හන්තාන නින්නාද



පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංගමයේ සහෘදයෝ ලබන 29 වනදා (2013.05.29) එකල ඔවුන්ගේ සංස්‌කෘතික හා සෞන්දර්ය විජිතය බවට පත්ව තිබූ රමණීය පේරාදෙණි නිම්නය වෙත එළඹීමේ අභිලාශයෙන් ප්‍රමුදිතව සිටිති. හන්තාන කඳු වලල්ලටත් මහවැලි ගං තීරයටත් මැදි වූ ඒ ප්‍රේමණීය භූමිය තුළ ඔවුන්ගේ භද්‍ර යෞවනයෙහි සොඳුරු මතකයන් තවමත් පාවෙමින් තිබෙන බව ඔව්හු දනිති. වසන්ත මල් උයනක්‌ බඳු පේරාදෙණිය සරසවි පරිශ්‍රය තුළ එකල ඔවුන් විසින් විඳින ලද සුඛ දුක්‌ඛ වේදනාවන් කොතරම්ද?

ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල සංස්‌කෘතියේ සුවිශිෂ්ට වූද අභියෝගාත්මක වුද සංස්‌කෘතික කලා නිර්මාණ ඉතිහාසයක සාක්‌ෂිකරුවන් මෙන්ම උරුමක්‌කාරයින් ලෙසද සපැමිණෙන ඔව්හු ඉන් දොaතක්‌ වත්මන් සහෘද පරපුර වෙත පිරිනැමීමේ අපේක්‍ෂාවෙන් ද පසු වෙති "හන්තාන නින්නාද ලෙස නාම ගන්වා ඔවුන් වෙත පිදෙන්නේ ඒ සාඩම්බර අතීතයේ මධුර සටහන් බිඳකි. එකල පේරාදෙණි සරසවිය කේන්ද්‍ර කර ගනිමින් ගලා ගිය සාහිත්‍ය නාට්‍ය කලා ධාරාව පිළිබඳ කෙබඳු විවේචන සිදු වුවද මේ රටේ සාහිත්‍ය නාට්‍ය කලා අක්‌මුල් සොයා යන කිසිවෙකුට එයට උඩින් පැන හෝ එදෙස නොබලා හෝ යා හැකි යෑයි මම නොසිතමි.

සාහිත්‍ය කලා විවේකයන්ට අදත් පේරාදෙණි සාහිත්‍ය හොඳ මුව නමකි. එහෙත් ඒ සාහිත්‍ය කලා මෙහෙවර පිළිබඳව තවමත් නිසි අගැයීමක්‌ සිදුව තිබේදැයි මට නම් සැකයකි. පේරාදෙණි සාහිත්‍ය කලා අඹරෙහි චන්ද්‍ර සූර්ය බඳුව සිටියාහු මහාචාර්ය සරසච්චන්ද්‍රයෝය. ඔවුන්ගේ සාහිත්‍ය කලා සේවාවෙහි ඒක දේශයක්‌ ලෙස සමභාවනාවට පාත්‍ර වු නාට්‍ය කලාව පිළිබඳ අපූර්ව ධාරණාවන් මෙකී හත්තාන නින්නාද තුළ ගැබ් වෙයි.

"හන්තාන නින්නාද" ආරම්භ වන්නේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය චාරිකාවේ සමාරම්භය වූ අපරදිග ඉංග්‍රීසි නාට්‍යයේ දෘශ්‍ය රූප සමගිනි. ගොගොල්, මොලියර් වැනි නාට්‍යකරුවන්ගේ හාසොHdත්පාදක නාට්‍ය සිංහල වේදිකාවට උචිත ලෙස ඉදිරිපත් කළ සරච්චන්ද්‍රයෝ පසුව අපරදිග රංග ශෛලීH අතහැර මෙරට ජන විඤCදානය තුළ කි බැස තිබුණු කෝලම්, සොකරි, නාඩගම් රංග්‍ර ක්‍රම සමග දේශීය නාට්‍ය සම්ප්‍රදායක්‌ ගොඩ නංවා ගැනීමට දුෂ්කර ක්‍රියා ආරම්භ කරති. එහි අනුබලය ලෙස මනමේ බිහිවෙයි.

