සත්ත්වයා සසරට බැඳ තබන තණ්‌හාව

හේතුඵල සම්බන්ධයට බුදුන්වහන්සේ දේශනා කළ ධර්මය තුළ විශේෂ අවධානයක්‌ යොමු කර ඇත්තේ ය. වර්තමාන සමාජය තුළ බොහෝ දෙනා විසින් සිදු කරන නොයෙකුත් සියලුම අපරාධ ගැන අවධානය යොමු කරන කල්හි පැහැදිලි වන එක්‌ කරුණක්‌ වන්නේ මෙම ධර්මය බෞද්ධ, අබෞද්ධ සියලු දෙනා අමතක කර ඇති අමනෝඥ ස්‌වභාවයයි. එසේ නොවන්නේ නම් ඇති අනවබෝධයයි. "ඉමස්‌මිං සති ඉදංහෝති ඉමස්‌ස උප්පාදා ඉදං උප්පඡ්ජති" " මේ මේ දේ ඇති විට මේ දේ ඇත. මේ මේ දේ උපදින විට මේ මේ දේ උපදියි" යනුවෙන් පවිච්ච සමුප්පාදය හෙවත් හේතුඵලවාදය විස්‌තර කරන්නේ තාත්වික, තාර්කික, ආනුභූතික යථාර්ථයක්‌ ලෙසිනි. ශෛලීගත වාක්‍යයක්‌ ලෙසට "අවිඡ්ජා පච්චයා සංඛාරා, සංඛාරා පච්චයා විඤ්ඤාණ " ආදී පිළිවෙළට එම පටිච්ච සමුප්පාද ධර්මය ද්වාදස අංගයක්‌ ඇතුළත් වී විස්‌තර වෙයි. මෙම ධර්මය බුදුරජාණන් වහන්සේගේ අභීත ප්‍රකාශයක්‌ බව සංයුක්‌ත නිකායේ දසබල සූත්‍රයෙහි සඳහන්ය.

භවය යනු පැවැත්ම යනුවෙන් වාච්‍යාර්ථයක්‌ සැපයේ. එම පැවැත්ම සසර පුරා එන ප්‍රවාහ සංසිද්ධියකි. මුල් බුදු සමයේ ද ඒ බව පිළිගැණුන ධර්මතාවකි. පෙර සඳහන් කළ ලෙසට එය අනුභූතිවාදය පදනම් කරගත් හේතුප්‍රත්‍ය සමුදායක්‌ චක්‍රාකාරව විස්‌තර කරන්නේ ය. විශ්වයේ පැවැත්ම සිදුවන්නේ ආකර්ෂණය මතය. වස්‌තූන්ගේ (අනෙක්‌ වස්‌තු) චලනය සිදුවන්නේ එම ආකර්ෂණය හා ඇලීම නිසා ය. තණ්‌හාවද මෙම ආකාරයට සමගාමී න්‍යායකින් සිදුවෙයි. එදින බුදුහිමි බුද්ධත්වයට පත්ව මුල් සතියේ බෝ මැඬ වැඩ සිට පටිච්ච සමුප්පාද ධර්මය අනුලෝම ප්‍රතිලෝම ලෙසට මෙනෙහි කළේ එය සත්‍ය ප්‍රබල පැහැදිලි කිරීමක්‌, සොයා ගැනීමක්‌ (වටහා ගැනීමක්‌) නිසාය.

