ශ්‍රී ලංකාව ලෝකයට ගෙන ගිය විදේශ ලේඛකයෝ

සුජීව දිසානායක

රතනසෙල මහ පිරිවෙන රත්මලේ, ඊතණවත්ත.


ඈත අතීතයේ පටන්ම අප රට ලෝකයේ බොහෝ ජාතීන් සමඟ විවිධ සබඳතා පවත්වා ඇති ජාතියක්‌ වන්නෙමු. දැනට හමුවන සාධකයන්ට අනුව ශ්‍රී ලාංකීය ජාතිය පැරණි ඉන්දු නිම්න සභ්‍යත්වය සමඟද සබඳතා පවත්වා ඇති බව විශ්වාස කෙරේ. හලාවත, පොම්පරිප්පු වැනි ස්‌ථානයන්ගෙන් හමුවන නටබුන් හා හරප්පා නටබුන් අතර සමානතා දක්‌නට ඇත. එවන් දිගු ඉතිහාසයක්‌ ඇති අප රට පිළිබඳ ලෝකයේ විවිධ ජාතීන් තොරතුරු වාර්තා කර ඇත. ග්‍රීක, රෝම, ඉතාලි, චීන, අරාබි මෙන්ම ඉන්දීය යන ජාතීන් අප රට පිළිබඳ ඈත අතීතයේදීද පෘතුගීසි, ලන්දේසි, බ්‍රිතාන්‍ය වැනි ජාතීන් මෑත ඉතිහාසයේද ලංකාව පිළිබඳ තොරතුරු වාර්තා කර ඇත. විශාල ලේඛකයන් ප්‍රමාණයක්‌ අප රට පිළිබඳ තොරතුරු වාර්තා කර ඇති අතර මේ ලිපිය තුළින් බලාපොරොත්තු වන්නේ ඔවුන්ගෙන් කිහිපදෙනකු පිළිබඳ තොරතුරු වාර්තා කිරීමටයි.

ඇරිස්‌ටෝටල්

දැනට ශ්‍රී ලංකාව පිළිබඳ තොරතුරු වාර්තා කර ඇති ආදීම ලේඛකයා ලෙස සලකන්නේ ඇරිස්‌ටෝටල්ය. ග්‍රීක ජාතිකයෙක්‌ වන මොහු දේශපාලන විද්‍යාවේ පියා ලෙසද සලකනු ලැබේ. පොලිටික්‌ස්‌ නම් ග්‍රන්ථය ඇරිස්‌ටෝටල් විසින් රචනා කරන ලද දේශපාලනය පිළිබඳ මා හැඟි ග්‍රන්ථයයි. ඩිමුන්ඩෝ නම් ඇරිස්‌ටෝටල් රචනා කරන ලද කෘතිය තුළින් අප රට පිළිබඳ වැදගත් තොරතුරු රැසක්‌ ලබා ගත හැක. ක්‍රි.පූ. 07 සියවසේ පමණ ජීවත් වන්නට ඇතැයි සිතන මොහු නුවණැත්තන්ගේ ගුරුවරයා ලෙසද සලකනු ලැබේ. ශාස්‌ත්‍රීය විවේචනය, අලංකාර ශාස්‌ත්‍රය, තර්කය, දේශපාලනය පිළිබඳ ග්‍රන්ථ ලියූ මොහු පුනරුප්පත්තිය පිළිබඳ විශ්වාසය තැබූ අයෙකි.

මෙගස්‌තීනිස්‌

මොහුද ග්‍රීක ජාතිකයෙකි. ක්‍රි.පූ. 4 වැනි සියවසේ පමණ ජීවත් වන්නට ඇතැයි සිතන මොහු චන්ද්‍රගුප්ත මෞර්ය අධිරාජයාගේ රාජ සභාවේ ග්‍රීක තානාපතියා ලෙස කටයුතු කළ අයෙකි. සෙලියුකස්‌ නිකේටර් වෙනුවෙන් ඔහුගේ තානාපතියා ලෙස මෞර්ය රාජ සභාවේ කටයුතු කළ මොහු තමන් ඉන්දියාවේ සිටියදී අසා දැනගත් තොරතුරුත් තමන් දුටු තොරතුරුත් පදනම් කරගෙන ග්‍රන්ථයක්‌ රචනා කරන ලදී. එය අප "ඉන්ඩිකා" නමින් හදුන්වනු ලැබේ. එම ග්‍රන්ථය තුළින් මෙගස්‌තීනිස්‌ අප රට පිළිබඳ ඔහු අසා දැනගත් දේ වාර්තා කර ඇත. එවකට ලංකාවේ පාලකයා වන්නට ඇත්තේ පණ්‌ඩුකාභය රජුය. නමුත් ඒ රජු පිළිබඳ ඉන්ඩිකාහි තොරතුරු වාර්තා වන්නේ නැත, අද මේ කෘතියේ මුල් පිටපත දක්‌නට නැති අතර එහි ඉතිරිව ඇත්තේ පසු කාලීන ලේඛකයන්ගෙන් උපුටා ගන්නා ලද කොටස්‌ය. මෙගස්‌තීනිස්‌ කිසි දිනෙක ලංකාවට පැමිණ නැති නිසා මොහු ඉදිරිපත් කරන තොරතුරු 100% ක්‌ නිවැරදිද යන්න ගැටලුවක්‌ව පවතී.

