නිම්නයේ මත්සයන් හා වන සතුන් දඩයම් කරමින් ප්‍රාථමික අර්ධ වැදි ජීවිතයක්‌ ගත කළ මොවුන් අපේ මුතුන් මිත්තන් බව අමතක නොකළ යුතුය. වේළිඔය නිම්නයේ වාසය කළ "ඕ වැද්දා" හෙවත් "ඔයේ වැද්දා" පිළිබඳ ජනශ්‍රැතියේ අපේ මතකයට ගෙන දෙන්නේ දේශීය අනන්‍යතාවයෙන් යුක්‌තව සරල ජීවිතයක්‌ ගත කළ මේ ප්‍රදේශයේ ජීවත් වූ මිනිසාගේ චාර්යා අර්ථ දැක්‌වීමට ගත් උත්සාහයක්‌ බවයි. මෑත දී ජීවත් වූ කේරතල වැද්දා" මේ ප්‍රාථමික මිනිසාගේ අවසාන පුරුක ලෙස සඳහන් කිරීම වටී.

ප්‍රාග් බෞද්ධ යුගයේ කූරගල

ක්‍රි. පූ. 600 - 300 අතර තුර ප්‍රාග් බෞද්ධ යුගයේ කූරගල හා අවට දියුණු මානව පිරිසක්‌ ජීවත් වී ඇත. බුදුරජාණන්වහන්සේ ශ්‍රී ලංකාවට තෙවරක්‌ වැඩම කළ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ය. එවක මෙලක වාසය කළ ජනයා හඳුන්වා ඇත්තේ යක්‌ෂ, නාග, දේව, අසුර ආදි ගෝත්‍රික ජන කොටස්‌ වශයෙනි. මහියංගනය, නාගදීපය, කැලණිය සහ ශ්‍රී පාදය බුදු පහස ලද අති පූජනීය ස්‌ථාන වන අතර එවක සිටි දේශීය ජනයා බුදුදහම පිළිබඳ යම් අවබෝධයක්‌ ලබා සිටින්නට ඇත. විජය රජුගේ සිට මහින්දාගමනය දක්‌වා කාලය තුළ සිදුව ඇත්තේ දේශීය ජන කොටස්‌ මර්දනය කොට ඔවුනගේ ආධිපත්‍යය පැතිරවීමට ගත් උත්සාහයක්‌ බව පැහැදිලිය. මහින්දාගමනයෙන් පසු ශිෂ්ට සම්පන්න ජාතියක්‌ බවට පත් වූවා යෑයි, සඳහන් කරතත් පැහැදිළිවම සිදුව ඇත්තේ දර්ශනික චින්තනයට මිනිසා නැඹුරු කිරීමකි. දෙවනපෑතිස්‌ රජු හා මිහිඳු මහ රහතන්වහන්සේ අතර පැවති සංවාදශීලී ඥන විභාෂණයෙන් ඒ බව පැහැදිලි වේ. මහින්දාගමනයට පෙර පවා කපු කැටීම, රෙදි විවීම වළං තැනීම සතුන් හීලෑ කරගෙන වැඩ ගැනීම, ශාක ගෘහස්‌ථකරණය, යකඩ ආයුධ නිෂ්පාදනය මුක්‌කරුන් විසින් මැණික්‌ ගැරීම, මේ ප්‍රදේශයේ පැවතී ඇත. ඒ බවට සමනල වැව ආශ්‍රිතව කරන ලද පුරාවිද්‍යාත්මක ගවේෂණවලින් සොයාගෙන ඇති අතර වසර 1500 පෙර යකඩ උණු කළ ස්‌ථාන 164 සහ වානේ පෙරණ ලද ස්‌ථාන 5 ක්‌ තිබුණු බව ආචාර්ය ජීල් ජූලිµ පුරාවිද්‍යාඥවරියගේ ආචාර්ය උපාධි නිබන්ධයෙන් තහවුරු කර තිබේ. එමෙන්ම ම කූරගලට අයත් තන්ජන්තැන ග්‍රාම සේවා වසම රත්තරන් පෙරීම සම්බන්ධව ප්‍රසිද්ධියක්‌ දරා තිබේ. සතුන් හීලෑ කරගෙන වැඩ ගනිමින් දියුණු කෘෂිකර්මාන්තයක්‌ මෙන්ම වෛද්‍ය ශාස්‌ත්‍රයක්‌ හා ශාන්තිකර්ම පද්ධතියක්‌ එදා මෙන්ම අදටත් කූරගල අවට ගම්මානවල පවතී.

කූරගල අවට අතීත බෞද්ධ ප්‍රබෝධය

කූරගල හුදකලාව පිහිටි ආරණ්‍ය සේනාසනයක්‌ නොවේ. මෙයට නුදුරුව පිහිටා ඇති ගල්ටැම්යාය වශයෙන් වර්තමානයේ හඳුන්වනු ලබන අතීත "කුරුදියවල විහාරය" පුරාවිද්‍යා ස්‌මාරකයක්‌ ලෙස සංරක්‌ෂණය කරමින් පවතී. මෙහි ඇති පංචායතනය සහ පැරැණි ස්‌තූපය මධ්‍ය අනුරාධපුර යුගයට අයත් වේ. එම ස්‌ථානයේ සිට කූරගල ලෙන් ආශ්‍රම දක්‌වා පැරැණි මාවතක්‌ පැවත ඇතත් එය ප්‍රදේශවාසීන් ඉඩම් කොටුකර ගැනීම නිසා විනාශ කර ඇතත් පැරැණි පියගැටපෙළ නටබුන් අදටත් තැනින් තැන ශේෂව පවතී. එතැන සිට නැගෙනහිරට වන්නට ඇත්තේ පුංචි සීගිරිය" යනුවෙන් හඳුන්වන "අඳගල ආරණ්‍ය සේනාසනය" යයි. එතැන් සිට "දෙහිපිටිය ගල් ගේ" යනුවෙන් ගැමි ව්‍යවහාරයේ පවතින කටාරම් සහිත බ්‍රහ්මී ලේඛනයක්‌ යුත් ලෙන් ආශ්‍රමයකි. එහි මෑත දී පවා සුදු ජාතික භික්‍ෂූන්වහන්සේ නමක්‌ භාවනානුයෝගීව වැඩවාසය කළහ. එම භික්‌ෂුවට ගැමි ජනතාව දානමාන සපයන ලදී.

