දඬුවම (කෙටිකතාව)

දැඟලිය නොහැකි ලෙස දෙදෙනා විසින් සුප්පන්ගේ දෙපසින් සිට දෙඋරෙන් අල්ලා සිටිනු ලබද්දී තවත් දෙදෙනකු ඔහුගේ අත්දෙක පිටුපසට කොට ලණුවකින් බැඳ දැමූහ.

වේදනාව ඉවසාගත නොහී හෙතෙම මුනින් අතට බිම ඇද වැටුණේය. අමනයකු අල්ලා ගැනීමට දෙදෙනකු ප්‍රමාණවත්ය. එහෙත්..... මෙහි දස දෙනකුට වැඩි පිරිසක්‌ පොලු, මුගුරු අතැතිව සූදානම්ව සිටියෝය.

''කඩුල්ලෙන් එපිට ඉඳන් අත පාන එකා ගෙදර ඉන්න ගෑනු ඉල්ලනවා.... හ්ම් ගෑනු...තුඃ''

සුප්පන්ගේ මුහුණට කාරා කෙළ ගැසූ ලොකු කංකානම, හැඳ සිටි කළු කෝට්‌ එකෙහි ඇතුළු සාක්‌කුවේ දම්වැලක එල්ලෙන ඔරලෝසුව අතට ගෙන වෙලාව බැලුවේය. ''හ්ම්...... වෙලාව හතරහමාරයි....''

ලැයිම් පේළිය ඉදිරිපිට ගල් ඇල්ලූ පොදු මිදුලට යාර දහයක්‌ පහලොවක්‌ පමණ ඈතින් වර්ග අඩි හතරක සිමෙන්ති බැම්මකි. හරි හතරැස්‌ ගොඩැල්ලක්‌ බඳු එහි මැද ත්‍රිකෝණාකාරව සිට වූ ගලකි. ඒ ගණ දෙවිඳුය. ඇඟිලි තුනකින් හරහර ඇඳි විභූති (හෝම අළු) මැද තැබූ සඳුන් කුංකම තිලකය හොඳින් දිස්‌වේ. ගණ දෙවිඳුට පිටුපසින් ගොඩැල්ලේ සිටු වූ ත්‍රිශූලයක්‌ ද ඇත. සඳුන් තිලක සලකුණු ත්‍රිශූලයේදී ගෙලෙහි බැඳි පාට සේදුණු කහරෙදි සුළඟේ ළෙල දෙමින් තිබිණි. ත්‍රිශූලයෙහි උල් තුනෙහි ගැසූ දෙහි ගෙඩිවලින් ගැලූ දෙහි ඇඹුල් ඉස්‌ම කුංකුම මත තැවරී රත් පැහැයෙන් වැක්‌කෙරී එල්ලෙමින් තිබිණි. මේ නිකම්ම ගොඩැල්ල කෝවිලයි. අව්වට වේළීම ද වැස්‌සට තෙමීමද ගණ දෙවිඳුට හුරුවූ ජීවිතයකි. වතුයායේ මිනිසුන් විසින් මෙහි කිනම් හෝ මොහොතක පොල් ගෙඩියක්‌ ගසයි. උත්සව දවසකදී කවුරුන් විසින් හෝ පූජාව ද පවත්වනු ලබයි. නොවැම්බරයේ පැවැත්වෙන කාර්තිකෛ දීපම් පූජාවේ දී කපුරු පත්තු කෙරේ. ගණ දෙවිඳු ඉදිරියේ මෙය නොවරදවාම වාර්ෂිකව පවත්වාගෙන එයි. දෙවි ගොඩැල්ලට මඳක්‌ එපිටින් වාඩිවී සිටීමට හැකි පරිදි කළුගල් සූරිය ගසක්‌ මුල එක්‌කොට තබා සාදා ඇත. සූරිය ගසෙහි අතු නැගෙනහිර දෙසට විහිදී ඇත.

