සිංහල නගුල සහ ගව සම්පත

මතුගම සෙනවිරුවන්

වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ ලක්‌ පොළව අස්‌වැද්දීමට ගවයාගෙන් වූ සෙත අපමණය. වෙසෙසින්ම මීගවයාගේ ආධාරය මත යෑපුණු සිංහල ගොවිතැනේ අගය පැරණි ජන කවියෙන් ඔප් නංවා තිබෙන අපූරුව විමර්ශනය කළ හැකිය. කමත් හෑල්ලේ සඳහන් මේ කවි වලින් කියවෙන්නේ එදා ගොවිතැනේ දී අම්බරුවා නොහොත් මීගවයාට ජන සමාජයේ තිබූ උසස්‌ තත්ත්වයයි.

 

පැළෑ`ද මැණික්‌ පතලකින් හමුවූ නගුලක්‌

අං දෙක රන් ගාවඤ්ඤා -

කන්දෙක මේවර ලන්ඤා

හුනරේ මුතු අමුනඤ්ඤා -

මේ විලසට සරසඤ්ඤා

ගොනා නොවෙයි ගොන් රජුනේ -

ඌ කරලන මිණි බරනේ

මිණි බරනී කොල බඳිනේ -

යහතින් කොළ මඩවන්නේ

මී ගවයා වංශ දෙකකට අයත් බව පැවසේ. එකක්‌ එළ විහි වංශයයි. අනෙක ගෝන වංශයයි. නමුත් ගෝරතනය නම් වෙද කවි පොතේ සඳහන්ව ඇත්තේ මෙලෙසයි.

මිනිස්‌ කුල ලෙසින් ගවයින් ගෙද අවෙනී - උසස්‌ රජ වෙළෙඳ බඹ ගොවි සතර වනී

වෙසෙස්‌ තුනකි ගජ සිටු පෝසත නම් නී - මෙලෙස්‌ කුල සතකි ගව ජාතිය ගුණෙනී

හිස පහතට නමා ගෙන හෙමින් ගමනේ යන මී ගවයා අපූරු සතෙකි. සුදු පැහැයට හුරු එළ වස්‌සා නම් තරමකට හිස ඔසවාගෙන ගාම්භීර පෙනුමෙන් ගමන් කරන්නෙකි. හීයට පුරුදු කළ මී ගොන් බාන ගොවියාට අවශ්‍ය පරිදි හී විටට අනුව ගමන් කරති. මැඩවීමට ගිය කල මහා ජවයකින් මෙන් මඩ කලත්තාගෙන හරක්‌ අඟය ඇදෙන්නේ ගොවියාටද හති වැටෙන පරිද්දෙන්ය. ගොවි කුර පාරට කැලැත්තෙන මඩ කැඩෙනවා විනා හොද්දක්‌ මෙන් බොර වන්නේ නැත. කුර පාරට මඩ තට්‌ටුවේ පහළ කොටස බදාමයක්‌ මෙන් සවි වෙන බැවින් ලියද්දේ එක්‌ රැස්‌ වන ජලය කාන්දුව යන්නේද නැත. මෙයට සමත් කම් දක්‌වනනේ කුලු හරක්‌ බඳු කුර මහත මීගව වර්ගයයි. උන්ගේ හැඩය අනුව පාට අනුව ද නම් දීමට සපරගමුවේ ගොවීන් පුරුදු ව සිටි බව සපරගමු පුරන් හීය නමින් අපූරු ග්‍රන්ථයක්‌ කළ ඩී. එම්. එල්. බණ්‌ඩාරනායක මහතා පවසයි. ඒ අතර තඹලයා, අංකූරා, වකුට්‌ටා, අං පටාලයා, කොන්ඩයා යන නම් හමු වේ.