කොස්‌මස්‌

ක්‍රි.ව. 6 වැනි සියවසේ පමණ ජීවත් වන්නට ඇතැයි සිතන කොස්‌මස්‌ ඉන්ඩි කොප්ලස්‌ටස්‌ ද ලංකාව පිළිබඳ තොරතුරු වර්තා කර ඇත. මොහු රචනා කරන ලද කෘතිය ටොපොග්‍රැපියා ක්‍රිස්‌තියානා නමින් හඳුන්වනු ලැබේ. කොස්‌මස්‌ගේ කෘතිය තුළ දක්‌නට ඇති ඇතැම් තොරතුරු වෙනත් කිසිදු විදේශ මූලාශ්‍රයකින් හඳුනාගැනීමටද නොහැකිය. මොහු එවකට ලංකාවේ දිග පළල පිළිබඳ තොරතුරු වාර්තා කරයි. කොස්‌මස්‌ වාර්තා කරන ආකාරයට ලංකාව ගෞඩියා 300 බැගින් දිගින් හා පළලින් යුක්‌ත වේ. ටොපොග්‍රැපියා ක්‍රිස්‌තියානා කෘතියට අනුව එවකට ලංකාවේ එකිනෙකාට විරුද්ධ රජුන් දෙදෙනෙක්‌ ලංකාව පාලනය කර ඇත. ඇතැම් විට එම රජවරු දෙදෙනා අතර බලය සඳහා මේ කාලයේ අරගලයක්‌ පවතින්නට ඇතැයි අපට සිතිය හැකිය.

මෙම ග්‍රන්ථයෙන් අපට එවකට ලංකාවේ පෙර අපර දෙදිග වෙළෙ¹ම පිළිබඳ තොරතුරු ලබා ගත හැකිය. ඉන්දියාව, පර්සියාව, ඉතියෝපියාව ආදී රටවලින් ලංකාවට වෙළෙඳුන් ආ බව කොස්‌මස්‌ තම කෘතියේ වාර්තා කරයි. එම නැව්වලට චීනය වැනි රටවලින් ගෙනා පට රෙදි වර්ග, සඳුන් දර ආදිය මෙරට වෙළෙඳුන් විසින් ලබාදුන් බව කියවේ. මෙයින් පෙනෙන්නේ මේ කාලයේදී ලංකාව පෙර අපර දෙදිග වෙළෙ¹මේ මධ්‍යස්‌ථානයක්‌ ලෙස ක්‍රියාත්මක වූ බවය. කොස්‌මස්‌ට අනුව ක්‍රි.ව. 6 වැනි සියවසේදී ද ලංකාව තුළ පර්සියානු නිකායට අයත් කතෝලිකයන් ජීවත් වී ඇත. එය ඉතා වැදගත් වාර්තාකරණයකි. සාමාන්‍යයෙන් අප පිළිගන්නා ආකාරයට මෙරට කතෝලික දහම ගලා ආවේ ක්‍රි.ව. 16 සියවසේ පෘතුගීසි ආගමනයත් සමඟය. කොස්‌මස්‌ගේ වාර්තාකරණය නිවැරදි නම් ක්‍රි.ව. 6 වැනි සියවස වන විටත් මෙරට තුළ කතෝලිකයන් ජීවත් වී ඇත. තවද කොස්‌මස්‌ වාර්තා කර ඇති ආකාරයට පර්සියාවෙන් මෙරටට අශ්වයන් පවා ආනයනය කර තිබේ. එලෙස ගෙනා අශ්වයන්ට තීරු බදු අය නොකළ බව ඔහු සඳහන් කර ඇත. මේ පුද්ගලයන්ට අමතරව ඔනෙසික්‍රිටස්‌, ඉරටොස්‌තිනිස්‌, ටොලමි, ප්‍රකෝපියස්‌, කොස්‌මස්‌ වැනි පුද්ගලයන්ද ලංකාව පිළිබඳ තොරතුරු වාර්තා කර ඇත. මේ අතරින් ටොලමිගේ ජියෝග්‍රොපියා ග්‍රන්ථය ඉතා වැදගත් කෘතියකි.