කූරගල සිට කඳු පාමුල පිහිටි "බුදුගල පධානඝරය" දක්‌වා දීර්ඝ පියගැට පෙළක්‌ පැවතී ඇති නමුත් අද දැක ගත හැක්‌කේ තැනින් තැන පියගැටපෙළ නටබුන් ශේෂයක්‌ පමණි. ප්‍රමාණයෙන් කුඩා වුවද මිහින්තලයට නැගීමට ඇති පියගැට පෙළ හා සාපේක්‌ෂ වේ. බුදුගල පධානඝර සංකීර්ණය පශ්චාත් අනුරාධපුර යුගයට අයත් ය. එහි පැරැණි බෝධියක්‌ හා බෝධිඝරයක්‌ කටාරම් සහිත ලෙන් කිහිපයක්‌, ගල් පර්වතයක්‌ මත ඉදිකළ ස්‌තූපයක නටබුන් කැසිකිළි හා වැසිකිළි ගල් කිහිපයක්‌ මෙම පධානඝර සංකීර්ණයෙන් සොයාගෙන ඇත. එයට නුදුරුව වර්තමාන බුදුගල රජමහා විහාරය පිහිටා ඇත. පබ්බත ලෙන, ශෝණ ගල්ගේ කිරිමකුළුගොල්ල ලෙන්, මනපදසන ලෙන, මනෝරම්‍ය ලෙන, සුදර්ශන ලෙන, දියඉන්න දේවගිරි විහාර ලෙන යටිමල්කඩුව ලෙන, කෙවලගල ගල්ගේ, ලගිනගල ගල්ගේ, නූල් කටිනගල ලෙන, ලෙන්දොර විහාර ලෙන, කොට්‌ටිමුල්වල රජමහා විහාර ලෙන මේ ආසන්නව ඇති කටාරම් සහිත ලෙන් කිහිපයක්‌ වේ. කටාරම් රහිත ගල්ගුහා බොහෝමයක්‌ කුරගල අවට ගල් ඇඳිවල දැක ගත හැකිය. කූරගලට ආසන්න හඳගිරිය මූල අනුරාධපුර යුගයට අයත් සුවිශේෂ ස්‌ථානයකි. මෙහි ඇති අෂ්ටඵල බෝධිය, දළදා මැදුර, ස්‌තූප ගොඩැල්ල, සංඝාවාස ගොඩනැගිලි නටබුන්, එකම ආරාම සංකීර්ණයක ගොඩනැඟිලි වේ. විදියේයාය. පිළිමැද්දාර ඈපාලන්ද, සීනුග්ගල, ගල්පාය සංඛපාල රජමහා විහාරය දක්‌වා මෙ ආරාම සංකීර්ණ පද්ධතිය ව්‍යාප්තව පවතී.

දඹුල්ල රජමහා විහාරයට නොදෙවැනි කොට්‌ටිමුල්වල රජමහා විහාරය ක්‍රි. පූ. 2 - 1 සියවස්‌ අතර කාලයේ ලෙන් ආශ්‍රමයක්‌ ලෙස පැවත මහනුවර රාජ්‍ය සමයේ කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමයේ දියුණුවට පත් ලෙන් විහාරයකි. මෙහි ඇති චිත්‍ර මහනුවර යුගයට අයත් ය. අති පූජනීය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ හා සම වටිනාකමක්‌ ඇති අෂ්ටඵල බෝධීන්වහන්සේලාගෙන් චන්දනාග්‍රාම ක්‌ෂත්‍රීය කුමාරවරු ආදරයෙන් වඩාගෙන වුත් රෝපණය කරන ලද සඳගනානුවර (හඳගිරියේ) බෝධීන්වහන්සේ අද පවා විරාජමාන ස්‌වරූපයෙන් ශාන්ත සුන්දර වෙල්යායක්‌ මැද ගල් ඇන්දක්‌ උඩ රෝපණය කර ඇති අතර මෙහි බෝධිඝරය ඉන්දියාවේ සංචි, භාරුත් බෝධිඝර කැටයම් මෙන්ම අනුරාධපුර පැරැණි බෝධිඝර නිර්මාණ හා සාම්‍යරූපී ලක්‌ෂණවලින් යුක්‌ත වේ. මෙය තවමත් වත්මන් පුරාවිද්‍යාඥයන්ගේ සුවිශේෂ නිරීක්‍ෂණයට ලක්‌ නොවී සංරක්‌ෂණය නොකිරීම අභාග්‍යයක්‌ කොට සලකමි. මෙය කාඡරග්‍රාම, තවක්‌ක බ්‍රහ්මණ ග්‍රාම, දඹකොළපටුන බෝධිඝර හා සම වටිනාකමක්‌ ඇති ස්‌ථානයකි.

