ශාසනික මතභේද නිසා වූ මහින්දාගමනයෙන් පසු තතු

වීරසේන අල්ගෙවත්ත

බුදුන් වහන්සේ පිරිනිවන් පා තුන් මසක්‌ ඉක්‌මැ ගිය කල්හි අජාසත්ත මහ රජුගේ රාජ අනුග්‍රහය ලබමින් රජගහ නුවර වේහාර පර්වත ප්‍රාන්තයේ පිහිටි "සප්ත පර්ණී" සෙල් කුටියේ රහතුන් වහන්සේලා පන්සියයකගේ සහභාගිත්වයෙන් පැවැත් වූ ප්‍රථම ධර්ම සංගායනාවට හේතුව වශයෙන් දැක්‌වෙන්නේ "සුබද්‍ර" ගේ "අබද්‍ර" වචනය යි.

"මහලු කල මහණ වූ "සුබද්‍ර" නම් "අබද්‍ර" මහණෙක්‌ මහත් වූ සන්තෝෂයට පැමිණ කියනුයේ "ඇවැත්නි ශෝක නොකරව, නොහ`ඩව යහපත නපුර කියා අපට වෙහෙස දෙන මහ මහණු මළ පසු මෙවිට අප කැමැත්තක්‌ මය. එසේ හෙයින් සොම්නස්‌ වුවමනා තන්හි කුමක්‌ පිණිස දොම්නස්‌ව හ`ඩවූද? මෙතැන් පටන් අප කැමැත්තක්‌ කරම්හ. නොකමැත්තක්‌ නොකරම්හ" යි කීය.

"නිකාය සංග්‍රහය හෙවත් ශාසනාවතාරය - එල්. ගුණරත්න" රත්න පොත් ප්‍රකාශකයෝ නව මුද්‍රණය 2005 )

මහලු කල පැවිදි "සුබද්‍ර" භික්‌ෂුව ඉමහත් සතුටට පත්ව මෙසේ පවසන්නේ බුදුන් වහන්සේගේ පිරිනිවීමෙන් කම්පිතව හ`ඩන දොඩන වැළැපෙන භික්‌ෂූන් වහන්සේලා ඉදිරියේ දීය.

පිරිනිවන් පා වදාළ බුදු සිරුරෙහි උණුසුම වියෑකීමටත් පෙරැ සසුන්ගත මහණෙකු ගේ මේ සාහසික ප්‍රකාශය ඇසූ මහා කාශ්‍යප රහතුන් වහන්සේ අතිශයින්ම ධර්ම සංවේගයට පත් වූ සේක. තම තමන් අභිමතය පරිදි සසුන්ගත භික්‌ෂූන් වහන්සේලා ගේ චර්යාවන් සිදු වේ නම් සම්බුද්ධ ශාසනයේ පැවැත්ම වැඩි කලක්‌ නොපවතින බව එතුමෝ වටහා ගත්හ.

"චුල්ලවග්ග පාලියෙ"හිත් ශ්‍රී ලංකාවේ "වංශ කථාවලත්" "සුමංගල විලාසිනී" "සමන්ත පාසාදිකා" ආදී අටුවාවලත් ප්‍රථම ධර්ම සංගායනාව පිළිබඳව දක්‌වන තොරතුරුවල සමානත්වයක්‌ දරයි. "ඕල්ඩර්න්බර්ග්" වැනි බටහිර ප`ඩිවරුන් මේ පිළිබඳව සැක පහළ කළත් මේ ධර්ම සංගීතිය ඓතිහාසික සත්‍ය සිදුවීමක්‌ බව නම් නිසැකය.

"සුභද්‍ර" භික්‌ෂුවගේ මේ ප්‍රකාශය බරපතළ එකක්‌ ලෙස කල්පනා කළේ සමහර විටක මෙ එවක සසුන්ගත භික්‍ෂු පිරිසකගේ මතවාදයක්‌ හදිසියේ කල එළි බැසීමක්‌ සේ පිළිගත් නිසා විය හැකිය. "දේව දත්ත" හාමුදුරුවන්ගේ "වරපහ" මුල්කොට ගෙන භික්‌ෂු පිරිසක්‌ බුදුන්වහන්සේ හැරගිය අවස්‌ථාද තිබුණි. "ධර්ම විනය" මුල්කොට "කෝසම්බක" භික්‌ෂූන් අතර හටගත් ආරවුල, විනය පිළිබඳව පෞද්ගලික අර්ථකතන ගොඩ නගා ගැනීමට බුදුන් වහන්සේ දිවමන් යුගයේදී පවා ඇතැම් භික්‌ෂූන් වහන්සේලා ඉදිරිපත් වීම නිසා සිදු වූවෙකි. බුද්ධ මතයට පටහැනිව තම අභිමතය පරිදි ක්‍රියා කළ භික්‌ෂූන් බුදුන් වහන්සේ ජීවමාන කාලයේදී පවා සිටි බවට සූත්‍ර පිටකයෙන් තොරතුරු සොයාගත හැකිය. එහෙත් බුදුන් වහන්සේ නිසා එවන් මතවාද පැවැතුනද ඒවා ශක්‌තිමත්ව නැගී සිටියේ නැත. වැඩී ගියේද නැත.

බුදුන් වහන්සේට පමණක්‌ දෙවැනි වූ මහා සිල්වතුන් වහන්සේ නමක්‌ ලෙස කීර්තියක්‌ දැරූ මහා කාශ්‍යප රහතුන් වහන්සේගේ අවවාදයක්‌ නොරිසි වූ අකීකරු තරුණ භික්‌ෂුවක්‌ උන්වහන්සේ බැහැර ගිය අවස්‌ථාවක්‌ බලා එතුමාගේ කුටියේ භාජන පොඩිකර දමා කුටියටද ගිනි තබා ගිය පුවතක්‌ සමන්ත පාසාදිකාවෙහි දැක්‌වෙතියි මහාචාර්ය වල්පොල රාහුල හිමියෝ පවසති.

බුදුන් වහන්සේ "කුටි දූසක" ජාතකය දේශනා කරන්නේද "මහා කාශ්‍යප" රහතුන් වහන්සේගේ කුටියට ගිනි තබා කළ විනාශය සැල වීමෙනි. තම හිතුමතයට ක්‍රියා කළ පුහුදුන් භික්‌ෂූන් බුදුන් වහන්සේ ජීවමාන යුගයේදී පවා අඩුවක්‌ නොවීය. ධර්ම භාණ්‌ඩාගාරික ආනන්ද හාමුදුරුවන් පවා ඇතැම් විට දෝශ දර්ශනයට ලක්‌ වූ අවස්‌ථා පිළිබඳව සංයුක්‌ත නිකායේ සඳහන් වෙයි. එය මෙසේය.

බුදුන් පිරිනිවීමෙන් පසු එක්‌ අවස්‌ථාවකදී "මහා කාශ්‍යප" ස්‌ථවීරයෝ "නොහික්‌මුණු නොදැමුණු තරුණ භික්‌ෂූන් ආශ්‍රය කිරීම ගැන "ආනන්ද ස්‌ථවිරයන්ට දොස්‌ කීහ. මහා කාශ්‍යප ස්‌ථවීරයෝ "ආනන්ද" ස්‌ථවීරයන් තමන්ගේ තරම නොදන්නා පැ`ගිරෙකැයි කීහ. හිසකෙස්‌ පැසුනු මට පැ`ගිරෙකැයි කීම නොවටී යෑ යි ආනන්ද ස්‌ථවීරයෝ ප්‍රති චෝදනාවක්‌ කළහ. තමන් එසේ චෝදනා කරන්නේ "ආනන්ද" ස්‌ථවීරයන් "සංවරයෙන් තොර දුර්දාන්තයන්" ආශ්‍රය කරන නිසා යයි මහා ස්‌ථවීරයෝ පිළිතුරු දුන්හ.