ප්ලිනී, ඇමිනස්‌, මර්සලින් වැනි රෝම ලේඛකයන්ද ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තා තබා ඇති අතර ඒවා තුළින්ද අප රට පිළිබඳ අධ්‍යයනය කළ හැකිය.

හියුත්සාං

ශ්‍රී ලංකාව පිළිබඳ තොරතුරු වාර්තා කළ ආසියාතිකයන් අතරින් වැදගත්ම ලේඛකයෙක්‌ ලෙස මොහු පෙන්වාදීමට පුළුවන. ක්‍රි.ව. 603 දී චීනයේ හෝනං නම් ගමේ උපත ලැබූ මොහු හර්ෂවර්ධන රජු දවස ඉන්දියාවට ආ ලේඛකයෙකි. වසර 16 ක්‌ ඉන්දියාව තුළ ගතකළ මොහු එරට බොහෝ තැන්වල සංචාරය කරන ලද්දෙකි. දකුණු ඉන්දියානු ප්‍රදේශයන් තුළද සංචාරය කළ මොහු එම ප්‍රදේශයෙන් විවිධ පුද්ගලයන්ගෙන් අසා දැනගත් තොරතුරු තම රට බලා ආපසු ගිය පසු සිය දේශාටන වාර්තාව තුළට ඇතුළත් කර තිබේ. අප එම වාර්තාව හියුත්සාංගේ භ්‍රමණ වෘත්තාන්තය හෙවත් ගමන් විස්‌තරය නමින් හඳුන්වනු ලැබේ. මෙම කෘතියේ 11 වැනි පරිච්ඡේදය තුළ සිංහල දේශය හෙවත් ලංකාව පිළිබඳ වැදගත් විස්‌තර ගණනාවක්‌ රචනා කර ඇත.

භ්‍රමණ වෘත්තාන්තය වාර්තා කරන වැදගත්ම කාරණයක්‌ වන්නේ මෙරට ජනවාස වීම පිළිබඳය. හියුත්සාං හිමියන්ට අනුව ලංකාව ජනාවාස කර ඇත්තේ සිංහල නම් වෙළෙඳ පුත්‍රයෙකි. එයට අමතරව ලංකාවේ නිකාය භේදය. අනුරාධපුර දළදා මාළිගාව, මහාපාලි දන්සැල ආදි මාතෘකාද සාකච්ඡා කර ඇත. හියුත්සාං තම වාර්තාව තුළ ලංකාව හඳුන්වා ඇත්තේ රත්නදීප යන නමිනි. එහි අදහස මැණික්‌ දිවයින යන්නයි. හියුත්සාං භික්‍ෂුවට අනුව රත්නදීපය සිහලදීපය වූයේ සිංහලයන් විසින් එහි සිටි පුද්ගලයන් පරාජය කර බලය ලබා ගැනීමෙන් පසුවය.

පාහියන්

අප රට පිළිබඳ තොරතුරු වාර්තා කළ තවත් චීන ජාතිකයෙකු වන්නේ පාහියන් හිමියන්ය. ඔහු ශ්‍රී ලංකාවට පැමිණ සියෑසින් දැක අප රට පිළිබඳ තොරතුරු වාර්තා කළ අයෙකි. ක්‍රි.ව. 412-414 අතර කාලය තුළ පාහියන් හිමි ලංකාව තුළ රැඳෙමින් තොරතුරු වාර්තා කර ඇත. එය සීයූකී නමින් හඳුන්වනු ලැබේ. අභයගිරි විහාරය පිළිබඳ පාහියන් හිමි ඉදිරිපත් කරන තොරතුරු ඉතා වැදගත් කරුණු වේ. උන්වහන්සේ ලංකාවට එන විට අභයගිරි විහාරයේ භික්‍ෂූණ්‌ වහන්සේලා 5000 ක්‌ පමණ ජීවත් වී ඇත. ථෙරවාදයේ ප්‍රධාන මූලස්‌ථානය වූ මහාවිහාරය තුළ භික්‍ෂුන් වහන්සේලා 3000 ක්‌ පමණ වාසය කර ඇත. මිහින්තලේ භික්‍ෂූණ්‌ 2000 ක්‌ පමණ වාසය කර ඇත. පාහියන් හිමි ලංකාව ජනාවාස වීම පිළිබඳ කරන විස්‌තරය වඩාත් සංක්‍ෂිප්ත හා විශ්වාසදායක වාර්තාකරණය ලෙස පිළිගනු ලැබේ. පාහියන් හිමියන්ට අනුව ලංකාව ජනාවාස වීමට පෙර මෙරට මිනිස්‌ වාසයක්‌ තිබුණේ නැත. එය මකරුන්ගේ හා යක්‍ෂයන්ගෙන් පිරුණ බිමක්‌ විය. මෙරටට වරින් වර විදේශ රටවලින් ආ වෙළෙඳුන් හරහා එය ජනාවාස වූ බව පාහියන් හිමි වාර්තා කරයි.

