නැවත ඉපදුණු ලන්දේසි රෝහල

එදා....
අදෝනා ගලා ගිය අවසානයේ දිරාගිය රෝහල් බිමක්‌
අද....
සිනා හඬ පැතිරෙන නව තාලයෙන් හැඩවුණ සාප්පු පෙළක්‌


පැරණි ලන්දේසි රෝහල

කොළඹ හැඩවැඩ කිරීමේ ව්‍යායාමයේ තවත් ස්‌ථානයක්‌ ගැන සාකච්ඡා කිරීමටයි මේ අපේ සූදානම. කොළඹ කියන්නේ දිස්‌ත්‍රික්‌කයක්‌. ඒ වගේම මහ නගර සභාවක්‌. මේ නිසා සාමාන්‍ය ව්‍යවහාරයේදී කොළඹ යනුවෙන් හැඳින්විය යුත්තේ කොතැනටදැයි එකවරම කිව නොහැකියි. මෙය සරලව තේරුම් ගත හැක්‌කේ කවුරුන් හෝ ඔබට "කොළඹට එන්න" කිවහොත් ඔබ යන්නේ කොතැනටද? යන ප්‍රශ්නයෙනි. මෙයින් පෙනෙන්නේ සරල ලෙස ගමක නමක්‌ කියනවාට වඩා කොළඹ යන ප්‍රදේශයේ වපසරියේ විශාලත්වයය. නමුත් කාලාන්තරයක පටන් කොළඹ යන්නට පොදුවේ භාවිත කරන තැනක්‌ වී ඇත්තේ කොළඹ කොටුව හා පිටකොටුව ප්‍රදේශයටය. කොළඹ නවීකරණයේදී මෙම ප්‍රදේශයේ අලංකරණය කිරීම හා පිළිවෙළ කිරීම වැදගත් වන්නේ ඒ නිසයි.

කොළඹ ගොඩනැඟිලි සඳහා පදනම වැටෙන්නේ යටත් විජිත පාලන සමයේදීයි. අද දක්‌වාම කොළඹ උරුමය ලෙස අප හඳුනාගෙන තිබෙන බොහෝ දේවල් යටත් විජිත පාලකයන් විසින් ඉදිකරන ලද ඒවායි. ලන්දේසි පාලනය යටතේ කොළඹ ඉදිකරන ලද ලන්දේසි රෝහල එවැන්නක්‌. අද පැතිර ගිය කොළඹ මෙන් නොව එදා කොළඹ තිබුණේ කුඩා ප්‍රමාණයක. මේ නිසා කොළඹ කොටුව ප්‍රදේශයේම ලන්දේසින් විසින් රෝහලක්‌ ඉදිකර තිබිණි. සිය නිලධාරීන්ගේ හා සේවකයන්ගේ සෞඛ්‍ය පහසුකම් සලසාදීම ලන්දේසි මෙහිදී ප්‍රමුඛ අරමුණ කරගෙන තිබිණි. ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයේ ලක්‍ෂණ භාවිතාකරමින් මෙම රෝහල් ගොඩනැඟිල්ල සැලසුම් කර තිබිණි.

