මහින්දාගමනය අපට ලබා දුන් සංස්‌කෘතික විඥානය

බුදු තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක්‌ පුන් පොහෝ දිනයට පසුව එළැඹෙන අසිරිමත් වූද පූජනීය වූද දිනය පොසොන් පොහෝ දිනය බව සිංහල බෞද්ධයකුට අමුතුවෙන් සිහිපත් කර දිය යුතු නැත. අද ශ්‍රී ලංකාවේ සිටින සියලුම සිංහල බෞද්ධයෝ තම ශිෂ්ටාචාරයේ හා සභ්‍යත්වයේ සමාරම්භය පිළිබඳ නොමඳ ගෞරවයෙන්ද භක්‌තියෙන් ද ආවර්ජනය කරති.

පොසොන් පෝදා යනු සිංහල සංස්‌කෘතිය සිංහල බෞද්ධ සංස්‌කෘතිය බවට පත්වූ අසිරිමත් දිනයද වේ. මිහිඳු මාහිමියන් මෙරටට වැඩම කිරීමත් සමගම සිංහල නම් වූ ජන වර්ගයාගේ ජීවිතය වෙනස්‌කම් රැසකට භාජනය වූ අයුරු අපි දනිමු. අනුරාධපුරය කේන්ද්‍ර කර ගනිමින් සිදු වූ සංස්‌කෘතික හා ආධ්‍යාත්මික වෙනස නව ශිෂ්ටාචාරයක පුනරුත්පත්තිය ලෙස ඉතිහාසඥයෝ පමණක්‌ නොව සමාජ විද්‍යාඥයෝ ද පිළිsගනිති.

එදා අනුරාධපුරය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වූ සංස්‌කෘතික සාමාජික හා ආර්ථික විප්ලවය සිංහල ජන ජීවිතයේ හැම අංශයක්‌ ඔස්‌සේම විහිද ගිය අයුරු සැබැවින්ම විශ්මය දනවයි. සිංහලයන්ගේ වාරි තාක්‍ෂණය මතු නොව අපූර්ව සෞන්දර්යය කලා නිර්මාණ තුළින්ද ලොවට විදහා දක්‌වන ලද්දේ සුරම්‍ය වූද ප්‍රෙෘඪ වූද සංස්‌කෘතික අධ්‍යාත්මයක චමත්කාරය හා විචිත්‍රතාවයි. අදීනත්වය හා විචාර බුද්ධිය සිංහලත්වයේ සාර දැක්‌ම බවට පත් කරන ලද්දේත් බුදු දහම විනා අන් කිසිවක්‌ නොවේ.

අද ලෝකය තනියායක්‌ බවට ඇසෙන පුරසාරම් සමග බලන විට වුවද මේ කුඩා දිවයින ඒ ඕනෑම රටක්‌ සමග සම පෙළෙහි තැබීමට හැකි වී ඇත්තේද අපගේ එම ජාතික හා සංස්‌කෘතික ආඪ්‍යත්වය නිසාමය. නිදහස්‌ නිවහල් චින්තන උල්පත අදත් නොසිඳී නොබිඳී ගලා යන නිසාමය. නොයෙක්‌ සතුරෝ එමග වනසාලන්නට අභිමුඛයෙහිද අනභිමුඛයෙහි ද සටන් කළහ. දැනුදු සටන් වදිමින් සිටිති. එහෙත් කිසිදු සතුරු බලවේගයකට අප පාගා දැමීමට නොහැකි විය.

මේ රට යටත් කර ගත් නොයෙක්‌ ආක්‍රමණිකයන්ට වුවමනා වූයේ මේ සිංහල සභ්‍යත්වය විනාශ කිරීමටය. මේ සංස්‌කෘතික අධ්‍යාත්මය ඊනියා නවීනත්වයෙන් බෞතීස්‌ම කරවීමය. අධිරාජ්‍යවාදයේ ඒ නටබුන් මානසිකත්වයෙන් නොමිදුණු දේශපාලන විකටයෝද පරගැති බමුණු කුලයද අදත් නොයෙක්‌ ඇවිටිලි රැවටිලි කරමින් සිටිති.

ශ්‍රී ලංකාව ස්‌වෛරී, ස්‌වාධීන රටක්‌ ලෙස හිස ඔසවනු දැකීමට ඒ සියල්ලෝම රුචි නොවෙති. බටහිර අධිරාජ්‍යවාදයේ නග්න කුලීකරුවෝ ද ඊනියා දෙමළ ඩයස්‌පෝරාව හා උන්ගේ දේශීය බැලයෝද මවුබිමට එරෙහි වූ තුච්ඡ ක්‍රියාකාරකම්වල ඉත්තෝ බවටද පත්ව සිටිති. මේ මුග්ධයන් අතර සිංහල බෞද්ධ වෙස්‌ බැඳ ගත් අය ද සිටිති. අපට තිබෙන සංවේගයද එයයි.

සැබැවින්ම රටක්‌ වශයෙන්ද ජාතියක්‌ වශයෙන් ද අද අප මුහුණ දී සිටින එකී අභියෝගය පසක්‌ කර නොගෙන කිසිසේත් අපට මේ ගමන යා නොහැකිය.

