ටැප් එක ඇරිලා!

ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ දුරකථනයට රහසින් සවන්දුන් පිරිසක්‌ ගැන දැනගන්නට තිබේ. අනුන්ගේ දුරකථන සංවාදවලට රහසේ සවන්දීම 'දුරකථන ටැප් කිරීම' ලෙස හඳුන්වන බව අපගේ පාඨක සමූහයා දනිති. ගෝඨාභය රාජපක්‍ෂ යනු පල්හෑලි දොඩවන කෙනකු නොවේ. ඔහු කිසියම් කාරණයකදී එයට අදාළ විෂය කරුණු පමණක්‌ සාකච්ඡා කරයි. එයට ප්‍රධාන හේතුව වන හමුදා විනයක්‌ සහිත පුද්ගලයකු වීමත් දේශපාලනඥයකු නොවීමත් ය. දේශපාලනඥයා අවශ්‍ය කාරණය හැර සෙසු සියල්ලම කතා කරයි. ඒ නිසා ඔහුගේ දුරකථනය ටැප් කිරීමෙන් ලබා ගත හැකි වැදගත් කාරණා ප්‍රමාණය අල්ප ය. ඔහු පැයක්‌ කතා කර කියන දෙය ගෝඨාභය රාජපක්‍ෂ වැනි කෙනකු විනාඩියකින් කියා නිම කරනවා ඇත. මේ නිසා ආරක්‍ෂක ලේකම්තුමාගේ දුරකථනය ටැප් කිරීම කිසිසේත්ම ලඝූ කොට තැකීමට බැරි ය. මෙබඳු දේ සඳහා සහයෝගය දෙන තානාපති කාර්යාල හයක්‌ අපට හඳුනාගත හැකි ය. ඒවායේ නම් සඳහන් කිරීමෙන් අපි තාවකාලිකව වැළකී සිටිමු.

නූතන තාක්‍ෂණය දියුණු වෙමින් පවතින ආකාරය දෙස බලන විට දුරකථනයක්‌ ටැප් කිරීම ඉතා සුළු දෙයකි. සති අන්ත ඉංග්‍රීසි පුවත්පත්වල දැන්වීම් අතිරේක බලන විට ඔබේ කාර්යාලයේ සිදුකෙරෙන කතාබහට ගෙදර සිට සවන් දිය හැකි උපකරණ විකුණන ආයතන ගැන කියෑවෙන දැන්වීම් දැකගත හැකි ය. තවත් සමහර දැන්වීමක ඇත්තේ ඔබේ ගෙදර දුරකථනයට සවි කළ හැකි ඉතා කුඩා උපකරණයක්‌ මගින් ඉතා අඩු මිලට දුරකථන ටැප් කිරීමේ සේවාවක්‌ ලබාදිය හැකි බව ය. මේ අඩු මිල රුපියල් 20,000 ඉක්‌මවන්නේ නැත. බිරිඳගේ හොර ඇල්ලීමට සැමියා පෙළඹවීම මේ දැන්වීම් මගින් සිදු කෙරෙයි. ආයතන සේවකයන්ගේ හොර ඇල්ලීමට ආයතන ප්‍රධානියා පෙළඹවීම මෙම දැන්වීම් මගින් සිදු කෙරෙයි. මෙය එතැනින් නවතින්නේ නැත. ඕනෑම රාජ්‍ය ආයතනයක ප්‍රධානියාගේ 'පියුං' (පියන්) අල්ලාගෙන ඔහුට ගනුදෙනුවක්‌ දී මේ කුඩා උපකරණය දුරකථනයේ සවිකර ටෙන්ඩර්, කොමිස්‌, ප්‍රේම සම්බන්ධ වැනි දේට සවන් දීමට අද පුළුවන. දැනට මෙයින් බේරිය හැක්‌කේ සෙලියුලර් දුරකථනවලට පමණි. සෙලියුලරයක මේ කුඩා උපකරණය සවි කළ විට එහි අයිතිකරුට ඒ බව හඳුනාගත හැකි ය. එහෙත් රැහැන් සහිත හෝ රහිත ස්‌ථාවර දුරකථනයක (Land Phone සහ CDMA දුරකථන) අඩියට මෙය සවි කළ විට කවුරුවත් එය නොදනී. ඒ බව දන්නේ එය සවි කළ "පියුං" හෝ වෙනත් සේවකයකු පමණි.