එවැනිම පෞරාණික අතීත උරුමයකින් හෙබි ව තිබුණා වූද, අඳ බාලයන් විසින් පුද්ගලික වාසි තකා විනාශ කරන ලද්දා වූද, කෝංගහමංකඩ "මල් මදාරා දිවතුරු වෘක්‌ෂය" එදා සිටි රාජ රාජ මහාමාත්‍යයන් විසින් අවුරුදු දෙදහස්‌ පන්සියයකට වඩා ඉහත දී රෝපණය කොට වැඳුම් පිදුම් කළ අති පූජනීය හා අති වන්දනීය වූ වෘක්‌ෂයකි. ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු ප්‍රදේශයකින් දිවතුරු මල් මදාරා වෘක්‌ෂයක්‌ සොයාගෙන නොමැති අතර මහනුවර යුගයේ චිත්‍ර ඇඳ ඇති විහාර බිතුසිතුවම් අතර මල් මදාරා මල් දැකගත හැකිය. කෝට්‌ටේ යුගයේ වැඩ විසූ ප්‍රකට පඬිරුවනක්‌ වූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් සැලලිහිණි සංදේශයේ සඳහන් පරිදි පුන් මන්දාර මල් දමින් යුත් දිගු සුනිල් වරලස ගොතා" යන කාව්‍ය පාඨයෙන් හෙළි කරන්නේ දිවඟනන් මෙන් සුරඟනන් මල් මදාරා පැළඳි බවයි. මේ අනුව මදාරා වෘක්‌ෂ තිබෙන්නට ඇත. කෝංගහමන්කඩ මදාරා වෘක්‌ෂයට ආරක්‍ෂාව සැපයීම සඳහා එදා සිටි රජ දරුවන් අසීමිත වෙහෙසක්‌ දරා ඇත්තේ මෙම වෘක්‌ෂයේ වටිනාකම අවබෝධ කර ගෙන තිබුණු බැවිනි. මෙම මදාරා වෘක්‌ෂය තිබුණු භූමිය හපුතලේ භූමි සිතියමෙහි පෙන්වා ඇති අතර ඉංග්‍රීසි පාලන සමයේදී එම ආණ්‌ඩුකාරවරු මෙම ගස වට කර කටු කම්බි 09 පොටක්‌ ගසා වෙන් කර ඇත. එසේ ම වසරකට වරක්‌ මුලාදැණිවරයා විසින් රජයට වාර්තාවක්‌ සැපයීමට නියෝග කර තිබේ. මෙවැනි බෞද්ධ පූජනීය වෘක්‌ෂ දෙකක්‌ මෙම ප්‍රදේශයේ රෝපණය කිරීමට හේතු වූ කරුණු තවමත් අපේ ඉතිහාසයෙන් හෙළිදරව් කර නොමැත. එමෙන් ම උඩවලව සීමාවේ තිබූ "ගජ මදාරා වෘක්‌ෂයකට" අලි ඇතුන් වන්දනාමාන කළ බවට ද එම වෘක්‌ෂය රටේ මහත්තයකු විසින් අලි පාලනය කිරීමට කපාගෙන ගිය බවට ප්‍රදේශයේ ජනතාව අතර පවතින ජනශ්‍රැතියකි. මෙම බෞද්ධ උරුමයන් නිවැරැදිව හඳුනාගෙන ආරක්‍ෂා කරමින් අතීත උරුමය හා ප්‍රෙෘඪ ඉතිහාසය නිවැරැදිව හෙළිදරව් නොකරන තාක්‌ කල් සිදුවන්නේ පසුබිමින් පුරාවස්‌තු අයින් වනවාත් සමඟ ම අන්‍යයන් විකෘති ඉතිහාසයක්‌ ගොඩනගමින් බෞද්ධ උරුමය පමණක්‌ නොව භූමියද බෞද්ධයන්ට අහිමි කිරීමට අවශ්‍ය පිඹුරුපත් සකස්‌ කරන බවයි.

අතීත ආරණ්‍ය සේනාසන වර්ග හා කූරගල අතර ඇති සබඳතා

මෙම ස්‌ථාන අතුරින් කූරගල ක්‍රි. පූ. 2 - 1 සියවස්‌වලට අයත් "ගල් ලෙන් තපෝවන ආරණ්‍ය සේනාසනයකි" දැනට ශ්‍රී ලංකාවෙන් සොයාගත හැකි ආරණ්‍ය සේනාසන වර්ග 7 ක්‌ පිළිබඳ තොරතුරු විශුද්ධි මාර්ගයෙන් දැන ගත හැකිය. එයට අමතරව පශ්චාත් අනුරාධපුර යුගයේ දී ක්‍රි. ව. 7 - 10 සියවස්‌ අතර කාලයේ වර්ධනය වූ පංචායතන පිරිවෙන් හා පධානඝර පිරිවෙන් යනුවෙන් තවත් ආරණ්‍ය සේනාසන දෙවර්ගයක්‌ වර්ධනය වී ඇත. අභිධර්ම පිටකයෙහි ආරණ්‍ය සේනාසන දෙවර්ගයක්‌ හඳුනාගත හැකිය. මිනිසුන් නොගැවසෙන ස්‌ථාන ආරණ්‍ය ය වේ. විනය පිටකයෙහි සඳහන් පරිදි ගමත් ග්‍රාමෝපචාරයත් හැර ඉන් පිටත හැම ස්‌ථානයක්‌ම ආරණ්‍යවේ. ආරණ්‍ය සේනාසන හඳුන්වන ලද්දේ නගරද්වාරයෙන් හා ග්‍රාමයෙන් පිටත වූ වනගත පෙදෙස්‌ය. සූත්‍රපිටකයෙහි සඳහන් පරිදි ග්‍රාමයේ පිටත දුණු පන්සියයක්‌ ගිය තැන ආරණ්‍ය සේනාසන බව සඳහන් කරයි. අභිධර්ම, සූත්‍ර හා විනය පිටකයට අනුව භාවනාවට සුදුසු විවේකස්‌ථාන සඳහා ආරණ්‍ය (අරම / අසපුව) යන නම ව්‍යවහාර කර ඇති බව සඳහන් ය. එවැනි ස්‌ථාන 07 පිළිබඳව තොරතුරු ත්‍රිපිටකය අනුව මෙසේ පෙන්වා දිය හැකිය.