ගොයම් කපා පා ගා ගැනීමෙන් පසු ලිහා දමන මී ගොන් පට්‌ටිය තණ උලා කමින් ගොම් පස්‌ මුත්‍රා දමමින් දවස පුරාවට යායේ සැම තැනම හක්‌කොලන් කරති. රුවට ඇදී තිබෙන තණ පඳුරු තලා දමා බිමට පහත් කර ඊළඟ හීවිටට හෝ පුරන් කෙටුමට පහසු කරවන මේ සෙයියාව නිසා නියරවල් කඩා බිඳී යතත් එය කිසිවකුත් නවත්තන්නේ ද නැත. මේ හෙයියන් මාරුව එළ හරක්‌ මී හරක්‌ ගැලතිල්ලක්‌ ද නොවේ. ඒ බැව් දත් ගොවි රෑන නිදහසේ හැසිරෙන්නට උන්හට ඉඩ දුන්හ. එළ ගවයින් ද කොටස්‌ හතරකි. රතු පැහැති වර්ගය තවලම් සඳහා බෙහෙවින් යොදා ගෙන ඇත. සුදු පාට වර්ගය හා කළු පාට වර්ගය හී හෑමට යොදා ගෙන ඇත. උන්ගේ ගමන ඉක්‌මන්ය. ගැල් සඳහා යොදා ගෙන තිබිණි. ඊට අමතරව පොහොර ගවයින්ද සිටි බව අභාවප්‍රාප්ත මුදියන්සේ තෙන්නකෝන් මහතා ලියා තබා ඇත. විශාල පට්‌ටි වශයෙන් කැලෑබද පෙදෙස්‌ වල සිටියද ගොයම් කපා පාගා ගත් පසු මේ පොහොර ගවයින් කෙත කුඹුර සරු කිරීමට දායක වෙති.

සිංහල නගුලද මේ ජව සම්පන්න ගවයාට සරිලන අන්දමින් සාදා තිබේ. එහෙත් එය සරලය. ගවයාට ඇද ගෙන යන්නට පහසු වන සේ පස ඇවිලෙන්නට පහසු වනසේ සාදා තිබේ. තනි හැඩ නගුල, හැඩ දෙකේ නගුල, බඩවත් නගුල වශයෙන් ඒ ඒ කුඹුරුවල පිහිටීමට අනුව නිමවා තිබෙන මේ උපකරණය සාදා ගන්නේ ද ගොවීන් විසිනි. නගුලටම ගැළපෙන ලෙසට දියුණුකර ගෙන ඇති නගුල් කොටය, නගුල් ඉහ කොරවක්‌ කොටය බඩවතු වළල්ල, හී වැල, ඉහළංගෙ නිමුන් මිට, නිමුන් කුරුල්ලා සහ පෙරඟිල්ල ද ගොවි නිර්මාණයේ රඟ පෙන්වන්නකි. නගුල සාදා ගන්නට ගන් සූරිය, කුඹුක්‌, කීණ, වෙළං, දමින කුඩු, දවුල වැනි වල් ලී ද, ලණු ඇඹරීමට වල් බෙලි, හණ, පුස්‌වැල් සහ දමින වැනි පට්‌ටා වර්ගද යොදා ගනිති. හී වැල බඩ වතු වළල්ල හා ඉහළංගෙ සඳහා පමණක්‌ කම්මලේ සාදා ගත් යකඩ භාවිත කරති. නගුල සාදා ගැනීමේ දී මිමි වශයෙන් ගන්නේ ද ගොවියාගේ පියවර දිග හා වියතයි. කිරුම් මිනුම් ශාස්‌ත්‍රය අනුව තමන්ට ගැළපෙන උපකරණයක්‌ වීමට නම් තමන්ගේම ශරීරයට සමපාත වන මිනුම් ගත යුතුය. මෙලෙස වැඩිදියුණු කරන ලද නගුලට ප්‍රථම ඉතාමත් සරල නගුල් භාවිත කළ බවට සාක්‌ෂි හමු වේ. පාලින්දනුවර මැණික්‌ පතලකින් හමු වූ නගුල් මීට උදාහරණයකි. නමුත් වර්තමානය වන විට මේ නගුලට විවිධ අංග එකතුව වෙනස්‌ ව සිටී. හරිත විප්ලවය නිසා ලක්‌ ගොවි බිම් වල සිදු වූ විපර්යාසය නිසා සිංහල නගුල වෙනස්‌ කර ඇත. මෙය හේතුව ලෙසට දක්‌වා තිබෙන්නේ සිංහල නගුල කාර්යක්‌ෂම නොවේ යන්නයි. එහෙත් සිංහල නගුල ඒ ඒ කුඹුරුවලට අනුව ලබා ඇති විවිධත්වයත් පරිසර හිතකාමී ස්‌වභාවයත් නිසා එහි සුවිශේෂත්වයක්‌ නිර්මාණයව තිබේ. කාර්යක්‌ෂමතාව යනු මඩ පෙරලීමේ ශීඝ්‍රතාව නොව තණ කොළ කොටස්‌ යටවී කුණු වී යන්නට හැකි වන පරිදි පස්‌ ඇවිලීමයි. ඒ අතින් බලන කල්හි හීවිට ඔස්‌සේ ඉරි ඇදී යන නගුල මෙන්ම වඩා එරෙන කුඹුරු වල කොල්ලෑවක්‌ මෙන් වූ බඩවත ඔස්‌සේ මඩ කරන තාක්‌ෂණය රැගත් උපකරණයක වඩා ශ්‍රේaෂ්ඨ යයි සිතිය හැකිය.