පාහියන් හිමි තම වාර්තාව තුළ මෙරට පැවැති දළදා පෙරහැර පිළිබඳවද වාර්තා කර ඇත. ඒ වනවිට දළදාව තැන්පත් කර තිබුණේ අභයගිරි විහාරයේ බව උන්වහන්සේගේ එම වාර්තාකරණයෙන් හඳුනාගත හැක. එමෙන්ම පාහියන් හිමියෝ ලංකාවට ආ චීන වෙළෙඳුන් පිළිබඳවද තම වාර්තාව තුළ තොරතුරු ඉදිරිපත් කරයි. එයින් පෙනෙන්නේ ක්‍රි.ව. 5 සියවසේදී පවා අප චීනය සමඟ සමීප වෙළෙඳ සබඳතා පැවැත්වූ බවයි.

මොවුන් දෙදෙනාට අමතරව චීන ජාතිකයන් වන හුඩෝ, ඉත්සිං, පාඕචාං, චාඕජුකුවා ආදින්ද අප රට පිළිබඳ තොරතුරු වාර්තා කර ඇත.

කෞටිල්‍යය

කෞටිල්‍යය යනු ඉන්දීය ජාතිකයෙකි, ක්‍රි.පූ. 4 වැනි සියවසේ ජීවත් වූ මොහු මෞර්ය චන්ද්‍රගුප්ත අධිරාජයාට රාජ්‍ය බලය ලබා ගැනීම පිළිබඳ ඉගැන්වූ පුද්ගලයාය. චානක්‍ය යන නමින්ද විෂ්ණු ගුප්ත යන නමින් ද හඳුන්වන මොහු රචනා කළ ග්‍රන්ථය අර්ථ ශාස්‌ත්‍රය නම් වේ. මෙය ලෝක ඉතිහාසයේ රාජ්‍ය පාලනය පිළිබඳ ලියෑවුණ පැරණි වැදගත්ම ග්‍රන්ථය ලෙසද පෙන්වාදිය හැකිය. කෞටිල්‍යයගේ අර්ථ ශාස්‌ත්‍රය තුළ ලංකාව පිළිබඳවද තොරතුරු සඳහන් කර ඇත. කෞටිල්‍යය ලංකාව හඳුන්වා ඇත්තේ "පාර සමුද්‍ර" යන විශේෂ නාමයෙනි. ග්‍රීක රෝම හා චීන මූලාශ්‍ර සමඟ සසඳද්දී අර්ථ ශාස්‌ත්‍රය තුළ ලංකාව පිළිබඳ ඇත්තේ ඉතාමත් අඩු තොරතුරු ප්‍රමාණයකි.

රොබට්‌ නොක්‌ස්‌

ක්‍රි.ව. 17 වැනි සියවසේ ජීවත් වූ ලංකාව පිළිබඳ තොරතුරු වාර්තා කළ වැදගත්ම බ්‍රිතාන්‍ය ජාතිකයකු ලෙස රොබට්‌ නොක්‌ස්‌ හඳුන්වා දීමට පුළුවන. මොහු ලංකාව තුළ වසර 19 කුත් මාස 6 ක්‌ හා දින 14 ක්‌ සිරකරුවකු ලෙස ගත කර ඇත. 1660-1679 ත් අතර කාලයේ ලංකාව තුළ සිරකරුවකු ලෙස ගතකළ මොහු අත් අඩංගුවෙන් මිදී නැවත සියරට බලා ගොස්‌ තමන් ගතකළ ජීවිතය පිළිබඳ කෘතියක්‌ සම්පාදනය කළේය. ලංකාවේ ඉතිහාසය කතාන්තරය හෙවත් එදා හෙළදිව නම් එම කෘතියට ඉංග්‍රීසි සාහිත්‍යය තුළ හිමි වන්නේ ඉතා වැදගත් ස්‌ථානයකි. Historical Relation of Ceylon නම් ඉංග්‍රීසි භාෂාවෙන් මුද්‍රණය වූ මේ කෘතිය ඩේවිඩ් කරුණාරත්න මහතා විසින් සිංහලයට පරිවර්තනය කර ඇත.