1. වෘක්‌ෂ මූල ආරණ්‍යය

2. ශූන්‍යගාර සංඛ්‍යත පබ්බත ආරණ්‍යය

3. ගන්ධර ආරණ්‍යය

4. ගිරි - ගුහා ආරණ්‍යය

5. සුසාන ආරණ්‍යය

6. වන පත්ථ ආරණ්‍යය

7. පලාල පුඤජර ආරණ්‍යය




මෙයින් භාවනාවට සුදුසු වෘක්‌ෂ මූල හෙවත් ගස්‌ යට තෝරාගෙන ඇත්තේ සෙවණ හා සිසිලස නිසා ශරීරයයට වෙහෙසක්‌ නොදැනෙන නිසාය. විශේෂයෙන් අටවිසි බෝධීන්වහන්සේලා මෙයට අයත් ය. බෝ, නුග, ඇසතු, පළොල්, කිරිපලු, මදාරා, රුක්‌අත්තන, නා මිදෙල්ල, මෙවැනි වෘක්‌ෂ වර්ග කිහිපයකි. මෙම වෘක්‌ෂ තෝරා ගැනීමට කිසියම් විද්‍යාත්මක හේතුවක්‌ තිබුණු බව පෙනෙන්නට තිබේ.

මිනිසුන් නොගැවසෙන පර්වත ශිඛර ශූන්‍යගාර සංඛ්‍යාත පබ්බත වර්ගයට අයත් සෙනසුන් වේ. මිහින්තලය, සෙස්‌සගිරිය, රිටිගල, සිතුල්පහුව ආදී ස්‌වාභාවික පර්වත තෝරාගෙන තිබෙන්නේ වන සතුන්ගෙන් ආරක්‍ෂාව නිතැතින්ම සැලසෙන නිසාය. ගංඉවුරු, වැලිතලා ප්‍රදේශ ගන්දර ආරණ්‍ය වර්ගයට අයත් වේ. නේරංජා, සදානිරා, අනෝමා, ඉන්දීය නදී මෙන්ම මහකනදර, වලව නිම්නය හා මහවැලි නිම්නය මෙයට උදාහරණ ලෙස පෙන්වාදිය හැකිය. සිසිලස මෙන්ම ජල පහසු ගන්දර ආශ්‍රිතව පවතී. ශ්‍රී ලංකාවේ වැඩි ප්‍රමාණයක්‌ ගිරිගුහා ආරණ්‍ය වර්ගයට අයත් වේ. ඉන්දියාවේ ලෝමස්‌සෘෂි, බර්බරා, හිමාලය, මෙන් ම ශ්‍රී ලංකාවේ කූරගල ලෙන්, බඹරගල ලෙන්, මිහින්තලේ ලෙන්, දිඹුලාගල ලෙන් සහ සිතුල්පහුව ලෙන් උදාහණ ලෙස දැක්‌විය හැකිය. පොම්පරිප්පු, කොළොම්කනත්ත, ඉබ්බන්කටුව, බෙල්ලන්බැදිපෑලැස්‌ස ආදී වූ මිනිසුන් නොගැවසෙන සොහොන් කනතු සුසාන ආරණ්‍ය වර්ගයට අයත් ය. ශ්‍රී ලංකාවේ මෙගලිතික්‌ ගල් සොහොන් සහ එළිමහන් සුසාන ආශ්‍රිතව ඇති සංඝාරාම පද්ධති මෙයට අයත් බව පැහැදිලිව ම හඳුනාගෙන ඇත. ස්‌වාභාවික වන උයන් වනපත්ථ ආරණ්‍ය වර්ගයට අයත් ය. රිටිගල, මිහින්තලේ නිමල ආරණ්‍යය, වන සෙනසුන් මෙයට උදාහරණ වෙයි. බෞද්ධ සාහිත්‍යයෙහි වන පත්ථ ආරණ්‍ය පිළිබඳ බොහෝ තොරතරු එයි. බුදුරජාණන්වහන්සේ වස්‌ කාලය ගත කළේ වනපත්ථ ආරණ්‍යවල බව ජාතක පොතින් හෙළි වේ. පිදුරුවලින් හෝ මානාවලින් තාවකාලිකව තනන ලද ගෘහ හෙවත් ආවර්ණ පළාල පුඤජර වර්ගයට අයත් ය. සමහර අවස්‌ථාවල තෘණ මිටි අතුරා ඒ මත හිද සමථ විදර්ශන භාවනා සිදු කර ඇත.

මෙම වන සෙනසුන් ආරණ්‍ය සේනාසන, වානප්‍රස්‌ථ සේනාසන, වන පර්යන්ත සේනාසන වශයෙන් තෙවදැරම් ලෙසද වර්ග කර ඇත. කුමන ආකාරයකින් වර්ග කළ ද මිනිස්‌ කටහඬක්‌ නොඇසෙන මෙම ප්‍රදේශ චිත්ත ඒකාග්‍රතාවයෙන් යුක්‌තව භාවනාවට සුදුසු ස්‌ථාන බව පැහැදිළි ය. මෙයින් කූරගල ගල් ලෙන් තපෝවන ආරණ්‍ය සේනාසනය අයත් වන්නේ ගිරි - ගුහා සහ ශූන්‍යගාර සංඛ්‍යාත පබ්බත ශිඛර යන සේනාසන දෙවර්ගයට වේ. භාවනානුයෝගී භික්‍ෂූන්වහන්සේලාගේ වාසයට හා භාවනා කටයුතු ප්‍රගුණ කර ගැනීම සඳහා ඉදිකර ඇති පැරැණි ආශ්‍රම අතරින් කූරගලට හිමිවන්නේ විශේෂ ස්‌ථානයකි. එය රැකගැනීම බෞද්ධයන් සතු වගකීමක්‌ මෙන් යුතුකමකි.

කූරගල ගිරි ගුහා සහ පබ්බත ශිඛර ආරණ්‍ය නිර්මාණයකි.