(ලංකාවේ බුදුසමයේ ඉතිහාසය - වල්පොල රාහුල ස්‌වාමීන් වහන්සේ 1965 දෙවන මුද්‍රණය - සී.ස ඵගෘග ගුණසේන සහ සමාගම.)

මතු කාලයේදී භික්‌ෂූන් අතිශයින් දුෂ්ට භ්‍රෂ්ට වන බවත් බුදුන් වහන්සේ තහනම් කළ පිළිවෙත් වැලැඳ ගනිමින් සාපරාධී ව පුහුදුන් මගට එළැඹෙන බවත් පවසමින් "ථුස්‌ස්‌" නම් ථෙර නමක්‌ තැවෙන අන්දම ථෙරගාථාවලින් වටහාගත හැකිය.

බුදුන් වහන්සේගේ පිරිනිවීමෙන් තැවෙන වැළැපෙන භික්‌ෂූන් ඉදිරියේ " "සුබද්‍ර" "ගේ මුවෙන් එළියට පනින්නේ මේ පරිහානි ලක්‍ෂණයේ මතවල නියෝජනයේ සාරය විය හැකිය.

සම්බුද්ධ පරිනිර්වාණය නිසා මෙවන් මතවාද නිරුවත්ව සමාජගත වීමට ඉඩ සැලසුනා විය හැකිය. "සුබද්‍ර" නැමති මේ නොවැදගත් මහලු භික්‍ෂුවගේ හිතුවක්‌කාර ප්‍රකාශය මෙතරම් බරපතළ ලෙසින් ශාසනය තුළ සාකච්ඡාවට ගැනෙන්නේ මේ වන විට බොහෝ පුහුදුන් තෙරුන් වහන්සේලා විනය නීති තම තම නැණ පමණින් භාවිතයට ගැන්මට පියවර ගනිමින් තිබූ නිසා විය හැකිය.

පුරා සත් මසක්‌ පැවති මේ ධර්ම සංගීතියට රාජ අනුග්‍රහය පමණක්‌ නොව සන්නද්ධ හමුදා රැකවරණයද ලබා දී තිබුණු බව බොහෝ මූලාශ්‍රයන්හි සඳහන් වෙයි.

"සිවු පිළිසිඹියා පත් පන්සියයක්‌ රහතුන් වහන්සේ එහි වඩා හිඳුවා හස්‌ත්‍යශ්ව රථ පදාති සංඛ්‍යාත චතුරංගනී සේනාව එහි අතුරු නොහැර සිසාරා රැකවල් ලවා......."

(නිකාය සංග්‍රහය හෙවත් ශාසනාවතාරය - එල් ගුණරත්න - රත්න පොත් ප්‍රකාශකයෝ නව මුද්‍රණය 2005)

මේ ධර්ම සංගායනාවට එරෙහි වූ බොහෝ භික්‌ෂූ පිරිස්‌ මෙය කඩාකප්පල් කිරීම සඳහා විවිධ ක්‍රියා මාර්ග ගැනීමට ඉදිරිපත් විය හැකිය යන බිය නිසා මෙසේ හමුදාමය රැකවරණය ලබා ගත්තා විය යුතුය. "සුබද්‍ර" වැනි භික්‌ෂු පිරිස්‌ විශාල වශයෙන් ශාසනය තුළ සිටි නිසාත් බුදුන් දිවමන් යුගයේ පවා මහා කාශ්‍යප රහතුන් වහන්සේ ගේ කුටිය ගිනි ලෑමට තරම් එඩි පෑ පුහුදුන් භික්‍ෂුන් සිටියේ නම් මෙකල බරපතළ තර්ජන ඇති වීමට බොහෝවිට ඉඩ තිබුණා විය යුතුය. ඇතැම් විසභාග පුද්ගලයන් සංඝයා මැදට පැමිණ එය අවුල් කර දමතියි. සංගායනාව කළ භික්‌ෂූහු කල්පනා කළහ, යි සමන්ත පාසාදිකා විනය අටුවාවේ සඳහන් වේ. (ඉදං අම්හාකං ථාවරකම්මං කොවි විසභාග පුග්ගලෝ සංඝ ම-Cධං පවිසිත්වා උක්‌කෝඨෙයHdති.)

මේ සංගායනා අවස්‌ථාවේ ඊට එක්‌ වූ රහතුන් වහන්සේලා අතර ඇති වූ අතිශයින් මතභේදයට තුඩුදුන් ගැටලුවක්‌ විය. චුල්ල වග්ග පාලියේ දැක්‌වෙන අන්දමට ඒ ගැටලුව ඛුද්දානු ඛුද්දක ශික්‌ෂා පද කවරේද යන්නයි. බුදුන්වහන්සේ ගේ ඇවෑමෙන් කැමති නම් "කුඩා අනුකුඩා" ශික්‌ෂා පද කැඩිය හැකියයි උන්වහන්සේ ආනන්ද හිමියන්ට පැවැසූ පුවතක්‌ සංගායනාවේ අවධානයට ලක්‌ විය. මේ පිළිබඳව විවිධ අදහස්‌ ඉදිරිපත් කෙරුණු අතර ඛුද්දානු ඛුද්දක යන්න තව තවත් අවුල් සහගත තත්ත්වයකට පත්විය.

සතර පාරාජිකාව හැර අන් සියල්ල ඛුද්දානු ඛුද්දක ලෙස අර්ථ දැක්‌වීමට එක්‌ පිරිසක්‌ කැමැත්ත දැක්‌වූහ.

"සතර පාරාජිකාව" හා තෙලෙස්‌ "සංඝාදිශේෂ" හැර අන් සියල්ල ඛුද්දානු ඛුද්දක ගොඩට දැමීමට එක්‌ පිරිසකගේ අභිලාශය විය.

කෙසේ වෙතත් ශික්‌ෂා පද පිළිබඳව ගැටලුවට විසඳුමක්‌ නොවීය. බුදුන් වහන්සේගේ පිරිනිවීම සම`ගම භික්‌ෂූහු ශික්‌ෂා පද බැහැර කරතියි යන චෝදනාව සමාජයෙන් එල්ල වීමට ඉඩ ඇති නිසාත් ඛුද්දානු ඛුද්දක යනු මොනවාදැයි සැකහැර නොදත් නිසාත් පනවන ලද සියලු ශික්‍ෂාපද එලෙසින්ම පවත්වාගෙන යාම කළ යුතුය. යන "මහ කසුප්" රහතුන් වහන්සේ ගෙනා අදහස අවසානයේ සියල්ලෝම පිළිගත්හ.