''තව පැය බාගයක්‌ තියෙනවා.'' ගිනි මැලයෙන් තප්පුව රත් කරමින් සිටි සීරංගන්ට ඇසෙන සේ පැවසූ ලොකු කංකානම, වාඩිවී සිටි ගල් ගොඩැල්ලෙන් ගැඟිට්‌ටේය.

වතුර පිරි මැටි කළයක්‌ සුප්පන්ගේ හිසට වත් කළ එකෙක්‌, ''මොකද වෙවුලන්නේ'' සීතලද කම්බිලියක්‌ ගෙනැත් දෙන්ඩ ද මහත්තයට පොරව ගන්ඩ'' යෑයි ඇසුවේය.

වේට්‌ටිය පමණක්‌ හැඳ සිටි සුප්පන් සීතලේ වෙවුලමින් සිටියේය.

රෙදි කඩක දවටාගෙන සිටි දැලි පිහිය අතට ගෙන අනෙක්‌ අතේ අල්ලෙහි දෙපසට හරවමින් ඇතිල්ලූ ආවඩෙයප්පන් බාබර්, සුප්පන්ගේ හිස බූ ගෑමට පටන් ගත්තේය. කහ හිරු කිරණ ඔහුගේ හිසෙහි පතිත වී දිලිසෙන්නට විය.

''ගහපිය තප්පුව·'' ලොකු කංකානම රිදී විල්ලක්‌ දැමූ කළුවර බස්‌තම දකුණතින් අල්ලාගෙන වමතින් උඩු රැවුල ඇඹරුවේය.

තප්පු හඬ නැඟෙත්ම සුප්පන් කෙළින් කර අල්ලා ගනු ලැබීය. ලැයිං කාමරවල සිට පැමිණ සෙනග රැස්‌ වූහ.

''ඔය බවලත් ඇත්තෝ මෙහාට වරෙල්ලා· උඹලගේ මුත්‍රා මේකාගේ කටට වත්කර පල්ලා· අනුන්ගේ ගෑනු තමයිලු මූට ඕනෑ.'' ලොකු කංකානම ගර්ජනා කරද්දී සූදානම් කරගෙන සිටි එළවරා මල්මාලය සුප්පන්ගේ ගෙලට දැමූ අයෙක්‌, ඔහුගේ කම්මුල ඇතැඟිලිවලින් අඹරා ලොකු කංකානම දෙස බැලුවේය.

තප්පු ගැසීම නතර කළ සීරංගන්, දකුණු උරයේ එල්ලාගෙන සිටි තප්පුව දරුවකු මෙන් අල්ලාගෙන තප්පු ගැසූ කෝටුව අල්ලාගෙන දකුණත ඉහළට ඔසවා, ''වත්තේ ජනයිනි මේ අසාපල්ලා· මේ සිටින කෝවිල් ලැයිමේ සුප්පන්... ගල්කටුවක්‌ වගේ........ මේකා අපේ මුණියාන්ඩි කංකානමගේ බාරියාව තනියම ඉන්න වෙලාවක්‌ බලලා ඒ ඇත්තිව දූෂණය කරලා අවමානයට පත් කරපු නිසා, අපේ ගමේ සිරිතට කොණ්‌ඩේ බූ ගාලා පෙරහැරෙන් එක්‌කගෙන යනවා...' යෑයි චෝදනාව ප්‍රකාශයට පත් කළේය. ඔහුගේ තප්පු ගැසීම නැවත ආරම්භ විය. ලොකු කංකානම ඔහුට උදේම රා බෝතල් දෙකක්‌ බීමට මුදල් දී තිබිණි.

''සුප්පන් එහෙම දෙයක්‌ කෙරුවද? මේ ප්‍රශ්නය රැස්‌ව සිටි බොහෝ දෙනෙකුට ඇතිවී තිබිණි.

''ගමේ'' හිටියා නම් මේකගේ ඇඟ පුරාම කළුපාට රතුපාට තිත් තියලා බූරුවෙක්‌ පිටේ නග්ගලා තමයි පෙරහැරේ ගෙනියන්නේ. හ්ම් හ්ම් යමං''

සුප්පන් හැඳ සිටි තෙත වේට්‌ටිය ගලවා වීසි කෙරිණි. ඉතිරි වූයේ අමුඩය පමණි.