කුරගල හා ඊට ආසන්නව ප්‍රථමයෙන් ම ඉදි කළ ලෙන් කිසිදු ලේඛනයකින් තොරව වැසි ජලය රූරා වැටීම වැළැක්‌වීම සඳහා කටාරම පමණක්‌ සකස්‌ කරන ලද ලෙන්ය. අතුළත පිහිටි ගලින් හෝ ගඩොල් ගල් කැබළි උපයෝගී කර ගෙන මැටියෙන් සැතපෙන ආසනයක්‌ පමණක්‌ නිර්මාණය කරන ලද්දකි. ආවර්ණයෙන් තොර වූ මෙම ලෙන් නිර්මාණය කළේ කවුරුන්ද, පූජා කළේ කවුරුන්ද, යන්න පවා සඳහන් කිරීමට අවශ්‍යතාවක්‌ තිබී නැත. මෙවැනි ලෙන් 15 පමණ කුරගලට ආසන්න කළුගල් පර්වතය පාමුල දැකගත හැකිය. ඒවා පැරැණිම ලෙන් ආශ්‍රම ලෙස සඳහන් කළ හැකිය. භික්‍ෂූන්වහන්සේලා මෙන්ම ගිහි සමාජය ද එතරම්ම අල්පේච්ඡ ජීවිතයක්‌ ප්‍රාථමික අවධියේ ගත කර ඇත.

ඉන් පසු සැකසූ ලෙන් ඉදිකළේ කවුරුන්ද? යන්න පමණක්‌ සඳහන් කිරීමට උනන්දු වී ඇත. ඒවා කෙටි ලේඛන වන අතර බ්‍රාහ්මී අක්‌ෂර සංඛ්‍යාවකින් යුක්‌ත වන බැවින් "කෙටි ලෙන් ලිපි" ලෙස වර්ග කළ හැකිය. බොහෝ විට ලිපිය නොවැසෙන සේ කටාරමට යටින් ගල් කැබලි හෝ මැටි උපයෝගි කරගෙන වරිච්චි බිත්ති බැඳ කවුළුවක්‌ සහිත දොරටුවක්‌ තබා වැසි පිණි හා සතුන්ගෙන් ඇතිවිය හැකි හිරිහැර වළක්‌වා ගැනීම සඳහා "ආවාස කුටි" සකස්‌ කර දි තිබේ. මෙයට කදිම උදාහරණයක්‌ ලෙස "ශෝණ ගල්ගේ ලෙන" සහ එහි සඳහන් "බත" යන නාමය පෙන්වා දිය හැකිය. මෙවැනි කෙටි පුද්ගලනාම අතර බත, චල, පුශ, දත, සුමන, සුමය නාම පෙන්වා දිය හැකිය. මේවායේ ඇති ලිපි මූල බ්‍රාහ්මී අක්‌ෂර වලට අයත්ය. කූරගල පාමුල බටහිර දෙසින් ඇති අඩි 8ං8ං5 දිග, පළල සහ උසින් යුත් ලෙනක "බත ශොණහ" (ස්‌වාමී ශෝණගේ ලෙන) යනුවෙන් සඳහන් කර ඇත. මෙවැනි කෙටි බ්‍රාහ්මී ලේඛන 1235 පමණ දැනට ශ්‍රී ලංකාවෙන් සොයාගෙන ඇති අතර සබරගමු පළාතේ කූරගල හා ඒ අවට හිමි වන්නේ සුවිශේෂ ස්‌ථානයකි.

කූරගල පිළිබඳ සොයා බැලූ විද්වත්හු

කූරගල පිළිබඳ සොයා බැලූ විද්වතුන් අතර අසහාය පුරාවිද්‍යාඥ මහාචාර්ය සෙනරත් පරණවිතාන, රත්නපුර මහ දිසාපති ලෙස කටයුතු කළ සී. එච්. කොලින්ස්‌, පූජ්‍ය පණ්‌ඩිත කිරිඇල්ලේ ඥනවිමල හිමි, පූජ්‍ය අනුනායක විකිලියේ නාරද හිමි, රාජකීය පණ්‌ඩිත වටද්දර ඥනේස්‌සර හිමි ශ්‍රාස්‌ත්‍රපති මැදගම ධම්මානන්ද හිමි, කොළොන්නේ සිරි ශාන්ත විජය හිමි, මතුගම සෙනෙවිරුවන් යන ගිහි පැවිදි උභය විද්වත්වතුන්ගේ අප්‍රහත ධෛර්යයේ ප්‍රතිඵල ලෙස කූරගල බෞද්ධ නාමය අද ඉතිරිව ඇත. විශේෂයෙන් මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන්ගේ ශ්‍රී නාමයට පිං සිදුවන්නට මෙහි බෞද්ධ උරුමය ලේඛනගත නොවන්නට කූරගල බෞද්ධ පුදබිමක්‌ අද ඉතිරි නොවනු ඇත. මෙයට අමතරව මෑත කාලින මැදපෙරදිග සේවයේ නියුතු බෞද්ධයන්ගේ ධන පරිත්‍යාගයේ ප්‍රතිඵල ලෙස නුතන කූරගල නව සංඝාවාසය, ධර්ම මණ්‌ඩපය, බෝධිය සහ පිළිමගේ ඉදිකිරීමේ කටයුතු සිදුකරමින් පවතී. එයට දායක වීමට ඕනෑම දානපතියකුට අවස්‌ථාව ඇත.

සබරගමුවේ වැඩ විසූ ශ්‍රේෂ්ඨ පඬිරුවනක්‌ වන රාජකීය පණ්‌ඩිත කිරිඇල්ලේ ඥණවිමල ස්‌ථවිරයන් වහන්සේ විසින් 1924 වර්ෂයේ ලියන ලද "සබරගමුවේ පැරැණි ලියවිලි" ග්‍රන්ථයේ කූරගල පිළිබඳව අගනා විස්‌තරයක්‌ කර ඇත. එහි සඳහන් කර ඇති පරිදි මෙම ස්‌ථානයට පැමිණීම සඳහා බළන්ගොඩ - කල්තොට හරහා මඳ බැවුම ඔස්‌සේ බැස්‌මට පෙර විහිදී ගිය අඩි පාරක්‌ දිගේ ගමන් කළ යුතුය. මෙහි නෂ්ටාවශිෂ්ට පිහිටා තිබෙන්නේ ගඹුරු පර්වත ප්‍රාන්තයක දෙපස උස්‌ව පිහිටි කඳු මුදුන් දෙකකය. එයින් කල්තොට පැත්තට පිහිටි පර්වතයෙහි ගුහා කිහිපයක්‌ හා සෙල්ලිපි දෙකක්‌ද වේ. ප්‍රථම සෙල්ලිපිය හිටුවන්ගල නම් උස්‌ වූ පර්වතයක ගිනිකොණ දෙස බලා තිබෙන ගුහාවක දකුණු කෙළවරෙහි තනි පේළියට කොටා තිබේ. ක්‍රි. වර්ෂයට පෙර දෙවැනි ශත වර්ෂයේදී පමණ කරවන ලද මෙය බ්‍රහ්මී අක්‌ෂරයෙන් කොටවන ලද්දකි. ළඟාවීමට බොහෝ දුෂ්කර වූ ගෙවී ගිය මෙම ලිපිය කොලින්ස්‌ මහතාට පෙනුනේ මෙසේය.

