ලයන් එයාර් මහා අපරාධය

අපරාධ වල අභිරහස්‌ යම් දිනෙක එළිවනු ඇත
- ප්‍රංශ ගත්කරු වික්‌ටර් හියුගෝ


2013 මැයි 05

1998 සැප්තැම්බර් මස දිනෙක යාපනයේ කොටි දේශපාලන නායක තෝයවන් යාපනයේ ලයන් එයාර් ගුවන් සේවා කාර්යාලයේ නියෝජිත මනෝහරන්ට තර්ජනය කරමින් වහාම ගුවන් ගමන් නතර කරන්නැයි යෑයි කියා සිටියේ ය. මෙම තර්ජනය යාපනයේ සිට ප්‍රකාශයට පත්වන උදයන් පුවත්පතේ ද පළවිය. එකල මොනර ගුවන් සේවාව ද ක්‍රියාත්මක වූ නිසා මේ තර්ජනය විරුද්ධවාදීන්ගේ ක්‍රියාවක්‌ බවට සැක කෙරුණි. එහෙත් ලයන් එයාර් බලධාරීහු මේ තර්ජනය ගැන ගුවන් හමුදාවට ද දැනුම් දෙනු ලැබේ.

මේ පසුබිම යටතේ වව්නියාව ප්ලොට්‌ නායක මානික්‌කවාසන් ගුවන් හමුදා බලධාරීන්ට අනතුරු අඟවමින් කොළඹ යාපනය ගුවන් ගමන්වලට කොටින් ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරන බව සඳහන් කරනු ලැබීය. මෙලෙස ලයන් එයාර් ගුවන් යානාවලට ප්‍රහාර එල්ල කිරීමට කොටි සැලසුම් කරන්නේ තුවාල ලත් හමුදා භටයන්ට එකී යානා මගින් ප්‍රවාහනය කිරීම හේතුවෙනි. එමෙහත් එම අනතුරු ඇඟවීමහ ගැන තැකීමක්‌ නොකෙරුණි.

මේ අතර යාපනයේ දොන් බොස්‌කෝ ප්‍රාථමික විදුහලේ සිසුන් 20 කගෙන් යුත් කණ්‌ඩායමක්‌ කොළඹ සම්මන්ත්‍රණයක්‌ සඳහා පැමිණීම පිණිස ලයන් එයාර් යානාවක ආසන වෙන් කර ගෙන තිබිණි.

එහෙත් කොටි තර්ජනය සැල වූ විගස එකී ගමන වහාම අවලංගු කරනු ලැබීය. මෙම තත්ත්වය මැද 1998 සැප්තැම්බර් 29 දා දහවල් ලයන් එයාර් ඇන්ටනෝව් 24 වර්ගයේ යානාව පළාලි ගුවන් තොටුපලින් රත්මලාන බලා පියාසර කිරීම ආරම්භ කළේය.

යානාව පැදවූයේ පළපරුදු නියමුවෙකු වු යුක්‌රේන් ජාතික ඇනටෝලි මටච්කෝය. පියාසර අංක 602 යටතේ ගමන් ඇරඹු මේ යානාවේ ඉහළ පෙළේ හමුදා නිලධාරීහු පිරිසක්‌ ගමන් කරන බව කොටින්ට වාර්තා වී තිබුණි. එහෙත් සත්‍යය නම් එහි ගමන් කළේ ද්‍රවිඩ මඟීන් පමණකි. ඔවුන් අතර රාජ්‍ය සේවකයන් ද විය. මේ යානාවේ මඟීන් 48 ක්‌ හා කාර්ය මණ්‌ඩලයේ හත්දෙනකු ද ගමන් කළහ. ඔවුන් අතර උප නියමු ලයියව්හොට්‌ සියානෙයිට්‌ මාර්ගෝපදේශක කොස්‌ලොට්‌ සර්ජි, පියාසර ඉංජිනේරු අක්‌සේ සප්තා සියානෙයිටි ප්‍රධාන ගුවන් සේවිකා දර්ශනී ගුණසේකර, ගුවන් සේවක ක්‍රිස්‌ටියන් නෙල්සන් හා සේවක විජිත ද විය.