සංගායනාවට සම්බන්ධ සියල්ලෝම රහතුන් වහන්සේ වූහ. ගණනින් පන්සියයකි. මේ හැම දෙනම පැනවූ සියලු සික්‌ඛා පද එසේම රැකිය යුතුය යි තීරණයට එළඹියද සංගායනාවෙන් බැහැර වූවෝ ඒ තීරණය එසේම පිළිගනිත් ද ? මේ වන විට සසුන්ගතව සිටි පෘථග්ජන භික්‌ෂූන්ද " ඛුද්දානු ඛුද්දික " ශික්‍ෂාපද කැඩිය හැකි යයි බුදුන් ආනන්ද හිමියන් ට පැවැසූ පුවත දැන සිටියා විය හැකිය. ඔවුන් අභිමත පරිදි ශික්‌ෂා පද ඛණ්‌ඩනය කරන්නේ නම් එය බුදු වදන ඉක්‌මවා යාමෙකැයි කිව හැකි ද? බුදු සසුන තුළ බුදුන් ජීවමාන යුගයේදී පවා විවිධ ගැටලු මතුකළේ පෘථග්ජන භික්‍ෂුන් වහන්සේලා විසිනි. ඒ නිසා මේ අවස්‌ථාවේ සංගීති කාරක රහතුන් වහන්සේ කුමන තීරණයකට එළඹියද ඉන් බැහැර සිටි සංඝයා වහන්සේ කැඩිය හැකි සික්‌ඛා පද ඛණ්‌ඩනයට පසුබට නොවීය.

1. ඛුද්දානු ඛුද්දික ශික්‌ෂා පද නොඇසීම 2. බුදුන්ගේ වැසි සළුව පයින් මැඬ මැසීම 3. බුදුන් වහන්සේට කපක්‌ වැඩ සිටින්න යයි ඇරයුම් නොකිරීම. 4. පිරිනිවී බුදු සිරුර පළමුව කාන්තාවන් ලවා වැන්දවීම. 5. ස්‌ත්‍රීන්ට පැවිද්ද ලබා දීමට උනන්දු වීම 6. බුදුන් පිරිනිවන් පානා දින පැන් ඉල්ලු විට නොපිළිගැන්වීම යන වැරදි ආනන්ද හිමියන් විසින් සිදු කරන ලදැයි යන චෝදනාවද මේ සංගායනාවේදී විමැසුමට ලක්‌විය.

මේ වන විට පෘථග්ජන භික්‌ෂුවක්‌ ලෙසින් සිටි ආනන්ද හාමුදුරුවන් වෙතින් සිදු වූ මේ වැරදි සඳහා නිදහසට කරුණු දැක්‌වීමට උන්වහන්සේට සිදු විය.

කෙසේ වෙතත් සංගායනාවේදී සාකච්ඡා කෙරුණු සියලුම කාරණාවලට වඩා ප්‍රබල අයුරින් ක්‍රියාත්මක වූයේ කුඩා අනුකුඩා ශික්‍ෂාපද පිළිබඳ කරුණයි. ශික්‌ෂා පද කැඩූවෝ එය බුදු වදන ඉක්‌මවා යාමෙකියි නොසිතූහ. දෙවන සංගායනාවට හේතු සැපයූ දශ අකැප වස්‌තුව මේ ඛුද්දානු ඛුද්දක ශික්‌ෂා පදම නොවේ ද?

බුදුන් වහන්සේ ගේ පිරිනිවීමෙන් වසර සියයක්‌ ඉක්‌මෙන විට දෙවන සංගායනාවට අවශ්‍ය පරිසරය සැකැසේ. විසාලා මහනුවර වාළුකාරාමයේදී "සබ්බකාමී, රේවත, බුඡ්ජසොභිත, යස, සම්භූත , වාසභ ගාමික සහ සුමන" යන බුදුන් වහන්සේ සියෑසින් දුටු රහතුන් අට නම ප්‍රමුඛ රහතුන් වහන්සේ හත් සියයක්‌ දෙවන සංගායනාවට සහභාගි වූහ. පුරා අටමසක්‌ පැවැති මේ මහා සංගීතියට කාලාශෝaක රාජ අනුග්‍රහය ලැබිණ.

සංගායනාවට හේතුව දශ අකැප වස්‌තු කැප යෑ යි පිළිගැනීමය. සිංගිලෝන කප්ප, ද්වංගුල කප්ප, ගාමන්තර කප්ප, අමථිත කප්ප සහ ජලෝගි කප්ප යන පහ ආහාර ගැනීම සම්බන්ධව ඇතිකරගත් වෙනස්‌කම්ය.

ආවාස කප්ප, අනුමති කප්ප, ආචින්න කප්ප, අදසක නිසීදන කප්ප, සහ ජාතිරූපාදි කප්ප පාරිභෝගික භාණ්‌ඩ පිළිබඳව කැරුණු පිළිගැනීම්ය. මේවා අකැප වස්‌තු ලෙසින් තීරණය කළේත් දෙවන සංගීති කාරක රහතුන් වහන්සේය. ඒ තීරණයට පදනම වැටෙන්නේ ඛුද්දානු ඛුද්දක ශික්‌ෂා පද පිළිබඳව නොවිසඳුනු ගැටලුවයි. කැඩිය හැකි කුඩා අනුකුඩා ශික්‌ෂා පද ඇතැයි වදාළ බුදු වදන පිළිගත් පිරිසක්‌ එසේ කිරීම ශාසන විලෝපනයක්‌ ලෙස සිතා දෙවන සංගීතිය පවත්වා කුමන තීරණයක්‌ ගත්තද ශික්‍ෂාපද ඛණ්‌ඩනය කළෝ එය දිගටම පවත්වාගෙන ගියෝය.

පළමුවන ධර්ම සංගායනාවට මෙන්ම දෙවන සංගායනාවට ද එරෙහි වූ විශාල පිරිසක්‌ වූහ. ඔවුහු දෙවන සංගායනාවෙන් පසු "මහා සංගීතිය" නමින් වෙනම සංගායනාවක්‌ පැවැත්වූහ. ඒ බව මහා වංශයේත් නිකාය සංග්‍රහයේත් දක්‌වා ඇත.

"දෙවනි වූ සංගායනාවේ ස්‌ථවිරයන් විසින් නිග්‍රහ කරන ලද සියලු දස දහසක්‌ ඒ පාප භික්‌ෂූහු මහා සංගීති නම් වූ ආචාර්ය වාදයක්‌ කළාහුය. "

(මහාවංශය සිංහල සංස්‌කරණය - 2003 දෙසැ( මුද්‍රණය බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානය)

මේ දෙපිරිසේ සංගායනා දෙකින් පසු සිදු වූ වැදගත් මැ දෙය දෙපිරිසේම භික්‌ෂූන් විවිධ මතවාද හේතුවෙන් බෙදී වෙන් වී කැඩී බිඳී යාමය. ඔවුහු විවිධ මතවාද මත බිඳෙමින් බෙදෙමින් තමන්ගේම නිකායක්‌ නියෝජනය කළෝය. මහා සංගීති කාරක භික්‌ෂූහු මුලදී ගෝකුලික "ඒක සබ්බෝහාරික" නමින් නිකාය දෙකක්‌ ලෙස බෙදී ගියෝය. අනතුරුව "ගෝකුලික"යෝ "පුග්ගල පන්නති" "බාහුලක" සහ ""ෙච්තියවාදී" ලෙසින් අනු කොටස්‌ තුනකට බෙදී නිකාය තුනක්‌ ලෙස සංවිධානය වූහ.

මීටත් වඩා බරපතළ බෙදී යාමකට මුහුණ දුන්නේ ථෙරවාදී භික්‌ෂු පරම්පරාවයි. මුලදී "මහිංසාසක" සහ "වඡ්ජිපුත්ත" ලෙසින් කොටස්‌ දෙකකට වෙන්වී බෙදී ගිය අතර මහිංසාසක පරපුර සබ්බත්තිවාදී සහ ධම්මගුත්තිය ලෙසින් නැවතත් බෙදී වෙන්වී ගියෝය. අනතුරුව මේ දෙපිරිස "කස්‌සපීය , සංකත්තික සහ සුදන්තවාදී ලෙසින් තවත් කොටස්‌ තුනකට බෙදී ගියහ. ස්‌ථවිර වාදීන්ගේ අනෙක්‌ පිරිස වූ වඡ්ජිපුත්ත භික්‌ෂූහු "සම්මුත්තරිය", "බද්‍රයානික", "ජන්නාගාරික" සහ "සම්මිතිය" යෑ යි සිව් පිරිසක්‌ව භින්නව ගියෝය. තුන්වන ධර්ම සංගීතයට හේතු සාධක ගොඩ නගන්නේ නිකාය දහඅටකට බෙදී ගිය මේ පිරිසේ ක්‍රියාකාරකම්ය.

