හොඳට නරකට දෙකටම මහසෙන් රජු

පසුගිය දිනවල මේ රටට ද බලපෑ සුළි කුණාටුව හඳුන්වන ලද්දේ "මහසෙන්' යන නමින් ය. මෙම නම පිළිබඳව ඉමහත් ආන්දොaලනයක්‌ ඇති වූයේ සිංහල රාජාවලියේ සඳහන් බලවත් රජෙකු හැඳින්වීමට ද එය යෙදී ඇති බැවිනි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි කාලයේ සිදුවන දේ පිළිබඳ අනාවැකි කියන ආයතනයක්‌ මිස ඉතිහාසය හාරා අවුස්‌සන ආයතනයක්‌ නොවේ. බලවත් විපත් සිදුවන සුළි කුණාටුවකට මහසෙන් නම යෙදුණේ ඒ නිසා විය හැකිය. කෙසේ වෙතත් මහසෙන් මහ රජතුමා අතින් ද බලවත් යහපත් දේ මෙන්ම බලවත් අයහපත් දේ ද සිදුව තිබෙන බව ඔහුගේ රාජ්‍ය කාලය පිළිබඳව විශ්ලේෂණයක්‌ කිරීමේදී පැහැදිලි වෙයි.

මහසෙන් රජතුමා සිහසුනට පැමිණියේ ක්‍රිස්‌තු වර්ෂ 276 දී ය. ක්‍රිස්‌තු වර්ෂ 303 දක්‌වා ඔහු අවුරුදු 27 ක්‌ රජකම් කළේය. ඔහුගේ ගුරුවරයා වූයේ සංඝමිත්‍ර නම් භික්‍ෂුවකි. ඒ භික්‍ෂු තෙමේ වෛතුල්‍යවාදියෙකි. හෙතෙම රජු සම්‍යක්‌දෘෂ්ටික භික්‍ෂුන් කෙරෙහි කලකිරවා සිය දහමට නතු කොට ගෙන ලෝවාමහපාය ඇතුළු විහාර 363 ක්‌ විනාශ කරවූයේය. වෛතුල්‍යවාදයට විරුද්ධ භික්‍ෂුන්ට දන් නොදෙන ලෙස ආඥාවක්‌ ද පැනවීය. බොහෝ භික්‍ෂූන් අනුරාධපුරය පුරා තෙදිනක්‌ ඇවිද ප්‍රමාණවත් ආහාර සපයා ගත නොහැකිව රුහුණු ප්‍රදේශයට පලා ගියේ එහි රජුගේ නියමය ක්‍රියාත්මක නොවූ නිසා ය.

රජු මෙසේ නොමඟට යොමු කිරීමට සෝන නම් අමාත්‍යවරයෙක්‌ ද හේතු වූයේය. එම අමාත්‍යවරයා සංඝමිත්‍ර භික්‍ෂුව සමඟ එක්‌ වී රජු නොමඟ නොයෑවූයේ නම් රජුගෙන් මෙම රටට තවත් විශාල මෙහෙවරක්‌ විය හැකිව තිබිණි.

රාජ්‍ය කාලයෙන් කොටසක්‌ ගෙවී යද්දී මහසෙන් රජුට තමන්ගේ වැරදි අවබෝධ විය. ඒ නිසාම බිඳ හෙළන ලද ලෝවාමහාපාය ඇතුළු සියලුම වෙහෙර විහාර නැවත ගොඩනංවා අනුරාධපුරයේ ඡේතවනාරාමය නම් සුවිසල් දාගැබ ද කරවීය. සියලු වරදට රජු පොලඹවාලූ සංඝමිත්‍ර නම් දුසිල් භික්‍ෂුව රජුගේ බිසවක විසින් මරවන ලද අතර රටවැසියන් විසින් සෝන නම් අමාත්‍යවරයා ද අල්ලා මරණයට පත් කරන ලදී.

මහාවංශය හා වංසත්ථප්පකාසිනී වැනි ග්‍රන්ථ අනුව මහසෙන් රජු විසින් මහ වැව් 16 ක්‌ කරවන ලදී. එයින් කිහිපයක්‌ පිළිබඳ විස්‌තර මතු දැක්‌වෙයි.