ලයන් එයාර් යානාවේ මඟීන්ගෙන් 17 ක්‌ කාන්තාවන් වූ අතර 30 ක්‌ පිරිමින් ය. ඇන්ටනොව් 24 යානාව පලාලි සිට ගුවන් ගත වී විනාඩි 20 කට පසු රේඩාර් තිරයෙන් අතුරුදන් විය.

මේ සම්බන්ධයෙන් ගුවන් හමුදා බලධාරීන් හා උතුරේ ආරක්‍ෂක අංශවලට වාර්තා වූයේ යානාව කොටි මිසයිලයකින් විනාශ වී ඇති බවයි. එහෙත් සැප්තැම්බර් 300 දා උතුෙdර් නාච්චිකුඩා ප්‍රදේශයේ ධීවරයන් පිරිසක්‌ තමන් ගුවන් යානාවක්‌ ගිනිගෙන මුහුදට කඩාවැටෙනු දුටු බවට මන්නාරම දිසාපති වෙත පවසා තිබේ. එදිනට කොටි ත්‍රස්‌තයන්ගේ නිල වෙබ් අඩවිය ප්‍රකාශයක්‌ කරමින් යානාවේ නියමුවා පැරෂුටයක ආධාරයෙන් දිවි ගලවාගෙන ඇතැයි කියා සිටියේය.

ගුවන් යානාවට සිදුවූයේ කුමක්‌ද යන්න එහි ගමන් කළ මඟීන්ගේ ඥාතීහු කම්පාවට පත්වෙමින් සිටියදී කොළඹ කොටි හිතවාදී ද්‍රවිඩ පුවත්පතක්‌ පැවසුවේ ලයන් එයාර් යානාවේ මඟීන්ගේ සිරුරු වළදමා ඇති ස්‌ථානවලට යැම සඳහා මන්නාරම් රදගුරු රායප්පු ජෝශප් විසින් ඥාතීන්ට සහාය දක්‌වන බවයි.

මෙම පසුබිම යටතේ වන්තලායිහි පදිංචි සීමන් අන්තෝනිමුත්තු ප්‍රනාන්දු මන්නාරම පොලිසිය වෙත පැමිණිල්ලක්‌ කරමින් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුවියක්‌ වූ කේ අයි ප්‍රනාන්දු නමැති තම දියණිය ද ලයන් එයාර් යානාවේ ගමන් කළ බවට සඳහන් කළේය. එහෙත් කොටි සංවිධානය නිහඬ විය. 1998 ඔක්‌තෝම්බර් 10 දා ලන්ඩන් නුවර සිට ප්‍රකාශයට පත්වන කොටින්ගේ ටැමිල් ගාඩියන් පුවත්පත ලයන් එයාර් යානාවේ සිද්ධිය යටපත් කිරීමට ක්‍රියා කළේය. එම පුවත්පත මෙලෙස දක්‌වා තිබිණි.

"ලයන් එයාර් යානාව යාන්ත්‍රික දෝෂයකින් කඩාවැටුණි. මළ සිරුරු කිහිපයක්‌ හා පයිලට්‌ රෙකෝඩරයව ද හමුවිය. මුහුද යට ඇති ගුවන් යානාව ගොඩ ගැනීමට ස්‌වෙච්ඡා සේවකයන් ඉදිරිපත් විය. එහෙත් නාවික හමුදාව ඊට ඉඩ දුන්නේ නැත.

මේ යානාව විපතට පත්වීම ගැන කොටි සංවිධානය වගකිව යුතු නැත. ලයන් එයාර් ගමාගම ද කොටි සංවිධානයට චෝදනා කර නැත. යානාවට මිසයිල ප්‍රහාරයක්‌ එල්ල වූ බවට ගුවන් හමුදාව කළ ප්‍රකාශය පසුව ඉල්ලා අස්‌කර ගත්තේය.