බුදුන් වහන්සේ පිරිනිවීමෙන් වසර දෙසිය තිස්‌ හයක්‌ ඉක්‌මැ ගොස්‌ දම්සෝ නිරිඳුන් ගේ රජසමයේදී මොග්ගලී පුත්ත තිස්‌ස මහ රහතුන් වහන්සේ ගේ මූලිකත්වයෙන් තුන්වන ධර්ම සංගායනාව පැවැත්වෙන්නේ මහා වංශයේ දැක්‌වෙන පරිදි "ලාභ සත්කාර හීන වූ තීර්ථකයන් ලාභ හේතුවෙන් තමන්ම සිවුරු දරා ගෙන දුර්මත පහළ කෙරෙමින් කළ සසුන කිලිටි කිරීමට එරෙහිවයෑ."

සංගායනාවෙන් අනතුරුව දුසිල් මහණුන් සැට දහසක්‌ සිවුරු හරවා සසුනින් නෙරපූහ. මේ සඳහා ධර්මාශෝක රජුගේ බලය ද භාවිතයට ගත්තා විය හැකිය. සත් වසරක්‌ මුළුල්ලේ පෝය පවුරුණු කළ නොහැකිව සිල්වත් භික්‌ෂූන් වහන්සේ පීඩා වින්දේ මෙතරම් විශාල දුසිල්වතුන් පිරිසකගේ බලයට සසුන හසු වී තිබූ නිසා විය යුතුය. බුදු සසුනේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතියත් සිතීමේ විමැසීමේ නිදහසත් ඛුද්දානු ඛුද්දක සික්‌ඛාවන් පිළිබඳ ගැටලුවත් විවිධ මත වාදයන් මතුවීමටත් පවත්වා ගැන්මටත් හොඳ පොහොරක්‌ විය.

පළමුවන ධර්ම සංගායනාවේ සිටම සියලු මැ රහතුන් වහන්සේ උත්සාහ කළේ බුදු දහම හා විනය නිර්මලව පවත්වා ගැන්මටයෑ. දහමට හා විනයට පටහැනි විෂම මතවාදවලින් සසුන කිළිටි වූ විට එය නිබ්බාන මාර්ගයට බාදාවක්‌ වන බව උන්වහන්සේ වටහා ගත්හ. ඒ නිසා අවස්‌ථා තුනෙක දී මැ දුර්මත ඉවත ලා බුදු මතයම තහවුරු කිරීමට රහතුන් වහන්සේ පියවර ගත්හ. රහතුන් වහන්සේට දහම ගැන කිසිදු ගැටලුවක්‌ නොවීය. ඒ උන්වහන්සේ සත්‍ය දුටු නිසාය. දහම දුටු නිසාය. සත්‍යාවබෝධය ලත් රහතුන් තුළ දහම පිළිබඳව ගැටලු නොවීය. සියල්ලන්ම එකම සත්‍යය දුටු බැවිනි.

එහෙත් පෘථග්ජන භික්‌ෂූන්ට බොහෝ ගැටලු විය. ඒ ඔවුන් ධර්මය ලෞකික විෂයයක්‌ ලෙස ප්‍රගුණ කළ බැවිනි. ප්‍රඥාවෙන් ලබාගත යුතු නිර්වාණාවබෝධය ලෞකික ඥානයෙන් ලද නොහැකිය. දහම පිළිබඳව විවිධ ගැටලු මතුකළෝ ඔවුහුය.

"ථෙරවාද" සහ "මහාසංඝික" යන මේ දෙපිරිසෙහිම සිටි පෘථග්ජන භික්‌ෂූහු විවිධ ගැටලු මතු කළහ. විවිධ මතවාද පිළිගත්හ. ඒ නිසාම ඔවුන් සතු විවිධ අර්ථකතනද විය. එය "නිබ්බාන ගාමිනි පටිපදා වට බාදාවක්‌ විය."

මේ භේද හා මතවාදවලින් පිළිවෙත් සරු නිවන් මග දුරස්‌ වුවද එය ලෞකික විෂය පද්ධතියේ දියුණුවට මං පෙත් හෙළි කළේය. නාගර්ජුන, වසුබන්ධු ආර්යදේව වැනි මහා බෞද්ධ දාර්ශනිකයෝ බිහිකළෝ මේ මතවාද යෝ යෑ. නාලන්දා, වික්‍රමශීලා, ඕදන්තපුර, සෝමපුර, ජගද්දලා වාලභි, යන විශ්වවිද්‍යාල බිහිවන්නේ මේ දෙපිරිසේම මූලිකත්වයෙනි.

ලක්‌දිවට බුදු සසුන ලැබෙන්නේ තුන්වන ධර්ම සංගායනාවේ ඵලයක්‌ ලෙසිනි. වංශ කථාවල සඳහන් පරිදි ලක්‌දිව රජකළ "තිස්‌ස්‌" රජු හා "අශෝක" රජු අතර වූ මිත්‍රත්වයද මෙයට අනියම් ලෙසින් හේතු වූවා විය හැකිය.

මහාවංශයේ මේ පුවත මෙසේ වාර්තා වෙයි. "පොසොන් පුනු පොහෝ දවස්‌හි ස්‌ථවිර තෙමේ තෙරුන් සතර දෙනාය, සුමන සාමණේරය, භණ්‌ඩුක නම් ඒ අනාගාමී කුමාරය යන මොවුන් හා කැටිව නෑයින් බලා එහි නො ඇළුණු සේක්‌ ඒ විහාරයෙන් අහසට නැගි මහා සෘද්ධි ඇති සේක්‌ ක්‌ෂණයකින්ම මෙහි වැඩ සිත් කලු මිශ්‍රක පර්වතයෙහි පියල් කුල උතුම් රුචිර අඹ තලයෙහි වැඩ සිටි සේක.

(මහා වංශය සිංහල (- දහතුන්වන පරිච්ඡේදය - බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානය 2003 දෙසැම්බර්)

මිහින්තලයේ දී සිදුවූ දෑ සිංහල බෞද්ධයෝ සියල්ලෝම දනිති.

