වෙසක්‌ සඳ බැස ගියත්....

බුදු තෙමඟුල් සිරියෙන් ඇළලී ගිය ගම් දනව් පිස එන සිහිල් මඳනල තවමත් දනන් ගත සිත නිවමින් ඇදී යයි. ඇස ගැටෙන දසුන මෙන්ම කන වැකෙන වදනද මොන තරම් සන්සුන්ද? පන්සලින් ඇසෙන බුදුගුණ, දන්සලින් නැගෙන සාදු නද දැනුදු ඇසෙයි. වෙසක්‌ සඳ තවමත් අහසේය. මේ සියලු සොඳුරු ලකුණු තුන්ලොව පහළ වූ ජිවිතය මෙන්ම මරණයද විජයග්‍රහණය කළ අසිරිමත් වූද අති පූජනීය වූද, නරසිංහෝත්තමයකුගේ මෙත්, මුදිතා, කරුණා, උපේක්‍ෂා ගුණද අසාමාන්‍ය ප්‍රඥ මහිමයද සිහිපත් කරවයි. නවීන තාක්‌ෂණයේ විවිධ මෙවලම් ද ඊර්ෂ්‍යා, ක්‍රෝධ, තෘෂ්ණා, වෛර නමැති මිනිසා සතු දරුණුම අවිද සමග උනුන් පරයා දිව ගිය සමාජයක්‌ රටක්‌, ලොවක්‌ මේ ලොව පහළවූ උත්තමයකුගේ නාමයෙන් හෝරා කීපයක්‌ නතරව, නිද්‍රdවක වැටුණු සෙයකි. බිම් අඟලකට, නිලයට, බලයට, මුදලට ලොබ බැඳ කළ සියලු නොපනත්කම්, සැහැසිකම් තාවකාලික විරාමයක ගිල්වූ සෙයකි. පස්‌ පවින් දුර්වර්ණ වූවෝ, සුදු වතින් සුදිලෙමින් බවුන් වඩති. දහම් අසති. කුමක්‌ නිසාද යත් තුන්ලොවට වැඩ සැදූ සසර දුක්‌ සිඳ දැමූ මහා කාරුණිකයන් වහන්සේගේ නාමයෙනි. තිලොවග බුදු පියාණන්ගේ නාමයෙනි.

අපි ඒ සියලු සද්ක්‍රියාවන්ද උතුම් පූජාවන් ද සීල සමාදානයන්ද අපමණ මෙත් සිතින්ම අගයමු. දොහොත් මුදුන්හිම තබා ඒ පින් අනුමෝදන් වෙමු. ඒ පින් ක්‍රියාවල බලයෙන් සියලු සිත් නිවේවා. මෙත් සිහිල් වැඩේවා. ලොවම ගනඳුර ද, බියද, අවැඩද, දුරුවේවායි ද පතමු. එහෙත් අප තුළ පුහුදුන් බව නිසාම නැගෙන මෙබඳු සිතුවිල්ලක්‌ ද ඇත. මේ සියලු ක්‍රියාකාරකම්, හැසිරීම් තවත් හෝරා කීයක්‌, දින කීයක්‌, මාස කීයක්‌ තිබිය හැකිද යනු ඒ සිතුවිල්ලයි. ඉතින් මේ වෙසක්‌ සුපැතුම් සමගම මොහොතක්‌ ඒ පිළිබඳ මනස යොමු කිරීමට ඔබ කැමැත්තෙහිද?

මේ ලොව කොතැනක හෝ දුසිරිතෙන් තොර අධර්මයෙන් තොර මුලාවෙන් තොර සම්පූර්ණ මිනිස්‌සු වෙතියි අපි නොසිතමු. මිනිසා යනු කෙලෙස්‌ මලින්ද වෙනත් පුහුදුන් දුබලකම්වලින්ද යුතු අයෙක්‌ බවද අපි දනිමු. එහෙත් මේ මිනිසාට මේ තරම් අගතියට නොවැටී, මේ තරම් දුසිරිතට නොවැටී සිටිය නොහැක්‌කේ ඇයි? මේ බුදු තෙමඟුල නිමිත්තෙන්ද බොදුනුවකු ලෙස තමන් පත්වූ ස්‌වභාවය තමන්ගේ කුසල් සිත දහම් හැසිරීම යනාදියෙන් ස්‌වල්පයක්‌වත් ඒ අයුරින් පවත්වා ගෙන යැමට බැරි ඇයි?