අද නෙදර්ලන්තය ලෙස හැඳින්වෙන ලන්දේසි දේශය තමන්ට උරුම ගෘහ නිර්මාණ රටාවක්‌ සහිත දේශයක්‌ විය. රෝමනෙස්‌ක යුගය හෙවත් 9 වැනි සියවස සිට 12 වැනි සියවස වනතෙක්‌ කාලයේදී ඕලන්දියන් ඒ ඒ ප්‍රදේශවලට ආවේනික ගෘහ නිර්මාණ රටාවක්‌ අනුව විවිධ මාදිලියේ ගොඩනැඟිලි ඉදිකරන ලදී. මේ රෝමනෙස්‌ක ගෘහ නිර්මාණ සම්ප්‍රදාය යට කරමින් 13 වැනි සියවස වන විට ගොතික ගෘහ නිර්මාණ සම්ප්‍රදාය ලන්දේසි දේශය නතු කරගත්තේය. එයට හේතුව වූයේ ඒ වන විටත් යුරෝපයේ ජය කෙහෙළි නංවන්නට ගොතික ගෘහ නිර්මාණ සම්ප්‍රදාය සමත් වී තිබීමයි. ලක්‌දිවට ලන්දේසින් පා තබන සමයේ ගෘහ නිර්මාණ දෙකක්‌ අතර තරගයක්‌, එම රටේ තිබූ කාල සීමාවක්‌ ලෙස ගතහොත් නිවැරැදිය. මෙම දැනුම අවශ්‍ය වන්නේ ලන්දේසි රෝහලේ ගෘහ නිර්මාණ ශිල්පය ගැන අවබෝධයක්‌ ලබා ගැනීමටය. වර්ෂ 1686 දී පමණ ලන්දේසින් විසින් කොළඹ කොටුව ආශ්‍රිතව රෝහලක්‌ ඉදිකරන ලද්දේ, ලන්දේසි නිලධාරීන්ට හා සේවකයන්ට ප්‍රතිකාර ලබා ගැනීමේ අරමුණින්ය. ඒ අර්ථයෙන් බලන විට මෙය පොදු රජයේ රෝහලක්‌ නොවූ බව කිව හැකිය. වරාය ආශ්‍රිතව පිහිටා තිබූ බැවින් නාවිකයන්ට මුදල් අයකරමින් මෙහි ප්‍රතිකාර ලබාදුන් බවද සඳහන්ය. රොබර්ට්‌ නොක්‌ස්‌ පවා සිය ග්‍රන්ථයේදී විස්‌තර කර ඇති මෙම රෝහලින් ලන්දේසි නිලධාරීන්ට අමතරව 1739 කාලයේදී රට පාලනය කරන ලද නරේද්‍රසිංහ රජතුමා ද ප්‍රතිකාර ලබාගෙන ඇති බවට සාක්‍ෂි තිබේ. මේ නිසා වාස්‌තු විද්‍යාත්මක ලෙස මෙන්ම, රෝහල් ඉතිහාසය අතින්ද ලන්දේසි රෝහල ලක්‌දිව අතීත කතාවේ ලියවෙන තැනක්‌ වී තිබේ.

1680 වසරේදී මුල්වරට ඉදිකිරීමෙන් පසු එම පැරැණි ගොඩනැඟිල්ල වෙනුවට එම ස්‌ථානයේම නව ගොඩනැඟිලි සංකීර්ණයක්‌ ලන්දේසිහු ඉදිකළහ. ඒ සඳහා පුරෝගාමී වූයේ ජෝන් මේඩ්ලන්ඩ් නම් ලන්දේසි ජාතිකයාය. 1771 දී මෙම ඉදිකිරීම අවසන් කරන ලද අතර ඒ සඳහා වසර හතක්‌ ගතවී තිබිණි. ලන්දේසි පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම සතු කිසිදු යටත් විජිතයක නොවූ විශාලම රෝහල ලෙස මෙය ඉදිවූ අතර එහි නේවාසිකව රෝගීන් තුන් සියයකට ආසන්න ප්‍රමාණයකට ප්‍රතිකාර ගත හැකිව තිබිණි.