මනමේ සිංහල නාට්‍ය කලාවේ පුනරුත්පත්තිය ලෙස විචාරකයෝ පෙන්වූහ. මනමේ අභිරංගයකැයි තවත් විචාරකයෝ කීහ. ස්‌ත්‍රිත්වය පිළිබඳ වූ ගර්හිත ආකල්පය බිඳ දමමින් සරච්චන්ද්‍රයන් විසින් දක්‌වන ලද මානව ගුණය, ස්‌ත්‍රිත්වය අගැයීම මනමේ නාඩගම සමග බද්ධවූ නෝමන් ගුණසිංහ වැනි පාරම්පරික කලාකරුවකුගේ දොම්නසට හේතු වූ වගද රහසක්‌ නොවේ. එහෙත් මනමේ තුළින් සරච්චන්ද්‍රයන් ලද ප්‍රහර්ෂය උත්කර්ෂයට නංවන ලද්දේ සිංහබාහු විසින් යෑයි මම සිතමි. මනමේ කුමරිය මෙන්ම ඉතිහාසය විසින් අවඥවෙන් සලකන ලද සුප්පා දේවිය දෙස අප දයාර්ද්‍රව බලන්නේද සිංහබාහු නිර්මාණය නිසාමය.

මහාවංශයේ මෙන්ම සියවස්‌ මල්දම නමැති කෘතියෙහිද සුප්පා දේවිය පස්‌කම් සැපතට ලොල් වූ රාගාධික ලියක්‌ සේ දක්‌වන්නීය. එහෙත් සිංහබාහු ඒ පටු සීමාවෙන් ඔබ්බට ගිය මානව සබඳතා ජාලයක්‌ අප අබියස දිග හරියි. සිංහයා මධ්‍යම පන්තික පියෙකි. සිය සුතනඹුවන් සමග ගේහසිත ප්‍රේමයෙන් කල් ගෙවන ඒ සිංහ ජීවිතය නොසිතූ ලෙස හිස්‌ මතට පතිතව දෙදරුම් දෙන විපතක්‌ ලෙස බිඳී යයි. හන්තාන නින්නාද තුළ ඒ කම්පිත ස්‌වරය අපට ඇසෙයි. ලෝ දහමින් වැදෙනා රළු පහරින් කම්පාවන ලියන්නේ තතු අප අබියස පාමින් සරච්චන්ද්‍රයෝ මනමේ හා සිංහබාහු සමග අපගේ ඥන මණ්‌ඩලයේ නිම්වළලු පෘථුල කරවති. ස්‌ත්‍රිය පිළිබඳව අපගේ මෙත්, මුදිතා සිත් දල්වති.

සිංහල නාට්‍ය කලාවට මෙවන් විශිෂ්ට සම්ප්‍රදානයන් කළ සරච්චන්ද්‍රයන් සෙවණෙහි වැඩුණු තවත් නාට්‍යකරුවන් කීප දෙනෙක්‌ම වූහ. සරච්චන්ද්‍රයන් විසින් දල්වන ලද නිර්මාණ පහන් සිල ඔවුන් බොහෝ දෙනෙකුගේ ගමන් මගට ආලෝකයක්‌ වූ බවද නිසැකය. ගුණසේන ගලප්පත්ති, දයානන්ද ගුණවර්ධන, බන්දුල ජයවර්ධන, සෝමලතා සුබසිංහ, කේ. බී. හේරත් ජයලත් මනෝරත්න මෙන්ම ගාමිණි හත්තෙට්‌ටුවේගම හා නාමෙල් වීරමුණිද ස්‌වකීය නිර්මාණ භූමිකාව විචිත්‍රව භාවිතා කළ අය වෙති. ඔවුන්ගේ ඒ අත්දැකීම් වලින් බිඳක්‌ද නින්නාද තුළ රැව් දෙයි.

