මැදගම කඳු පාමුල ඓතිහාසික පිංබිම
නිකසලා නුවර පුරාණ විහාරය


ඡායාරූප සහ සටහන - බමුණාකොටුව නන්දන සිරි ශාන්ත කුමාර



කන්දේ මැදගම නිකසලා නුවර පුරාණ රාජමහා විහාර ස්‌ථානය පඬුවස්‌නුවර ඓතිහාසික පුරාවිද්‍යා භූමියට කිලෝ මීටර් 4 ක පමණ දුරකින් මැදගම කඳු පර්වතය පාමුල පිහිටා ඇති ඓතිහාසික වටිනාකමකින් යුත් පුරාණ විහාරස්‌ථානයකි.

වාරියපොල හලාවත මාර්ගයේ මැදගම හන්දියෙන් වමට හැරී සැතපුම් 04 ක්‌ පමණ දුරක්‌ පැමිණීමෙන් මෙම ඓතිහාසික පුද බිමට ළඟාවිය හැකිය.

දෙවනපෑතිස්‌ රජුගේ කාලයේදී යොදුනෙන් යොදුන ඉදිකරන ලද චෛත්‍යවලින් එක්‌ චෛත්‍යයක්‌ මේ ස්‌ථානයේ ඉදිකර ඇත. අදත් එම චෛත්‍යය දක්‌නට ඇති අතර චෛත්‍ය තුළ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කර ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

මෙම ස්‌ථානයට නුදුරුව කන්දේ බැමි 21 ක්‌ දක්‌නට ඇති අතර අද ගල්ගුහා ජරාවාස වී ඇත. එම ගල්ගුහාවල භික්‌ෂුන් වහන්සේලා වැඩ සිටි බවට විශ්වාසයක්‌ පවතී.

කන්දේ මැදගම නිකසලා නුවර පුරාණ රජමහා විහාරාධිපති දුනුකේවත්තේ චන්දානන්ද හිමියෝ විහාරස්‌ථානය ගැන මෙසේ පැවැසූහ.

මෙම විහාරස්‌ථානය නිකසලා යන්නෙන් හඳුන්වන්නේ කෙලෙස්‌ නැති කරන බවයි. පිරිසිදු ස්‌ථානයක්‌ නිසා මෙම ස්‌ථානයේ භික්‌ෂුන් වහන්සේ වැඩ වාසය කර ඇත. ඒ බව මෑතකදී මධ්‍යම සංස්‌තෘකි අරමුදල මෙහෙයවීමෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් කරන ලද කැනීම්වලින් භික්‌ෂුන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා ඉදිකර ඇති රෝහල් ගොඩනැඟිල්ලක්‌, පොකුණක්‌ සහ සංඝාවාස ගොඩනැඟිලි ඇතුළු භික්‌ෂුන් වහන්සේ ප්‍රයෝජනය සඳහා ඉදිකර ඇති වැසිකිළි ගල් හමුවී තිබෙනවා. මෙම ස්‌ථානය භික්‌ෂුන් වහන්සේ වැඩ සිටි භූමියක්‌ වශයෙන් හැඳින්විය හැකිවෙනවා.

'කුට්‌ටමාටම්බි' ඇමැතිවරයා විසින් ඉදිකරන ලද විහාර ගෙයක්‌ ඇති අතර එය අද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර ඇත.

චෛත්‍යය අසල සෙල්ලිපියක විහාරස්‌ථානයේ නඩත්තුව සහ මහා සංඝරත්නයට අවශ්‍ය දානය ලබාගැනීම සඳහා 'විකාදෙනවෙල' නමැති කුඹුර දෙවනපෑතිස්‌ රජු විසින් මෙම විහාරස්‌ථානයේ විසූ භික්‌ෂුන් වහන්සේලා වෙනුවෙන් පූජාකර ඇති බව එහි සඳහන් වේ.

විහාරයට නුදුරුව කන්දේ ඇති විහාර මන්දිරය වළගම්බා රජු විසින් ඉදිකර ඇත. මෙහි ඇති මහනුවර යුගයේ චිත්‍ර සහ බිතු සිතුවම් විනාශවෙමින් තිබී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තහවුරුකර තිබේ.

කඳු මුදුනේ ඇති විහාර මන්දිරයට යැම සඳහා තිබූ පඩිපෙළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සකස්‌කර ඇති අතර මැදගම කන්ද මුදුනේ පුරාවිද්‍යාත්මක වටිනාකමක්‌ ඇති නටඹුන් හමුවී ඇත. එයින් ජනප්‍රවාදයේ විශේෂ තැනක්‌ ගන්නේ නටඹුන්ව පවතින චෛත්‍යයකි. එය විජය රජුගේ සොහොන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන ඇති අතර එය අද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්‌ෂණය කර තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.