හෙක්‌ටයාර භාගයක පමණ වපසරියක ඉදිවූ මෙම රෝහල් සංකීර්ණය යුරෝපයේ සම්භාවය යුගයේ ගොඩනැඟිලි කලාවට නෑකම් කියන්නා වූ ලන්දේසි ලක්‍ෂණ සහිත ඉදිකිරීමක්‌ බව කිව හැකිය. කුරුසියක හැඩය ගත් බිම් සැලසුමක්‌ මත ලන්දේසින් මෙම රෝහල ඉදිකරන්නේම, එය යුරෝපයේ එකල ජනප්‍රියව පැවැති ලක්‍ෂණයක්‌ නිසාය. ප්‍රධාන වශයෙන්ම මැද මිදුලක්‌ සහිතව නිර්මාණය වී තිබූ මෙම ඉදිකිරීම්, මැද මිදුල සිව් දෙසින්ම වටවී තිබෙන්නේ හතරැස්‌ කුළුණු යෙදූ බර අඳයකිනි. 1777 දී මෙම ගොඩනැඟිල්ලේ සැලැස්‌ම ලන්දේසින් විසින් සිතියම් ගතකර තිබිණි. වර්තමාන ගොඩනැඟිල්ලේ දක්‌නට නැති කුලුණු සහිත දිගු බරාඳය හා ලැටින් ආවරණ එම සිතුවමේ නොමැති අතර, මේ නිසා ඒවා සැලකිය හැක්‌කේ පසු කාලයේදී එක්‌ කරන ලද ඒවා ලෙසය. එසේම මෙහි විශාල වල්ග සරනේරු හෙවත් දිගු සරනේරු යොදන ලද ජනේවිය. වීදුරු රහිත දැව ජනෙල් පියන් මෙයට යොදා තිබූ අතර දොරටු හා ජනේල වාතාශ්‍රය හා හිරු එළිය ලැබෙන ලෙස විශාලව සවිකර තිබිණි. මෙය එදා සිට සිංහල ඉදිකිරීම් සම්ප්‍රදාය වූ අතර රටේ පවතින උෂ්ණාධික පරිසරය සමනය කර ගැනීම මෙහි ආරමුණ වී තිබිණි. ලන්දේසින් එම ලක්‍ෂණ යුරෝපයෙන් උපුටා ගත්තාට වඩා සිංහල සම්ප්‍රදායෙන් උපුටා ගත් බව කිව හැක්‌කේ මෙම ස්‌ථානය මුහුදු සුළං සහිත පරිසරය හා රෝහලක අවශ්‍යතාව පිළිබඳව සැලකිල්ලට බඳුන් කිරීම මගිනි. සාමාන්‍යයෙන් මෙම ගොඩනැඟිල්ල චාම් ලෙස ඉදිවූවක්‌ බව ද කිව හැකිය.

ඉංග්‍රීසි පාලන සමයේදී කපිතාන් රොබර්ට්‌ පර්සිවෙල් මෙම ගොඩනැඟිල්ල යළි පිළිසකර කරන ලද අතර ඒ අනුව පෙනෙන්නේ මෙය වසර ගණනාවක්‌ තිස්‌සේ යුග ගණනක කතාන්දරයේ මූර්තියක්‌ ලෙසය.

කොළඹ නවීකරණය යටතේ ලන්දේසි රෝහල නවීකරණයට භාජනය වන්නේ මේ උරුමය සහිතව ජරාවාස වෙමින් තිබියදීය. වැහැරුණු හස්‌ති රාජයෙකු බඳු ඉරණමකට ලන්දේසි රෝහල් ගොඩනැඟිල්ල මුහුණ දෙන්නේ එය පරයා කොළඹ විශාල ගොඩනැඟිලි ඉදිවීමත් සමගය. කාලයක්‌ තිස්‌සේ රටේ දැවැන්තම ගොඩනැඟිලි ඉදිවන්නේ මෙම ලන්දේසි රෝහල් ගොඩනැඟිල්ල වටාය. එක්‌ කලෙක රටේ තිබූ උසම ගොඩනැඟිල්ල වූ ආකාස කඩේ හෙවත් අද සෙලින්කෝ ගොඩනැඟිල්ල ලෙස හඳුන්වන ඉදිකිරීමේ, අසල්වැසියා වූයේ ලන්දේසි රෝහලය. ඉන් පසු "පිට්‌ටු බම්බුව, හෙවත් ලංකා බැංකු මූලස්‌ථාන ගොඩනැඟිල්ලද ඉදිවූයේ ලන්දේසි රෝහලට යාබදව ඉදිරිපසින්ය. තවමත් රටේ තිබෙන දැවැන්තම ගොඩනැඟිල්ල වූ ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානය තිබෙන්නේ ලන්දේසි රෝහල් ගොඩනැඟිල්ල දෙස බලාගෙන සිටින ආකාරයෙන්, ඊට ඉදිරියෙන්ය. ඉපදීමට බලා සිටින තවත් දැවැන්තයෙක්‌ වූ ක්‍රිස්‌ ගොඩනැඟිලි සංකීර්ණය ද ඇත්තේ ලන්දේසි රෝහලට එක්‌ පසෙකින් පාරේ අනික්‌ පැත්තේය. ඒ සියල්ලේ, පුරාඡේරුව මැද්දේ අතීතයක්‌ පමණක්‌ හිමි අසරණයකු සේ ලන්දේසි රෝහල් ගොඩනැඟිල්ල තනිවී තිබිණි. ඒ කාලයේ යමෙකු ලන්දේසි රෝහල දෙස බලන විට පෙනෙන්නේ රෝහල අසනීප වී ඇති බවය. අසනීපව තිබූ මෙම ගොඩනැඟිල්ල එක්‌ කාලයකදී කොටුව පොලිස්‌ ගොඩනැඟිල්ල බවට පත්වී තිබිණි.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා කොළඹ කැත කුණු සේදීමේ මෙහෙයුම භාර ගන්නා කාලයේදී ලන්දේසි රෝහල අසාධ්‍ය තත්ත්වයේ පසුවෙමින් තිබිණි. සංග්‍රාම භූමියේ ජය දද නංවා, විරාමයකින් තොරව සංවර්ධන සංග්‍රාමයට බට රණවිරුවන්ට ලන්දේසි රෝහල "සුවපත් කිරීමේ" වෙදැදුරු කාර්ය භාරය පැවරෙන්නේ ඒ අනුවය. හතරවැනි ඉංජිනේරු කාර්ය බළකාය විසින් මෙම කාර්යයට අත තබන විටත් මෙයට කුමක්‌ කරන්නේදැයි යන ප්‍රශ්නය ජනතාවට මතුවී තිබිණි.