1. සෙල්ලිපිය - ෆෆෆෆ දතහසපුදහලෙණෙ

(දත(දත්ත) ගේ පූජා කළ ලෙණ යනු අදහසයි.

එම පර්වතයෙහිම අනෙක්‌ ලෙනක අඩි 30 පමණ උසින් දෙපේළියකට ලියන ලද සෙල්ලිපියකි. මෙයට කිට්‌ටු වී සටහනක්‌ ගැනීමට නම් මැසි බැඳිය යුතුය.

11) සෙල්ලිපිය (- පරුමක (සු)ම(න)හ

(ප්‍රධාන සුමනගේ ද, ප්‍රධාන ලසමගේද, (ගුහාව) යනු එහි අදහසයි.

- Journal of A,A, S Volxxxii No, 84

මේ හිමියන්ගේ වාර්තාවලට පදනම් වී ඇත්තේ සී. එච්. කොලින්ස්‌ මහතාගේ සබරගමුවේ වාර්තා වලින් උපුටා ගත් තොරතුරු වුවද එදවස මාර්ග පහසුකම් පවා නොතිබුණු අවධියක කූරගල පිළිබඳ සිදුකර ඇති සොයා බැලීම අදටත් වැදගත්ය.

මෙහි ඇති සෙල්ලිපි පිළිබඳව මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන්ගේ 1970 ප්‍රකාශනයට පත් කර ඇත. ෂබිජරසචඑසදබි දෙ Ceහකදබ ඪදකමපැ 1 ග්‍රන්ථයේ පිටු අංක 59, සෙල්ලිපි අංක 774, 775, 776 යටතේ "කූරගල ලෙන් ලිපි" යනුවෙන් ප්‍රකාශයට පත්කර ඇත.

774. (1)............ දතහ සමුදහ ලෙනෙ

(දත්තාගේ සහ සමුදගේ ලෙන සංඝයාට පිදූ වගයි)

775. (2) 1. පරුමක සුමනහ, 2. පපරුමකලු සුමයහ

(ප්‍රධාන සුමන සහ සුමයගේ ලෙන් සංඝයාට පිදූවයි.)

776. (3) 1. පරුමක ශොණ පුතශහ

2. බත පුනශගුතශ ලෙනෙ

(ප්‍රධාන ශොණගේ පුත් පුණ්‍යගුප්තගේ ලෙන සංඝයාට පිදූ වයි.)



ඉහත සඳහන් සෙල්ලිපි වලින් ස්‌පුට වන්නේ කූරගල අවට පාලනය කළ ප්‍රාදේශීය ප්‍රභූ පරුමකවරු වූ දත්තා, සුමන, සුමය, ශොණ, පුන්‍යගුප්ත වැනි නායකයෝ කටාරම් සහිත ලෙන් කරවා භික්‍ෂූන්වහන්සේලාට භාවනායෝගීව වැඩ වාසය කිරීමට කූරගල තපෝවන ආරණ්‍යසේනාසනය කරවා ඇති බවයි. මෑතදී අන්‍ය ලබධිකයන් විසින් බ්‍රාහ්මී ලේඛන භාෂාව විකෘති කොට දµතා ජෙයිලාන් යනුවෙන් අර්ථකතනය කිරීම ලෝක පුරාවිද්‍යාඥයන්ගේ පමණක්‌ නොව හුදී ජනයාගේ පවා හාස්‍යයට ලක්‌ වී ඇත. අසහාස අක්‌ෂර විද්‍යාඥ මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් මෙම ලෙන්ලිපි පිටපත් කරගෙන අර්ථ විවරණ සහිත පැහැඳිලි වර්තාවක්‌ ඉදිරිපත් නොවන්නට මෙහි බෞද්ධ උරුමය සහ පුරාවිද්‍යාත්මක පසුබිම දැන ගැනීමට කිසිවක්‌ ඉතිරි නොකරනු ඇත. අද ඉතිරිව ඇත්තේ කටාරම් කෙටූ සුවිශාල ලෙන සහ විකෘති කර ඇති සෙල්ලිපි කිහිපයක නටබුන් පමණි. මෙම ලෙන්වල තිබු බුදුපිළිම විනාශ කර ඇති අතර සංඝාවාසවල නටබුන් මත ඉදි කර ඇති අනවසර ඉදිකිරීම් බලධාරීන්ගේ ඇස්‌වසා නිවට නියාලු අවස්‌ථාවල දී දේශපාලන බලය මත ඉදි කරන ලද ගොඩනැගිලි වේ. කුරගල බෞද්ධ භික්‌ෂූන්වහන්සේලා භාවනා මධ්‍යස්‌ථානයක්‌ යෑයි, අයිතිවාසිකම් පෑමට හා ඒ බව තහවුරු කිරීමට මෙයට වඩා තවත් පුරාවිද්‍යාත්මක සාධක අවශ්‍ය නොවේ. මෙය පැහැදිලිවම "තපෝවන ගල්ලෙන් ආරණ්‍ය සේනාසනයක්‌" බව සියලු දෙනාම පිළිගෙන හමාරය.