''මං නොකරපු වැරැද්දකට මට මෙහෙම වධ දෙනව නේ..... අනේ දෙයියනේ ඔබ වහන්සේට ඇස්‌ නැද්ද? සුප්පන්. දෑසට නැඟෙන කඳුළු පිස දමමින් අවට රැස්‌ව සිටියවුන් දෙස නිහඬව බැලුවේය.

සීරංගන් තප්පුව ගසමින් ඉදිරියෙන් යද්දී ''හ්ම්..... යමාං'' යෑයි පවසමින් අයෙක්‌ පිටුපසින් තල්ලු කරද්දී සුප්පන් නිහඬව ඇවිද ගියේය. ඔවුන් පසු පසින් ලොකු කංකානම සමඟ දහ දොළොස්‌ දෙනෙක්‌ පෙරහැරේ ගමන් ගත්හ. තප්පුවේ හඬ කඳුවල වැදී දෝංකාර හඬ නැංවීය.

සුප්පන් නොහොත් සුප්පයියාට... තමිල්නාඩුව, සේලම්, ආත්තූර් දාලුකා, සෙංගවල්ලි ගම, ආනියම්පට්‌ටි තැපැල් කාර්යාලය, භාරකරු මාරියායි යන ලිපිනයෙන් ලිපි ලැබී තිබිණි. ඔහුට ගමේ විස්‌තර දැන ගැනීමේ ආශාවක්‌ ඇති විය. වරෙක දුවමින් ද සෙමෙන් ගමනින්ද ගොස්‌ ඔහු ලොකු කංකානම්ගේ නිවෙස ඉදිරිපිට නතර විය. වත්තේ සිටිනවුන්ගෙන් හතරෙන් තුනකටත් වැඩි දෙනෙක්‌ අත්සන වෙනුවට ඇඟිලි සලකුණ තබන්නෝ වෙති.

පිටුපසින් තටු විහිදා ගත්තාක්‌ වැනිව ඉන දක්‌වා එල්ලී සුළඟේ ළෙලදෙන තෙත කොණ්‌ඩය අතින් ගසා දමමින් ගල් ලයිසන් කළ මිදුලේ පඩිය මත, තාමරෙයිවල්ලි වතුයායේ ලොකු කංකානම වූ කරුංගවේල් වාඩි වී සිටියේය. උණු වතුර නෑමත් සැඳෑ කහ හිරු රැස්‌ තැපීමත් ඔහුගේ දෛනික සුඛයන් වේ. ලොකු භාජනයක්‌ තබා වසා තිබුණ ගලින් බැඳි ළිපෙහි දර තෙමී දුම් අවට පැතිරෙන්නට විය.

සුප්පන් බයාදු ලෙස දොaතින්ම දිගු කළ ලිපිය අතට ගත් ලොකු කංකානම ''ගමෙන් ලියුමක්‌ ඇවිල්ලා වගේ අන්න අර පඩික්‌කම මෙහාට ගනිං.''

ඔහු ලිපිය දිග හැර අකුරු එකින් එක එකතු කර තාලයට කියවයි. ''ශ්‍රී මහාරාජ............ මගේ ඇහැටත් වඩා වටිනා පුතා සුප්පයියාට අම්මා මාරියායි ලියන ලියුමයි.... ගමේ මාත් අපේ හිතවතුනුත් සුවෙමු. නුඹ සුවෙන් හිටින්න ගම්බාර පේච්චියම්මන්ටත් මරුදවීරන්ටත් රෑත් දවාලුත් වන්දනා කරනවා. නුඹ ගමට ආ හැටියේ ම මරුදවීරන්ට එළුවෙක්‌ කපා බත් උයා පූජා කරනවා කියා බාරයක්‌ වුණෙමි.'' උගුර පාදා කාරා කෙළ ගැසූ ලොකු කංකානම ඉන්දියාවේ ඉගැන්නිල්ල තමයි බං අකුරු කියන්නේ අකුරුම තමයි බං...'' යෑයි පැවසුවේය.

