නගිමු සුන්දර බතලේගල

සුන්දර 'බතලේගල' ට පමණක්‌ නොව, කඩුගන්නාව දුර්ගයේදී දකින මනස්‌කාන්ත දර්ශන තලයටම මම හැමදාමත් ඇලුම් කරමි. ඒ එවන් දර්ශන පෙළක්‌ අප රටේ කිසිදු තැනකදී දැක නොමැති බැවිනි. ඉහළ කඳු රටේ බොහෝ තැන්වල කඩුගන්නාව වැනි බැලුම්ගල පිහිටා තිබේ. බදුලු - බණ්‌ඩාරවෙල, නුවරඑළියේ බෙරගල, ලිප්ටන්සීට්‌ වැනි ස්‌ථාන, දුම්බර වනපෙතේ අට්‌ටලමෙට්‌ටුව, බටඅඩුව කපොල්ල මේ කොයික ගැන කතා කළත් කඩුගන්නාව ද ලෙහෙසියෙන් අමතක කළ හැකි නොවේ. ඒ, පුළුල් හා ගැඹුරු දර්ශන තලයක්‌ සහිත කඳු වළල්ලකින් සමන්විත මෙම ප්‍රදේශය අමුතුම සිරියාවකින් අප සිත් ප්‍රබෝධමත් කරන නිසාය. ඊට ප්‍රධානතම වස්‌තුව වී ඇත්තේ බතලේගල නම් සුන්දර කඳුගැටයේ හැඩය හා පිහිටීම වන්නට ඇතැයි මට නිරතුරුව සිතේ.

සීගිරි පර්වතය සිහිපත් කරවන තරමේ අලංකාර හැඩයකින් සමන්විත මෙම අපූරු පර්වතය කඩුගන්නාවේ සිට බලන කල අපට දැකගන්නට ලැබෙන්නේ ඇස්‌ මට්‌ටමෙන්ය. අනෙකුත් පාවළු කඳු අතර යෝධයකු සේ තේජස්‌ව නැගී සිටින මෙම පර්වතරාජයා සෙංකඩගල පුරවරයටම අභිමානය කැන්දනු දැනේ. ඉදින්, කඩුගන්නාව පසුකර මහනුවර දෙසටත්, විටෙක කොළඹ දෙසටත් පැමිණෙන මා හට නම් ඇති කළ අනේකවාර හැඟීම වූයේ කවදා හෝ බතලේගල තරණය කළ යුතුය යන්නය.

බතලේගල නොහොත් ඉංග්‍රීසීන්ගේ හැඳින්වීම අනුව 'බයිබල් රොක්‌' ලෙස හැඳින්වෙන මේ සුන්දර පර්වතය පිහිටියේ සබරගමු පළාතේ කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ මාවනැල්ල නගරයට යාබදවය. මාවනැල්ල කොළඹ පාරේදී හමුවන මාඔය ඉපැරණි ගඩොල් පාලම කවුරුනුත් නොදන්නා තැනක්‌ නොවේ. සබරගමු පළාත් සංචාරක අමාත්‍යාංශය මගින් පළාතේ වැදගත්ම සංචාරක හා සංස්‌කෘතික උරුමයක්‌ ලෙස හැඳින්වෙන මෙම ගඩොල් පාලම පසුකරනවාත් සමඟම හමුවන හන්දියෙන් වම්පසට ඇත්තේ අරණායක දෙසට දිවෙන මාර්ගයයි.

මෙම අරණායක මාර්ගයේ කිලෝමීටර් 6-7 ක්‌ ගිය විට හමුවන ගැවිලිපිටිය හන්දියෙන් හැරී ගිය විට බතලේගල මාර්ගය හමුවේ. කොළඹ සිට පැමිණෙන විට කෑගල්ල නගරය මැදින් වැටී ඇති අලපලාවල මාර්ගයේ පැමිණ ද අරණායක දෙසට ගමන්කර කිලෝමීටර් 12 කදී පමණ බතලේගල ප්‍රවේශ මාර්ගයට පිවිසිය හැකිය.

බතලේගල නැඟීමේ නොතින් ආශාවකින් පෙළුණු මා ඇතුළු ගවේෂණ කණ්‌ඩායමක්‌ පසුගියදා එම ආශාව සංසිඳුවා වස්‌ කොළඹින් ගමන් ඇරඹුවේ මෙම කෑගල්ල නගරයට දකුණු දෙසින් වැටී ඇති මාර්ගය ඔස්‌සේය. එසේම, මාර්ග පද්ධති ද දැනගනු පිණිස යළිත් පැමිණීමේදී අරණායක - මාවනැල්ල මාර්ගයට පිවිස නුවර - කොළඹ මාර්ගය ඔස්‌සේ නැවත පැමිණීමට යොදා ගත්හ.