කූරගල ලෙන් ලිපි සීමිත අක්‌ෂර සංඛ්‍යාවකින් යුත් ඉතා කෙටි ලිපි වන බැවින් අක්‌ෂරවල පරිණාමීය ලක්‍ෂණ අනුව පූර්ව බ්‍රහ්මී ලේඛන ලෙස සැලකිය හැකිය. එසේම පසුකාලීන ලිපිවල එන "අගත අනගත චතු දිශ ශගශ දිනේ" යනුවෙන් සතර දිගින් පැමිණි නොපැමිණ භික්‍ෂු සංඝයා වහන්සේලාට පූජා කළ ලෙන් යන්න සඳහන් කිරීමට තරම් උනන්දු නොවූ ප්‍රාථමික අවධියේ කොටන ලද ලේඛන බව පැහැදිලිය. එහෙත් මෙම ලෙන් පූජා කර ඇත්තේ බුදුරජාණන්වහන්සේට බිම්බිසාර රජතුමා විසින් වේළුවනාරාමය "අගතානාගතස්‌ස චාතුද්දිස්‌සස්‌ස සංඝස්‌ස" යනුවෙන් අතීතයේ වැඩ සිටි අනාගතයේ වැඩ සිටින සතර දිගින් වඩිනා වූ භාවනානුයෝගී භික්‍ෂූන් වහන්සේලාට ඕනෑම අවස්‌ථාවක වැඩ වාසය කිරීම සඳහා කැප කර පූජා කිරීමෙනි. මේ ලෙන් කරවා ඇත්තේ අනුරාධපුර මුල් යුගයේ මේ ප්‍රදේශයේ ප්‍රමුඛයන් ලෙස කටයුතු කළ දත්ත හා සමුදය, ප්‍රධාන සුමන හා සුමය, ප්‍රධාන සෝණගේ ස්‌වාමී වූ ගුප්ත (පුන්‍යගුප්ත) යන ප්‍රදේශාධිපති බෞද්ධ ප්‍රභූන්ය. ඔවුන් තම තමන්ගේ නම් වලින් ලෙන් සකස්‌ කොට ඉර හඳ පවතිනාක්‌කල් ලෝකවාසී බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාට වැඩවාසය කිරීම සඳහා පූජා කර තිබේ.

වර්ෂ 1992 බන්දුල ලියනගේ මහතා විසින් සම්පාදනය කරන ලද "සබරගමු උදාන (2) ඓතිහාසික රත්නපුර" නමැති ග්‍රන්ථයට "ඉපැරැණි කල්තොට රාජධානිය" නමින් ලිපියක්‌ සපයා ඇති පූජ්‍ය විකිලියේ නාරද නායක ස්‌වාමීන්වහන්සේ ඓතිහාසික කූරගල පිළිබඳව කෙටි විස්‌තරයක්‌ සපයා ඇත. එහි සඳහන් කර ඇති පරිදි කූරගල යෝග භාවනා මධ්‍යස්‌ථානයට යැම සඳහා පුරාණ පාරක්‌ ගල්ටමියාය (කුරුදියවල විහාරය) අසලින් තිබුණු බවත්, කූරගල සහ එම විහාරය අතර දුරතීතයේ සිට සබඳතා පැවති ඇති බවත් සඳහන් කරයි. එමෙන්ම හිටුවන්ගල හා කූරගල පෙර දවස රහතන්වහන්සේලා වැඩ සිටි ස්‌ථානයක්‌ බවත්, ස්‌වාභාවික ස්‌ථානයක පිහිටි තපස්‌ පිල සහ එහි ගරාවැටී තිබූ ස්‌තූපයේ නිධන් සොයා විනාශ කර ඇති අයුරු විස්‌තර කර ඇත (පිටු 254 - 255). එම ග්‍රන්ථයටම "කූරගල පුරාණය පිළිබඳ නව සංකල්පයක්‌" යන මැයින් ලිපියක්‌ සපයා ඇති කූරගල ශ්‍රීපාද දිවාගුහා රජමහා විහාරාධිපති රාජකීය පණ්‌ඩිත පූජ්‍යපාද වටද්දර Æණිස්‌සර හිමියෝ මූලාශ්‍ර ග්‍රන්ථ රැසක්‌ අධ්‍යයනය කරමින් පෙන්වා දෙන්නේ කූරගල බුදුරජාණන් වහන්සේගේ වැඩම කළ ස්‌ථානයක්‌ බවයි. (පිටු 420 - 432) එමෙන්ම බුදුගල යනු කූරගලටම අයිති ස්‌ථානයක්‌ විනා වෙනම ස්‌ථානයක්‌ නොවන බවත්, එම හිමියෝ පෙන්වා දෙති.