වත්තේ කම්කරුවන්ට එන ලිපි සියල්ලම කාර්යාලයේදී ලොකු කංකානමට භාර දෙනු ලැබේ. ඒවා සිය නිවසට ගෙනැවිත් සීරුවෙන්ව ගලවා කියවා බලා, බත් ඇට පොඩිකර අලවා අදාළ අයට භාරදීම මොහුගේ සිරිතකි. මේ නිසා දෙවැනි වර ඒ ලිපි කියෑවීමේදී අකුරු එකතු කොට කියෑවීමේ අපහසුව අඩුවේ.

තාලය යළි ආරම්භ වෙයි....... තව දුරටත් පහළ වීදියේ මරුදමුත්තු අත නුඹ එවූ රුපියල් විස්‌ස ලැබුණා. උඹගේ නැන්දාගේ දුව පොන්නි කොටහළු වුණ සිරිතට කප්රුක හිටවන්න ඕනේ නුඹයි. නුඹගේ පුqංචි අම්මාගේ පුතා එක්‌කගෙන ගෙහුං ඒ කටයුතු කෙරුවෙමි. අපේ පංගුවට අපි බත් උයා දුන්නෙමි. මාර්තු මාසයේ පාළොස්‌වැනිදාට වතුර නාවන්න යොදා ගෙන තිබේ. කංකානම් මහත්තයාට කියලා උඹ වහාම ඇවිත් පොන්නිව කසාද බැඳගෙන ලංකාවට එක්‌කරගෙන යන්න. පුතා කවදාද දකින්නේ කියා ආසාවෙන් ඉන්නේ. නුඹ මගේ ඇස්‌ දෙකේ ඉන්නේ. තවත් කාරණයක්‌ තියෙනවා. හමුදාවේ ඉන්න උඹගේ බාප්පා රෙංගන්, යුද්දෙට ගිහිල්ලා මැරුණා කියා ලියුමක්‌ ලැබුණා. රෙංගන්ට වචනෙ දීලා හිටිය මරුදායි කෙල්ල මාස දෙකකට ඉස්‌සෙල්ලා ඒකිගෙ මස්‌සිනා පලනියප්පන් එක්‌ක පුනාච්චි කන්ද පැත්තට පැනලා ගියා. තාමත් ගමට මාස හයක්‌ වැස්‌සේ නැහැ. වගාකරන්න බැරුව ඉන්නවා. අපි ළඟ හිටිය එකම හරකත් කන්න නැතුව මැරිල ගියා. ගෙයි වහළයට පිදුරු සෙවිල්ලන්න ඕනෑ. බිත්තිවලට හුණු ගාන්න ඕනෑ.''

මවගේ ලිපියෙහි විස්‌තර වලින් සුප්පයියාගේ සිත වෙනතක දිව ගියේය. කලින්ම මේවා හිතලා සල්ලි එක්‌කාසු කරලා තියපු එක හොඳට ගියා. නැන්දාගේ දුව හොඳ රතු පාටය. ඇය බාල කාලයේදී දිග සාය ඇඳගෙන තමා සමඟ හරකුන්ට තණ කැවීමට දක්‌කාගෙන පැමිණි අන්දම ද දැන් ඇය සාරියක්‌ හැඳ සුන්දරව සිටිනු ඇතැයි ද දරාගත් සිහින බිම තබන දිනය බලාපොරොත්තු ව සිටි සුප්පයියා, ක්‍ෂණයකින් ගමට ගොස්‌ ආපසු පැමිණියේය.

ඔහු මාසයේ වැටුප ගත් විගස රුපියල් 10 ක්‌ ලොකු කංකානමට දෙයි. වසර හතරක්‌ තිස්‌සේ මෙය සිදුවෙමින් පැවතියේය. ගමට යෑවීමට ගත් මුදල් අඩුවූ පසු තව රුපියල් තුන්සියයක්‌ වත් ඉතිරිවී තිබිය යුතුය. අම්මාට සාරියක්‌ පොන්නිට සාරි, හැට්‌ට..... ඔහුට වේට්‌ටියක්‌, කමිසයක්‌ ඉතිරි මුදල මඟුල් වියදමට.