ගාමිණි හත්තෙට්‌ටුවේගම වීදි නාට්‍ය සමග අප්‍රමාණ දුක්‌ අනුභව කළ අප්‍රමාණ කලාකරුවෙකි. දයානන්ද ගුණවර්ධන යොමු වුනේ ජන රංග සම්ප්‍රදාය වෙතටය. නරිබෑණා අතිශය සරල නිර්මාණයක්‌ වුවද එය ප්‍රබල උත්පප්‍රාසයක්‌ දනවන්නකි. ගජමන් පුවත දයානන්දගේ නිර්මාණ ලෝකයේ ගැඹුර හා විචිත්‍රත්වය පිළිබඳ නිදසුනකි. ජයලත් මනෝරත්නගේ ගුරුතරුව හා අන්දරේලාහි ජවනිකා හන්තාන නින්දානයට එක්‌ව ඇත.

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය නිර්මාණවලට දායක වෙමින්ද එකල පේරාදෙණිය සාහිත්‍ය භූමිකාවේ ප්‍රබල සෙන්පතියකු ලෙස වැජඹෙමින්ද සිටි ආචාර්ය සිරි ගුණසිංහයෝද නවකතාව, කවිය වැනි ඔවුන්ගේ නිර්මාණ භූමිකාවෙන් බැස සිංහල සිනමාව දෙසට හැරෙති. සිරිගුණසිංහයන්ගේ ඒ සිනමා සම්ප්‍රාප්තියෙහි අග්‍රඵලය සත් සමුදුර ලෙස සිනමාවට එක්‌විය.

සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය කලා ආධ්‍යාත්මය තුළින් සුපිෂ්පිතවූ දෙමළ නාට්‍ය කලාවේ මියුරු පල මෙරට බොහෝ රසිකයෝ නොදනිත්. එය වෙනම සාකච්ඡා කළ යුත්තකි. මහාචාර්ය සරච්චන්ද්‍ර සිසු පරපුරේ ප්‍රමුඛ මහාචාර්ය තිස්‌ස කාරියවසම් සූරීහු ඒ පිළිබඳවහන්තාන නින්නාද රංග පත්‍රිකාවේ අගනා සටහනක්‌ තබති. මෙම හන්තාන නින්නාද තුළට මහාචාර්ය මවුන්ගුරුගේ මතක සටහන් ද එක්‌කර ඇත.

හන්තාන නින්නාද ලෙස එලි දැකීමට නියමිත මෙම ශ්‍රව්‍ය ද්‍රDෂ්‍ය තැටිය (DඪD) කිසිසේත් පේරාදෙණි සරසවි නිමින්නයේ මුළු දුන් රංගනකලා සෞන්දර්යේ සියලු තතු ඉදිරිපත් කෙරෙන නිර්මාණයක්‌ ලෙස දැක්‌වීමට මම වෑයම් නොකරමි. එහෙත් එහි හරයද විචිත්‍රත්වයද සමග අප තුළ නැවුම් මතක සටහන් රැසක්‌ එමගින් පිබිදෙන බවද සඳහන් කළ යුතුය. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ අසමාන්‍ය රංග කලා පෙලහරෙහි මතු ඇට තවත් බෙහෙවි. අදත් ඒ මිණිමුතුහර විසිරී යා නොදී දැයට පිරිනමන්නී සරච්චන්ද්‍රයන් පියඹ ලලිතා සරච්චන්ද්‍ර මැතිනිය බවද මෙහිලා සඳහන් කළ යුතුය.

කෙසේ හෝ නූතන සමාජ, දේශපාලන පඹගාල් තුළ කලා නිර්මාණ ක්‍ෂෙත්‍රවලද නොයෙක්‌ පසුබැසීම් තිබෙන අයුරු කව්රුත් දනිති. සරච්චන්ද්‍රයන් දිවමන්ව සිටියදී ඔව්හු ද අනේකවිධ දේශපාලන කුණාටුවලට ගොදුරු වූහ. එහෙත් කිසිවෙකුට සරච්චන්ද්‍රයන් දැල්වූ ඒ සෞන්දර්ය කලා පහන නිවා දැමිය නොහැකි විය.

