මැස්‌සා මැරීමට අසිපත ගැනීම!

1974 සිරිමා ශාස්‌ත්‍රී ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට හිමි වූ කච්චතිව් දූපත යළිත් ඉන්දියාවට පවරා ගත යුතු බවට තමිල්නාඩු මහඇමැතිනි ජයලලිතා ජෙයරාම් මහත්මිය යෝජනා සම්මත කරගෙන තිබේ. ජයලලිතා මහත්මියගේ මේ දොළ දුක කුමක්‌ නිසාදැයි අපට එක එල්ලේ කිව නොහැකි වුවද දැන් කලක පටන් සැපින්නක සේ ශ්‍රී ලංකාව කෙරෙහි බද්ධ වෛරයකින් පසුවන ඇය මේ සඳහා තල්ලු කරන බලවේගයක්‌ තිබිය යුතු බව අපගේ අනුමානය වී තිබේ.

ශ්‍රී ලංකාවට එරෙහිව තමිල්නාඩුව උසිගන්වන්නාහු කවරහුදැයි අපි නොදනිමු. එහෙත් ඒ කවරෙක්‌ වුවද ඔවුන්ට ජයලලිතා නම් වූ දේශපාලන ප්‍රපංචය මැටි පිඩක්‌ වී තිබෙන බව නම් ඉදුරා පැහැදිලිය. ඉන්දියාවේ දේශපාලන අරටු සමඟ සස¹ බලද්දී ජයලලිතා මහ ඇමැතිනිය වඳ පීදුණු කෙසෙල් ගසක්‌ බව අපගේ අදහසය. නොඑසේ නම් එදා ශ්‍රී ලංකාවේ අගමැතිනිය වූ සිරිමා බණ්‌ඩාරනායක මැතිනිය හා ඉන්දියාවේ අගමැතිව සිටි ලාල් බහදූර් ශාස්‌ත්‍රී මහතා විමර්ශනශීලීව හා පරිණත දේශපාලන හා සමාජ දෘෂ්ටියකින්ද මැනවැයි සම්මත කරගත් ඓතිහාසික එකඟතාව පිළිබඳ වගක්‌ නොමැතිව මෙබඳු මුග්ධ යෝජනාවක්‌ කරනු ඇද්ද?

මහ ඇමැතිනියගේ යෝජනාවට විපක්‍ෂ වූ අයද තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ වූහ. ඔවුහු අපගේ ගෞරවයට පාත්‍ර වන්නාහුය. සියවස්‌ ගණනක්‌ තරම් ඈතට ඇදී යන ඓතිහාසික හා සංස්‌කෘතික සබඳතාවක සාඩම්බරය දන්නා වියත්හු අදත් ඉන්දියාවේ සිටිති. ජයලලිතා මහ ඇමැතිනිය ඒ ඉතිහාස පාඩම අසා දැන ගැනීම වටී. සිය සංස්‌කෘතික මිතුරා මෙන්ම සමීපතම අසල්වැසියා සමඟ නිෂ්ඵල සටනක නිරත වී සිටින තමන්ගේ ප්‍රාන්ත මහ ඇමැතිනියගේ බයිස්‌කෝප් ජවනිකා පිළිබඳ ඉන්දියාව ගණන් නොගන්නා බවද අපට පෙනේ.

ශ්‍රී ලංකාවට එරෙහි වූ ජයලලිතා විරෝධය සමඟ එක්‌ව සිටින්නෝද තමිල්නාඩු බයිස්‌කෝප් චරිත කීපයකි. ඒ රැජිණිකාන්ත්, කමලා හසන්, සරත් කුමාර් හා විජය යන නළු කල්ලියකි. ඉන්දියානු සිනමා සංස්‌කෘතිය තුළ කීර්තියක්‌ හා ජනප්‍රියත්වයක්‌ හිමිකරගත් බොලිවුඩ් නළු කැළ ජයලලිතාගේ "ගොන් පාට්‌ වලට" ප්‍රබල අනුග්‍රහයක්‌ නොදැක්‌වීමද සැලකිය යුතූ කරුණකි.