''මොකද කතාවක්‌ නැතුව උඹ බුම්මගෙන ඉන්නේ?''

''ගමට යන්න ඕනෙ''

''අප්පට බොල, මේ බලාපල්ලා.... මේකාට කසාද බඳින්න ආසාවක්‌ ඇතිවෙලා වගේ.''

''අම්මා එන්න කියලා ලිවුමේ ලියලා තියෙනව නේ.''

''ඇයි බං සුප්පා නිකරුණේ වියදං කරන්නේ? වැඩ රාජකාරි අල්ලලා දාලා ගමට යනවා කියන්නේ? ජුලි මාසෙ තේරු උත්සවයට මං ගමට යනවා. ආපහු එනකොට උඹගේ නැන්දගෙ දුව එක්‌කරගෙන ඇවිදිල්ලා. මෙහේදීම උඹේ මංගල්ලෙ කරන්නම්. ගිය වතාවේ මං ගමට ගියාම සෙගප්පි කෙල්ල එක්‌කගෙන ඇවිල්ලා මුනියාණ්‌ඩිට කසාද බැන්දුවා. අන්න ඒ වගේ කරපුවම ඇති බං.''

''කංකානම් මහත්තයාගෙ කතාව ඉහටත් උඩිං, මං හරහට කතා කරනවා එහෙම නෙමෙයි. අම්මා මගේ ඇස්‌ දෙකෙන් දකින්න ආසයි.''

''අම්මද එහෙම නැත්තං නැන්දගෙ දුවද.?''

''ගමට ගිහිල්ලා එන්ඩ. ලොකු මහත්තයට කියලා වත්තෙ ගානෙ ටිකට්‌ අරන් දෙන්න ඕනෙ කංකානම් මහත්තයා තමයි. ඒත් එක්‌කම කංකානම් මහත්තයට මං එක්‌කාසු කරලා තියන්ඩ දීපු සල්ලිත් දුන්නොත්...''

''කොහෙද යකෝ මහ ලොකු සල්ලියක්‌ තියන්නේ? හිටපං හිටපං. ගණං බලමු.'' ලොකු කංකානම නිවස ඇතුළට ගියේය.

සුප්පයියා, බිත්තියේ වීදුරු යෙදූ රාමුවලින් එල්ලා තිබූ පිංතූර දෙස බැලුවේය. මුලින්ම මහත්මා ගාන්ධිය. ඊළඟට සුභාෂ් චන්ද්‍රබෝස්‌. කෙළවරෙහි ජවහර්ලාල් නේරුය. බිත්තියේ ලෑලි කෑල්ලක ගසා සවිකර ඇති මුව අං තට්‌ටුවකි. එහි පැත්තකින් එල්ලා ඇති කසයකි. එය ''නොහොබිනා වැඩ කරනවුන්'' කණුවක බැඳ දමා හම ගැසීමට, ''හතර පහක්‌ ගසා යහ මඟට හරවා මිනිසෙක්‌ කිරීමට''ලොකු කංකානමට උපකාරී වන උපකරණයකි. අං තට්‌ටුවේ තවත් අඟක එල්ලූ කළු කෝට්‌ එකකි.

ගණන් පොත් රැගෙන පුටුවේ වාඩිවූ ලොකු කංකානම, පොත්වල සටහන් පෙරළා අකුරු එකතු කොට තාලයට ඇද පැද, ''කරුප්පන්..... මුත්තන්.... වෙසනාණ්‌ඩි...... පළනි.. වීරායි....වෙල්ලච්චි.... ඔඩෙයානි.... කුරුපච්චි... කුප්පච්චි ....සුප්පන්.... හරි මේ තියෙන්නේ අහගනිං...... සුප්පා උඹගේ ගණන්වලින් රුපියල් හැටක්‌ ඉතුරුව තියෙනවා.''

ඔළුවට කළුවර බස්‌තමෙන් පහර දුන්නාක්‌ මෙන් සුප්පන්ට දැනුණි.