මින්නේරිය වැව

මෙය එකල හඳුන්වන ලද්දේ මිණිහිරිය නමින් ය. කාර ගඟ හරස්‌ කර වේලි බැඳ තලවතු ඇළ ඔස්‌සේ මින්නේරිය වැවට ජලය ලබා ගන්නා ලදී. පසුව දෙවන සේන රජු මෙම වැව සඳහා වාණක්‌ තැනවූ අතර පරාක්‍රමබාහු රජු ප්‍රතිසංස්‌කරණ කටයුතු කළේය. නිශ්ශංකමල්ල රජු වැව අවට ප්‍රදේශය අභය භූමියක්‌ බවට ප්‍රකාශයට පත් කළේය.

මුවගමුව හෙවත් ගල්ගමුව වැව - මෙම වැව අසල විහාරයක්‌ ද තැනවීය.

හුරුළු වැව - මහසෙන් රජු විසින් පළමුව තනවන ලද හුරුළු වැව පසු කලෙක ධාතුසේන රජු විසින් වැඩිදියුණු කර ප්‍රතිසංස්‌කරණය කරන ලදී.

දීදොර වැව - වර්තමානයේ මෙම වැව කණදරාවැව නමින් හැඳින්වෙයි. පූජාවලියේ දැක්‌වෙනුයේ 'කැණිදියදොර' යනුවෙනි. මිහින්තලයට සැතපුම් දෙකක්‌ ඊසාන දිගින් පිහිටියේය.

මහමිණියාවැව - උතුරු මැද පළාතේ මාමිණියා කෝරලයේ පිහිටියේ ය. භාතිකතිස්‌ස රජු විසින් කරවනු ලැබ ජරාවාස වී තිබූ මෙම වැව මහසෙන් රජු විසින් සම්පූර්ණයෙන් ම ප්‍රතිසංස්‌කරණය කරන ලදී.

කොක්‌කාවැව - මේ නමින් විහාරයක්‌ ද මහසෙන් රජු විසින් කරවන ලදී. බදුලු - මඩකලපු මහා මාර්ගයේ 56 වන සැතපුම් කණුව අසලින් හැරී තවත් සැතපුම් දෙකක්‌ පමණ ගිය විට මෙම වැව හමුවේ. කොක්‌කාගල කන්ද පාමුල පිහිටා ඇත.

කිඹුල්වානා වැව - මෙය කිඹුල්වාන ඔය අසල පිහිටි වර්තමානයේ නිරාමුල්ලවැව යනුවෙන් හැඳින්වෙන වැව වශයෙන් සැලකෙයි. විජයබාහු සහ පරාක්‍රමබාහු යන රජවරුන් විසින් "කුම්භිලසොබ්බක" නම් වැවක්‌ පිළිසකර කරවන ලද බව චූලවංසය සඳහන් කරයි. ඒ මෙම වැව විය හැකිය.

රත්මලේ වැව - අනුරාධපුරයට සැතපුම් දෙකහමාරක්‌ පමණ දකුණු දෙසට වන්නට පිහිටි මෙම වැව අතීතයේදී හඳුන්වන ලද්දේ රත්තැල්ලවැව යනුවෙනි.

තිස්‌වඩුන්නා වැව - මින්නේරියට සැතපුම් හයක්‌ පමණ දුරකින් පිහිටි මෙම වැව වර්තමානයේ කවුඩුල්ල වැව යනුවෙන් හැඳින්වෙයි. පසු කලෙක පරාක්‍රමබාහු රජු විසින් ප්‍රතිසංස්‌කරණය කරවන ලදී.

බෙලිපිටියවඩුන්නාව - කුරුණෑගල - දඹුල්ල පාරේ 27 වන සැතපුම් කණුවට වයඹ දිගින් පිහිටා ඇත්තේ මෙම වැව බව සලකනු ලැබේ.

මාගලුවැව - මෙය වනාහි නිකවැරටිය පෙදෙසේ වර්තමානයේ හැඳින්වෙන මාගල්ල වැව වශයෙන් සැලැකෙයි. එකොළොස්‌වන සියවසට අයත් දෙමළ ලිපියෙක මාගල නම් ස්‌ථානයක්‌ ගැන සඳහන් වෙයි.

