වාස්‌තු ශිල්පීය ධ්වනිතභාවය

4 වන කොටස
වාස්‌තු විද්‍යා විශාරද ඡේ. ගොඩකන්දආරච්චි

ගෘහ සැළසුම් සහ ආශාවන්

ගෘහ සැළසුම්කරණයේ දී ඔබගේ දැනීම, පරමාර්ථ, හැකියාවන්, ඉඩමේ හැඩය හා ප්‍රමාණය, වැය කළ හැකි පිරිවැය, මුදල, පවුලේ සහ ඔබගේ අවශ්‍යතාවන්, නිවසේ හැඩතල, දකින ලද සැළසුම් හා සිතේ ඇදි රූ රටා මෙන්ම ඒ සඳහා වැය වන මුදල, අසල්වැසියන් හා යාබද ඉදිකිරීම් යනාදිය කෙරෙහි අවධානය යොමු කෙරේ. මේ සියල්ල එසේ දැන දැන තිබිය දී හෙවත් අවබෝධයක්‌ තිබිය දී ද ඔබ අතරමං වෙයි. නිවසේ සිට සිතාගෙන ආ රූප පෙළ ඔබ විසින් ක්‍ෂණිකව වෙනස්‌ කරයි. අවසානයේ ඔබේ මුදලට ඔබට සිදු වී ඇත්තේ අත්තිවාරමේ හෝ කොටසක්‌ පමණක්‌ ඉදිකිරීමට ය. මේ තත්ත්වය ඇති කළේ සිතෙහි පවත්නා ආශාවන් නමැති සිතුවිල්ල ය. නැතහොත් මේ සමගම මුලාව, මෝඩකම, ආශාව හා අත්වැල් බැඳ ගෙන සිටී. එයට වහල් වූ විට ඔබ ඔබේ උවමනාවන් පසෙකට තල්ලු කරනවා ඇත. එහෙත්, එය ජයගන්න තැනැත්තා සැහැල්ලුවෙන් අලංකාර නිවසක ජීවත් වෙයි. එමනිසා සැළසුම් සකස්‌ කිරීමේ දී ඔබ සංවර සිතකින්, පාලනය කරගත් සිතකින් යුක්‌ත විය යුතුය. විවිධ හැඩතලවලට ඇති ආශාව, වෙනත් නිවාස පරයා යැමට ඇති ආශාව, වෙනත් අය පරයා යැමට ඇති ආශාව, පෞරුෂය තබා ගැනිමේ ආශාව, යනාදී ආශාවන් කෙරෙහි ඔබ අවධානය යොමු කළ යුතුය. එසේ නොවීම තම සිතැඟි නිවස සැළසුම්කරණයට බාධාවක්‌ වේ. වාස්‌තුවේදියා විසින් වාස්‌තු ශාස්‌ත්‍රීය මූලධර්මයන්ට අනුව ඉහත කී ඔබේ ආශාවන්ට එකඟව ස්‌වඋත්සාහයෙන් නිර්මාණයක්‌ කරනු ඇත. එම නිර්මාණය සක්‍රීය කිරීම සඳහා බලපවත්වන මූලික සාධකය වන්නේ මුදල් ය. එමනිසා අත තියෙන, මුදල, ණයට ගන්නා මුදල, දෙමව්පියන් හෝ සහෝදර සහෝදරියන් ඇතුළු ඥතීන්ගෙන් ලැබෙන මුදල් වල එකතුව ඔබේ නිර්මාණ සිහිනය සැබෑ කර ගන්නට ඔබ උත්සාහ කළ යුතුය. ආශාව වූ කලී රැවටීමට හේතුවකි. රැවටීම වූ කලී ඔබේ නිර්මාණය සන්තෘප්තිමත් කිරීමට බාධාවකි. සැළසුම්කරණයේ දී ඔබේ අදහස්‌, පවුලේ අදහස්‌, දෙමව්පියන්ගේ රුචි අරුචිකම් වැදගත් ය. ඒ පිළිබඳව ඔබේ අදහස හෝ දැනීම නොමැති වීම අසාර්ථක නිර්මාණයකට හේතු සාධක වනු ඇත. ඔබ ගෘහ සැළසුම් ශිල්පියා දැනුවත් කළ යුතුය. ඔබේ චිත්ත රූප ගෘහ සැළසුම් ශිල්පියාට මවා පෑමට ඔබට හැකි නම් ගෘහ සැළසුම් ශිල්පියාගේ නිර්මාණය ඉතා සාර්ථක වනු ඇත. එපමණක්‌ නොව එය යාවත්කාලීන කිරීමට පහසු ය. ගෘහ සැළසුම් ශිල්පය ඔබේ අවශ්‍යතාවන් කෙරෙහි යොදා ගැනීමේදී ගෘහ සැළසුම් ශිල්පියාව සීමාවන් අතර හිරවෙන අවස්‌ථා දැකිය හැකිය. මෙහිදී මූලික වන්නේ මුදල් ය. දෙවනුව විශාල නොවන ඉඩම් ය. ඊට අමතරව ඔහුට ප්‍රායෝගිකව මතු වන ගැටලුව වන්නේ දිශානුගත කිරීම සඳහා වන අවකාශයන් ය. මෙවැනි සීමාවන් කෙරෙහි දැඩි අවධානයක්‌ ගෘහ සැළසුම් ශිල්පියා දරයි.