තප්පුවේ හඬ විලාපයක්‌ මෙන් පැතිරෙමින් පෙරහැර ගමන් කරයි. පහළ කොටසේ ලැයිං කාමර පෙළ මිදුලෙහි පිරිමි ගැහැනු හා ළමයි රැස්‌ව සිටියහ. පීඩිත ස්‌වරූපය, භීතිය මුසු මුහුණු ඔවුන් වෙතින් දක්‌නට ලැබිණි. පෙරහැර නතර විය. තප්පු ගැසීම නතර කළ සීරංගන් තප්පුවට ගසන කෝටුව ඉහළට එසැවීය.

''වතු ජනයිනි අසත්වා· මේ විලි ලැඡ්ජා නැති අවලමා....... සුප්පන්.....මුණියාන්ඩි පොඩි කංකානම් මහත්තයාගේ බාරියාව තනියම ඉන්න වෙලාවේ බලහත්කාරයනේ දූෂණය කරලා නින්දා කරපු නිසා. අපේ ගමේ සිරිතට හිස බූ ගාලා....'' යනුවෙන් ඔහු චෝදනාව පැවසීය. නිහඬව රැස්‌ව සිටියවුන් පසු කර පෙරහැර ඉදිරියට යයි.

''ඇයි දෙයියනේ ඉතුරුවෙලා තියෙන්නේ රුපියල් හැටක්‌ විතරද? විස්‌මයෙන් පියවි තත්ත්වයට පැමිණි සුප්පන් ඇසුවේය.

''ඇයි යකෝ .... මං බොරු ගණන් කියනවද? මොකෝ උඹේ සල්ලි අරගෙන ගිහිල්ලා මං ගමේ මාලිගා බඳින්ඩද?..... මේ අහපං. උඹට මතකද මං මිනිස්‌සු එක්‌කාසු කරන්න ගමට එනකොට මුළුÊගමටම කොලරාව. පවුලකින්ම එක්‌කෙනෙක්‌ දෙන්නෙක්‌ ගානෙ මැරෙන්න වැටිලා හිටිය වෙලාව. උඹේ තාත්තයි අයියයි පිටපිට මැරුණා නේද? එක මරණෙකට දහය ගානේ මං රුපියල් විස්‌සක්‌ ණයට දුන්නා. අමතත කෙරුවද? කල්පනා කරලා බලාපං... හරිද? හ්ම් මේ කෙළ පඩික්‌කම එළියට ගෙනියලා හදලා හෝදගෙන වරෙන්, තඹ හැලියේ වතුර තියෙනවා.'' එසේ පැවසූ ලොකු කංකානම, මුව අඟක එල්ලී තිබූ කසය දෙසත් සුප්පන් දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේය.

''හේදුවද? හරි. මෙහාට ගෙනෙං.... මේ අහපං සුප්පා. උඹ මෙහේ එක්‌කගෙන එනකොට උඹේ අම්මට තව රුපියල් දහයක්‌ දුන්නා. එතකොට ඔක්‌කොම රුපියල් තිහයි. උඹ තාමත් මේ ගනුදෙනුවට ණයකාරයෙක්‌. උඹ දෙන සල්ලිවලින් මාස්‌පතා පොලිය අඩුකරගෙන ඉතුරු සල්ලි තියාගෙන ඉන්නවා. මං උඹ එක්‌කගෙන ආවෙ නැත්තං උඹත් ගමේ පණුවෝ ගහලා ඉඳීවි.''

ලොකු කංකානමගේ නිවසේ අත් උදව්වට පැමිණි සෙල්ලායි. ''මහත්තයා මං ගිහිල්ලා එන්නම්.'' යෑයි පවසමින් ලොකු කංකානම පසුකර යද්දී ඇයගේ නිතඹට සුරතලයට සෙමෙන් තට්‌ටු කළ කංකානම, දිව යන ඇයගේ පිටුපස සුන්දරත්වය දෙසට යොමු කළ දෑස්‌ ඉවතට නොගෙන දිව සපාගෙන අනතුරුව ''ම්... ම්'' යනුවෙන් සුසුමක්‌ හෙළුවේය.