දුරකථන ටැප් කිරීම රාජ්‍ය ආරක්‍ෂාවේදී වැදගත් සාධකයකි. බුද්ධි අංශවලට ඒ සඳහා ඉඩ තිබිය යුතු ය. ප්‍රභාකරන් ජීවතුන් අතර සිටි කාලයේදී ඔහුගේ චන්ද්‍රිකා දුරකථනය ටැප් කිරීම ජාතික ආරක්‍ෂක අවශ්‍යතාවකි. ඒ සඳහා උසාවි තීන්දුවක්‌ ලබාගැනීමට අවශ්‍ය නැත. එසේම ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ලේකම්වරයාගේ දුරකථනය ටැප් කිරීම එය සිදු කරන තානාපති කාර්යාලවල ආරක්‍ෂක අවශ්‍යතාවකි. ඒ සඳහා උසාවි නියෝග අවශ්‍ය නම් ඒ ඒ තානාපති කාර්යාල තම මවු රටවලින් එම නියෝග ලබාගෙන හෝ නැතිව කටයුතු කිරීම තහනම් කිරීමට අපට බැරි ය. අපට කළ හැකි වන්නේ එසේ ටැප් කළ නොහැකි පරිදි අපේ තාක්‍ෂණය දියුණු කර ගැනීම ය. ඒ තාක්‍ෂණය පිටරටකින් මිලට ගැනීම ඵලක්‌ නැත. ඒ, එම තාක්‍ෂණය නිෂේධනය කර දුරකථන ටැප් කරන අලුත් තාක්‍ෂණය එම රටවල නිෂ්පාදනය කෙරෙන නිසා ය. තාක්‍ෂණය යනු හැම මොහොතකම පියවර එකක්‌ හෝ කිහිපයක්‌ ඉදිරියට තබන ක්‍රියාවලියකි. ඇනලොග් දුරකථන පැවති කාලයේදී ඒවා ටැප් කිරීමේ අවදානම මතු වූ කල විද්‍යාඥයෝ ඩිජිටල් දුරකථනය ඉදිරිපත් කර එය ටැප් කළ නොහැකි බව කීහ. මොන බොරුවක්‌ ද? ඊළඟ සුමානයේදී ඩිජිටල් දුරකථන ද ටැප් කළ හැකි විය.

රටක බුද්ධි අංශ ආරක්‍ෂක අවශ්‍යතා මත දුරකථන ටැප් කිරීම ඉතාම සාධාරණ ය. එහෙත් දේශපාලන අවශ්‍යතා මත එසේ කිරීම දුර්දාන්ත ක්‍රියාවකි. එසේම සිවිල් ජනයාට හෝ අනුන්ගේ සාක්‌කුවේ ඇති මුදල්වලින් ජීවිතය ගැටගසා ගන්නා එන්. ජී. ඕ. කාරයන්ට කිසි කෙනකුගේ දුරකථන ටැප් කිරීමට ඉඩ දිය නොහැක. ඔවුන් අපේ රටේ සිවිල් පුරවැසියන් වන සයිමන් සිල්වාගේ හෝ ජාකෝලිස්‌ ප්‍රනාන්දුගේ දුරකථනයට සවන් දීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. ආරක්‍ෂක ලේකම්ගේ දුරකථනයට සවන් දීම රාජ්‍ය රහස්‌ පනත උල්ලංඝනය කිරීමකි. මීට එරෙහි වී වගකිවයුතු මාර්ග හරහා එම රාජ්‍ය නොවන සංවිධාන හෙළි කිරීමට පියවර ගත යුතු ය. එහෙත් තානාපති කාර්යාල මගින් දුරකථන ටැප් කළ විට එම තානාපති කාර්යාල හෙළි කිරීමට යැම ආරවුලකට මුලකි. ඒ නිසා කළ යුත්තේ ඔවුන් මඟහැර දුරකථනයෙන් කතා කිරීම පමණි.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.