රොබට්‌ නොක්‌ස්‌ ඇතුළු පිරිස ලංකාවට ගොඩ බැස ඇත්තේ ඔවුනගේ නැව ඉන්දියන් සාගරය මැදදී කුණාටුවකට හසුවීම නිසාය. ඔවුන් එම කුණාටුවෙන් මිදීම සඳහා සිදු කර ඇත්තේ ගමන් ගත් නැවේ කුඹගස කපා දැමීමයි. එනිසා ඔවුන්ට ඉදිරි ගමන අපහසු වූයෙන් නැවට අවශ්‍ය කුඹ ගසක්‌ කපා ගැනීම සඳහා කොට්‌ටියාරම වරායට සමීප වී ඇත. දින 20 ක්‌ පමණ ඒ ප්‍රදේශයේ ගත කරමින් සිටියදී ඒ බව දැනගත් රජුගේ කණ්‌ඩායමක්‌ පැමිණ ඔවුන් උපක්‍රමශීලීව අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට පත් රොබට්‌ නොක්‌ස්‌ හා පිරිස ගණනින් 16 ක්‌ පමණ විය. ඔවුන් අතර නොක්‌ස්‌ගේ පියාද වුණි. එලෙස අත්අඩංගුවට පත් රොබට්‌ නොක්‌ස්‌ ලංකාව තුළ වසර 19 ක්‌ පමණ ගතකර ඇත. රොබට්‌ නොක්‌ස්‌ හා ඔහුගේ පියා උඩරට සිරුකරුවන් ලෙස ගත කළේ කන්ද උඩරටට අයත් සත්කෝරලය නම් බිමේ බණ්‌ඩාර කොස්‌වත්ත ග්‍රාමයේය.

රොබට්‌ නොක්‌ස්‌ රචනා කළ ලංකාවේ ඉතිහාස කතාන්තරය නම් කෘතිය තුළින් අපට උඩරට රාජධානිය පිළිබඳ ඉතා වැදගත් තොරතුරු රැසක්‌ අවබෝධ කර ගත හැකිය. රොබට්‌ නොක්‌ස්‌ ඇතුළු පිරිස මෙරට සිරකරුවන් බවට පත් වූ ආකාරය, ඔහුගේ පියාගේ මළගම, උණ රෝගයෙන් ඔවුන් පීඩා විඳි ආකාරය, නොක්‌ස්‌ අලුතෙන් නිවසක්‌ තනා ගත් ආකාරයත් එහිදී ඔහු රාජ උදහසකට ලක්‌ වූ අයුරුත් මේ කෘතිය තුළින් අපට හඳුනාගත හැකිය.

