වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක්‌ සිදු කිරීමේ චෝදනාවට
මාවනැල්ල සභාපති ගස්‌

කොටියාකුඹුර - රම්‍යපාල සහ කෑගල්ල - එම්. බී. පහලවත්ත

වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක්‌ සිදු කිරීමේ චෝදනාවට වරදකරු වූ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති කේ. ජී. පියතිස්‌සට කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විඡේසුන්දර මහත්මිය ඊයේ 5 වැනිදා මරණීය දඬුවම නියම කළාය.

මීට වසර 10 කට පෙර එනම් 2003.02.12 දින හෝ ඊට ආසන්න දිනකදී කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල, බෙලිමුල්ල වත්ත නම් ස්‌ථානයේදී මිය ගොස්‌ තිබුණේ කුඩාරාලලාගේ කපිල ප්‍රියන්ත පද්මකුමාර (32) නමැති විවාහකයෙකි.

විත්තිකරු මාවනැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මාවනැල්ල, මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකර මේ නඩුව කෑගල්ල පළාත්බද මහාධිකරණයට යොමුකර තිබිණි.

කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විඡේසුන්දර මහත්මිය ඉදිරියේ නඩුව විභාගයට ගත් අතර නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ ෂෙහාන් ද සිල්වා මහතා නඩුවේ පැමිණිල්ල මෙහෙයවීය.
මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂිදුන් මිය ගිය අයගේ බාල නැගණියක වන ඉහත ලිපිනයේම පදිංචි කේ. ආර්. ගයානි රූපිකා කුමාරි යන අය මෙසේ පැවසුවාය.

''සිද්ධිය වූ දින දහවල් මියගිය අයියා ඔහුගේ බිරිඳගේ නිවසට යැමට ත්‍රිරෝද රථයක්‌ එන තෙක්‌ ගෙදර දොරකඩට වී සිටියා. එම අවස්‌ථාවේ සුදුපාට වෑන් රථයකින් පස්‌දෙනෙක්‌ පැමිණියා. මුස්‌ලිම් කාන්තාවන් අඳින කළුපාට ඇඳුම් තුනකින් සැරසී සිටි තිදෙනෙක්‌ වාහනයෙන් බිමට බැස්‌සා. ඔවුන් අත තුවක්‌කු තිබුණා. මුළින්ම දොරකඩ සිටි මියගිය අයියාට වෙඩි තැබුවා. ඔහුට වෙඩි වැදුණත් ගෙයි පිටුපස ඇළට හැංගෙන්න දුව ගියා. ඊට පසු ඒ ශබ්දයට එළියට ආ වැඩිමහලු අයියාටත් වෙඩි තිබ්බා. ඔහුට වැදුණේ නෑ. ඔහුට වෙඩි තබන විට වෙඩි තැබූ අයගේ වෙස්‌ මුහුණ ගැලවුණා. එය මුස්‌ලිම් කාන්තාවන් පළඳින මුහුණු ආවරණයයි. එවිට ඒ වෙඩි තැබුවේ විත්තිකාර පියතිස්‌ස බව අඳුනා ගත්තා. ඇයි අපට වෙඩි තියන්නේ කියලා ඇහුවත් ඔහු කථා කළේ නෑ. පසුව ඇළ පැත්තට දිව ගිය දෙදෙනෙක්‌ මිය ගිය අයියාට තව වෙඩි දෙකක්‌ තියන හඬ ඇසුණා.''

මියගිය අයගේ වැඩිමහල් සොයුරු පාලිත විමලසේන මහතා සහ ඔහුගේ බිරිඳ වන චන්ද්‍රලතා සුදු මැණිකේ මහත්මියද මෙහිදී සාක්‍ෂි දුන්හ. දඬුවම් නියම කිරීමට පෙර චූදිත ප්‍රාදේශීය සභා සභාපතිවරයාට පැවසීමට යමක්‌ ඇද්දැයි මහාධිකරණ විනිසුරුවරිය විමසූ අවස්‌ථාවේදී ඔහු මෙසේ පැවසීය.

''මෙම චෝදනාව පොලිසිය විසින් මා වෙත සාවද්‍යව එල්ල කරන ලද චෝදනාවක්‌. මට මගේ සාක්‍ෂි ඉදිරිපත් කිරීමට අවස්‌ථාවක්‌ ලබාදුන්නේ නෑ. මම මේ චෝදනා නැවතත් ප්‍රතික්‍ෂේප කරනවා.''
චූදිත වෙනුවෙන් සුනිල් අබේරත්න කනිෂ්ක බණ්‌ඩාර, ආනන්ද කුමාරසිංහ යන නීතිඥ මහත්වරුන් පෙනී සිටි අතර රජයේ අධිනීතිඥ ෂෙහාන් ද සිල්වා මහතා පැමිණිල්ල මෙහෙයවීය.
ජනාධිපතිවරයා විසින් නියම කරනු ලබන දිනකදී බෝගම්බර සිර මැදිරිය තුළ දී ප්‍රාණය නිරුද්ධ වන තෙක්‌ ඔහු එල්ලා තැබීමටද නියම විය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.