පටිච්ච සමුප්පාදයට ඇතුළත් අංග දොළොස කවර කරුණකින් ආරම්භ කළ ද එම සමගාමී එකිනෙකට බැඳුණු කරුණට ඉදිරියෙන් පසු පසින් සිටින කරුණ සමග සහසම්බන්ධතාව අඛණ්‌ඩව පවතී. අප සඳහන් කරන තණ්‌හාවට ඉදිරියෙන් ඇත්තේ උපාදානය හෙවත් අල්ලා ගැනීමයි. නැතහොත් බැදීමයි. තණ්‌හාව නිසා අප, සත්ත්වයා නිරන්තරයෙන් ජීවිත ගමනට බැඳෙයි. තණ්‌හාව පසුපසින් ඇත්තේ වේදනා හෙවත් විඳීමයි. සුඛ - දුක්‌ඛ විඳීමයි. විඳීම නිසා එයට තණ්‌හාවත්, බැඳීමත් ඇතිවේ. එවිට එම බැඳීම හේතුවෙන් දැඩිව අල්ලා ගැනීම ඇති වේ. (උපාදානය) තණ්‌හාව යන වදනට පර්යාය වදන් ලෙස ආශාව, තෘෂ්ණාව, ඇලීම, ප්‍රේaමය, ලෝභය ඉදිරිපත් වෙයි. ස්‌වභාවික වශයෙන් ම, සහජයෙන්ම අප සිත්, සන්තානය නැඹුරුවන්නේ යමකට ආශාව දක්‌වා තණ්‌හාවට ය. එම තණ්‌හාව සසර පුරා එන්නකි. තරහව, ක්‍රෝධය, ආශාව, සතුට කුඩා දරුවෙකුටවත් විශේෂයෙන් කියා දිය යුතු නැත. ඉගැන්වීමක්‌ කළ යුතු නොවන්නේ ය. දරුවා යමක්‌ ඉල්ලා අඬන්නේ, යම් භාණ්‌ඩයක්‌ විසිකරන්නේ, ආශාවෙන් අල්ලා බදාගන්නේ කාගේවත් ඉගැන්වීමකට නොවේ. සසර පුරුදු ලෙස අවිද්‍යාව හේතුවෙනි. මෙම ලක්‍ෂණය කාටත් පොදු ගුණාංගයකි.

තණ්‌හාව ලෝක සත්ත්වයාට පොදු ධර්මතාවකි. සත්ත්වයා පංචස්‌ඛන්ධයේ නිර්මිතයයි. එම නිර්මිතය නාම, රූප දෙකරුණින් සමන්විතය. පංචස්‌ඛන්ධය සතු සළායතන ඇස, කන, නාසය, දිව, කය, මනස යන අංග හයෙන් යුක්‌තය. මේවාට ලැබෙන අරමුණු ප්‍රියමනාප නම් තණ්‌හාව, ආසාව, ඇල්ම, බැඳීම, ප්‍රේමය ඇතිවන්නේ ය. එම හේතුව නිසා සසර බැඳේ. තිරිසන් සත්ත්වයා ද ආහාරයට, නින්දට, මෛථුනයට තණ්‌හාවක්‌ ආසාවක්‌ තිබේ. එහෙත් මිනිස්‌ සත්ත්වයාට ඊට වඩා දියුණු මට්‌ටමකින් ප්‍රබලව පවතී. ඇස ප්‍රිය කරන වස්‌තුවලට ඔහු බැඳෙන්නේ ය. මධුර ස්‌වර, කවි, ගීත, සංගීතය ශ්‍රවනයට ඇස රුචි කරයි. මිහිරි වූ සුවඳ ආඝ්‍රානයට නාසය ප්‍රිය වෙයි. එලෙසම රසවත් වූ විවිධ ආහාර වර්ග සොයා යයි. සුවපහසු දේවල්හි පහස ශරීරයට ලබා දෙන්නට වෙහෙසෙයි. මේ සියල්ලේම එකතුව මනසේ ක්‍රියාකාරිත්වය ඇතිවේ. පංචස්‌ඛන්ධයට ලැබෙන මෙම සියලුම විඳීම් වේදනා ලෙසට පටිච්ච සමුප්පාද විස්‌තර වන අවස්‌ථාවල දැක්‌වේ. ඉන් විස්‌තර වන සුඛ වේදනාවටම (විඳීමට) ඇලුම් කිරීම තණ්‌හාවයි. එය මිනිස්‌ ගතිලක්‍ෂණයයි. සංයුක්‌ත නිකායට ඇතුළත් වන විභංග සූත්‍රයෙහි තණ්‌හාව විග්‍රහ කරන අවස්‌ථාවේදී ඉහත සඳහන් පැහැදිලි කිරීම දක්‌වා ඇත්තේ මෙලෙසය. "කතමෙ භික්‌ඛවෙ තණ්‌හා ජයිමෙ භික්‌ඛවේ තණ්‌හා කාය රූප තණ්‌හා, සද්දකණ්‌හා" ආදී වශයෙනි. මහණෙනි, තණ්‌හාව යනු කවරේද? මහණෙනි, රූප තණ්‌හාව, ශබ්ද තණ්‌හාව, ගන්ධ තණ්‌හාව, රස තණ්‌හාව, ස්‌පුෂ්ටව්‍ය තණ්‌හාව, ධර්ම තණ්‌හාවයි. එය ෂඩ් ඉන්ද්‍රියයන්ට ගොඳුරු වන අරමුණු ඔස්‌සේ පහළ වන බැඳෙන තණ්‌හාවයි.