වර්තමාන කූරගල බුදුබිමට ඇති අභියෝග

කූරගල බුදු සසුන පවතින තාක්‌ කල් ලෝක ධාතුයෙහි සියලු දිග භික්‍ෂු සංඝයා වහන්සේලාට හැර පුද්ගලික වශයෙන් පරිහරණය කිරීමේ අයිතියක්‌ හෝ උරුමයක්‌ කිසිවකුටක්‌ නැති බව අවධාරණය කළ යුතුව ඇත. එබැවින් බෞද්ධයන්ට විනා කිසිදු අන්‍ය ලබ්ධිකයිනට මෙහි කිසිදු අයිතියක්‌ හෝ උරුමයක්‌ තහවුරු කිරීමට ප්‍රමාණවත් පුරාවිද්‍යාත්මක සාක්‍ෂි නොමැති බව අවධාරණය කරමි. කාලාන්තරයක්‌ තුළ විනාශ කිරීමෙන් හා විකෘති කිරීමෙන් කිසියම් අති පූජනීය බෞද්ධ ස්‌මාරකයක්‌ හෝ ස්‌ථානයක්‌ තමන්ගේ යෑයි, අර්ථ දැක්‌වීමට යමෙක්‌ උත්සාහ දරන්නේ නම් ඔවුන්ට වැඳ පුදා ගැනීමට හෝ අයිතිය තහවුරු කර ගැනීමට කිසිවක්‌ නොමැති කම නිසා මිස අන් කිසිවක්‌ නිසා නොවන බව කිව යුතුය. යමෙක්‌ විකෘති ඉතිහාසයකින් යථා ඉතිහාසය වසන් කිරීමට දරණ උත්සාහය නිසාම ප්‍රකෘති ඉතිහාසය ඉස්‌මතුවන බව තලෙයබාන් අන්තවාදීන් විසින් බාමියනි බුදු පිළිම විනාශ කිරීමෙන් මුළු ලොවම ඇµගනිස්‌ථානය පැරැණි බෞද්ධ රටක්‌ බව පිළිගැනීමෛන් තහවුරු වී ඇත. එබැවින් බෞද්ධයන්ට විනා අන් කිසිදු ලබ්ධිකයිනට මෙහි කිසිදු අයිතියක්‌ හෝ උරුමයක්‌ තහවුරු කිරීමට ප්‍රමාණවත් අතීත පුරාවිද්‍යාත්මක සාක්‍ෂි නැතුවා පමණක්‌ නොව දහනව වැනි සියවසේ අග භාගයේ දි පමණ ගොඩනඟන ලද හුණු සිමෙන්ති මිශ්‍රත ගඩොල් තොරණ හා ටකරන් ගොඩනැඟිලි අතීත පුරාවිද්‍යාත්මක උරුමය තහවුරු කිරීමට ප්‍රමාණවත් නොවන බව අවධාරණය කරමි. මෙම ස්‌ථානය පැරැණි ලෙන් ආශ්‍රිත සංඝාරාම පද්ධතියක්‌ හා ගිරිගුහා යනුවෙන් ත්‍රිපිටකයේ සඳහන් ආරණ්‍ය සේනාසනයක්‌ බව "සක්‌සුදක්‌සේ "පැහැදිලිය. කූරගල ලෙන් ආරණ්‍ය පමණක්‌ නොව අවට ඇති බ්‍රහ්මි සෙල් ලිපි සහිත ලෙන් ආරාම නටබුන්, පරැණි වාරි පද්ධතිය ප්‍රදේශයේ ජනශ්‍රැති, ශිල්ප කර්මාන්ත (යකඩ. වානේ, වළං, ගඩොල්, උළු) දෙස බලන විට කූරගල පමණක්‌ වෙන් කර තැබිය හැකි ස්‌ථානයක්‌ නොවේ. සිංහල බෞද්ධයා සතුව ඇති ප්‍රෙෘඩ ජාතික උරුමයේ අනන්‍යතාව පිළිබිඹු කරන දහස්‌ ගණනින් යුත් බුද බිම් අතරින් කූරගල ආරණ්‍ය සේනාසනය එක්‌ ස්‌ථානයක්‌ පමණි. මෙම ස්‌ථානය රැකගැනීම සියලු බෞද්ධයන් සතු පරම වගකීමකි.

වර්ෂ 2009 මාර්තු 11 වැනි දින පූජ්‍ය කොළොන්නේ සිරිශාන්ත විජය හිමි ඇතුලු පිරිසක්‌ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව 1992.11.15 වැනි දින බෞද්ධ අයිතිවාසිකම් වෙනුවෙන් පත්කරන ලද බුද්ධ ශාසන ජනාධිපති කොමිෂන් සභා වාර්තාවට අදාළව පැවැති එම නිරීක්‍ෂණ වාර්තාව දෙස බැලිමේදී පෙනී යන්නේ කූරගල ඓතිහාසික පුරා වස්‌තු භූමිය මෑතකාලීන වෙනත් නිකායක බිලි පූජා සහිත ඇදහීම් හා නව ඉදිකිරීම් හේතුවෙන් විනාශ වෙමින් පවතින බවද, එය බෞද්ධ ආගමික ජනතාවගේ ප්‍රකෝපකාරී හැඟීම් ඇති වීමට හේතුවන බවද, ඓතිහාසික බෞද්ධ ශිෂ්ටාචාරයක උරුමය විනාශ වෙමින් පවතින බවද එම කොමිෂන් සභාව හඳුනාගෙන ඇති බවය. එමෙන්ම එම ආගමික නිකාය සතු ආගමික අයිතිවාසිකම් රැකගනිමින් කටයුතු කිරීමට එලෙස ලබා දෙන වෙනත් විශාල භූමි කලාපයක්‌ තිබිය දී ඒ වෙත යැමට හැකියාවද තිබිය දි තවත් ආගමකට හිමි අයිතිවාසිකම් උල්ලංඝණය වන පරිදි කටයුතු කිරීම මෙහිදි අනුමත කළ නොහැකි බවය. (ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා වාර්තාව වර්ෂ 2009 ජනවාරි 29 පිටුව 05)

නූතනයේ මෙම ස්‌ථානයට බොහෝ බෞද්ධයන් දුර කතර ගෙවා මෙම ස්‌ථානයට පැමිණෙනුයේ සිහල වර්ගයාගේ අතීත ප්‍රෙෘඪත්වය දැක බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුක්‌තව කූරගල පුද බිමක්‌ බවට පත් කිරීමට අපරිමිත ශ්‍රම පරිත්‍යාගය නිශ්සරණාධ්‍යාශයෙන් කැප කළ අතීත රජ දරුවන්ගේ හා ප්‍රාදේශීය ප්‍රභූන්ගේ කාර්ය සාපල්‍යය මෙනෙහි කරමින් ධ්‍යාන වැඩූ මාර්ගඵලලාභී භික්‍ෂූන් වහන්සේලාගේ පාද ස්‌පර්ශයෙන් අපරිමිත සංසාර භවයෙහි සැරිසැරූ පෘතග්ජනයින් සසර මග කෙටි කරගත් උදාර වූ පුණ්‍ය භූමියක්‌ බව මෙනෙහි කරමින්ය. ඒ ලබන අධ්‍යාත්මික සැනසීම නිවන් මග විවරණ කරන දොරටුවක්‌ ලෙස කූරගල සඳහන් කළ හැකිය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.