මෙලෙස ලන්ඩන් කොටි ක්‍රියාකාරීහු ජීවිත 55ක්‌ අහිමි කළ ලයන් එයාර් සිද්ධිය යටපත් කිරීමට උත්සාහ කරන අවස්‌ථාවක රදගුරු රායප්පු ජෝශප් යානාවේ සිටි මඟීන්ගේ ඥාතීහු කළ ඉල්ලීම සහ කොටින්ගේ පාලනයට නතු වී තිබූ මුලන්කාවිල් ප්‍රදේශයට ගොස්‌ ධීවරයන් හමුවිය.

තමන් ඇන්ටනෝව් යානාවේ තටුවල කොටස්‌ හා අසුන්වල කැබලි කොටි පොලිසියට භාරදුන් බව ද මළ සිරුරු ගම්දාරිමුනෙයි ගමට සමීපයේ වළ දැමු බවත් පිරිමි මළ සිරුරු 23 ක්‌ හා කාන්තා මළසිරුරු 10 ක්‌ හමු වූ බව ද ධීවරයෝ රදගුරු වෙත කියා සිටියහ.

මේ තොරතුරු හෙළිවෙත්ම මන්නාරමේ එවකට සිටි පොලිස්‌ අධිකාරිවරයා ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ සහාය මැද එකී මළ සිරුරු ගොඩ ගෙන පශ්චාත් මරණ පරීක්‍ෂණ පැවැත්වීමට කළ ඉල්ලීමට රදගුරුගෙන් නිසි ප්‍රතිචාරයක්‌ ලැබුනේ නැත.

මේ අතර ඊ.පී.ඩී.පී. පක්‍ෂයේ ක්‍රියාකාරිකයකු වන ජෙගන් ප්‍රකාශයක්‌ කරමින් ලයන් එයාර් යානාවට කොටින් විසින් මිසයිල ප්‍රහාරයක්‌ එල්ල කර විනාශ කර ඇතැයි කියා සිටියේය. එහෙත් ද්‍රවිඩ සංධානයේ මන්ත්‍රීවරු හා මානව හිමිකම් ගැන හඬ නඟන ගෙ-න්ද්‍රකුමාර්Êපොන්නම්බලම් හා මෙරට රාජ්‍ය නොවන සංවිධාන විසින් ප්‍රභාකරන්ට එරෙහිව ඇඟිල්ලක්‌වත් දික්‌ කිරීමට බිය වූහ.

එහෙත් ත්‍රස්‌ත මර්දන නිලධාරීහු අත්අඩංගුවට ගත් කොටින්ගේ ගඩාපි මිසයිලක ඒකකයේ ත්‍රස්‌තයකුගේ ප්‍රකාශයෙන් යටපත් වී තිබූ ලයන් එයාර් යානාවේ අභිරහස හෙළිවිය.

යානාවට ප්‍රහාර එල්ල කිරීමට යොදාගත් මෑන්පෑඩ් හෙවත් ස්‌ටේ්‍රලා වර්ගයේ ගුවන් යානා නාශක මිසයිලයේ බටය ද සොයාගැනුනි. ඒ අනුව පසුගිය ඉරිදා ඉරණතිව් මුහුදේ අඩි 25 ක්‌ යට තිබු ලයන් එයාර් යානවේ රෝද තුනක්‌, කාන්තා හා පිරිමි ඇඳුම් කිහිපයක්‌ හා හිස්‌ කබල් දෙකක්‌ ද වෛද්‍ය නලාවක්‌ ද ඇන්ටනෝව් එන්ජිමක්‌ ද නාවික හමුදාව විසින් සොයා ගැනුණි.

එදා මේ සිද්ධිය ගැන බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලය ද නිහඬ විය. ගුවන් මඟීහු 55 කගේ දිවි අහිමි කිරීම සුළු සිදුවීමක්‌ නොවේ. එහෙත් ජාත්‍යන්තර ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානය ද නිහඬ විය. ලයන් එයාර් යානාව විනාශ කිරීම යුද අපරාධයක්‌ මෙන්ම මානව හිමිකම් උල්ලංඝණය කිරීමක්‌ යයි එක්‌සත් ජාතීන්ගේ යුද අපරාධ විමර්ශන කොමිසමට හා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිල්ලක්‌ යොමු කිරීමට පවා එකල රජය ක්‍රියා කළේ නැත.