ලංකාවේ භූගෝලීය පිහිටීම මෙන්ම උඩරට රාජධානියේ බෙදීම් ආදිය පිළිබඳවද නොක්‌ස්‌ වාර්තා කරයි. සෙංකඩගල හෙවත් කන්දේ නුවර පිළිබඳවත්, පුත්තලම ලුණු ලේවාය පිළිබඳවත් ලංකාවේ ග්‍රාම නිර්මාණය වූ ආකාරය පිළිබඳවත් එදා හෙළදිවෙන් තොරතුරු හඳුනා ගත හැකිය. ලංකාවේ කෘෂිකර්මාන්තයේ ප්‍රධාන ජීවනෝපාය වූ වී ගොවිතැන පිළිබඳවත්, ධාන්‍ය වර්ග පිළිබඳවත් අපට මේ කෘතියෙන් අවබෝධයක්‌ ලබාගත හැකිය. හාතියල්, හොඩරවාල, හීනටි, ඇල් වැනි වී වර්ග පිළිබඳවද එදා හෙළදිවේ තොරතුරු ඇත. මේ වී වර්ගයන්ට අමතරව ලංකාවේ පලතුරු වර්ග පිළිබඳවද මෙතුළින් අවබෝධයක්‌ ලැබේ. නොක්‌ස්‌ වාර්තා කරන ආකාරයට මෙරට බෞද්ධයන්ගේ ශුද්ධ වෘක්‍ෂය හෙවත් දේව වෘක්‍ෂය වන්නේ බෝගසය. කන්ද උඩරට රාජධානිය තුළ ක්‍රියාත්මක වූ දඬුවම් ක්‍රම, උඩරට රාජධානිය තුළ දක්‌නට ලැබුණ විවාහ ක්‍රම, රජවාසල විත්ති, තානාපතීන් පිළිගන්නා ක්‍රම, රජුගේ බලතල හා කාර්ය භාරයන් මෙරට ජනයාගෙන් අය කරන ලද බදු මෙන්ම රාජකීය ධාන්‍යාගාරය පිළිබඳවද මෙම කෘතියෙන් තොරතුරු ලබා ගත හැකිය. පරිච්ඡේද 34 ක්‌ යටතේ කරුණු දක්‌වා ඇති නොක්‌ස්‌ගේ කෘතියෙන් ඔහු අනුරාධපුරය හරහා මන්නාරමට ගොස්‌ එතනින් කොළඹට ආ හැටිත් කොළඹින් බතාවිය බලා ගොස්‌ එතැනින් එංගලන්තය කරා ගමන් කළ අයුරුත් අපට හඳුනාගත හැකිය.

ආර්. එල්. බ්‍රෝහියර්

ක්‍රි. ව. 1910 වර්ෂයේ සිට 1949 දක්‌වා ලංකාවේ මිනින්දොaරු දෙපාර්තමේන්තුවේ සේවය කළ ආර්. එල්. බ්‍රෝහියර් හඳුනාගත් ලංකාව නම් කෘතිය තුළින්ද ශ්‍රී ලංකාව පිළිබඳ ඉතා වැදගත් තොරතුරු ප්‍රමාණයක්‌ අපට හඳුනා ගත හැකිය. මේ කෘතිය තුළින් ඉදිරිපත් වන බොහෝ තොරතුරු බ්‍රෝහියර් සියෑසින් දැක වාර්තා කරන ලද ඒවාය. ඔහු, වෙනත් පුද්ගලයන් සාමාන්‍යයෙන් නොයන ලංකාවේ ප්‍රත්‍යන්ත ප්‍රදේශයන් කරා ගමන් කර ඒවායේ දක්‌නට ලැබුණ දේ සියෑසින් දැක ඒ පිළිබඳ තම කෘතියේ වාර්තා කර ඇත්තෙකි.

බ්‍රෝහියර් තම කෘතිය තුළ වාර්තා කිරීමට උත්සාහ දරා ඇත්තේ මෙරට ඉපැරණි ශිෂ්ටාචාරයේ කතාන්තරයයි. එහිදී ඔහු මෙරට වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ පැවත ආ ජනකතා, සම්ප්‍රදායන් ඉදිරිපත් කිරීමට ක්‍රියාකර ඇත. ලංකාවට විජය රජු ඇතුළු පිරිස ගොඩ බැසි ස්‌ථානය පිළිබඳව බ්‍රෝහියර් මහතා තමා ලද අත්දැකීම් සමඟ විස්‌තරයක්‌ ඉදිරිපත් කරයි. විජය ඇතුළු පිරිස ගොඩ බැසි ස්‌ථානය පිළිබඳ අන් ඉතිහාසකරුවන් දක්‌වන අදහස්‌ දක්‌වා දැනට පිළිගන්නා මතය සනාථ කිරීමට මොහු කරුණු ඉදිරිපත් කරයි. බ්‍රෝහියර්ට අනුව විජය ඇතුළු පිරිස ගොඩබැස ඇත්තේ වයඹ දිග වෙරළේ පුත්තලම අසල පිහිටි මඟුල් තොටමුණ නම් ස්‌ථානයටය. මඟුල් තොටමුණ නම් නම එම ස්‌ථානයට ලැබීමට ප්‍රධාන හේතුව ලෙස බ්‍රෝහියර් දක්‌වන්නේ විජය හා කුවේණිය එම ස්‌ථානයේදී විවාහ වූ නිසා බව පවසයි.

