රාජ්‍ය අංශයේ මානව සම්පත්
සංවර්ධනයට ජපාන ආධාර


මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මේ වසර (2013) සඳහා ජපන් යෙන් මිලියන 192 ක (රු. මිලියන 245 ක පමණ) ප්‍රදානයක්‌ ශ්‍රී ලංකාවට ලබාදීමට ජපාන රජය එකඟතාව පළකර ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

මෙම වැඩසටහන් රාමුව යටතේ, ජපාන විශ්වවිද්‍යාලයන්හි රාජ්‍ය ප්‍රතිපත්ති හා රාජ්‍ය මූල්‍ය, රාජ්‍ය පරිපාලනය, ප්‍රාදේශීය සංවර්ධන සහ සාර්ව හා සංවර්ධන ආර්ථික විද්‍යාව යන ක්‍ෂේත්‍රයන්හි පශ්චාත් උපාධි පාඨමාලා හැදැරීමට වාර්ෂිකව දිගුකාලීන ශිෂ්‍යත්ව 15 බැගින් ලබාදෙනු ලැබේ. මෙම පශ්චාත් උපාධිධාරීන් මෙරට සමාජ හා ආර්ථික සංවර්ධනයට වඩාත් ඵලදායී අයුරින් දායක වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. එමෙන්ම මෙම වැඩසටහන රටවල් දෙක අතර ද්වීපාර්ශ්වික සබඳතා ශක්‌තිමත් කර ගැනීමට ද වැඩි දායකත්වයක්‌ දක්‌වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීම උදෙසා ජපාන රජය සමග හුවමාරු පත්‍ර අත්සන් කිරීම හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය සමග ප්‍රදාන ගිවිසුමකට එළඹීම ඊයේ (06 දා) මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේදී සිදු කරන ලද අතර ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාද ජපාන රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති නොබුහිටෝ හොබෝ මහතා හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය වෙනුවෙන් එහි ප්‍රධාන නියෝජිත හරුමි ආඕ මහතාද අදාළ ලියකියවිලිවලට අත්සන් තබන ලදී. ඡායාරූපයෙන් දැක්‌වෙන්නේ දෙරටේ නියෝජිතයන් අදාළ ගිවිසුමට අත්සන් තබන ලද අවස්‌ථාවයි

- ශ්‍යාම් නුවන් ගනේවත්ත

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.