1998 නොවැම්බර් 1 දා දිවයින විසින් ප්‍රකාශයට පත් කළ පුවතක මෙලෙස සඳහන් විය.

'ලයන් එයාර් යානාවට අදාළ තොරතුරු වසන් කිරීමට එක්‌තරා බලවත් පිරිසක්‌ ක්‍රියාකරන බව සනාථ විය.

එය සනාථ වුයේ ගම්දාරිමුනෙයි ගම අවට මළ සිරුරු වළ දැමීමට ක්‍රියා කළ බව ධීවරයන් විසින් රදගුරු ජොශප්ට පවසා තිබියදී එකල පොලිස්‌ බලධාරීහු ඒ සම්බන්ධව රදගුරුගෙන් හෝ ලයන් එයාර් යානාවෙන් සිසුන් කොළඹට ගෙන යැමේ ගමන අවලංගු කළ යාපනයේ දොන් බොස්‌කෝ විදුහල්පතිනියගෙන් ප්‍රශ්න නොකිරීමයි.

ලයන් එයාර් යානාව විපතට පත් වී දින කිහිපයකට පසු යාපනයේ මන්මතිවු වෙරළේ මුර සංචාරයේ නිරත භට පිරිසකට රුසියානු අකුරුවලින් යුත් ජීවිතාරක්‍ෂක කබායක්‌ හමුවිය. එය ලයන් එයාර් යානාවට අයත් යෑයි හෙළිවිය.

මෙලෙස ලයන් එයාර් ඇන්ටනෝව් යානාව විපතට පත්වීම ගැන එදා යුක්‌රේනයේ කිව් අගනුවර සිට විමර්ශන කණ්‌ඩායමක්‌ පැමිණෙනු ඇතැයි ප්‍රචාරය වුවත් එවන් පිරිසක්‌ පැමිණියේ නැත.

මෙවන් පසුබිමක්‌ මැද ලයන් එයාර් යානාවට මිසයිල ප්‍රහාර එල්ල කළ බව කොටි ත්‍රස්‌තයකු 2011 ජුනි මස 13 දා මනිපායි හිදී අසුවීමෙන් පසු හෙළිවිය.

පසුගිය ඉරිදා නාවික හමුදා කිමිඳුම්කරුවන් 25කගෙන් යුත් පිරිසක්‌ ඉරනතිව් මුහුදු ප්‍රදේශයෙන් සුන්බුන් සොයා ගත් නමුත් යානාවේ කළු පෙට්‌ටිය  හමු වූයේ නැත. නියමු ඇනටොලි හා පලාලි පාලන මැදිරිය අතර ඇති වූ කතාබහ එම කළු පෙට්‌ටියට ඇතුළත් වේ.

මෙම කළු පෙට්‌ටිය කොටි සොයා ගත් බව 1998 ඔක්‌තෝම්බර් 1 දා ප්‍රකාශයට පත් වූ ටැමිල් ගාඩියන් නමැති කොටි පුවත්පතෙන් හෙලිවිය.

මේ යානාවේ මඟීන්ගේ මළ සිරුරු පුනරින් ගම්දාරිමුනෙයි ප්‍රදේශයේ වළදමා ඇති බවට එම ප්‍රදේශයේ ග්‍රාම සේවක කළ ප්‍රකාශ මත මෙයට කලකට පෙර එකී ප්‍රදේශය හෑරීමට ක්‍රියා කළත් එම සිරුරු හමු වී නැත. එසේ නම් එදා මන්නාරම රදගුරු රායප්පු ජෝෂප්ට තොරතුරු සැපයූ ධීවරයන්ගෙන් විමර්ශනයක්‌ නොකළේ මන්ද?

මෙලෙස වසර 15 කට පෙර කොටි මිසයිල් ප්‍රහාරයකට ලක්‌ වු ලයන් එයාර් යානාවේ සුන්බුන් ගොඩගනිද්දී කිසිදු කොටි වෙබ් අඩවියක්‌ හෝ කොටි හිතවාදී සංවිධානයන් ඒ බව විදෙස්‌ගත ඊළම් ප්‍රජාවට දැනුම් දීමෙන් වැලකී සිටියේය.