මිහිඳු හිමියන් මිස්‌සක පව්වෙන් රජ මැදුරට වඩින්නේ දෙවන දිනයි. එතුමෝ රජ මැදුරේදී දම් දෙසති. රාජකීයයෝ ධර්මයේ බැඳෙති. මෙසේ දින විසි හයක්‌ අගනුවර විසීම සිදු වෙයි. දින විසි හය එතුමන්ට අතිශයින් ම කාර්ය බහුල සමයක්‌ විය. රජ ගෙදරින් අනතුරුව විශාල ඇත්හලක්‌ පිරිසිදු කොට සකසා නගර වැසියන්ටත් බණ ඇසීමට ඉඩ සලසයි. ඉක්‌බිති රාජකීය නන්දන උයන දක්‌වා මේ බණ පිරිස්‌ ව්‍යාප්ත වෙති. ඒ අතර රජු හා එක්‌ වැ බුදු සසුන ස්‌ථාපිත වීමට අවැසි සකල විධ ශාසනික අංගෝපාංග ස්‌ථාපිත කිරීමට පියවර තබයි. මහමෙවුනා උයන සසුන්ගත කිêමෙන් අනතුරුව සංඝකර්ම ස`දහා සීමා සලකුණු තැබීම. පොහොය ගෙය බත්හල පමණක්‌ නොව "ශ්‍රී මහා බෝධියත් මහා ථූපයත්" පිහිටුවන තැන් පවා එතුමෝ සලකුණු කරති. මෙසේ අතිශයින් මැ අවිවේකී දින විසිහයක්‌ ගෙවී යන්නේ තිර ලෙසම බුද්ධ ශාසනය පිහිටුවා ස්‌ථාපනය කිරීමේ මූලික අඩිතාලම දමමිනි. යුවරජ බිසවූ අනුලා දේවිය ඇතුළු කාන්තා පිරිසේ අභිsමතය වූ සසුන්ගත වීම ඉටු කරනු වස්‌ සංඝමිත්තා මහ රහත් තෙරණිය ශ්‍රී මහා බෝධියද රැගෙන ලංකාවට වැඩමවීම සිදු වෙයි. මිහිඳු මහ රහතන් වහන්සේ දින විසිහයෙන් අනතුරුව වස්‌වසනු වස්‌ මිස්‌සක පව්වට වැඩම කෙරෙති. මේ වන විට අරිට්‌ඨ කුමරු ඇතුළු පනස්‌ පස්‌ දෙනෙක්‌ සසුන්ගතව මහණ දම් පුරති. ඔවුහු හෙළ භික්‍ෂූහු වෙති. මිහි`දු හිමියන් සම`ග වැඩි පස්‌දෙනා ලංකා බුද්ධ ශාසනයේ මුල්ම සඟසැට නමක්‌ බිහි කරති.

ලංකාවේ බුදු සසුන පිහිටු වීමේ ඓතිහාසික සිද්ධි මාලාව වංශ කතාවන් හි අටුවාවල වාර්තා වී ඇත්තේ ඒ අයුරිනි.

වංශකතා වාර්තාවලින් කියවෙන්නේ සම්බුද්ධ ශාසනයේ ආරම්භය මහින්දාගමනයෙන් සිදු වූ බවයි. බුදුන් වහන්සේ තෙවරක්‌ වැඩ දහම් දෙසා පූජා භාණ්‌ඩ වශයෙන් සිරිපා සටහනත්a කේශධාතුන් වහන්සේලාත් වඩා හිඳුවා ගිය රටක කිසිම බෞද්ධයෙක්‌ නොවූ අන්දමට හැඟවෙන වාර්තා සටහන් තැබීම විමතියට හේතු වී ඇත.

බුදුන් වහන්සේගේ පළමු ලංකා ගමන සිදුවන්නේ බුද්ධත්වයෙන් පස්‌ වෙනි මස දුරුතු පුර පෝදිනයයි. වංශකතාව කියන පරිදි උන්වහන්සේ යකුන් ගිරි දිවයිනට යවා පසුව කළ ධර්ම දේශනාවේදී කෙළ ගණන් සත්වයන් සෝවාන් ඵලාදියට පැමිණ ධර්මාවබෝධය ලබා ගත්තේල. මේ ඵලාදියට පැමිණි කෙළ ගණන් සත්වයෝ කවරහුදැයි නොදනිති.

දෙවන ලංකා ගමන සිදුවන්නේ බුද්ධත්වයෙන් පස්‌වෙනි වසරේය. ඒ නාගදීපයටය. ඒ අවස්‌ථාවේ කළ ධර්ම දේශනාව අසා " අසූ කෙළක්‌ නයි තුන් සරණයෙහි ද පිහිට වි හු ලු බුදුරජුන්ගේ දෙවන ගමනේදී ලත්a ඇරියුම පරිදි සිදුවන තෙවන ගමන කැළණියට වැඩම කරවයි. මේ හැම අවස්‌ථාවක දීම එතුමෝ දහම් දෙසති. ධර්මාවබෝධය ලබති. ඒ සියල්ලෝම අතර මනුෂ්‍යයෝද වෙති. සමහරෙක්‌ නාගයෝය. සමහරෙක්‌ යක්‌කුය. මේ බෞද්ධ පිරිස්‌ මහින්දාගමනය වන විටත් ඒ ඒ ස්‌ථානයන්හි විසුහ යි සිතීම වැරදි නැත.

බරපතළම වැරැද්ද ඒ පුවත් වංශකතා රචකයන් හිතාමතාම වසන්කර තිබීමය.

ලක්‌දිව මුල්ම ථූපය ගොඩ නංවන්නේ සමන්තකූඨ වාසී සුමන දෙවි රජය. ඒ බුදු හිමියන්ගෙන් ලත් කේශධාතු නිධන් කොට බිම්තැන්නේය. (මහීඅංගන) මීට ආසන්නම කාලයේ "නාවික සොයුරන්" දෙපොළ වන තපස්‌සු භල්ලුක බුදු හිමි සත් සතිය ගෙවන අවස්‌ථාවේ විලඳ මී පැණි පුදා බණ ඇසීමෙන් අනතුරුව පූජා භාණ්‌ඩ ලෙස ලත් කේශධාතු නිදන්කොට " ගිරිහ`ඩු" ථූපය ගොඩනැංවූහ. මේ ථූපයෝ දෙකම තවමත් මේ පින් බිමෙහි වැඩ වෙසෙති. " ගිරිහ`ඩු සෑය කළ තපස්‌සු භල්ලුක නාවික සොයුරන් පිළිබ`දව ලිය වී ඇති සෙල්ලිපියක "තපස්‌සු භල්ලුක යන නම් දෙකම පැහැදිලිව සටහන්ව තිබූ බව මහාචාර්ය සෙනරත් පරණ විතාන සූරිහු ද තහවුරු කරති. මේ සියලු කටයුතු සිදුකරන්නේ බුදුන් වහන්සේ දිවමන් කලම මෙහි සිටි බෞද්ධයෝයෑ.

"සමන්කුලු වැසි" "සුමන" දෙවියන් ආටානාටිය සූත්‍රයේ දැක්‌වෙන සුමන යක්‌ෂයාම යෑ යි "පරණ විතාන" වියත් හු දක්‌වන අදහස පිළිගන්නේ නම් "සුමන යක්‌ෂයා බුදුහිමියන්ගේ ලංකා ගමනින් පසුව දිගින් දිගටම උන්වහන්සේ සමග සමීප සබඳතා පවත්වමින් සිටි බව පෙනී යයි. පසුව හේ දේවත්වයෙන් පිදුවා විය හැකිය.

මහියංගනය ථූපය පිළිබඳව කළ තවත් නිධන් කිරීමක්‌ පිළිබඳව මහා වංශයේ මෙබඳු තොරතුරක්‌ වාර්තා වෙයි.

"සර්වඥයන් වහන්සේ පිරිනිවී කල්හි ශාරිපුත්‍ර ස්‌ථවිරයන් වහන්සේගේ ශිෂ්‍ය වූ මහත් Rද්ධි ඇති "සරභූ" නම් ස්‌ථවිර තෙමේ දර සෑයෙන් සර්වඥශ්‍රී ශ්‍රීවාස්‌ථි ධාතුව සෑයෙන් රැගෙන (මෙහි) ගෙනවුත් එම චෛත්‍යයෙහි තබා භික්‍ෂූන් විසින් පිරිවරන ලද්දේ මෙදෝවර්ණ පාෂාණයෙන් වස්‌වා දොලොස්‌රියන් උස දාගැබක්‌ කරවා වැඩිසේක."