පුරාවිද්‍යා වටිනාකම් අනිත් යෝධ ගොඩනැඟිලි මැද එයට හිමි පෞරුෂයක්‌ බිහි කිරීමේ අභියෝගය ආදී සියල්ල රැකගෙන ලන්දේසි රෝහල සුවපත් වන්නේ ඒ වෑයමේ ප්‍රතිඵලයක්‌ ලෙසිනි. විනයවත් හමුදාවක සේවා ප්‍රතිමූර්තියක්‌ සේ වෙමින් මාස අටක කාලයකදී ලන්දේසි රෝහල කුණු ගොඩක සිට තරු පහේ ආහාර හා සාප්පු සංකීර්ණයක්‌ බවට පෙරළුණි.

කොළඹ නගරයේ, මුල් ස්‌වරූපයෙන් ඉතිරි වී ඇති එකම ලන්දේසි ගොඩනැඟිල්ල වන මෙය අද විනෝදකාමින්ගේ පාරාදීසයකි. තමාට ඉදිරියෙන් දෙපසින් ඇති යෝධ ගොඩනැඟිලිවල පෞරුෂයම "සොඳුරු කොළඹ" වැඩසටහන යටතේ එයට ලැබී තිබේ.

විසල් අවකාශයක්‌, ඉදිරිපස විවෘත මේස හා පුටු සහිත විවෘත ප්‍රදේශය ආදියෙන් තවත් පරිසර බිමක්‌ මීට එක්‌වී තිබේ. අඛණ්‌ඩ ලෙස මෙම පිළිවෙල නඩත්තු කිරීමේ යාන්ත්‍රණයක්‌ද මෙයට එක්‌ කර තිබේ. සියල්ල විසින් අවසානයේ ඉතිරි කර දී ඇත්තේ සිනහවය. ඔල්වරසන්ය, මිහිරිය, ප්‍රමෝදයය, එදා රෝගීන්ගේ ලතැවුල් ලතෝනි, කඳුළු, ලේ ආදිය දරා සිටි භූමියම නවීකරණයෙන් පසු එහි විරුද්ධාර්ථ වල පහස විඳිමින් සිටිති. එදා වේදනාවෙන් බරවූ රෝගීන් වෙනුවට අද සතුටින් බරවූ පෙම්වත්තු, කෙළිළොලෙන් ගත කරන හෝ සැප විඳින ජනයා මෙහි වෙති. ඒ අර්ථයෙන්ද ලන්දේසි රෝහල අංශක තුන්සිය හැටක පෙරළියකට භාජනය වී තිබේ.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.