එසේම ද්‍රවිඩ සංධානය විදෙස්‌ අරමුදල් ලබන රාජ්‍ය නොවන සංවිධාන ද නිහඬ විය.

එහෙත් පහළොස්‌ වසරක්‌ තිස්‌සේ ගුවන් යානා සුන්බුන්වලින් යානාවට සිදු වූ දේ යුක්‌රේණයේ ඇන්ටනෝව් ගුවන් යානා කම්හලේ විමර්ශනයන්ට හැකි වේ. ලයන් එයාර් යානාවේ සුන්බුන් ගොඩගනිද්දී මියගිය අයගේ ඥාතීහු කිසිවෙක්‌ ඉදිරිපත් වූයේ නැත. මේ අතර ලබන නොවැම්බර් 15 සහ 16 දා ආරම්භ වන බොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවට බ්‍රිතාන්‍ය එලිසබත් රැජන හා අගමැති ඩේවිඩ් කැමරන්ගේ පැමිණිම වැළැක්‌වීම සඳහා බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනියේ අධ්‍යක්‍ෂ කැල්ලම් මැක්‌රේ ගත් දැඩි උත්සාහය අසාර්ථක විය. ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව වීඩියෝපට දෙකක්‌ නිර්මාණය කළේ මැක්‌රේය. පසුගියදා ඔහු ලන්ඩනයේ බී. බී. සී. චිත්‍රාගාරය වෙත පැමිණියේ ශ්‍රී ලංකාවට එරෙහිව කරනු දැක්‌වීමේ වැඩසටහනකට සහභාගි වීමටය. බී.බී.සී. රූපවාහිනිය හමුවේ සාවද්‍ය තොරතුරු ප්‍රකාශ කර ආපසු යමින් සිටි මැක්‌රේට හමුවූයේ එකී වැඩසටහනට සහභාගි වූවන්ගෙන් ප්‍රශ්න ඇසීමට බලාපොරොත්තුව සිටි ලන්ඩනයේ දේශප්‍රේමියකු වූ ඩග්ලස්‌ වික්‍රමරත්නය.

ජීනිවා මානව හිමිකම් සමුළු ශාලාවේදී කොටි කණ්‌ඩායමක්‌ නුඹේ පසුපස දිවයනවා මා දුටුවා යෑයි ඩග්ලස්‌ වික්‍රමරත්න පැවසීම නිසා මැක්‌රේ කලබලයට පත්විය. ඔබ එය දුටුවාද? යෑයි කැල්ලම් මැක්‌රේ පෙරළා ප්‍රශ්න කළේය. ඔව්. කෝ නුඹේ මාධ්‍යවේදී වෘත්තීමය නිපුණත්වය. නුඹ හරියට හිස නැති කුකුලෙක්‌ වගෙයි.  යෑයි වික්‍රමරත්න කළ ප්‍රකාශය නිසා ලැජ්ජාවට පත් මැක්‌රේ විගස එම ස්‌ථානයෙන් පිටව ගියේය.

මෙලෙස කොටි කොන්ත්‍රාතුවක්‌ ඉටු කරන කැල්ලම් මැක්‌රේගේ මාධය ලේබලයට මුවා වූ රැඟුම් හෙළිවන අවස්‌ථාවේදී විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්‌ කරමින් 1979 වසරේ ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පණත සම්මත කළ බවත්, ඒ යටතේ උතුරේත් දකුණේත් ත්‍රස්‌තවාදයට සහ ත්‍රස්‌තවාදීන්ට එරෙහිව ක්‍රියා කළ බවත් අත්අඩංගුවට ගැනීම් කළ බවත් කියා සිටියේය.

එහෙත් අතීතය අමතක කළ යුතුද?