පෘතුගීසිකාරයන් ගල් සපා කමින් රතු ලේ බී බව රාජාවලියේ සඳහන්ව ඇත. ඔවුහු ඒ මදිවාට ගෙරි මස්‌ද අනුභව කළහ. මේ ක්‍රියාවලිය පිළිකුලෙන් හෙළා දුටු සිංහලයන් පරංගින් දුටු තැන පන්නා දැමූහ. එහෙත් අපගේ රජවරුන්ගේ දුර්වලකම් නිසා පරංගින්ට ගෙරි හම් කඩක බිම දුන්දා සිටම සිංහල සිරිත අකා මකා ගියහ. 1817 ජාතික විමුක්‌ති සටනේදී ඉංග්‍රීසීන් ඌව වෙල්ලස්‌සේ දී මේ ගවයින් මරා පළාතේ ළිං වලට දැමූහ. සිංහලයා විනාශ කරන්නට මෙන්ම කොන් කරන්නට හැකි සෑම දෙයක්‌ම කළහ. මේ සටනෙන් පසු රදළවරු අත්අඩංගුවට ගෙන පිටුවහල් කොට දේශයේ විනාශය සඳහා මුල් පියවර තැබූහ. ඒ සඳහා දේශීය හරකා විනාශ කළ යුතු යෑයි ඉංග්‍රීසින් ඉවෙන් මෙන් වටහා ගෙන සිටියහ. 1820 වර්ෂයේ රජයේ ගැසට්‌ පත්‍රයේ මෙයට ගත් පියවර සෘජුව සඳහන් වෙයි. එහි සඳහන්ව ඇත්තේ මෙවැනි දැන්වීමකි.

