ජනපති දුන් ඩෙංගු මර්දන නියෝග
ආයතන රැසක්‌ පැහැරහැරලා


අජිත් අලහකෝන්

ඩෙංගු මර්දන කමිටු පිහිටුවන ලෙසට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සියලුම රාජ්‍ය ආයතනවලට පසුගිය වසරේ කළ නියෝගය රාජ්‍ය ආයතන සියයට අනූවක්‌ (90%) ක්‌ පැහැර හැර ඇතැයි අනාවරණය වෙයි.

මෙම රාජ්‍ය ආයතන සියල්ලෙහිම ප්‍රධානීන්ට එරෙහිව ජනාධිපතිවරයා විසින් ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද වාර්තා වෙයි.

ජනාධිපතිවරයා පසුගිය වසරේ කළ මෙම නියෝගය ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක්‌ මගින් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කර ඇතත් මේ දක්‌වා එම ආයතනවලින් ඩෙංගු මර්දන කමිටු පිහිටුවා නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක්‌ 'දිවයින ඉරිදා සංග්‍රහය' ට පැවසීය.

මෙම රාජ්‍ය ආයතන සියල්ලේම නාමලේඛනය සෞඛ්‍ය ඇමැතිවරයා විසින් පසුගිය කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේදී ජනාධිපතිවරයාට භාරදී ඇතැයිද එම ප්‍රකාශකයා පැවසීය.

අදාළ රාජ්‍ය ආයතන නියමිත පරිදි ඩෙංගු මර්දන කමිටු ක්‍රියාත්මක කළේ නම් පසුගිය දිනවල ඩෙංගු වැළඳීම නිසා මරණයට පත් වූ ජීවිත බොහොමයක්‌ බේරා ගැනීමට ඉඩ තිබූ බවද සෞඛ්‍ය ඇමැතිවරයා විසින් ජනාධිපතිවරයාට දැනුම්දී ඇතැයිද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.