මේ නළු නඩයටත්, තමිල්නාඩු මහ ඇමැතිනියගේ අශිෂ්ට දේශපාලන හැසිරීමටත් එරෙහිව නැගී සිටින මේ රටේ දේශප්‍රේමී සංවිධාන ගැන අපි ආඩම්බර වෙමු. දෙස බස රැස තුනුරුවන් තරමටම අපට වැදගත් බව ගෙවී ගිය ඉතිහාසය පුරාමත් අදත් හෙටත් අපගේ ස්‌ථාවරය බවද අභිමානයෙන් සඳහන් කරමු. එහෙත් තමිල්නාඩු විරෝධයේදී අප ප්‍රතිචාර දැක්‌විය යුත්තේ විමර්ශනශීලීව හා බුද්ධිමත්ව බවද කිව යුතුය.

තමිල්නාඩු බයිස්‌කෝප් විරෝධයට අපේ රටේ සිනමා නිළියන් හා කලාකරුවන් විසින් දක්‌වන ලද ප්‍රතිචාරය කෙතරම් විශිෂ්ටද? සුදුවතින් සැරසී සන්සුන්ව අධිෂ්ඨාන පූජාවක නිරත වූ ඔව්හු තමිල්නාඩු නළු නඩයට කීවේ, "සුහද මිතුරනි, එන්න උතුරට... ඇවිත් බලන්න" යනුවෙනි. මොනතරම් ශ්‍රේෂ්ඨ ප්‍රතිචාරයක්‌ද? අප අනිත් අයට වඩා, විශේෂයෙන් තමිල්නාඩු බයිස්‌කෝප් වීරයන්ට වඩා වෙනස්‌ බව එයින්ම පැහැදිලිය.

අප මේ කරුණු ස්‌වල්පය මතක්‌ කළේ තමිල්නාඩු චිත්‍රපට මේ රටට ගෙන්වීම වැලැක්‌වීමට ක්‍රියා කළ එක්‌තරා සංවිධානයක ප්‍රතිචාරය අවධානයට ගනිමින්ය, අපි මේ අභීත බුදු පුතුන්ට ද ඒ හා බැඳුණු ජාතිකත්වයටද හිස නමා ආචාර කරන්නෙමු. එහෙත් මේ ක්‍රියාව තුළ අපට පෙනෙන අඩුපාඩු කීපයක්‌ම ඇත. අපත් අර ජයලලිතා නෝනාගේ මුග්ධ දේශපාලන මට්‌ටමට වැටිය යුතුද? වෛරයම වැපිරිය යුතුද? අපගේ විරෝධය ඊට වඩා ඥනාන්විත විය යුතු නොවේද?

සැබැවින්ම වැදගත්ම කරුණ වන්නේ එබඳු විරෝධයකින් අපට ලැබෙන ප්‍රතිඵලය කුමක්‌ද යන්නයි. එයින් තමිල්නාඩුවට සුළු හෝ බලපෑමක්‌ කළ හැකිද යන්නයි. අපගේ වැටහීම වන්නේ උතුර් සියයට දහයකටත් අඩු පිරිසකට තිබෙන එකම විනෝදාස්‌වාදය මේ දෙමළ චිත්‍රපට බවය. මේ නළු නඩය ඔවුන්ගේ වීරයන් වී සිටින බව ද ඇත්තය. එහෙත් මේ රටේ දෙමළ භාෂීය සිනමාවක්‌ නැත. දෙමළ සාහිත්‍යයක්‌ හා නාට්‍ය තිබුණත් එයද ප්‍රමාණවත් නොවන බව දෙමළ විද්වත්හුම කියති.

තතු එසේ නම් මේ තමිල්නාඩු දෙමළ භාෂීය චිත්‍රපට වෙනුවට ඔවුන්ට වෙනත් දෙමළ භාෂීය සිනමාවක්‌ ලබා දීමටද මඟක්‌ තිබිය යුතුය. ජාතික චිත්‍රපට සංස්‌ථාවට එබඳු දෙයක්‌ කළ නොහැකි බවද පැහැදිලිය. අනෙක්‌ කරුණ නම් මේ චිත්‍රපට උතුරේ ප්‍රදර්ශනයෙන් ලැබෙන ආදායම තමිල්නාඩු නළු නඩයට හිමිවීමය. එහෙත් එය ඉතා දුබල තර්කයකි.