චිත්ත තරංග හා ගෘහය

ඔබේ නිවස හා ගොඩනැඟිල්ල පිළිබඳව කරන ලද සැළසුමෙන් පසු ඔබගේ ඊළඟ අවකාශය වන්නේ එය ඉදිකර ගැනීමයි. මෙම ඉදිකිරීමේ දී ද චිත්ත රූප නිසියාකාරව හැසිරවීම එම නිර්මාණය යාවත් කිරීමට හේතු වේ. තම චිත්ත රූප ස්‌ථාවර ව ස්‌ථාන ගත විය යුතුය. එසේ නොවුණ කළ අරමුණ ඉෂ්ඨ කර ගැනීමට අපහසු ය. චිත්ත තරංගයන් හි පවතින බලය ම, චිත්ත ශක්‌තියෙහි බලය මත චිත්ත තරංග උපදී. එම තරංගයන්ගේ ශක්‌තිය එම අරමුණු ඉටුකර ගැනීමට අවස්‌ථාව ලබා දේ. සෑම ක්‍රියාවලියකටම , සෑම ස්‌කන්ධයකටම ඊට අනුරූප වූ තරංග දැකිය හැකිය. චිත්ත තරංග යොදා එම තරංගයන් තමන් නතුකර ගැනීම ඔබ ලබන ජයග්‍රහණයකි. නිවස ඉදිකිරීමේ කාල පරිච්ඡේදයේ සියලු දෙනා ආධ්‍යාත්මිකව කාලය ගත කළ යුතුය. තරහව, කෝපය, වෛරය, ලෝබය, ඊර්ෂ්‍යාව මේ කාලපරිච්ඡේදයේ දී නොවිය යුතුය. පිරිත්, ආගමික වතාවන් හි යෙදීම, භාවනානුයෝගී වීම, සිත්හි ඇති වූ නිවාස පිළිබඳ තරංග තීව්‍ර කිරීමට හේතුවක්‌ වේ.

නිවස ඉදිකිරීම හා චිත්ත රූප

නිවස හෝ වෙනත් ඉදිකිරීම් හි චිත්ත රූප වැදගත් වන්නේ මනස මෙහෙයවීම, සිත් හි ඇඳෙන රූ රටා මත බොහෝවිට ක්‍රියාකරන නිසාය. වැරැදි දොaෂ සහිත චිත්ත රූප හැමවිටම සිත ආශ්‍රිතව දැඩි ඇල්මක්‌ ඇතිකර ගැනීමට සමත් වන බව සොයා ගෙන ඇත. එහෙත් එහි මතක කාල පරාසය වැඩි වීම අයහපතට හේතු වී ඇත. එමනිසා මැවුණු චිත්ත රූ රටා මත මැවෙන රූ රටා වලහි දී ඔබ පරිස්‌සම් විය යුතුය. ළදරු අවස්‌ථාවන් හි දී චිත්ත රූප වලින් හ\qනා ගැනීම කළ ද වචනය අනුව චිත්ත රූප හඳුනා ගැනීමට කල් යැමේ දී ළමයා පුරුදු වේ. එහෙත් නිවස යන අකුරු තුන දැනගෙන සිතෙහි ඇඳෙන චිත්ත රූ රටා හෙවත් තමන්ගේ නිවස පිළිබඳව ශක්‌තියක්‌ ඇති කිරීමට නිවසක අවශ්‍යතාව පැන නඟින කාලය හෙවත් වයස වන අයට පුළුවන. මෙම තත්ත්වය ඉතා වැදගත් වේ. මෙම රූප පෙළ තම අවශ්‍යතාවන් හා මූල්‍යමය ශක්‌තීන්ට අනුව ද, පරිසරයට ඒකාබද්ධව ද, සිදු කරනු ලැබේ. මෙම සාධකයන්ගෙන් ඔබ බැහැර වන සාධකය අනුව අසාර්ථකත්වය ඇති වේ. එනම්, තම නිර්මාණය දුර්වල හෝ බොළඳ වේ. එමනිසා ඉදිකිරීම සම්බන්ධයෙන් සිතෙහි ඇති වන චිත්ත රූ රටා සන්තර්පණය කර ගැනීමට ඒ පිළිබඳ දැනුම් ඇත්තෙකුගේ සහය ලබාගත යුතුම ය. මෙම ක්‍රියාවලියේදී සන්නිවේදනය නිසි පරිදි සිදු නොවීමෙන් ඔබේ චිත්ත රූ රටාවන් නිවැරැදිව සැබෑ ලෙසින් ගොඩනඟා ගැනීමට ඔබට නොහැකි වනු ඇත. එමනිසා චිත්ත රූප මැවීමේදී දැනට ඔබ ජීවත් වන නිවසේ ඇතුළත, පිටත කාමර වල සහ වෙනත් අංගයන්ගේ දිග, පළල පිළිබඳව මිනුම් කෙරෙහි අවධානය අඩුම තරමින්වත් යොදා ගත යුතු ය. කොපර් නිකස්‌ පොළව ගමන් කරන ලද බව ප්‍රකාශ කරන ලදී. එහෙත් එය පිළිගැනීමට නොහැකි බව තර්ක කරන ලදී. පසුව එය එසේ නොමැති බව තහවුරු විය. ඔබ මෙම දැනුමෙන් පරිපූර්ණ විය යුතුය. එසේ නොවුණ හොත් ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවා ගැනීමට බැරි බව වන ප්‍රස්‌ථනාව යම් දිනෙක ඔබට සිහි වෙනු ඇත. එමනිසා තර්කයට වඩා වැදගත් වන්නේ ප්‍රායෝගික වන තම දැනුමයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.