කොළඹ පුත්තලම මාර්ගයේ හමුවන උඩප්පු නම් ධීවර ගම්මානයේ සෑම වසරකම පවත්වන උත්සවයක්‌ පිළිබඳවද බ්‍රෝහියර් විස්‌තර කරයි. මෙය හින්දු ආගමේ ශිව භක්‌තිකයන් විසින් පවත්වන්නාවූ උත්සවයකි. ලංකාවේ ජීවත් වූ කාපිරි ජනතාව පිළිබඳ තම කෘතිය තුළ විස්‌තර කිරීමට අමතක නොකිරීමටද බ්‍රෝහියර් මහතා ක්‍රියාකර ඇත. කපිරිඤ්ඤා ගීත පිළිබඳවද අපට මේ කෘතියෙන් හඳුනාගත හැකිය. බ්‍රෝහියර් මහතා තම කෘතිය තුළ පුත්තලම ලුණු ලේවාය පිළිබඳ විස්‌තර කිරීමටද අමතක කර නැත. කල්පිටිය නගරය පිළිබඳවත් එය පෘතුගීසි හා ලන්දේසි බලපෑම්වලට නතුව තිබූ ආකාරය පිළිබඳවත් බ්‍රෝහියර් දක්‌වන විස්‌තරය ඉතා වටින්නේය.

මෙරට සාමාන්‍ය ජනයාගේ ජීවිතය පිළිබඳ තොරතුරු අධ්‍යයනය කර ගැනීමටද අපට බ්‍රෝහියර් මහතා විසින් රචනා කරන ලද බ්‍රෝහියර් හඳුනා ගත් ලංකාව තුළින් හැකියාවක්‌ ලැබේ. ඔවුන්ගේ ජන ජීවිතයේ ප්‍රධාන ජීවනෝපාය වූ වී ගොවිතැන ප්‍රමුඛ කෘෂිකර්මාන්තය, ගැමියන්ගේ සමාජ පදනම වූ ගම, ගම් තුළ ජීවත් වන දරුවන් සිදුකරන ක්‍රීඩා ආදිය පිළිබඳවද බ්‍රෝහියර් මහතා තොරතුරු වාර්තා කරයි. මෙරට සාමාන්‍ය ජනයාගේ පෙර නිමිති හා ඇදහිලි පිළිබඳවද අපට මෙතුළින් අධ්‍යයනය කළ හැකිය. අදටත් මෙරට ජනයා තුළ පවතින හූනු ශාස්‌ත්‍රය පිළිබඳවද බ්‍රෝහියර් මහතා තොරතුරු වාර්තා කර තිබේ. කන්ද උඩරට රාජධානිය පිළිබඳවද බ්‍රෝහියර් මහතා තොරතුරු වාර්තා කරයි. මහනුවර මෙන්ම ගම්පොල නගරයන් පිළිබඳවද ඔහු විස්‌තර වාර්තා කරයි.

ජෝන් ඩොයිලි

ලංකාව පිළිබඳ තොරතුරු වාර්තා කළ බ්‍රිතාන්‍ය ජාතිකයෙක්‌ ලෙස ජෝන් ඩොයිලි හඳුන්වා දිය හැක. ක්‍රි.ව. 1774 දී මහා බ්‍රිතාන්‍යයේ උපත ලැබූ ඩොයිලි ක්‍රි.ව. 1801 දී මාතර ප්‍රදේශයේදී අයකැමි තනතුරට පත්ව ක්‍රි.ව. 1805 දී ලංකා බ්‍රිතාන්‍ය රජයේ ප්‍රධාන භාෂා පරිවර්තක ලෙස පත්වීම් ලැබීය. තෝමස්‌ මෙට්‌ලන්ඩ් ආණ්‌ඩුකාරයා උඩරට වක්‍රාකාරව යටත් කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කර ගැනීමට යොදා ගත්තේ මේ තරුණ බ්‍රිතාන්‍ය ජාතිකයාය. එතැන් පටන් ඩොයිලි කන්ද උඩරට රජු සමඟත් මල්වතු අස්‌ගිරි මහ නාහිමිවරු සමඟත්, උඩරට රදලයන් සමඟත් විවිධ ස්‌වරූපයේ සබඳතා පැවැත්වූහ. ඒවායේ අවසන් ප්‍රතිඵලය වූයේ ක්‍රි.ව. 1815 දී කන්ද උඩරට බ්‍රිතාන්‍ය ආධිපත්‍යය යටතට පත්වීමයි.