(මහා වංශය එම)

මේ විස්‌තරය අනුව පෙනී යන්නේ මහියංගනය දා ගැබෙහි සුමන දෙව්රජ තැන්පත් කළ "කේශධාතු" කර`ඩුවත්, "සරභූ" හිමියන් තැන්පත් කළ ශ්‍රීවා ධාතුවත් යන උතුම් වූ පූජා වස්‌තු දෙකම ඇති බවයි.

දැවෙන දර සෑයෙන් ශ්‍රීවා ධාතුව රැගෙන ලක්‌බිමට පැමිණ මෙරට ථූපයක එය තැන්පත් කිරීමට තරම් විශේෂ හේතුවක්‌ තිබිය යුතුය. විය හැකි එකම හේතුව "සරභූ" හිමියන් ලක්‌බිමෙහි උපන් හිමි නමක්‌ විය යුතුය. බුදුහිමි ලක්‌දිවට පැමිණි අවස්‌ථාවක මහණ වූ කෙනෙක්‌ විය යුතු යෑ. මේ පිළිබඳව නිවන්දම ශ්‍රී ධර්මකීර්ති හිමිපාණෝ මෙබඳු අදහසක්‌ ඉදිරිපත් කරති.

"සරභු මහ රහතුන් වහන්සේගේ කථා ප්‍රවෘත්ති ය මඳක්‌ විමැසිල්ලට ගත යුත්තක්‌ සේ පෙනේ. ඉහත සඳහන් මහාවංශ ප්‍රවෘත්තියෙහි විස්‌තර වන පරිදි උන්වහන්සේ සැරියුත් තෙරුන් වහන්සේගේ ශිෂ්‍යයෙකි. දඹදිව වැඩ සිටි උන්වහන්සේ ගී්‍රවා ධාතුව රැගෙන ලක්‌දිවට ඒමත් එය මහියංගනය දාගැබෙහි නිධන් කිරීමත් සැලකිල්ලට ගතයුතු වැදගත් කරුණකි. අපගේ විශ්වාසය නම් මේ කියන "සරභූ" තෙරුන් වහන්සේ ලක්‌දිව වැසි "යක්‌ෂ" ගෝත්‍රිකයෙකි. බුදුරජාණන් වහන්සේ පළමුවරට ලංකාවට වැඩ දෙසූ ධර්මය අසා සෝවාන්ව "දඹදිව" ගොස්‌ එහිදී පැවිදිව රහත් වූ අයෙකි. උන්වහන්සේ කලක්‌ දඹදිව වැඩ සිට බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමත් සම`ගම ගී්‍රවා ධාතුව රැගෙන සිය ජන්ම භූමිය වූ මහියංගනයට ආපසු වඩින්න ඇත."

(ශ්‍රී ලංකාවේ 2500 වසරක සංක්‍ෂිප්ත ශාසන ඉතිහාසය - නිවන්දම ශ්‍රී ධර්ම කීර්ති හිමි - බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථාන ප්‍රකාශය 2009)

සරභූ හිමියන් මේ ධාතු පිංකම කරන්නේ තනිව හුදකලාව හොර රහසේ නොවේ. මහා වංශය වාර්තා කරන පරදි "භික්‌ෂූන් පිරිවරා" කළ කටයුත්තකි. මේ පිරිවරා සිටි භික්‍ෂු පිරිස දඹදිවින් පැමිණි අය නොවේ. මේ බිමෙහිම සිටි භික්‍ෂු පිරිසෙකි. මේ පිරිස බුදුන් වහන්සේ ලක්‌ බිමට වැඩි අවස්‌ථා තුනේදී උන්වහන්සේ වෙතින් මැ පැවිද්ද ලැබූ පිළිවෙත් සරු මහා සංඝ පරපුර විය හැකිය.

බුදුන් ජීවමානව සිටියදීම උන්වහන්සේ ගේ "කේශධාතු නිධන්කොට ගිරිහ`ඩු ථුපයත් මහියංගන ථූපයත් ගොඩනැංවෙයි. ගී්‍රවාධාතුව නිධන්වන්නේ උන්වහන්සේගේ ආදාහනය සමගම යෑ මේ ථූපයන් පූජා ලබන්නට නම් බුදු බැති පිරිස්‌ මෙන්ම භික්‌ෂු පරපුරක්‌ද බුදුන්ගේ ලංකා ගමන සමග මැ ආරම්භ විය යුතුය. ගැටලුව මේ තොරතුරු අපේ වංශකතා ලොප්කොට තිබීම යෑ."

මිහිඳු මහ රහතුන් වහන්සේ ලක්‌බිමට වඩින සමයෙහිත් මේ භික්‌ෂු පිරිස්‌ විවිධ ප්‍රදේශවල ආගමික කටයුතුවල නිරත වූහ. ඔවුන් ආරාමික ජීවිතයක්‌ ගතකළේ තම තමන්ගේ පාරම්පරික ශිල්ප ශාස්‌ත්‍ර ප්‍රගුණ කරමිනි. "වෛද්‍ය කර්මය, සූර්ය ශාස්‌ත්‍රය තාරකා ශාස්‌ත්‍රය, වාරි වාපි ශිල්පක්‍රම" ආදිය මේ ශිල්ප ක්‍රම අතර මූලික විය. මිහිඳු මහ රහතුන් වහන්සේ ලක්‌බිමට රැගෙන ආවේ සංගායනා තුනකින් පෙරී මහරහතන්ගේ පිළිගැන්ම ලැබූ විනය මූලික සංවිධානාත්මක ශාසනයකි. උන්වහන්සේ මේ බිමට සැපත් දිනයේ සිටම ඉතාම කඩිනමින් කටයුතු කළේ මේ ශාසනය තිර ලෙසම මෙහි පිහිටුවා ලීමට යෑ. මහා විහාරය පිහිටුවා බිහිකළ ප්‍රථම භික්‍ෂු හැට නම ලංකා බුද්ධ ශාසනය ගොඩ නැගු මූල පදනම විය. ලෝවා මහාපාය, මිරිසවැටිය, මහාථූපය ගොඩ නගා ඒකීය රාජ්‍ය සංකල්පය බිහි කළ "ගාමිනී අභය" නරනිඳු ගේ දේශපාලනික ක්‍රියා මාර්ගයේ සටන් පාඨය බවට පත් වූයේ මාගේ මේ ව්‍යායාමය කිසිකලෙකත් රජසැප පිණිස නොව සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම සඳහා ය යන්නයෑ.

මේ සටන් පාඨය ජනතා බලවේග පෙළ ගැස්‌වූ දිව මතුරක්‌ වූයේ මිහිඳු හිමියන් ගෙනා බුදුසසුන මේ බිමේ මෙන්ම මිනිස්‌ සන්තානයේ මුල් ඇදී තුබූ බැවිනි. මහින්දාගමනයෙන් ගෙනා සංවිධානාත්මක සම්බුද්ධ ශාසනය මෙසේ ක්‍රියාත්මක වෙද්දී මේ බිමේ උපන් මුල් භික්‍ෂු පිරිස්‌ද තම ආවේණික ශිල්ප විධි ප්‍රගුණ කරමින් මැ භික්‍ෂුත්වයේ කටයුතු කරගෙන හුදකලා දිවි පෙවෙතක්‌ ගෙන ගියෝය.