බුදුන් වහන්සේ ජීවත් වූ සමාජය තුළද විවිධ අපරාධ අවක්‍රියා සිදුවී තිබේ. එදා සමාජයේ උසස්‌ යෑයි සම්මත වූයේ බ්‍රාහ්මණයාය. නැතහොත් බමුණාය. ඒ බමුණුකුගේ කුලමානය කෙසේවීද යත්, එදා පහත් යෑයි සැලකූ යම් ශුද්‍රයකු එම බමුණකුගේ නමක්‌ කියා ඔවුන් ඇමතුව හොත් අඟල් දහයක්‌ දිග රත් වූ දිලිසෙන යකඩ කූරක්‌ එම පහත් කුලයට අයත්වූ අයගේ කටට දැමිය යුතු විය. මොන තරම් වහල් සමාජයක්‌ද එදා තිබෙන්නට ඇත්තේ?

ආගමික නිදහස තබා මානසික නිදහසක්‌ හෝ එදා නොවීය. මෙයට එරෙහිවූ බුදුන්වහන්සේ ඒ සතර කුලයම එක හා සමාන යෑයි ප්‍රකාශ කළහ. හීන කුලවල අයටද තම සසුනේ දොර හැර දුන්හ. මෙබඳු පටු සමාජ බෙදීම් නොමැනවැයිද බොහෝ තැන්හි දේශනා කළහ. මිනිසාගේ හැසිරීම, ක්‍රියාකාරිත්වය වඩා වැදගත් බව බෞද්ධ පිළිවෙත අපට පසක්‌ කර දෙයි. එසේම සදාචාරසම්පන්න සමාජයක්‌ ඇති කර ගැනීමට ඉවහල් වන ඒ පිළිවෙත අනුගමනය කිරීමද අපගේ වගකීමය.

මෙබඳු වෙසක්‌ පුන් පොහෝ දිනයක අපට ඒ බෞද්ධ හරය සිහිපත් වුවද යළි අපි ඉන් බාහිරව ඒ දුසිරිත් මගෙහිම ගමන් නොකරමුද? අද සමාජයක්‌ ලෙස රටක්‌ ලෙස අප මුහුණදී සිටින අර්බුද සමගම ඉදිරියට යැමට අපට සිදුවී තිබෙන්නේද මේ සත්පුරුෂ ධර්ම පිළිවෙත් අමතක කිරීම නිසාය.

අප ජීවත්වන මේ සමාජය සිත් පිත් නැති සමාජයක්‌ බවට පත් වන්නේත් ප්‍රචණ්‌ඩත්වය සාහසිකත්වය උතුරා යන්නේත් අපට යහපත් සිතුවිලි මෙන්ම හොඳ ප්‍රතිපත්ති නොමැතිවීම නිසාමය. බෞද්ධ උපදේශය වන්නේ ධාර්මික ප්‍රතිපත්ති අනුව පිරිසිදු ජීවිත ගත කිරීමෙන් ජීවිත සුත මුදිත කර ගත හැකි බවය.

මේ දිනවල බොහෝ දෙනෙක්‌ (බෞද්ධ) පන්සිල් පිළිවෙත අනුගමනය කළහ. පරපණ නැසීම, හොරකම, බොරුව, කාම මිථ්‍යාචාරය, සුරාව යන කරුණුවලින් ඈත්වීමට අපට බැරි ඇයි? රටක ආර්ථිකය යහපත් නොවූ විට දුප්පත්කම වැඩි වන බව බුදුන් වහන්සේම පෙන්වා වදාළහ. ගොවියාට පහසුකම්, ව්‍යාපාරිකයාට මූල්‍ය ධනයද රටවැසියාට බිය සැක නොමැතිව ජීවත්වීමට අවස්‌ථාව සලසාදීමද පාලකයාගේ යුතුකම හා වගකීම බව දීඝ නිකායේ කූටදන්ත සූත්‍රයේද විග්‍රහ කර තිබේ. එහෙත් තෘෂ්ණාවෙන් දුෂ්පිළිවෙතින් ධනය ඉපයීම නොකළ යුතු බවද අවධාරණය කෙරිණි.

අද සමාජය තුළ තිබෙන කැළඹීම සුළු පටු නොවේ. මව්වරු දරුවන් සමග ගඟට, ළිඳට පැන දිවි නසා ගනිති. පියවරු එබඳුම සැහැසිකම්වලින් පණ නසා ගනිති. විවිධ ක්‍රමවලින් මිනිස්‌ ජීවිත විනාශ කරන්නෝද සිටිති. දූෂණය, වංචාව ඉහ වහා ගොස්‌ තිබේ. දේශපාලන වෘෂභයෝ අං පටලවා ගනිති. බලයෙන් දුබලයා පීඩාවට පත්කරවති. නීතිය අතට ගෙන නොපනත් ක්‍රියාවල නිරත වෙති.