ජෝන් ඩොයිලි මෙරට ජීවිතය ගත කරන සමයේ ඔහු ලැබූ අත්දැකීම් සටහන් කර තබන්නට අමතක කර නැත. ඒවා ආශ්‍රය කරගෙන පසු කාලීන වැදගත් කෘති දෙකක්‌ සම්පාදනය විය. ඉන් එකක්‌ සිංහලේ ආණ්‌ඩුක්‍රමයයි. අනෙක ඩොයිලිගේ දිනපොතයි. මේ කෘති දෙකෙන් වඩාත් වැදගත් වන්නේ සිංහලේ ආණ්‌ඩුක්‍රමයයි. මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද මහතා විසින් සංස්‌කරණය කරන ලද ඇල්ලේපොල එච්. එම්. සෝමරත්න මහතා විසින් පරිවර්තනය කරන ලද සිංහලේ ආණ්‌ඩුක්‍රමය දැනට අප අතර ඇති වඩාත් දුර්ලභ ග්‍රන්ථයක්‌ වේ.

මේ මාහැඟි කෘතිය අරඹන්නේම මෙරට දේශපාලනයේ ප්‍රධානම සංස්‌ථාව නාමයෙනි.

"මහ රජුගේ බලය අතිශ්‍රේෂ්ඨය, අසීමිතය" යනුවෙන් කෘතිය ආරම්භ කරයි. මේ කෘතිය තුළින් කන්ද උඩරට ක්‍රියාත්මක වූ රාජාණ්‌ඩු ක්‍රම, රජු පිළිබඳ මෙන්ම ඔහුගේ නිලධාරි යාන්ත්‍රණය පිළිබඳවද තොරතුරු හඳුනා ගත හැකිය. උඩරට රාජ්‍ය තුළ ක්‍රියාත්මක වූ ප්‍රාදේශීය බෙදීම් පිළිබඳව ඩොයිලි වාර්තා කර ඇත. උඩරට රාජ්‍යය තුළ ජීවත් වූ විවිධ ජන කොටස්‌ පිළිබඳවද අපට මේ කෘතිය තුළින් කරුණු හඳුනාගත හැක්‌කේය. මහනුවර යුගයේ ක්‍රියාත්මක වූ බද්ද සංවිධානය පිළිබඳවද ඩොයිලි සඳහන් කරයි. කොට්‌ටල් බද්ද, බඩහැල බද්ද, රදා බද්ද, හද බද්ද, කුරුවේ බද්ද, මෙන්ම මඩිගේ බද්ද පිළිබඳවද සිංහලේ ආණ්‌ඩුක්‍රමයේ සඳහන් වේ.

උඩරට රාජධානිය තුළ ක්‍රියාත්මක වූ අධිකරණ පද්ධතිය හෙවත් මහනඩුව පිළිබඳවද මේ කෘතියේ තොරතුරු ඇතුළත්ය. මහනුවර රාජධානිය තුළ ක්‍රියාත්මක වූ අදිකාරම්, දිසාවේ ලේකම්ලා, රටේ මහත්තයා වැනි නිලධාරීන්ට හිමිව තිබූ අධිකරණ බලතල පිළිබඳවද අපට මෙතුළින් අධ්‍යයනය කළ හැකිය. මහනුවර යුගය තුළ ක්‍රියාත්මක වූ සිරිත් විරිත් අපරාධ හා ඒවාට දුන් දඬුවම්, ඉඩම් භුක්‌ති ක්‍රමය, ණය හා ගිවිසුම්, ඔප්පු තිරප්පු ආදිය පිළිබඳවද අපට මේ කෘතියෙන් හඳුනාගත හැකිය. මහනුවර යුගය තුළ දක්‌නට ලැබුණ විවාහ ක්‍රමය, වහල් මෙහෙය මෙන්ම මෙම රාජධානිය තුළ දක්‌නට ලැබුණ කුල ක්‍රමය පිළිබඳවද මේ කෘතියේ තොරතුරු ඇතුළත්ය.

මේ පුද්ගලයන්ට අමතරව ජෝන් ෆයිබස්‌, තෝමස්‌ ස්‌කිනර්, විලියම් ෙෆdaබර්ස්‌, එමර්සන් ටෙනන්ට්‌, ලෙනාඩ් වුල්ෆ් වැනි බ්‍රිතාන්‍ය ජාතිකයන්ද අප රට පිළිබඳ තොරතුරු වාර්තා කර ඇත්තේය. මොවුන් අතරින් වසර 50 ක්‌ පමණ මෙරට මහා මාර්ග ඉදි කිරීමේ කටයුතුවල නිරතව සිටි තෝමස්‌ ස්‌කිනර්ගේ ලංකාවේ පනස්‌ වසරක්‌ කෘතියද ඉතා වැදගත් නිර්මාණයක්‌ ලෙස පෙන්වාදිය හැකිය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.