වලගම්බා නිරිඳුන්ට සිහසුන අහිමි කළ "පුල්ලහත්ථ" ආදී ද්‍රවිඩයන් පස්‌දෙනා රාජ්‍ය බලය පැහැරගත් සමයේ වන වැදී අප්‍රකට ජීවිතයක්‌ ගතකළ රජුට නැවත සිහසුන ලබාදීම දක්‌වා උදව් උපකාර කළ "මහා තිස්‌ස්‌" නැමති භික්‌ෂූන් වහන්සේ බුදුන් වහන්සේ ලක්‌බිමට වැඩි අවස්‌ථාවල මහණ වූ භික්‍ෂු පිරිසෙන් පැවැත එන්නෙක්‌ විය යුතුය. "ගිරි" නිගන්ඨ ආරාමය බිඳ දමා තැනූ අභයගිරි මහ පුද බිම මේ "මහාතිස්‌ස්‌" තෙරුන් වහන්සේට පූජා කළේ කළ ගුණ සැලැකීමෙක්‌ වශයෙනි.

මේ මහා පින්කමට "මහා විහාර පාර්ශ්වය දැඩි විරෝධයක්‌ එල්ල කළේ "මහා තිස්‌ස්‌" ස්‌වාමීන් "කුල සංඝට්‌ඨ" වෙනවාය යන බරපතල චෝදනාවද සමගිනි. රජුගේ සෙනෙවිවරුන් පස්‌ දෙනෙක්‌ ද විහාර ගොඩනගා මේ හාමුදුරුවන්ට පිදීම මහා විහාර වාසීන්ගේ බලවත් නොසතුටට හේතු විය. මේ පිළිබඳව වල්පොල රාහුල හිමියෝ මෙසේ පවසති.

"කලින් අප්‍රධාන පසල් දනව්වක වාසය කළ "මහා තිස්‌ස්‌" ස්‌ථවිරයන් අනුරාධපුරයෙහි වැඩ විසීමට පැමිණියේ රජුගේ ආරාධනය පිටය. එබැවින් ඒ තෙරුන් වහන්සේ පාලක පිරිස කෙරෙහි තරමක බලයකින් හා අනුභාවයකින් යුක්‌තව සිටින්ට ඇතැයි සිතිය හැකිය. මේ කරුණින් මහා විහාරවාසී භික්‌ෂූන්ගේ නම්බුව හා බලය සැලී ගිය බව පෙනේ. පසු විටෙක ඔවුහු "කුල සංඝට්‌ඨ" චෝදනාවෙන් චෝදනා කොට පබ්බාජනීය කර්මය කළාහුය. එසේ කිරීමෙන් බාගෙදා ඔවුන් රජු හා සෙනෙවියන්ගේ ක්‍රියා කලාපයට තම විරුද්ධත්වය අනියම් මගින් පළ කළා විය හැකිය.

(ලංකාවේ බුදු සමයෙහි ඉතිහාසය වල්පොල රාහුල ස්‌වාමීන් වහන්සේ - දෙවන මුද්‍රණය 1965. M D ගුණසේන සහ සමාගම)

මේ සිද්ධිය සරල සිදුවීමක්‌ නම් නොවේ. මහා විහාරයේ විනය කර්මයට විරෝධය පළ කළ මහා තිස්‌ස තෙරුන්ගේ ශිෂ්‍ය පිරිස අභයගිරිය මහා විහාරයෙන් වෙන්විය යුතුය යි තීරණය කොට ඒ අනුව ක්‍රියා කළෝය. මිහිඳු මහරහතුන් වහන්සේ ස්‌ථාපිත කළ ථෙරවාදී සම්පූදාය ඉරිතලා ගියේය.

එක්‌ අතකින් මෙය මහා විහාර භික්‍ෂු පිරිසේ ඉක්‌මන්කාරී ක්‍රියා මාර්ගයක ඵලයකි. වලගම්බා නිරිඳුන්ගේ අභයගිරි පූජාව පෞද්ගලික පිදීමක්‌ යෑයි ද එය සම්ප්‍රදාය විරෝධී පූජාවක්‌ යෑ යි ද යන චෝදනාව විමැසිල්ලට හසු කළ යුතු යෑ.

මහාවිහාර භික්‍ෂු හූ සංගායනා තුනක විමැසුමට හසුව පිළිගත් විනය සම්ප්‍රදායක්‌ රැකි පිරිසක්‌ වූහ. එහෙත් අභය ගිරිය පූජා කළේ ඒ පිරිසට නොවේ. බුද්ධ කාලයේ සිට ලක්‌බිම පැවිදි වී පිළිවෙත් රැක්‌කා වූ "සරභූ" රහතුන් වහන්සේගේ සමයේ සිට පැවත එන මේ රටේම සිටි දේශීය භික්‌ෂු පරපුරින් පැවැත එන ථෙර නමකටය. ඒ භික්‌ෂු පිරිස ඉන්දියානු ධර්ම සංගායනාවල තීරණවලට බැඳී සිටි හෝ දැනගත් හෝ පිරිසක්‌ නොවූහ. බුදුන් වහන්සේ තෙවරක්‌ම ලක්‌දිවට වැඩි සේක. ඒ අවස්‌ථාවල බණ අසා පැහැදී සසුන්ගතව සිටි බොහෝ භික්‌ෂු පිරිස්‌ වූහ. ඔවුහු ඉන්දියානු විනය ප්‍රඥප්ති නොදත්හ. ඔවුහු තම වර්ගයාට ආවේණික විවිධ ශිල්ප ශාස්‌ත්‍ර ක්‍රම අත් නොහැරම ආරාමික අපිස්‌ දිවි පෙවෙතක්‌ ගෙවූහ. ඒ හැරුණු විට සංගායනාවලින් පිළිගත් විනය නීති රීති රැකීමට ඔවුන් දැන සිටියේ නැත. ඊට ප්‍රබල හේතුවක්‌ විය. බුදුහිමියන්ගේ තෙවන ලංකා ගමන සිදු වන්නේ බුද්ධත්වයෙන් අටවන වසරේදී යෑ. ඒ වන විට පැමිණි අවස්‌ථා දෙකකදී මහණ වූ පිරිස්‌ වූහ. බුදුන් වහන්සේ මුල්වරට විනය නීති පනවන්නේ බුද්ධත්වයෙන් වසර විස්‌සකට පසුවය. ඒ ඉන්දීය බිමේදී එහි භික්‍ෂු පිරිසට යෑ. ලංකාවේ විසූ භික්‍ෂූහු මේවා දන්නේවත් ඒවාට බැඳීමක්‌ ඇත්තෝවත් නොවූහ. එසේ තිබියදී මහා විහාර පිරිසේ විනය චෝදනා පෞද්ගලික අමනාපකම් මත ගොඩ නැගුනු ඒවා බව පෙනේ.

කෙසේ වෙතත් අභයගිරි විහාර වාසීන් වෙනම පිරිසක්‌ ලෙස මහා විහාරයට අභියෝග කිරීම මහාවිහාරිකයන් අපේක්‍ෂා නොකළ දෙයක්‌ විය. ඔවුන් සිතන්ට ඇත්තේ මහාවිහාර බලය අබියස අභයගිරිවාසීන් යටත්ව කීකරුව තම අනේවාසිකයන් ලෙසින් සිටිය හැකිය කියාය. මේ වෙන්වීම විහාර වාසීන් තුළ කෙබඳු කම්පනයක්‌ ඇති කළේද යන්න "මාතුල" ජනපදයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරුඪ කිරීමට පෙළැඹීමෙන්ම පෙනේ.