මහදාරගල්ලකවැව - වැටමොදරගල්ල යනුවෙන් ද හැඳින්වූ මෙම වැව 1 විජයබාහු සහ 1 පරාක්‍රමබාහු යන රජවරුන් විසින් ප්‍රතිසංස්‌කරණය කරවන ලද බව පැවසේ.

කලුගලුවැව - විල්පත්තුවේ නැඟෙනහිර දිසාවේ සිනාඩියගල පිහිටි කරඹකුලම මෙම වැව බව පිළිගැනේ.

රාජාවලිය සඳහන් කරන ආකාරයට මහසෙන් රජු මින්නේරිය වැව ඇතුළු වැව් තැනවීමේදී යකුන්ගෙන් ද වැඩ ගෙන ඇත. යකුන්ගෙන් රාත්‍රි කාලයේදී වැඩ කරවාගෙන මිනිසුන්ගෙන් දිවා කාලයේදී වැඩ කරවාගෙන ඇත. මින්නේරි වැවේ ජලයෙන් පමණක්‌ අමුණු විසිදහසක කුඹුරු අස්‌වැද්දීමට කටයුතු කළේය.

මහසෙන් රජු විසින් තනවන ලද මහ සෑයේ ධාතු නිධන් කිරීමේදී ද ඔහු ගැටලුවකට මුහුණ පෑ බව රාජාවලියේ සඳහන් වෙයි. සෑය බඳවා ධාතුන් වහන්සේලා අපේක්‍ෂාවෙන් අහස දෙස බැලූ රජු කෙරේ පැහැදුණු දෙවියෝ ඔහුට පෙනෙන්නට බුදුරදුන්ගේ පටීධාතුව අහසේ එල්ලෙන්නට සැලැස්‌වූහ. රජු එය ගන්නට අත දිගු කළ විට දෙවියෝ එය තවත් ඉහළට එසවූහ. මෙලෙස තෙවරක්‌ ම විය. රජු බලවත් ලෙස කිපුණේය. කඩුව අතට ගත් ඔහු අසූ රියනක්‌ අහසට පැන පටී ධාතුවට ගැසූ පහරෙන් එය දෙකඩ විය. එක්‌ කොටසක්‌ රජු අතට ලැබුණු අතර ඉතිරි කොටස රැගත් දෙවියෝ එය ද රැගෙන දෙව් ලොවට ගියහ. රජු සිය පටී ධාතු කොටස නිධන්කර රියන් එකසිය හතළිහක්‌ උසට දාගැබ නිම කරවීය.

විජය රජුගේ පටන් මහසෙන් රජු දක්‌වා රජවරුන් හැටතුන්දෙනකු වූ බව ද මහාවංසය එතෙකින් නිමා වී මහසෙන් රජුගේ පුත් කිත්සිරිමෙවන් රජුගේ පටන් චූලවංසය ආරම්භ වූ බව ද දැක්‌වෙයි.

මහසෙන් රජතුමා වර්තමානයේ රජරට වැසියන් මෙන්ම ලක්‌වැසි සියලු දෙනා ද හඳුන්වනුයේ, "මින්නේරි දෙවියෝ" නම් ගෞරව සම්ප්‍රයුක්‌ත නාමයෙනි. රජතුමා දෙවියකු වී රජරට ආරක්‍ෂා කරන බව වැසියන්ගේ පිළිගැනීමය.

රජතුමා මුලදී වැරදි මාර්ගෝපදේශ නිසා නොමඟ ගිය ද පසුව කරුණු අවබෝධ කරගෙන තමා අතින් විනාශ වූ විහාරස්‌ථාන සියල්ල පිළිසකර කර කෘෂිකර්මාන්තය නගා සිටුවීමට ගත් අනුපමේය මෙහෙය ශ්‍රී ලංකා ඉතිහාසය පවතිනා තාක්‌ කල් අනුස්‌මරණය කරනු ලබන්නේය. සුළි කුණාටුවකට එතුමා ගේ නම යොදා ගැනීම ඉතිහාසය නොදන්නාකම නිසා සිදු වූ වරදක්‌ බව පිළිගත යුතුය.

ඩී. අමරසේන
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.