2002 පෙබරවාරි 21 වැනිදා ඊනියා සටන් විරාම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ප්‍රභාකරන් ඝාතකයා ත්‍රස්‌ත මර්දන පනත ඉවත් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව ත්‍රස්‌තවාදය වැලැක්‌වීමේ පනත අත්හිටවනු ලැබීය. ඉන් පසු සිදුවූයේ විනාශයකි. කොටි රජයේ බුද්ධි අංශ ක්‍රියාකාරීහු ඝාතනය කරනු ලැබීය. ත්‍රස්‌ත මර්දන ඒකකය මුළුමනින් ම අඩපණ විය.

මේ ඝාතනය නිසා ශ්‍රී ලංකා පොලිස්‌ පරීක්‍ෂක සංගමයේ සභාපතිව සිටි ඩේල් ගුණරත්න දැඩි ලෙස කෝපයට පත්විය. ඔහු විගස එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග වෙත හදිසි ලිපියක්‌ යවමින් වහාම ත්‍රස්‌ත මර්දන පණත සක්‍රීය කරන්නැයි ඉල්ලා සිටියේය. එහෙත් ඒ වන විට ආරක්‍ෂාව පිළිබඳ බලතල තිබුණේ වික්‍රමසිංහ රජය වෙතය.

ජනාධිපතිනිය වෙත යෑවූ මේ ලිපිය අප පුවත්පතේ ප්‍රධාන පුවතකින් අනාවරණය විය. ඩේල් ගුණරත්නගේ මේ ලිපිය නිසා රජයේ බලධාරීන්ද කැලඹීමකට පත්වුහ. වහාම ලිපිය ඉල්ලා අස්‌කර ගන්නා ලෙසට ඉහළ පෙළේ පොලිස්‌ නිලධාරීහු ඩේල්ට දැනුම් දුන්නේය. එහෙම ලිපියක්‌ යෑව්වේ නැති බවට ප්‍රකාශයක්‌ කරපන්. නැත්නම් උඹට පොලිස්‌ සේවයෙන් සමුගන්න වෙයි යෑයි එක්‌ නිලධාරියෙක්‌ ඩේල්ට අනතුරු ඇඟවීය.

එහෙත් ඩේල් ගුණරත්න නොසැලී කියා සිටියේ තමා කීයකටවත් ලිපිය ඉල්ලා අස්‌කර ගන්නේ නැති බවත්, ඕනෑ විටෙක පොලිස්‌ කබාය දමා ගෙදර යැමට සූදානම් බවත් ය.

2002 පැවැති මේ අතීතය රජයට ද අමතක වීද? කෙසේ වෙතත් ත්‍රස්‌ත මර්දන පනත ඉවත් කළ යුතු යෑයි කළ ඉල්ලීම් රජය එකහෙළාම ප්‍රතික්‍ෂේප කරනු ලැබීය. මෙවන් පනතක්‌ මෙරටින් ඉවත් කරන්නැයි ඉල්ලන අවස්‌ථාවේ ඇමරිකාව - බ්‍රිතාන්‍යය - ඉන්දියාව වැනි රටවලතවමත් එවැනි පණත් ක්‍රියාත්මක වේ.

මෙවන් පසුබිමක්‌ මැද පසුගිය 3 වැනිදා ජාත්‍යන්තර මාධ්‍ය දිනය යෙදී තිබුනි. නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික කණ්‌ඩායම විසින් කොළඹ තිඹිරිගස්‌යායේ හෝටලයකදී දේශනයක්‌ ද සංවිධානය කර තිබුණි. කොටි හඬ ගුවන් විදුලියට ගුවන් හමුදාව විසින් බෝම්බ දමා විනාශ කළ අවස්‌ථාවේ එය හෙළා දුටුවේ ද මේ කණ්‌ඩායමයි. එහෙත් දෛවයට සරදම් කරමින් එම අවස්‌ථාවට හිටපු හමුදාපතිවරයා ද පැමිණ සිටියේය.

එදා වන්නි මෙහෙයුම නතර කිරීමට දැඩි උත්සාහයක්‌ ගත් පාර්ශ්වයන් අතර නෝර්වේ අරමුදල් ලබන මෙකී කණ්‌ඩායමට ද සිටි බව අමතක නොකළ යුතුය.

කීර්ති වර්ණකුලසූරිය



 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.