හූවර් වේල්ලේ ඉතිහාසය

රොකී කඳුවැටියෙන් පටන් ගෙන නිරිත දිගට ගලන කොලරාඩෝ ගංගාව සැතපුම් 1470 ක්‌ ගලා ගෙන ගොස්‌ කැලිෆෝනියා බොක්‌කට ඇතුළු වේ. මෙම ගංගාව හා අතු ගංගා මගින් නිරිත දිග මයෝමි, බටහිර කොලරාඩෝ, යුටාහි තොටස්‌, නිව් මෙක්‌සිකෝ, නවාඩා, කැලිපෝනියාවේ ඇරිසෝනා ප්‍රදේශවලට ජලාපවහනය කරනු ලබයි.

ක්‍රි. ව. 1800 සිට 1900 අතර කාලයේදී කොලරාඩෝ ගංගාවේ ජලය උතුරා ගලා යැම නිසා ගඟ ආසන්නයේ ජීවත්වුණ විශාල පිරිසක්‌ බෙහෙවින් අසරණ තත්ත්වයට පත් විය. ශීත කාලයේදී මෙම ගංගාව හිමෙන් වැසුන අතර ගිම්හානයේදී හිම දියවෙන විට පහත්බිම් ප්‍රදේශයන්හි ජීවත්වෙන ජනතාව දැඩි අපහසුතාවකට පත්වන්නට වූයෙන් ගංවතුර පාලනය සඳහා වේල්ලක්‌ ඉදිකිරීමේ දැඩි අවශ්‍යතාව දැනෙනන්ට විය.

නමුත් මේ වන විට කොලරාඩෝ ගංගාවේ ජලයෙන් ඵල ප්‍රයෝජන ගත් තවත් ප්‍රාන්ත හතක්‌ද වූයෙන් යම් තීරණයක්‌ ගැනීමට නම් මෙම ප්‍රාන්ත හත සමගම එකඟතාවක්‌ ගොඩනඟා ගැනීම අවශ්‍ය විය. 1922 අගෝස්‌තු 18 වැනිදා මෙම ප්‍රාන්ත හතේ නායකයන්ගේ එකඟතාවයෙන් කොලරාඩෝ ගිවිසුම අත්සන් කිරීමත් සමග මෙම ගංගාව හරස්‌ කොට වේල්ලක්‌ ඉදිකිරීමේ එකඟතාව පත් වූහ.

ඒ අනුව ඉදි කරන ලද හූවර් වේල්ල ලෝක ඉතිහාසයේ ඉදිකරන ලද විශාලතම වේල්ල වූ අතර එහි උස අඩි 726 ක්‌ද පළල අඩි 600 ක්‌ද විය. සමාගම් හයක දායකත්වය මත 1931 දී ඉදිකිරීම් ආරම්භ කළ මෙම වේල්ලේ වැඩ කටයුතු 1935 දී අවසන් විය.

හූවර් වේල්ල ඉටු කරන බහු කාර්යයන් අතර පාකර් වේල්ල මගින් කැලිපෝනියාව හරහා ලොස්‌ ඇන්ජලිස්‌ හා ශාන්ත දියෝගු නගරයට ජලය ලබාදීමද රොකී කඳුවැටියේ දිය බෙත්ම හරහා තැනූ කොලරාඩෝ බිග් තෝම්ප්සන් ව්‍යාපාරය මගින් උතුරු කොලරාඩෝ ප්‍රදේශයට ජලය සැපයීමද වේ.

මෙම වේල්ල ඉදිකිරීමට දොළොස්‌ දහසක්‌ සේවකයන්ගේ සම්මාදම ලැබුණ අතර එයින් විසි දෙනෙක්‌ දියේ ගිලීමෙන්ද පහළොස්‌ දෙනෙක්‌ විදුලිසර වැදීමෙන්ද, දොළොස්‌ දෙනෙක්‌ පිපිරුම් වලින්ද තවත් පිරිසක්‌ සුන් බුන්වලට යටවීමෙන්ද මරණයට පත් වූහ.

වේල්ල ඉදිකිරීමට දිවි පුදා මිය ගිය සහෝදර ජනතාවට ගෞරවයක්‌ ලෙසින්ද, ඔවුන්ගේ සේවයට උපහාරයක්‌ ලෙසින්ද ප්‍රතිමා දෙකක්‌ ඉදි කරන ලදී. අඩි 30 ක්‌ උසැති මෙම ප්‍රතිමා දෙකෙහි මිනිස්‌ දැතත් සමග ඉහළට නැගෙන කඩුපත් දෙකක්‌ දක්‌නට ලැබේ. ඇමරිකාවේ 31 වැනි ජනාධිපති හර්බට්‌ හූවර් සිහිවෙනු වස්‌ මෙම වේල්ල හූවර් වේල්ල ලෙස නම් කරන ලදී.

පුන්‍යා චාන්දනී ද සිල්වා

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.