ශ්‍රී ලංකා විරෝධී නළු නඩය සම්මාදම් වී සිටින චිත්‍රපට වලට අනුග්‍රහය දැක්‌වීම නොකළ යුතු බව අපි පිළිගනිමු. එහෙත් එයින් මරු පහර වදින්නේ අපේම දෙමළ රසිකයන්ට නම් ඒ ගැන සිතා නොබැලිය යුතුද? දෙමළ ජනතාවගේ අයිතීන් අහිමි කරන බවට චෝදනා නගන පිරිස්‌ද සිටිති. මේ ක්‍රියාව ඔවුන් අතට දෙන තවත් තුරුම්පුවක්‌ විය නොහැකිද? එසේම මේ චිත්‍රපටවලට වඩා දෙමළ වීඩියෝ චිත්‍රපට ප්‍රදර්ශනයද සිදුවේ. රූපවාහිනී නාලිකා මගින්ද දෙමළ චිත්‍රපට විකාශය කෙරේ. එසේනම් මේ තහනම නිෂ්ඵල ක්‍රියාවක්‌ නොවන්නේද?

උතුර යනු අද රජයේ පාලනයට යටත් පළාතකි. එහි ජනතාවගේ සිවිල් කටයුතු වර්ධනය මෙන්ම අධ්‍යාපන හා සංස්‌කෘතික ජීවිතයද පෝෂණය කිරීමට රජය කැපවී සිටියි. උතුරට යන චිත්‍රපට වුවද කිසිසේත් ත්‍රස්‌තවාදයට අනුබල දෙන ඒවා නොවේ. ඒවායින් කොටින්ට පණිවුඩ දීමටද ඉඩක්‌ නැත.

තතු මෙසේ හෙයින් මෙබඳු විරෝධයකින් ලැබෙන විපාක සෘජුවම දෙමළ සිනමා රසිකයන්ට විඳ ගැනීමට සිදු වනු ඇත. ඔවුන්ට තිබුණු එකම විනෝදය අහිමි වීම නිසා ඔවුන් තුළ දැඩි මානසික අතෘප්තියක්‌ වුවද වැඩීමට ඉඩ තිබේ. උතුරේ මානව හිමිකම් කඩවීම ගැන කිඹුල් කඳුළු හෙළන මානව හිමිකම් වෙළඳ සමාගම් වලටද මේ තහනම අලුත් මාතෘකාවක්‌ වනු ඇත.

සත්තකින්ම සිංහල ජන වහරේ එන මැස්‌සා මරන්නට අසිපත ගත් වඳුරා මෙන් අප කිසිවෙක්‌ ක්‍රියා කළ යුතු නැත. අප ඊට වඩා විචාරශීලී විය යුතුය. ප්‍රඥසම්පන්න විය යුතුය. කොටින්ම අප නිවැරදි එල්ලයම ගත යුතුය. නැත්නම් අපට ජයග්‍රහණය කළ නොහැක.

රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට්‌ මණ්‌ඩලයේ සාමූහික වගකීමකි. ඒ ඒ විෂය ක්‍ෂේත්‍ර භාර ඇමැතිවරුද සිටිති. චිත්‍රපට ආනයනය ද ඒ අනුව සිදුවන්නක්‌ මිස චිත්‍රපට සංස්‌ථාව හෝ වෙනත් ආයතනයක අභිමතය පරිදි සිදුවන්නක්‌ද නොවේ. එනිසා ප්‍රතිපත්තිමය විරෝධතාවක්‌ පළ කිරීමේදී ඒවා කේන්ද්‍ර විය යුත්තේ රජයට මිස ආයතනවලට නොවේ. ඒ නිසා රාජ්‍ය ආයතන වැටලීමද ළාමක ක්‍රියාවක්‌ බවට පත්වේ.

ජාතික සටන් යනු ජනතාවගේ ආශිර්වාදය අනුබලය අනුග්‍රහය මත පෙරට ඇදී එන බලවේග මිස පපඩම් සංවිධාන තුළින් බිහිවන ඒවා නොවේ. ඒ සටන්වල නායකයෝ පැණසරව, අධිෂ්ඨානව ක්‍රියා කළ යුත්තෝය. අපි කවදත් අපගේ ගෞරවනීය සංඝ රත්නයේ මැදිහත්වීම් මග පෙන්වීම් අගයන්නෙමු.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.