ලැයිං පේළි සියල්ල පසු කළ පෙරහැර, තප්පු හඬ සමගින් අලුතෙන් තේ ඇට සිටුවන කන්ද අසලට ගියේය.

''එහෙනම් උඹට තව අවුරුදු හතරකින්වත් ගමට යන්න වෙන්නේ නැහැ.. උඹේ නැන්දගෙ දුව කසාද බැඳගන්නත් බැරි වෙනවා මේ මොන අසාධාරණයක්‌ ද බං? තේ ඇට සිටුවීමට වළවල් හාරන අතරදී.

''ඉරණම තමයි... හැම දෙයක්‌ම නළලේ කොටලා තියෙන විධියට තමයි සිද්ධ වෙන්නේ. මීට වඩා හොඳයි ගමේ ඉඳලා මැරිලා ගියා නම්. ලොකු කංකානම මං හැම මාසෙකම දීපු සල්ලි වංචා කරලා බොරු ගණන් ලියාවි කියලා මං හීනෙකින් වත් හිතුවේ නැහැ.'' එක පෙළට වළවල් හාරමින් සිටි සුප්පන් සිහින් හඬින් මරුදමුත්තුට පැවසුවේ අසල කිසිවකුටත් ඇසුණේදැයි වටපිට බලමිනි.

මෙය, මීට මාස තුනකට පෙර, දිවියන්, ඌරන්, මුවන්, ගෝනුන්, ගැරඬින් බොහෝමයක්‌ ජීවත්වූ වනයකි. වනය කළා එලිකොට පාත්ති සාදා පාරවල් කපා පස්‌ කඩා වැටීමට නොහැකි ලෙස ගල් වැටි සකස්‌ කිරීමේ ප්‍රතිඵලයකි මේ වගා භූමිය සාමාන්‍ය වනයක්‌ රැකියාවකට පැමිණි තැනක්‌ යනුවෙන් නොසලකා පොළොවත් වැඩ කිරීමත් දේවත්වයෙන් සලකා එයට ඇලුම් කරන්නන්ගේ උතුම් කාර්යයකි.

''මිනුම් ලීයට නූලක්‌ විතර ඉඩ තියලා හරි කෙළින් වළ හාරපං· පේළියෙන් පේළිය බලමින් පොඩි කංකානම, මුනියණ්‌ඩි, සුප්පන් අසලට ආවේය.

''සුප්පා අඩියට දෙකට ලැයිමට දුවලා මගේ පවුල සෙගප්පිගෙන් කැඳ වතුර ටිකක්‌ භාජනේකට දාලා ඉල්ලගෙන වරෙන්.''

''හොඳමයි පොඩි කංකානම් මහත්තයා.''

''සුපිරින්ටැන්ඩන් මහත්තයා එන්ඩ පුළුවන්. කරත්ත පාරෙන් යන්ඩ එපා. ගුරුපාරෙන් යන එක ලේසියි. සෙගප්පිගේ ඇඟට ටිකක්‌ අමාරුයි කියලා ගෙදර ඉන්නවා.''

හති දමමින් දුවමින්ද ඉක්‌මන් ගමනින්ද ලැයිමට ගිය සුප්පන්, ''සෙගප්පි අක්‌කා.....'' යනුවෙන් පවසමින් අඩවන් කොට තිබූ දොර තල්ලුකොට ඇතුළට ගියේය.

ලොකු කංකානමත් සෙගප්පිත් සිටි ආකාරය දුටු සුප්පන් මවිතයට පත් විය.

මුහුණ හරවා බැලූ කංකානමගේ ඇහි බැමි උස්‌ව කෝපාවිෂ්ට බැල්ම ගමෙහි දක්‌නට ඇති කඩුවක්‌ අතින් ඔසවාගෙන සිටින ගම්මුර දෙවි මාඩසාමිගේ වැනි යෑයි සුප්පන්ට හැඟුණි.

සුප්පන් ආපසු ඒ දෙස නොබලා පැමිණි පාරෙන්ම දුවන්නට පටන් ගත්තේය.