දිවයින කතු මඬුල්ලේ හර්ෂණ ජයතිලකත්, ගවේෂකයකු වන ලක්‌නාත් ගමගේ සොයුරා ඇතුළු දසදෙනකුගෙන් සමන්විත අපගේ පිරිස කෑගල්ල නගරය පසුකර දෙබත්ගම අලපලාවල ඔස්‌සේ පැමිණ හත්ගම්පලින් හැරී බතලේගල ප්‍රවේශ මාර්ගයට පැමිණෙන විට පෙරවරු 8 පමණ වී තිබිණි. කෑගල්ල - අරණායක මාර්ගයේ හමුවන හත්ගම්පල බෝධි විහාරස්‌ථානය අසලින් බතලේගල ප්‍රවේශ මාර්ගය වැටී ඇති අතර එහි සිට කිලෝමීටර් 2 ක්‌ පමණ වාහනයකින්ම බතලේගල පාමුල දක්‌වා ගමන් කළ හැකිය. ඒ බුළුගම්මන ගම්මානය හරහාය. වංගු සහ දළ බෑවුම් සහිත මෙම මාර්ගය දැන් තාර හා කොන්ක්‍රීට්‌ යොදා පිළිසකර කර ඇති නිසා ගමනාගමනයට යෝග්‍යය. එමෙන්ම, ගොරකා, කරාබු, ගම්මිරිස්‌, කෙසෙල්, පුවක්‌ වැනි බෝගයන්ගෙන් බොහෝ පොහොසත් ගෙවතුවලින් සමන්විත ගම්මානයක්‌ මැදින් මාර්ගය වැටී ඇති නිසාම ගමනේ පාලුවක්‌ ද නැත.

අපි බතලේගල ප්‍රවේශ මාර්ගයේ මඳ දුරක්‌ රථ වාහනවලින් ගමන් කර දැඩි බෑවුම් සහිත ස්‌ථානයකදී ගම්වැසි නිවසක වාහන ගාල් කර ඉන්පසු බතලේගල මාර්ගයේ පාගමනින් ඉහළට ඇදුනෙමු.

පුවක්‌අරඹ, ගොරකා වැනි ගසින් බහුල වනරොදත්, සිසිල් සුළඟ හා නැවුම් දිය කඳුරුත් මඳපවන පමණක්‌ නොව සියොතුන්ගේ ගී නදත් කාන්සිය නිවා අපේ ගමන ප්‍රබෝධමත් කළේය. මඳ වේලාවකින් ගම්මැද්ද පසුකර බතලේගල වනම පෙතට ප්‍රවිශ්ඨ වූ අපි මේ සුන්දර පර්වතයේ පසෙකින් ඉහළට ඇදුණේ හිරු මුවා කළ අඳුරු වළා රොදකින් ඇදහැලෙන පිණිපොද වැස්‌සක්‌ මධ්‍යයේය. එතරම් අපහසු නොවූවද, මේ බෑවුමේ සීරු මාරුවට අඩි තබමින් මඳ වේලාවකින් අපි බතලේගල තරණය කිරීමට සමත් වූයෙමු. මෙතෙක්‌ කලක්‌ මා සිහින මැවූ බතලේගල ඒ සිහින කුමරියගේ ඇකයේ පමණක්‌ නොව ශීර්ෂය මුදුනේ ආශ්වාදය විඳිමින් අපි එදින බතලේගල තරණයේ ජය පැන් තොල ගෑවෙමු.

හාත්පස සිසාරා හමායන මඳ සුළඟත්, තැනින් තැන මෝදුවන වැහි වළා පෙළත් මැදින් අප බතලේගල මෂ්තකයේ සිට දුටුවේ සබරගමුවේ අපූරු චමත්කාරයයි. ඌරාගල ප්‍රමුඛ කඳු පන්ති පෙළත්, දුම්රොටු මෙන් කඳුමුදුන් අතරින් විහිදෙන මිහිදුම් වළාවත් අතරින් පතර පෙනෙන කෙත්වතු යාය, ගේදොර හරකා - බාන මෙන්ම වෙහෙර විහාර, දාගැබ් යනාදිය ද අප විපරම් කළේ බතලේගල අසිරිය මැදිනි. වෙනදාට කඩුගන්නාව දුර්ගයේ සිට දකින බතලේගල වෙනුවට එදා අප දුටුවේ බතලේගල සිට දකින කඩුගන්නාවය. හිරු නැගෙන උදයේ අඳුරු දසුන් පෙළ අතරේ කඩුගන්නාව දුර්ගයේ ගමන් ගන්නා රථවාහන හඳුනාගන්නට අපි වෙහෙසුණෙමු. කඩුගන්නාව දුර්ගයේ සුද්දා විදපු ගලත්, අවටින් දකින දැවැන්ත කඳු පෙළත් දැක වශීකෘත වූ අපගේ පිරිස එදින උදා ආහාරය ගත්තේ බතලේගල මුදුනේදී හමු වූ කහට ගසක සෙවණට වීය.