සංස්‌කෘතික ඇමැති ටී. බී. ඒකනායකයන්ගේ පුරොගාමිත්වයෙන් සංවිධානය කෙරෙන සරච්චන්ද්‍ර ජන්ම සිය වස තුළ ඔවුන්ගේ ඒ කලා මෙහෙවර අගැයීමේ සැලැස්‌මකට මහින්ද රාපක්‌ෂ ජනාධිපති පෞද්ගලිකව මැදිහත්ව ද සිටියි. සරච්චන්ද්‍රයන්ට පිරිනැමිය හැකි ඊටත් වඩා බුහුමනක්‌ ඇද්ද? පේරාදෙණිය කේන්ද්‍ර කරගනිමින් දස දෙස ගලා ගිය ඒ සාහිත්‍ය කලාධාරාව අද වියෑකී ගොසින් ඇති බවද සැබෑවකි. එහෙත් එහි සියලු සාධනීය ගුණ යළි ජාතියේ මතු පරපුර සඳහා සුරැකීම අප සැමගේ ජාතික වගකීමක්‌ බවද මට හැඟෙයි. පේරාදෙණි සාහිත්‍ය යන්න ඇසෙන විටම දණ්‌ඩෙන් පහර ලත් නාගයන්සේ කුපිත වන්නෝද සිටිති. එහෙත් පේරාදෙණියෙන් බිහිව සාහිත්‍ය, කලා සමාජයට එක්‌වූ අය අතරද ඒවා දෙස මැදහත්වද විචාරශීලිවද බලන විද්වත්හු සිටිති. පේරාදෙණි ගුරුකුලය ගැන ගද්‍රභ ඝෝෂා කිරීමට වඩා එහි සාධනීය ප්‍රතිඵල දෙස බැලීම වඩා වැදගත් නොවේද?

පේරාදෙණි සරසවි නිම්නය දිදුලවමින් එකල ගලා ගිය ඒ සෞන්දර්ය කලා සිහිල් ගගුලෙහි සිසිලස විඳිමින් බිහිවූ සරච්චන්ද්‍ර ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරේ ප්‍රබලයෝ කීප දෙනෙක්‌ හෝ අදත් සිටිති. ඔවුහු නිසැකයෙන්ම මනරම් පේරාදෙණි සරසවියේ කුසුම් සමයෙහි ඒ මහඟු සාහිත්‍ය, කලා, විචාර, සෞන්දර්ය ආශ්වාදය කළාහු වෙති. සරච්චන්ද්‍රයන් ඒ තුංග සරසවි උයනෙහි වනස්‌පතිය ලෙස දුන් සෙවණ යට අප බොහෝ දෙනෙකුගේ යොවුන් වසන්තයද සුපිපුණි.

අද ඒ බොහෝ දෙනෙක්‌ සිය ජීවිත සඳෑ වෙරළට එළඹ ඒ අතීත සැමරුම් හුදෙකලාව විඳින්නෝය. එදා වසන්ත පියවිලි ඔස්‌සේ පේරාදෙණි සරසවි නිම්නයට පිවිසි අප සැමගේ ජීවිත කුසුම් එහි නිර්මාණ කලා හා ශාස්‌ත්‍රීය සුගන්ධයෙන් විකසිත වූ අයුරුද විස්‌මිතය.

තතු මෙසේ හෙයින් පේරාදෙණි සරසවි විද්‍යාර්ථීන්ට සිය සෞන්දර්ය පීතෘවරයාණන් වූ සරච්චන්ද්‍රයන් පාමුල හද බැති මල් පොකුරු තබන්ට ඇතිවන කෘතවේදී හැඟීම අගය කළ යුතුමය. හන්තාන නින්නාද තුළ රැව් දෙන්නේ ඒ අබිමානයේද සෞන්දර්යේද රිද්මය මිස අන් දෙයක්‌ නොවේ.