සැන්දෑවේදී කාර්යාලයට ගිය ලොකු කංකානම, සුදු මහතා ඉදිරියේ සිට, දකුණත නළල මත තබා සැලියුට්‌ ගසා දෑත් බැඳගෙන යටහත් භාවය පෑවේය.

''ලැයිමේ තනි පංගලමේ හිටපු පොඩි කංකානම්ගේ පවුල සෙගප්පිට සුප්පන් බලහත්කාරකම් කරලා සර්....'

''සුප්පන් වත්තට ණය ගෙවන්ඩ තියෙනවද?'' සුදු මහතා, ප්‍රධාන ලිපිකරුගෙන් ඇසුවේය.

''නෝ...... සර්'' පොත් පෙරළා නොබලාම පිළිතුරු දීමේ මේ හැකියාව නිසා ප්‍රධාන ලිපිකරුට සියලු වරප්‍රසාදවලට පදනම වැටී තිබිණි.

''කංකානි ඒකා උඹ ගෙනාපු මිනිහා. උඹට කැමැති දෙයක්‌ කොරාපං'' සුදු මහතා හැමවිටම එසේය. එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක්‌ මරා ගනී.

වතුයායේ මායිම් කැලෑව කෙළවර දී පෙරහැර නතර විය. මෙතැන් සිට සැතපුම් දෙකක්‌ මහකැලෑවයි.

කැලෑව දෙසින් සිංහල ගම්මානයට යන ගුරුපාර අසල පොළොවේ පස්‌ ටිකක්‌ මුදුන් කළ කංකානම, ගෙන ආ කපුරු පෙති එහි තබා ගිනි දැල්වීය.

''උඹලා සේරම අපේ වරිගෙ මිනිස්‌සු. වෙන කුලේක එකෙක්‌ වෙච්ච සුප්පන් මට ෙද්‍රdaහීකම් කෙරුවා. මට හතුරුකම් කරන්නෙ නැහැ කියලා උඹලා හැමෝම මේ කපුරු දැල්ලට අත තියලා දිවුරන්ට ඕනෑ.''

දිවුරුම් දීම හමාර වෙත්ම කපුරුද නිවී ගියේය.

''යකෝ සුප්පන්.... තෝ, ලොකු කංකානම මගේ සල්ලි කොල්ල කෑවා කියලා ලැයිං ගානේ කිය කියා ඇවිද්දෙ නැද්ද?''

''නැහැ කංකානම් මහත්තයා..... සත්තකින්ම නැහැ''

''මොනවද යකෝ නෑ කියන්නේ?..... මෙහාට දීපං ඔය කසේ·'' ලොකු කංකානම සිතේ උතුරා යන කෝපය නිවෙන තුරුම කසයෙන් නොනවත්වාම සුප්පන්ට පහර දුන්නේය. ''ලිහා දාපල්ලා ඕකාව·.''

සුප්පන්, කංකානමගේ දෙපා මුල වැටී වැන්දේය. අඳුර පැතිරෙමින් වැස්‌සක්‌ ළඟ එන බවක්‌ කියා පෑවේය.

''මට ඉහළින් මේ වත්තේ කිසි දෙයක්‌ වෙන්න බැහැ. මට හම්බවෙන පැන්ස කාසි උඹලට නවත්තන්ඩ පුළුවන්ද? ගමේ ඉඳන් මිනිස්‌සු මෙහාට අරන් ආවේ හිස්‌ අතින් ආපහු යන්ඩද යකෝ?'' මීට පස්‌සේ උඹ මේ වත්තට උඹේ පය තිබ්බොත් මරුදවීරන්ගේ තියෙන වෙනම අත් කකුල් වගේ උඹේ අත් කුකුල් වෙනම කපලා අරගෙන මේ කැලෑවේ උඹව වළදානවා. දුවපං කොහේ හරි දුවපං'' ලොකු කංකානම නැවතත් කසය ඉහළට එසවීය.

පරිවර්තනය - උපාලි ලීලාරත්න

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.