මේ කාලයේ සිදුවී යෑ යි සඳහන් "බැමිනිටියා" සාගතය නිසාත් ද්‍රවිඩ බලයට රාජත්වය යටත්වීම නිසාත් ත්‍රිපිටකය ග්‍රන්ථගත කළේ යෑ යි කියවෙන පුවත් විමැසිය යුතුය. බැමිනිටියා සාගතය නිසා ඈති වූ ආහාර හි`ගය භික්‌ෂූන් වහන්සේලාටත් තදින් බලපෑ බව සැබෑය. එහෙත් රුහුණේ "තිස්‌ස මහා වෙහෙර, සිතුල්පව්ව" වැනි ආරාමික මූලස්‌ථානවලට මේ සාගතය බලපෑවේ නැත. සාගත සමයේ භික්‌ෂූ හු රුහුණේ සේම තැන් බලා වැඩියහ.

ද්‍රවිඩ බලය නිසා ත්‍රිපිටකය ලියා තැබීය යන්නද එතරම් තාර්කික නොවේ. "සේන - ගුත්තික" දෙදෙනා වසර 22 ක්‌ රට කළෝය. අසේල රජුට සිහසුන දැරීමට සිදුවූයේ වසර දහයකි. අනතුරුව එළාර රජු වසර හතලිස්‌ හතරක්‌ම රට පාලනය කරයි. මේ සා දිගු කාලයක්‌ රාජ්‍ය බලය නොරටුන් සතුව පැවැති සමයක මහා විහාරවාසීන් ත්‍රිපිටකය ලියා තැබීමට කල්පනා කළේ නැත. වලගම්බා සමයේදී ද්‍රවිඩයන් අත බලය රැඳෙන්නේ වසර පහළොවක්‌ වැනි කෙටි කාලයකි. එසේ තිබියදී ත්‍රිපිටකය ලියා තබන්නේ ඇයි ?

"අභයගිරිය" වෙන්ව යාමෙන් තමන් රැකි දහමට බලපෑමෙක්‌a විය හැකිය යන අනාගත බිය නිසා විය යුතුය. මෙය සනාථ වන්නේ මේ කටයුත්ත සඳහා කිසිදු රාජ්‍ය අනුග්‍රහයක්‌ අපේක්‍ෂා නොකරමැ සිදු කිරීම නිසාය.

අභයගිරි වාසීන්ට කුල සංඝට්‌ඨ චෝදනාව නගන මහාවිහාරිකයෝ සද්ධාතිස්‌ස රජු ඇවෑමෙන් සිහසුනට පත් කරන්නේ රජකම උරුම "ලජ්ජිතිස්‌ස්‌" කුමරු නොව තමන්ට හිතවත් ථුලත්ථන කුමරුය. වලගම්බා රජුගේ පුත් චොරනාග රජු පවුකාරයෙකු ලෙස සඳහන් කරන මහානාම හිමි ඒ රජු "ලෝකාන්තරික" නිරයෙහි උපන් බවක්‌ ද කියයි. චෝරනාග රජුගේ බිසව වන "අනුලා" රැජින අතීශයින් කාමාතුර කාන්තාවක්‌ ලෙස වාර්තා කරයි. වෙනත් කිසිදු ඓතිහාසික තොරතුරක්‌ නැති සමයක මේවා සත්‍යයයි පිළිගැනීමට සිදුව තිබේ. අනුලා රාජිණිය මරා රජ වන්නේ "මකලන් තිස්‌" නම්වූ මහා චූලික රජුගේ දෙවන පුතාය. ඔහු "මහණව" සිට සිවුරු හැර මේ වික්‍රමය කළ බව මහාවංශය කියයි. මෙයින් පේන්නේද මේ රාජ්‍ය පෙරෑළියේ පසුබිම මහාවිහාරය බවයි. "කර්ණරාජාණු තිස්‌ස්‌" රජ සෑගිරි පොහෝගෙයි කළ අධිකරණ විනිශ්චයක්‌ නොපිළිගත් භික්‌ෂු හැට දෙනෙක්‌ රජු මැරීමට කළ කුමන්ත්‍රණයක්‌ හෙළි වීමෙන් අනතුරුව සෑගිරි පවුවෙන් හෙළා ඒ භික්‍ෂු පිරිස මරණයට පත් කළ පුවතක්‌ද මහා වංශයේ කියෑවෙයි.

මහාවිහාරික භික්‍ෂූන් මෙසේ රාජ්‍ය බලයට දිගින් දිගටම ඇඟිලි ගසන්නේ තම පැවැත්ම තහවුරු කර ගැන්ම සඳහාය. "මහසෙන්" වැනි දේවත්වයෙන් පිදුම් ලැබූ අතිශයින් ජනහිතකාමී රජ කෙනෙක්‌ පවා මහා විහාරය විනාශ කිරීමට පෙළඹෙන්නේ ඇයි ? මේ පිළිබඳව ඇති සියලුම මූලාශ්‍ර මහාවිහාර පාර්ශවීය ඒවා නිසා තුලනාත්මක අධ්‍යයනයක්‌ කිරීමට නොහැකි වී තිබේ.

මහසෙන් කුමරුට උගැන්වූ "සංඝමිත්‍ර" භික්‌ෂුවගේ බලපෑම මත මහාවිහාරයට එරෙහිව ක්‍රියාකළේ යයි කියවෙන පුවත විශ්වාස කළ නොහැකිය. දිගින් දිගටම ඉන්දීය සම්ප්‍රදායන් මේ බිමෙහි ස්‌ථාපිත කිරීමට ගත් තැතට බොහෝ රජුන් එරෙහි වූ අවස්‌ථා විය. මේ පිළිබඳව මහසෙන් නිරිඳුන් ගැන කියෑවෙන මහාවංශ පුවතින් අපට යමක්‌ හිතාගත හැකිය. "කාලවේල යක්‌ෂයාගේ දෙවොලෙහි සෑයකුදු බැදවී" යන පුවත වැදගත් වේ.

මහසෙන් රජු බුදු සමයට එරෙහි රජෙකු නොවේ. එතුමෝ ජේතවන මහ දාගැබ ඇතුළු බොහෝ ආගමික ආයතන ඇති කළෝය. එතුමා විරුද්ධ වූයේ මහාවිහාරයට පමණි. බුදු දහමට මෙන්ම පාරම්පරික ඇදහිලි වලට මහසෙන් රජු දක්‌වන අනුග්‍රහය ගැන මහා විහාරික භික්‌ෂූන් එරෙහි වීම නිසා මේ ගැටුම ඇරඹුනා විය හැකිය.

මහා විහාර වාසීන් කළ අතිශයින් බරපතල සාහසික ක්‍රියාව ලෙස සැලැකිය හැක්‌කේ අවස්‌ථා කීපයකදීම රජුන් ලවා කළ පත පොත ගිනි තැබීම්ය. "වෝහාර තිස්‌ස්‌" රජු ලවා අරඹන මහා විහාර මතවාදයන්ට එරෙහි පත පොත ගිනි තැබ්බවීම ගෝඨාභය රජුන් කල තවත් දරුණු අන්දමට සිදුවේ. මේ නිසා අතීශයින්ම අගනා ශාස්‌ත්‍රීය පත පොත විශාල වශයෙන් විනාශය කරා ගෙන යැම "ථෙර වාදයේ" නාමයෙන් කළ තවත් ශාසනික විනාශයකි.

ලක්‌දිව හා දඹදිව නිකාය භේදය පිළිබඳව ඇති සමාජ මෙන්ම සාසනික ගැටලු ඉතා සංකීර්ණය. සියලු ප්‍රශ්න හා ගැටලු බුදු දහමේ කරුණු ලෞකික ඇසින් බලා නිගමන වලට එළැඹිමේ ඵලයක්‌ නොවේද?

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.