තණ්‌හාවේ ලක්‍ෂණ අනුව ත්‍රිවිධාකාර යෑයි සඳහන් වෙයි. එය කාම තණ්‌හාව, භව තණ්‌හාව, විභව තණ්‌හාව යනුවෙන් ගැඹුරු බෙදීමක්‌ ලෙස නම් කර තිබේ. කාම තණ්‌හාව යනු ඉතා සරලව ගතහොත් පස්‌කම් සැපතට ලොල්ව මෙලොව ජීවත්වීමට ඇති කැමැත්ත වේ. අවිද්‍යාව හෙවත් නොදැනීම, අනවබෝධය නිසා මේවාට ලොල්ව ජීවත් වන බව බුදුහිමි පවසන සේක. සමාජයේ පුද්ගලයන් කරන විවිධ ක්‍රියාකාරකම් දෙස බලන විට එම කරුණ පැහැදිලි වන්නේය.

භව තණ්‌හා යනු ශාස්‌වත දෘෂ්ටි හෙවත් ධ්‍යාන ලාභීව දිව්‍ය ලෝකවල සැප විඳීම සුඛයක්‌ යෑයි අදහති. එබඳු දිව්‍යලෝක සය නම් චාතුම්මහාරාජිකය, යාමය, තුසිතය, පරනිර්මිතවසවර්ති, හාවතිංසය, නිර්මාණරතී වන්නේය. මේවා කාම සුගතීන්ද කාම දුගතීන්ද ලෙස තිබේ. දුගති නම් තිරිසන්, ප්‍රේත ඈ ලෝකයන් ය.

විභව තණ්‌හා යනු උච්ඡේද දෘෂ්ටිගතව විසීමය. එබඳු අය හොඳ නරක, කුසල් අකුසල්, පින්පව් කිසිවක්‌ විශ්වාස නොකරති. නොපිළි ගනිති. එනිසා කෙසේ හෝ හොඳින් - නරකින් ධනය උපයා සුඛ විහරණය විඳ ජීවත්වීම යෝග්‍ය යෑයි එබඳු දෘෂ්ටිගත අය එකහෙළා විශ්වාස කරති. එසේ මැ ජීවත් වෙති.

මෙම විස්‌තර අනුව සලකා බලන විට නූතන ලෝකයේ දියුණුව හැටියට සිතන දර්ශකය ගෙන විග්‍රහයක යෙදෙන විට මිනිස්‌ සිතක තණ්‌හාව නම් අසීමිතය. එබැවින් මිනිස්‌ ලොව සියලුම නිමැවුම් තණ්‌හාව නිසා නිෂ්පාදනය වූ දේවල් ය. ගුවන් විදුලිය, දුරකථනය, රූපවාහිනිය, පරිගණකය, විදුලිබලය, යාන වාහන, වායු සමන යන්ත්‍ර, ගෙවල් දොරවල්, ගුවන් නැව්, නැව් මේවා යහපත් නිෂ්පාදන වුවත් පරිභෝජනයේ සීමාවක්‌ දක්‌නට නැත. තව තවත් සොයා මිනිසා ගමන් කරයි. ඒ සෑහීමකට පත් නොවන තණ්‌හාව නිසාය. තණ්‌හාවේ යථා ස්‌වරූපය එයයි. මෙම ලොල්වීම අවසානයේ සැපයක්‌ නොව දුකක්‌ ඇති කරවයි.

විද්Hqත් උපකරණ, ඉලෙක්‌ට්‍රොනික උපකරණ, දේශදේශාන්තර බල අරගල, මතභේද, පිල්බෙදීම, යුද්ධ ආදී සියල්ල තණ්‌හාව නිසා පැන නැඟුණු ඒවාය. මේ තණ්‌හාව ඇතැම් විට මානසික උමතුවක ස්‌වරූපයක්‌ හැටියට ද ඇතැම් අවස්‌ථාවල විද්‍යමාන වෙයි. තණ්‌හාවෙන් උපාදානයට පත්ව අවසාන ප්‍රතිඵලය දුකක්‌ය.