සිංහල බෞද්ධ උරුමය ගැන මෙන්ම සිංහලත්වය වෙනුවෙන් පෙනී සිටීමට පවා සමහරුන් මැලි වෙන්නේ ඇයිද යන්නත් අප විමසා බැලිය යුතුය. ඇතැම් අන්තවාදී බලවේග සිංහල, බෞද්ධ වේෂයෙන් ද පෙනී සිටින බව අප පිළිගත යුතුය. එහෙත් සිංහල බෞද්ධයා යනු එබඳු අන්තවාදී අගතිගාමී අයකු නොවේ.

සසර වසනතුරු නිවන් දකිනතුරු පින්කෙත හෙළ රන් දෙරණේ යනුවෙන් සියවස්‌ ගණනකට පසුව ඩෝල්ටන් අල්විස්‌ කිවිඳුන් ලියන්නේත්, විශාරද පණ්‌ඩිත් අමරදේවයන් ගයන්නේත් අපගේ දෙදහස්‌ වසරක සිංහල බෞද්ධ උරුමයෙන් ලද පන්නරය නිසාම නොවේද? එහෙත් මේ ජාතික චින්තනය විකෘති කර සමාජයට එන්නත් කළ ඇතැම් නවීන යෑයි කියන මුග්ධයන්ට අපගේ ජාතික ලකුණ හා ඒ සංස්‌කෘතික අනන්‍යතාව දිරවා ගත නොහැකි බව ද අපි දනිමු.

එදා ප්‍රභාකරන්ගේ කොටි වලිගයේ එල්ලුනුq ඔවුහු අද දෙමළ ඩයස්‌පෝරාව නමැති තුඹසට රිංගා ගෙන සිටිති. සිංහල දෙමළ සහෝදරත්වයේ බැමි සිඳ දමා අපගේ දෙමළ නායකයන් වල්මත් කරවන්නේත් එබඳු බලවේග විසින්ම බව අප තේරුම් ගත යුතුය. එහෙත් මේ ඓතිහාසික අවස්‌ථාව මගහැර නොයන ලෙස ඉතිහාසය ම අපට බලකර සිටියි.

මේ අතර මහින්දාගමනයෙන් විකසිත ඈත ගම් දනව්වලින් ඇසෙන්නේත් දැනෙන්නේත් බරපතළ සදාචාර පරිහානියක්‌ හා දේශපාලන දුර්ගන්ධයකි. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යනුවෙන් අරුත් ගන්වන ලද දේශපාලනයේ පදනමට යකුළු පහර දෙමින් ඇතැම් පාහරයෝ ගුරුවරුන් දණගස්‌වමින්ද නොයෙක්‌ සැහැසිකම් වපුරමින්ද ඒ ගම් දනව් බිය වද්දමින් ද සිටිති.

ගුරු ඇසුරක්‌ ලද ගුරුවරයකුගෙන් අකුරක්‌ උගත් මිනිසකුට ඒ වර්ගයේ වසල ක්‍රියාවක්‌ ගුරුවරයකුට කළ හැකි යෑයි අපි නොසිතමු. ඒ අශ්ලීල ග්‍රාම්‍ය ප්‍රතිචාරයට එරෙහිව තවමත් නොයෙක්‌ ජනතා විරෝධතා නැගෙමින් තිබේ. ඒ විරෝධය පෙර සඳහන් කළ සංස්‌කෘතික අධ්‍යාත්මයේ ප්‍රකාශනයක්‌ විනා අන් දෙයක්‌ නොවේ. එහෙත් එය තුළ අවස්‌ථාවාදී දේශපාලන අරමුණු තිබිය හැකිය. ඒ කුමක්‌ වුවත් ජනාධිපතිවරයා ඒ පීඩාවට පත් ගුරුමෑණියන් අමතා සිය කනගාටුව ප්‍රකාශ කිරීමද අප අගය කළ යුත්තකි. ඒ නිහතමානී ගුණය රාජ්‍ය නායකත්වයට කාන්දු වන්නේද සිංහල බෞද්ධ සංස්‌කෘතික අධ්‍යාත්මය තුළිනි.

තතු මෙසේ හෙයින් සිංහල බෞද්ධකම රටට හෝ අපට බරක්‌ නොවේ. එය මේ රටේ ජාතික සමගියටද බාධාවක්‌ නොවේ. බෞද්ධයා යනු සමකරුණා ගුණයෙන් යුතු අයෙකු බව පෙරද සඳහන් කර ඇත. ඒ නිසා ජාති, ආගම්, කුල වැනි භේද ප්‍රතික්‍ෂේප කළ අහිංසාවාදී දර්ශනයක ගැඹුර හා සාරය ස්‌වකීය අධ්‍යාත්මයට හා ස්‌නායුවලටද කාවැදුණු පිරිසක්‌ ලෙස නැගී සිටීමටද මහින්දාගමනය අපට ශක්‌තියක්‌ හා ජීවයක්‌ ද ලබා දෙයි. එහෙත් එය උමතුසං වරුසාවක්‌ සේ අනුන් පෙළන්නක්‌ නොව අපගේ ජාතික හා සංස්‌කෘතික උරුමය පිළිබඳ ගාම්භීර ප්‍රකාශනයක්‌ බව ද කිව යුතුය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.