මහා රාජෝත්තමයාණන් වහන්සේ ගේ නැව් යාත්‍රා වලට ත්‍රිකුණාමල වරායේ දී අමු හරක්‌ මස්‌ සපයා දෙන ටැන්ඩර් නොහොත් පොරොන්දු ලියමන් ඒ ඒ කාලවලට හරියන්ඩ පුළුවන් පලා කොළ ජාති ඇතුළුව දෙන හැටියට සාදා ගෙනත් දුන්නාම මෙහි පහත සඳහන් කළ උන්නාන්සේ ගේ කන්තෝරුවේ දී නොවැබ්‍ර මස තිස්‌ වෙනි දින වෙනතුරු භාර ගනිමින් ඊට උත්‍ර ලබන දෙසැබ්‍ර පහළොස්‌ වෙනි දින වෙන තෙක්‌ දෙන්ඩ යෙදෙනවා ඇත. ඒ ටැන්ඩර් නොහොත් පොරොන්දු ලියමන් වල ඉංග්‍රීසි ගණනෙන් නොහොත් හන්ඩ්රසඩ් වීට්‌ නොහොත් සියේක කිරුන් බර ඉහත කී දේවලින් කොපමණ මුදල් ගණනකට දෙනවාද යන බව සඳහන් කොට එක එක පාර්ෂා අය විසින් තම තමන්ගේ ඒ පොරොන්දු වල් හොඳ කර ඉෂ්ට කර දීමට පනාහර දෙදෙහසක්‌ දඩ නියම ව පොරොන්දු වී බැඳී තිබෙඬ ඕනෑය. මෙම වාරයේ දී හොඳ තර බාරු කම් ඇති ගවයින් සපයා දීමට වෙන පෙරොන්දු වල්ද හොඳින් සොයා බලා ඒත්තුවට ගන්ඩත් යෙදේය. මෙම පොරොන්දු වලට බැඳෙන්ඩ මනාප අයවල් වලට ලේසියෙන් දැන ගන්නා පිණිස දන්වනවා පසුගිය ජූනි මාසේ තිස්‌ වෙනි දින වෙනතුරු අවුරුද්දට නැවු වලට සපයා දුනොත් ( හන්ඩ්රොඩ් වීට්‌ කිරුන් බරින් ) අමු හරක්‌ මස්‌ හත්සිය හැටයි එසේම පලාකොළ ජාති හයසිය පනහයි. වෂර් එක්‌දාස්‌ අටසිය විස්‌සක්‌ වූ ඔක්‌තොබ්‍ර මස පළමු වැනි දින ත්‍රිකුණාමලේ නැවු වලට කෑම වියදම් දෙන්ඩ පෙරොන්දු වෙන උන්නාන්සේ ගෙ කන්තෝරුවේ දීය. අත්සන් කළේ තෝමස්‌ කින් උන්නාන්සේ.

හොඳ තරබාරු කම් ඇති හරකුන් ගේ අමු හරක්‌ මස්‌ සපයා දීම උනන්දු කරවීමට දැමූ මෙම දැන්වීම නිසා ඉංග්‍රීසින් අනුගමනය කළ රදළයින් වෙසෙසින්ම රටේ මහත්වරු වැනි අය ටැන්ඩර් ලබා ගැනීමට උත්සාහ කළහ. මෙහි ප්‍රතිඵලය වූයේ ගම් වල සිටි කුළු හරක්‌ හා සමාන කම් ඇතිව සිටි ගවයින් ඝාතනය කිරීමට පටන් ගැනීමයි. එහිදී එළ ගවයින් මෙන්ම මීගවයින්ද එක විට ඝාතනය කළහ. මේ ක්‍රියාවලිය සිංහලයින් පිළිකුල් කළ බැවින් ගම් ගානේ වෙළෙදාම් කරමින් තැනින් තැන සංක්‍රමණය වී සිට මුස්‌ලිම්වරු මේ කාරිය පිණිස මහා මාර්ග අයිනේ පදිංචි කරවීම සිදු කළහ. ලන්දේසීන් මුස්‌ලිම්වරුන් එළවා දැමීමට කටයුතු කළද ඉංග්‍රීන් එම නීති රීති නැවත සංශෝධනය කොට හරක්‌ මැරීමේ කටයුතු ද ආනයන අපනයන වෙළෙදාම ද මුස්‌ලිම්වරුන්ට භාර දුන්හ. බළන්ගොඩ මාවනැල්ල මෙන්ම හොරොව්පතානේ පාළුවට ගිය සිංහල ගම්වල ද මෙලෙස මුස්‌ලිම්වරු පදිංචි කර ඇති බව සඳහන් කළ යුතුය. හරිත විප්ලව ක්‍රියාමාර්ගයෙන් පසු ට්‍රැක්‌ටරය ලංකාවට ගෙන්වන ලදහ. සිංහල නගුල කටුගෙයටත් ගව සම්පත මස්‌ කඩයටත් ගෙන ගොස්‌ සිංහල ගොවිතැන විනාශ කරලීම ඇරඹිණි.




 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.