තණ්‌හාවේ ගති ස්‌වභාවයන් අවසන් ප්‍රතිඵලයක්‌ කදිමට විවරණය වන සරල එහෙත් ගැඹුරු දර්ශනයක්‌ ඇති කෙටි කථාවක්‌ රුසියන් ජාතික ලියෝ ටොල්ස්‌ටෝයි නම් මහා ලේඛකයාගේ නිර්මාණ අතර හමුවෙයි. විශාල ඉඩම් ප්‍රමාණයක්‌ සතු වූ ඉඩම් හිමියෙක්‌ එම ඉඩම් දුගී ජනයාට බෙදා දෙන්නට සැරැසෙයි. එක්‌ එක්‌ තැනැත්තාට ලැබෙන ඉඩම් ප්‍රමාණය ඔහු විසින් නියම කරගත යුත්තේ උදයේ හයේ සිට සවස හය වනතුරු ඔහු ඇවිදගොස්‌ සලකුණු කරගන්නා ප්‍රමාණයයි. එක්‌ මනුෂ්‍යයෙක්‌ එලෙස විශාල ඉඩමක්‌ අත් කරගන්නා අපේක්‍ෂාවෙන් (තණ්‌හාවෙන්) උදේ සිට සවස්‌වන තුරු ඉඩම වටා දුවගොස්‌ අවසන් වේලාව ළගා වෙද්දී වෙහෙස දරාගත නොහී බිම මැරී වැටුණේය. අවසාන ඔහුට හිමි වූයේ කාටත් උරුම හතර රියනක බිම් ප්‍රමාණය පමණි. තණ්‌හාවේ ස්‌වභාවයන් අවසන් ප්‍රතිඵලයක්‌ එලෙස අත් විඳින්නට සිදු වන්නේය.

අපේ භවගාමී ගමනට මෙම ආත්ම භාවයෙන් පසු, නැවත භවයක්‌ මිය යාමෙන් පසු ලැබෙන්නේය. මෙය නොකඩවා සිදුවන්නකි. එය භවගාමී ලෙසට නම් කර තිබෙන්නේ ඒ හේතුවෙනි. මෙම ගමනට හේතුව නම් තණ්‌හාවයි. සත්ත්වයා සසරට බැඳෙන හුයක්‌ ලෙසට මෙම තණ්‌හාව පැහැදිලි කරන්නේ ඒ නිසාය. තණ්‌හාව අපේ ආත්මයෙන් දුරුවන තුරු සසර ගමන නොනවතී. තණ්‌හාව ප්‍රහානය කිරීම, දුරු කිරීම, නැති කිරීම පිළිබඳ බොහෝ පැහැදිලි කිරීම් සංයුක්‌ත නිකාය ඉගැන්වීම් කරන්නේය. " එවං එස්‌ස භික්‌ඛවේ සුතවා" ආදී පිළිවෙළට මහණෙනි, මෙසේ දක්‌නා, ඇසූපිරූ තැන් ඇති අරිය සච්චතෙමේ ඇසෙහිත් කළකිරෙයි. මෙලෙස පසිඳුරන්ට ගොඳුරු වන දේ පිළිබඳව අවබෝධය ඇතිවෙන් මැ ඔහු තෘෂ්ණාවෙන් (තණ්‌හාවෙන්) ඈත්වීමට සමත් වෙයි.

"තණ්‌හාය ජායති සොකො - තණ්‌හාය ජායති භවං"

"නත්ථි සෝකෝ කුතො භයංතණ්‌හාවෙන් දුරු වු තැනැත්තාට කවර නම් ශෝකයක්‌ ද? භයක්‌ද? යනුවෙන් තථාගතයන් වහන්සේ දේශනා කළේ එබැවිනි. මෙම පැහැදිලි කිරීම් අනුව සත්ත්වයා සසර බැඳ තබන තණ්‌හාවේ යථා ස්‌වරූපය හැකි තරමින් හෝ අවබෝධ කරගත හොත් හිතේ සැනසිල්ල උදාවන්නේ ය. එය සසර ගමනේ දී වඩ වඩාත් හුරුකරන්නේ නම් නිවන් අවබෝධයට හේතුවන්නේය.

ශාස්‌ත්‍රපති මුතුමානි රාජහෙට්‌ටි

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.