ලක්‌නාත් හා හර්ෂණගේ නිවෙසින් රැගෙනවිත් තිබූ නෙක කෙටි ආහාරයෙන් සප්පායම් වූ අපි බතලේගල මුදුනේ අසිරිය සොයා ඇදුනෙමු.

බතලේගල උතුරු කෙළවර ගල් පර්වතවලින් සමන්විත අපූරු දර්ශන තලයක්‌ වෙත අප කැඳවාගෙන යන මනරම් නිමාවකින් යුක්‌තය. එසේම, දකුණුපස කෙළවර ඇත්තේ බෞද්ධ ආරාමයකි. අප එහි යන විට මෙම වෙහෙරේ භික්‍ෂූන් වහන්සේ වැඩ නොසිටියහ.

අතරින් පතර වැඩුණු කහට, බුළු වැනි හුදෙකලා ගස්‌ අතර සම්පූර්ණ පර්වත මස්‌තකයේ වැඩී ඇත්තේ මානා පඳුරුවලිනි. නැගෙනහිර බෑවුමේ හොඳ වනගහනයක්‌ දකින්නට ලැබේ. කෙසේ වෙතද පර්වත බොහෝ තැන් අසංවර සංචාරකයන්ගේ ගිsනි දලුවලින් දැවී හළු වී තිබිණි. එමෙන්ම තැන තැන දැමූ ප්ලාස්‌ටික්‌ හිස්‌ වතුර බෝතල, බිස්‌කට්‌ හා ආහාර ද්‍රව්‍ය බතලේගලට විනාශය රැගෙනවිත් තිබිණි.

වර්තමානයේදී සබරගමු පළාත් සභාව මගින් බතලේගල ප්‍රදේශය සංචාරක කලාපයක්‌ ලෙස නම්කර යටිතල පහසුකම් සංවර්ධන කර ඇත. එනිසා එහි සංචාරක ආගමනය වැඩි වී ඇත. ඇතැම් පරිසර සංවිධාන එහි සංරක්‍ෂණය වෙනුවෙන් කටයුතු කරනු දැකගත හැකි විය.

මෙවන් කී, නොකී බොහෝ කරුණු කාරණා මැද බතලේගල චාරිකාව අපි අවසන් කළේ තවත් මිහිරි ආශ්වාදයක්‌ මෙන්ම නැවුම් අත්දැකීමක්‌ ද හද තුළ රුවාගෙනය. බතලේගල, අවට ගම්වාසීන්ට යෝධ පවුරකි. මහ අභිමානයකි. රාජ රාජ මහාමාත්‍යවාදීන්ගේ පවා පය ගැටුණු සංස්‌කෘතික උරුමයකි. හුදකලාව තුරුලු කරගත් පාරම්පරික ගැමියාගේ ගෞරවයට පාත්‍ර වූ සිද්ධස්‌ථානයක්‌ වැනි වූ බතලේගල ගැමියාගේ කලාකාමී හැඟීම් අවදි කළ සෞන්දර්යාත්මක පෙරමග සලකුණකි. ඒ බවට ජනකවියා ගෙතූ මෙවන් කාව්‍ය සංකල්පනාවක මතකය අවදි කරමින් අපි සුන්දර, එහෙත් අපූර්වූද බතලේගලින් මෙසේ බැස යන්නෙමු.

අලට කන්න බැරි අලගල්ලේ කන්ද

බතට කන්න බැරි බතලේගල කන්ද

හූනට කන්න බැරි හුන්නස්‌ගිරි කන්ද

මේ කඳු තුනට නායක සමනල කන්ද

(අතිරේක තොරතුරු
ගරුමුණි තිලකරත්න
අරණායක දිවයින මාධ්‍යවේදී)

චාරිකා සටහන
ජගත් කණහැරආරච්චි
ඡායාරූප
වාසල සේනාරත්න

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.