සරච්චන්ද්‍රයන්ගේ කලා මෙහෙවරට මෙන්ම ඔවුන් හා ප්‍රිය සමාගමට රිසි වූ අය ස්‌වල්ප දෙනෙක්‌ හෝ අදත් ශාස්‌ත්‍රීය සෞන්දර්ය කලා ලොව තුළ සුදිලෙති. කේ. එන්. ඕ. ධර්මදාස, ඡේ. බී. දිසානායක, තිස්‌ස කාරියවසම්, විමල් දිසානායක ආදී මහාචාර්යවරුන් ද ආචාර්ය සරත් අමුණුගම, ලයනල් ප්‍රනාන්දු, ආදී වූ රාජ්‍ය සේවයෙහි ප්‍රබලයින්ද මෙහිදී මගේ සිහියට එයි. තවත් අය සිටිති. ශාස්‌ත්‍රීය වාද විවාද වලදී මේ බොහෝ දෙනෙකු ඉලක්‌කර ගනිමින් එල්ල කෙරෙන ප්‍රහාරද බෙහෝය. එහෙත් ඒ පුස්‌ වෙඩිලි වලින් කේ. එන්. ඕ.ලා හෝ ඡේ.බී.ලා බිම දැමිය නොහැකි විය.

මෙහිදී මෑතකදී අපෙන් සමුගත් මහාචාර්ය සුචරිත ගම්ලතුන්ගේ නමද සටහන් කළ යුතුය. සරච්චන්ද්‍රයෝ මෙලක බිහිවූ අසමසම කවියානෝ යෑයි ගම්ලතුන් නැගූ සිංහනාදය මා තුළ රැව් දෙයි.

අද සාහිත්‍ය කලා ලොවද විශ්වවිද්‍යාලද පෙරදා අපට හුරු වූ වාද විවාද සංවාද වලින්ද වියෝ වෙමින් තිබේ. බොහෝ සරසවි සිසු මානවක මානවිකාවෝද අපේක්‌ෂා භංගත්වයට පත්ව සිටිති. ඒ සියල්ල දැන් කලක පටන් වැඩෙමින් තිබෙන සංස්‌කෘතික දරිද්‍රතාවහෙs නියත පලයක්‌ සේ දැක්‌විය හැකිය.

අපගේ සහෘදයකු මෙන්ම ප්‍රකට නාට්‍යවේදියකු වන කේ. බී. හේරත් හන්තාන නින්නාද ප්‍රසංගයට එක්‌ කළ රමණීය කවි පද හතරක්‌ මෙවේල් මහද තුළ නැගෙයි.

සඳ රැස්‌ කළඹක්‌ මෙන් මත රංගා

ගනඳුරු හරිමින් මිණිමුතු හංගා

මිතුර බලන් සකි මහවැලි ගංග

එතෙර පෙනෙයි සරසවි බිම තුංගා

කේ. බී. ටත් එකල සිටි බොහෝ දෙනෙකුටත් මේ යථාර්ථයට පිටුපෑමට නොහැකිය. එහෙත් අදත් ඒ සියල්ල එලෙසම තිබේද යන්නත් විමසිය යුත්තකි. සැබැවින්ම එදා පේරාදෙණිය පිළිබඳ මගේ ධාරණාවන්ද එබඳුමය. එහෙත් යළි පේරාදෙණි නිම්නයට එන විද්‍යාර්ථීන්ට ඒ අතීත ශ්‍රී විභූතිය එලෙසම දැක ගත හැකිද? කාලයාගේ කෙබඳු වෙනස්‌කම් සිදුවුවද පේරාදෙණිය, නොව පැරණිය වන රමණිය නිම්නයක්‌ ලෙස අපි විඳින්නෙමු. එදා සරසවි බිම වසා ගත් සනාතන මන්දිරය, පුස්‌තකාලය ඇතුළු ගොඩනැගිලි පෙළත්, පෙම්වතුන්ගේ මාවත හා අප ඇවිද ගිය වැලි මාවත් මෙන්ම අපට සෙවන දුන් සිසු නේවාසිකාගාර, අප පිනවූ එලිමහන් රඟහල නැතහොත් 'වල' මෙන්ම සැඳෑ අඳුරේ පෙම්වතුන් සමුගත් හාදු වංගුවද තවමත් එලෙසමය. අප හඳුනන දැවැන්ත රුක්‌ ද පළින් පල වෙයි.