සමාජය යනු කෝලාහලයකි. දුසිරිත් ආකරයකි. සමාජ සංශෝධනය සඳහා පෙනී සිටින අය අතර බහුතරය චෞරයෝය. තක්‌කඩියෝය. ඔවුන්ගෙන් සමහරෙක්‌ කාම අපරාධවලින් තුටුවෙති. පොදු ජනතා ධනය කොල්ලකති. වනාන්තර නසති. හොර ජාවාරම් කරති.

මේ සියල්ලෝම වෙසක්‌ පෝයට ශාන්තයහ. දාන්තයහ. අනේ මේ තරම් යහගුණ දම් පිරි සත්පුරුෂයෝ කොතැනකවත් නොවෙති.·

අපි පිළිවෙත්වලින් දිළින්දන් නොවෙමුද? බුදුන්වහන්සේ වදාළ පරිදි තෘෂ්ණාව සියලු විපතට මුල බව දැන දැනත් අපි ඉන් මිදීමට වෑයම් නොකරමු. ගිහියන්ගෙන් තෘෂ්ණාව සහමුලින්ම නැති කිරීමක්‌ද අපේක්‍ෂා නොකෙරේ. තෘෂ්ණාව යනු සෑම දෙයකටම තිබෙන ආශාවයි. කැමැත්තයි. ධනයට, නිලයට, බලයට, ඉහළයැමට, අනුන්ට පීඩා කිරීමට අපි කැමැත්තෙමු. ලොව සියලු විපතට මුලද ආත්මාර්ථය හා තෘෂ්ණාව බවද අපි දනිමු.

බෞද්ධයන් ලෙස අප තුළ තිබිය යුතු මෙත් මුදිතා, කරුණා, උපේක්‍ෂා යන ගුණධර්ම යම් පමණකින් හෝ අප තුළ තිබේද? අනුකම්පාව දයාව මෙන්ම අනුන්ගේ දුකට උණුවන හදවත් අද කෙතරම් දුලබද? අන් අයට මුදු වදනින් සංග්‍රහ කිරීමට බැරි අය කොපමණ සිටිත්ද? පන්සිල් සමාදන් වීම මෛත්‍රී භාවනාව වැනි දේවල් තබා දන්දීමේ පින්කම් ප්‍රදර්ශනකාමී මනසින් සිදුකරන විලාසිතාවන් බවට පත්ව නැද්ද? සද්ෙච්තනාවෙන් එබඳු දේවල් කරන අය නොවෙතියි අපි නොකියමු. එහෙත් බොහෝවිට යථාර්ථය එය නොවන බව අපි දනිමු.

මේ අනුව බුදු තෙමඟුලද අපගේ ප්‍රදර්ශනකාමිත්වය පෙන්වන සුලබ අවස්‌ථාවක්‌ බවට පත්ව නැද්ද? අණ බෙර ගසා, දැන්වීම් පළ කරවා හැඩට ජයට කරන පින්කම්වලින් බොහෝ විට ලබන ඵලය කුමක්‌ද? අපගේ බෞද්ධකම, සභ්‍යත්වය, සංස්‌කෘතික ආධ්‍යාත්මය පිළිබඳ සත්‍යය කුමක්‌ද? සමස්‌තයක්‌ ලෙස බලද්දී අප කර තිබෙන්නේ හුදු ආමිස පූජා පමණක්‌ නම් ඉන් ලැබෙන ප්‍රතිඵල සීමිත නොවේද?

මනුෂ්‍යත්වයට ගරු කරන සුසිරිත් වඩන, යහපත් පැහැපත් සමාජයක්‌ බිහිකර ගැනීමට අපි සමත්වී සිටිමුද? රටක්‌ ලෙස ජාතියක්‌ ලෙස අපි ශක්‌තිමත් වී සිටිමුද? බුද්ධං සරණේ සිරිස දරාගෙන, ධම්මං සරණේ සිත පහදාගෙන, සංඝං සරණේ සිවුරු දරාගෙන ගිය අපේ අතීත හුදී ජනයා, අපට වඩා කෙතරම් විදග්ධද? ප්‍රබුදAධද? නවීන තාක්‌ෂණයේ විද්‍යාවේ සියලු බලමහිමය සමග යෝධයන් සේ මොර දෙන අපි, ඒ අපේම නිර්මල, අව්‍යාජ, ආධ්‍යාත්මික බවින් පිරිපුන් නොවියත් හුදී ජනයන් අබියස ලිලිපුට්‌ටන් බවට පත්ව නොසිටිමුද?

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.