මහවැලි නදී කොමළිය නිසලව ගලා ගිය සැඳෑ කාලයන්හි ප්‍රේමයෙන් මනරංජිතව පුෂ්පයෙන් අලංකාර වූ සරසවි බිම පටු මාවත් ඔස්‌සේ ඇවිද ගිය බොහෝ සුන්දර මතක සටහන්ද අපගේ සුසුම් ද ඒ සරසවි නිම්නයෙහි කොතැනක හෝ අදත් ඉතිරි වී තිබෙනු නිසැකය.

අද පේරාදෙණිය මතු නොව බොහෝ සරසවි පරිසරයන්හි මේ සොඳුරු පැතුම් සුපිපේයෑයි මම නොලියමි. එහෙත් ඒ සුන්දරත්වය යළි සරසවිය තුළට කැඳවා ගෙන ආ යුතු බව නම් ලිවිය යුතුය. අපගේ පරපුරට හා ඉන් පෙර පරපුරවල් විසින් අත්විඳින ලද සංස්‌කෘතික ආඪ්‍යත්වය ඒ සරසවිය කරා රැගෙන ආ යුතුය. සංස්‌කෘතිය යනු පරපුරෙන් පරපුට නවීනත්වය සමග ගලා එන ප්‍රවාහයකි. එහි ආනුභාවයෙන් පිබිදෙන යොවුන් සිත් ජාතියකට වුවමනාය.

හන්තාන නින්නාද ඒ හෘදයංගම අත්දැකීම් මාලාවෙන් බිඳක්‌ නූතන පරපුරේ මානවක මානවිකාවන් වෙත පිරිනැමීමට ගත් ප්‍රයත්නයක්‌ ලෙස මම දකිමි. නවීන තාක්‌ෂණයේ මෙන්ම සන්නිවේදනයේ විප්ලවීය වෙනස්‌කම් සමග උඩුයටිකුරු වූ සමාජ, දේශපාලන අත්දැකීම් සමඟ අපිදු තිගැස්‌සී නොසිටිමුද? එහෙත් පේරාදෙණි සරසවි නිම්නයට අපගේ හද තුළ දිදුලන ආදරයත් ඒ සොඳුරු ධාරණවත් සියල්ලත් කෙසේ සැඟවිය හැකිද?

මගේ මතකයට එන්නේ වරක්‌ බුදුන්වහන්සේ ආනන්ද හිමියන් සමග උන්වහන්සේගේ සිතට ප්‍රිය වූ වේසාලිය දෙසට හැරී කළ සුපහන් හැඟීමකි.

"ආනන්දය වේසාලිය රමණීයයි උදේන චෛත්‍ය රමණීයයි. ගෝතමක චෛත්‍ය රමණීයයි.. චාපාල චෛත්‍ය සිත් අලවයි''

සත්තකින්ම නන් දිසාවල කුටුම්බයන්හි සිරවී ජීවිත සැඳෑ වෙරළට ළංව එහි සක්‌මන් කරන අප බොහෝ දෙනෙකු තුළද මෙලෙසින්ම "පේරාදෙණිය රමණීයයි. සරසවි නිම්නය රමණීයයි. හන්තාන කඳුවැටිය රමණීයයි. මහවැලි නදිය රමණීයයි'' යනාදි ලෙසින් සුපහන් හැඟීම් ධාරාවන් පහළ විය නොහැකිද?

ගාසු

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.